එම නිසා මෙවර නත්තල වෙනුවෙන් විශේෂ කතාබහක යෙදීමට අපි මීගමුව පුරවරයට ගියෙමු. ක්‍රිස්ටි මිහිඳුකුල එහිදී අපට හමුවූ සුවිශේෂ පුද්ගලයා වූයේය. ක්‍රිස්ටි මිහිඳුකුල ඓතිහාසික දුව පාස්කු නාට්‍යයේ වසර 45 ක් පුරා ක්‍රිස්තු තුමන්ගේ භූමිකාව නිරූපණය කර ඇත.
මෙවර නත්තලට ඔබ සිත තුළ ඇත්තේ මොන වගේ සූදානමක් ද?
මෙවර නත්තල අපට විශේෂත්වයක් තියෙනවා. පාප්තුමාගේ ලංකා ගමන ඒකට එක හේතුවක්. එතුමාගේ ආදර්ශවත් දිවි ගමනේ අපට ලබාගත හැකි යහපත් දේවල් ගොඩාක් තියෙනවා. හැම නත්තලකටම වගේ මෙවරත් අපි මුල් තැන දෙන්නෙ ආධ්‍යාත්මික කටයුතුවලටයි. පල්ලියත් එක්ක සම්බන්ධ වෙලා ආගමික කටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන් කරනවා.
ඔබේ ළමාවියේ නත්තලේ මතක මොනව ද?
අවුරුද්දේ හොඳම කාලෙ උදාවෙන්නෙ නත්තලත් එක්ක. ඒ කාලෙ උදාවෙනකම් ඉවසුමක් නෑ. දෙසැම්බර් පළමුවැනිදා ඉඳලයි අපි නත්තලට සූදානම් වෙන්නෙ පල්ලියෙ ලතින් භාෂාවෙන් ලියැවුණු ගීතිකා වැඩිපුරම ඇහෙනවා. 'වෙනිතෙය දොරේ මු’ කියන ගීතිකාව අපි පල්ලියෙ කෑගහල කියනව. ඔය විදිහට තමයි අපේ සිත් තුළ නත්තලේ උණුසුම වැඩි වෙන්නෙ. ගෙදර ගව ලෙනක් හදන ආශාවට අපි මුල්තැන දෙනවා. අපි මුල් කාලෙ හදපු ගව ලෙනේ ශුධවූ පවුලත් එඬේරූ, රජ තුන්දෙනා, බැටලුවෝ, ගවයො නිර්මාණය වුණේ චිත්රවලින්.
මැටි සුරුවං වලින් හදපු ගවලෙන් ගන්න අපට මුදල් තිබුණෙ නෑ. අපේ ගමේ චිත්‍ර අඳින්න දක්ෂ ගුරුවරයෙක් හිටියා. එයාට කියල අපි ගවලෙනට චිත්‍ර ඇඳගත්තා. ගවලෙනේ වහළට පිදුරු දැම්මා, බිත්ති කළු කඩදාසිවලින් හැදුවා. බිම තණකොළ පිඩැසි තිබ්බා. ගවලෙනට ඇඳපු චිත්‍ර කාඩ්බෝඩ්වල අලෝලා ඉරටු ආධාරයෙන් තණපිඩු සිටවලා හිටෙව්වා. ටෝච් බැටරි කෑලි හතරක් පහක් හොයාගෙන වයර් අමුණලා ගවලෙනට ලයිට් දැම්මා.
ඔය නත්තලට පෙර සූදානමනේ, නත්තල් දාට මොකද කරන්නෙ?
රෑ දොළහෙ පූජාවට යන්න සූදානම් වෙන එක තමයි ලොකුම ආශාව. අලුත් ඇඳුම් ඇඳගෙන වෙනදාට කලින් පල්ලි යනව. කලින් යන ගමනෙ තේරුම පල්ලියෙ ගව ලෙනේ හොඳට පේන තැනක් අල්ලගෙන වාඩිවෙන එකයි. පල්ලියෙ අල්තාරෙට උඩින් හදපු නත්තල් ගවලෙනේ දේව දූතයො උඩ ඉඳල බහිනවා ග්රාබියෙල් දේව දූතයා තටු සලසලා බහිනවා මේ දසුන් පෙළ දකින්න තමයි පූජාවට යන එකේ විශේෂ ආශාව වුණේ.
පූජාව ඉවර වෙලා ගෙදර ඇවිත් දෙමවුපියන්ටත් පවුලේ අයටත් නත්තල් සුබ පතනවා. එදා කන්න තියෙන මුංබත් ඇතුළු විශේෂ කෑමවල රස විඳිනවා. පස්සෙ යාළුවො ටික එකතු වෙලා ගම පුරාම කැරොල් යනවා. කැරොල් ගිහින් හම්බවෙන මුදල්වලින් පහුවදාට බිස්කට්, පැණි බීම මිලදී ගන්නවා. කමින් බොමින් අපි සතුටු වෙනවා.
