BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, September 15, 2014

හේවාවිතාරණ පවුල් ගහ.....

“දහසය වැනි ශත වර්ෂයේ දොන් ජුවන් ධර්මපාල බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් විනාශ කළේය. දහනව වැනි ශත වර්ෂයේ දොන් ඩේවිඩ් ධර්මපාල (ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා) බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් උද්දීපනයට පත් කෙළේය.”

                                                     
                                                                                
                                                                                     මුදලිඳු දොන් ක‍ෙරෝලිස් හේවාවිතාරණ (පියා)


“සියවස් කාලක පමණ සිට මා යන එන සෑම තැනක ම මම බයිබලය රැගෙන යමි. බයිබලයේ ඇති කථාවල් සමඟ බෞද්ධාගමික පොත්පත්වල ඇති කතාන්තර මම සංසන්දනය කර බලමි. බුදුන් වහන්සේගේ උගැන්වීම් ක්‍රිස්තුස් වහන්සේගේ උගැන්වීම් සමඟ ද ක්‍රිස්තියානු උපමා කතා බෞද්ධ උපමා කතා සමඟ ද ක්‍රිස්තුස් වහන්සේ විසින් දකින ලද ආචාර ධර්ම හා මානසික උගැන්වීම් බුදුන් වහන්සේ විසින් දක්වන ලද ආචාර ධර්ම සහ මානසික උගැන්වීම් සමඟ ද මම නිරන්තරයෙන් සංසන්දනය කර බලමි. මේ පුරුද්ද සත්‍ය අන්තර්ගත මාර්ගයෙන් දැකගැනීමෙහිලා මට බෙහෙවින් ප්‍රයෝජන වී ඇත...”
“දහසය වැනි ශතවර්ෂයේ දොන් ජුවන් ධර්මපාල බුද්ධශාසනයත් සිංහල ජාතියත් විනාශ කළේය. දහනව වැනි ශතවර්ෂයේ දොන් ඩේවිඩ් ධර්මපාල එනම් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් උද්දීපනයට පත් කළේය.” වරක් යගිරල ශ්‍රී ප්‍රඥානන්ද මහානායක ස්වාමීන් වහන්සේ, අනගාරික ධර්මපාලතුමන්ගේ ගුණානුස්මරණ උත්සවයකදී පැවසූසේක. අතිගරු යගිරල ශ්‍රි ප්‍රඥානන්ද නායක හිමිපාණන් වහන්සේ වදාළ එම වදන්වලින් අනගාරික ධර්මපාල තුමන්ගෙන් සිදුවූ ආගමික ජාතික සේවාව මැනවින් කැපී පෙනෙයි.

ර්‍මශෝක මහරජතුමා බුද්ධ ධර්මය ප්‍රචාරය කළේ දඹදිව අධිරාජයා වශයෙන් සිටිමිනි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන් එම කාර්යහි යෙදුනේ බලවත් අධිරාජ්‍යකුට වහල්ව පැවැති මේ කුඩා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුරවැසියකුව සිටිමිනි. මේ උදාර කාර්යයෙහිදී, ධර්‍මශෝක රජතුමන්ට තිබුණු පහසුකම් වලින් බිඳක්වත් ධර්මපාල තුමන්ට නොතිබිණ. එහෙත් ධර්‍මශෝක රජට නොතිබුණ චෛතසික බලයක් සහ ආත්ම විශ්වාසයක් ධර්මපාල තුමාට තිබුණි.එතුමා සිංහලයකු වශයෙන් “සිංහලයිනි අවදිවව්” යන වේග ස්වරයෙන් සැබවින් ම සිංහලයන් අවදි කළේය. බෞද්ධයකු වශයෙන් “බුද්ධගයාව බේරා ගනිව්” යන අභීත නාදය කරමින් බුද්ධ ධර්මය දස දෙස ප්‍රචාරය කළේය.
ශ්‍රී ලාංකිකයකු වශයෙන් දේශීය ශිෂ්ඨාචාරය සභ්‍යත්වය, කලා ශිල්ප හා කර්මාන්ත නගා සිටුවීමට කටයුතු කළ අනගාරික ධර්මපාලතුමන් 1864 සැප්තැම්බර් මස 17 දින මෙලොව එළිය දුටුවේය.
කීර්තිමත් සිංහල වෙළඳ ව්‍යාපාරිකයකු වූත් බෞද්ධ කටයුතු පිළිබඳව දැඩි උද්යෝගයකින් ක්‍රියා කළ සමාජ සේවකයකුවූත් දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවා විතාරණ මැතිණිය එතුමාගේ මවුපියෝ වූහ.
පසුකාලයක අනගාරික ධර්මපාලතුමා යනුවෙන් ප්‍රකට වූ දොන් ඩේවිඩ් ධර්මපාල හේවාවිතාරණ පමණක් නොව එතුමන්ගේ පවුලේ සියලු දෙනා බුද්ධ ශාසනයේ චිරස්තිය උදෙසා පමණක් සිංහලයන්ගේ නිදහස උදෙසා සිය ජීවිත කැපකළ අයවූහ.
ඒ සියල්ලන් අතරින් අනගාරික ධර්මපාල තුමන්ගේ බාල සො‍හොයුරෙකු වූ එඩ්මන් හේවාවිතාරණ කැපී පෙනෙයි. ඔහුගේ පුතෙකු වූ රාජා හේවාවිතාරණගේ දියනියක වූ මාලා හේවාවිතාරණ වීරසේකර තම ගෞරවනීය පවුලේ ඉතිහාස පැවසීමට අප හා එක්විය.
“අනගාරික ධර්මපාල තුමාගේ පියාවන දොන් කරෝලිස් හේවාවිතාරණ මාතර ඉපදුණ කෙනෙක්” මාලා හේවාවිතාරණ වීරසේකර කතාවට අවතීර්ණ වූයේ එසේය.
“මාතර හේවාවිතාරණ ඩිංගිරි අප්පුහාමිට දරුවො දෙන්නෙක්. පුතුන් දෙදෙනෙක් හිටියා. එක පුතෙක් හිත්තැටියේ අත්ථ දස්සී කියල බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක් බවට පත්වුණා. මිරිස්සෙ රේවත හිමියන්ගේ ගෝලයකු බවට පත්වුණ එතුමා හිත්තැටිය රජමහා විහාරයේ වැඩ වාසය කළ අනික් පුතා තමයි දොන් කරෝලිස් හේවාවිතරණ.” ඇය දීර්ඝ ඉතිහාසයක ‍තොරතුරු ලුහුඬින් පැවසුවාය.
තරුණ වියේදී ම දොන් කරෝලිස් තමන්ගේ ජීවිතයේ සෞභාග්‍ය සොයා කොළඹට සම්ප්‍රාප්‍තවෙයි. දක්ෂ වඩුකාර්මිකයකු වන ඔහු කොළඹ ගෑස්පහ හංදිය සමීපයේ ලී බඩු නිෂ්පාදන හා අලවි වෙළඳ සැලක් ආරම්භ කරයි.
“ඒ කාලෙ හුඟාක් ලී බඩු ලංකාවට ගෙන්නුවෙ පිටරටින්. අපේ මුත්තා තමයි ලී බඩු ව්‍යාපාරය කොළඹ සමහරවිට මුලු ලංකාවෙ පටන්ගත්ත ප්‍රමුඛයා.” මාලා වීරසේකර පවසන්නේ අභිමානයෙනි.
ඇය පවසන ලෙස දොන් කරෝලිස් හේවාවිතාරණ එවකට කේන්ද්‍