ඔබේ රංගන ජීවිතය ගැන කතා කරමු ද?
රඟපෑමේ ආශාව කුඩා කාලෙ ඉඳලම මගේ සිතේ තිබුණා. සයිමන් වාස් කියන කලාකරුවාගේ නාට්‍ය නිර්මාණ කීපයකම මට රඟපෑමේ අවස්ථාව හිමි වුණා. එදා රඟපාපු හැම චරිතයක්ම ගැහැනු චරිත. ඊට පස්සෙ ඓතිහාසික දූව පාස්කුවේ රඟපාන්න අවස්ථාව ලැබුණා. දොරටු පාලක ස්ත්‍රිය ලෙස ලැබුණු ඒ චරිතයත් ගැහැනු චරිතයත්. පසු කලෙක දූව පාස්කුවේ රෝම සොල්දාදුවකු ලෙස රඟපෑමේ අවස්ථාව උදාවුණා.
ඓතිහාසික දූව පාස්කු නාට්‍යයේ ක්‍රිස්තු තුමාගේ චරිතය නිරූපණය කරන්න අවස්ථාව ලැබුණෙ කොහොම ද?
ක්‍රිස්තු චරිතයට මාව තෝරා ගත්තේ මම විසි හතරවැනි වියේ පසුවෙද්දී. ඒක දූව පාස්කු ඉතිහාසයේ එක් කඩඉමක්. ඒ වෙද්දී දූව පාස්කු ඉතිහාසයේ ප්‍රතිමාවකට හැර ක්‍රිස්තු චරිතය නිරූපණ කරන්න ජීවමාන නළුවකුට අවස්ථාව දී තිබුණේ නෑ. සමාජයේ ජීවත්වන මිනිසකුට වඩා ප්‍රතිමාවක් තුළින් කිතු තුමන් වෙත භක්තිය ඇතිකරගන්න බැතිමතුන් පුරුදුව හිටියා. මේ අවස්ථාව මට ලබාදීමට මුල් වුණේ එවකට දූවේ විසු ලෙවින් පීරිස් ඇතුළු තරුණ පිරිසක්. ඔවුන් ලෝකයේ වෙනස්වීම් දැක්කා. ඒ අනුව දූව පාස්කු සංවිධානයේ වැඩිහිටි පිරිසට බලපෑම් කළා. ක්‍රිස්තු චරිතයට ජීවමාන නළුවකු ලබා දී පාස්කුව ඉදිරියට කරගෙන යා යුතු ය කියන මතයේ ඔවුන් හිටියා.
රංගනයට ඔබේ පැමිණීම සඳහා විරුද්ධතා ඉදිරිපත් වුණේ නැද්ද?
මේ යෝජනාව ගමට ඉදිරිපත් කරන විට නම් විරෝධතා කිසිවක් එළිදැක්කේ නෑ. එහෙත් මට පෞද්ගලිකව හමුවෙලා ක්‍රිස්තු චරිතය රඟපාන්නට යන්න එපා ය කියන අදහස මතු කළා. ඒ තරම් උතුම් මිනිසකුගේ චරිතයක් සාමාන්‍ය මිනිහෙක් රඟ දැක්වීම නුසුදුසු ය යන්න. ඔවුන්ගේ මතය මට පැහැදිලි කළා.
එවන් අවස්ථාවල මගේ සිතේ පොඩි පොඩි තිගැස්සීම් ඇතිවුණා. මේ අතරතුර පාස්කු ඉතිහාසය පුරා ප්‍රතිමා තුළින් ක්‍රිස්තු තුමන්ගේ චරිතය මෙහෙයවූ වැඩිහිටියන් පිරිස ද හමුවුණා. ඔවුන්ගේ විරුද්ධත්වයක් තිබුණේ නෑ. ඒක මගේ සිතට සැනසීමක් වුණා. එහෙත් ක්‍රිස්තු චරිතය රඟපාන්න මගේ හිතේ තිබුණු ආසාවත් මගේ මිතුරු කැලගේ උනන්දු කිරීමත් ඒ සඳහා තීරණයක් ගත් ශක්තියක් වුණා.
ක්‍රිස්තු චරිතය රඟපෑවොත් අකාලයේ මිය යනවා නැතිනම් අසාධ්‍ය රෝගවලින් පෙළෙනවා. ඒ ගැන බියක් තිබුණේ නැද්ද?
මට ඒක ප්‍රශ්නයක් නොවුණේ එවැනි ආරංචි මට නොලැබුණු නිසයි.
ක්‍රිස්තු චරිතයට ඔබව තෝරා ගැනීමෙන් පසුව ආධ්‍යාත්මිකව සූදානමක් වුණා ද?
මට ආධ්‍යාත්මික සූදානමක් තිබුණා. කොහොමත් මම ආගමික විශ්වාසය තුළ ජීවත්වුණු කෙනෙක්. සුරාවෙන් තොර ආදර්ශවත් ජීවිතයක් ගතකරපු මාව ක්‍රිස්තු චරිතයට තෝරා ගැනීමේදීත් බලපාන්න ඇති ය කියා මා විශ්වාස කරනවා. පාස්කු පුහුණුවීම් ආරම්භයේ සිට ආධ්‍යාත්මික ජීවිතයට වඩාත් ළං වෙනවා.
නළුවකු විදියට ඔබේ සූදානම කෙබඳු ද?
ක්‍රිස්තු තුමන්ගේ චරිතය වටා ගෙතුණු ඉංග්‍රිසි චිත්‍රපට මඟ නොහැරම බැලුවා. The day of triumph මුලින්ම බලපු ඉංග්‍රිසි චිත්‍රපටය. ‘ජීසස් ඔෆ් නාසරෙත්’ චිත්‍රපටයේ ක්‍රිස්තු චරිතය රඟපෑ නළුවාගේ රඟපෑම් තදින්ම මා සිතේ කා වැදුණා. මා පාස්කු වේදිකාවේ මුලින්ම කළ රඟපෑම පාස්කුව මෙහෙයවපු පැරැණි වියතුන්ගේ ප්‍රශංසාවට ලක්වුණා. ලැබුණු හැම ප්‍රතිචාරයක්ම හොඳයි. රඟපෑමේ අභියෝගය සාර්ථක වුණා කියා. මම නිහතමානි සතුටත් ලැබුවා. එහෙත් මා වසරින් වසර අලුත් රංග රීති එකතු කරගෙන මගේ රඟපෑම දියුණු කරගත්තා.
දූව පාස්කු රංගනයට අමතරව වෙනත් කලා කටයුතුවල නිරත වුණා ද?
චිත්‍රසේනයන්ගෙන් නැටුම් හැදෑරුවා මගේ ඇඟේ හැඩතල දැකල මගේ මිතුරන් තමයි චිත්‍රසේන වෙත මා කැඳවා ගියේ. මේ අතරතුර තමයි රසාංජලී කලාකවය පිහිටුවා ගැනීමට මුල් සැලසුම් යෙදුවෙ ලෙස්ලි බොතේජු, අයිවො ඩෙනිස්, කේෆ්රන්සිප්්, කැලිස්ටස් ජයසිංහ, එඩ්වඩ් බොතේජු, මොරිස් බොල්ලෑගල, ජෝ දඹුලුගල, ෆ්රැන්ක් ප්‍රනාන්දු, රසාංජලි කලාකවයට එකතු වූ පිරිසගේ කිහිපයකි.
ලෙස්ලි බොතේජු ‘සින්නක්කරය’ නමින් නාට්‍යයක් කළා. ඒ නාට්‍යයේ නැටුම් නිර්මාණ සහ බෙර වාදනය කිරීමේ වගකීම මට පැවරුණා. ‘වෙරළේ මිහිර’ නමින් සංගීත ප්‍රසංග ගණනාවක්ම රසාංජලී කලාකවය මඟින් ඉදිරිපත් කෙරුණා.
1974 දී ක්ලෙමන්ට් ප්‍රනාන්දුගේ ‘කටු ඔටුන්න’ පර්යේෂණ පාස්කු නාට්‍යය ක්‍රිස්තු තුමාගේ චරිතය රඟපෑමේ අවස්ථාවත් මට හිමි වුණා. මගේ බිරිය හෙලන් ප්‍රනාන්දු මෙහි මරිය තුමියගේ චරිතය රඟපෑවා. පුණ්‍යසේන ගුණසේනගේ දික්තල කාලගෝල නාඩගමේ දික්පිටියගේ චරිතය වාර ගණනක් නිරූපණය කළා.
මේ සියල්ල අතරින් දූවේ පාස්කුවේ ක්‍රිස්තු චරිතයට වසර 45 ක් රඟපාමින් මගේ බිරිය හෙලන් ප්‍රනාන්දු, දියණිය ධම්මික්ලෝඩියා ගේ චරිතය සඳමාලි පූර්ණවිරුදු වටත් ෂෙරෝන් දියණිය දේවදූතිය ලෙසත් රඟපාමින් අප පවුලේ සියලු දෙනා එකම වේදිකාවක රඟපාමින් මා ලැබු විශේෂ දේව ආශිර්වාදයක් කොට සලකනවා.
මේ වන විට මා 132/ඒ, ද සිල්වා මාවත, කටුවපිටිය යන ලිපිනය අයත් නිෙවසේ පදිංචිව සිටිනවා.
Post a Comment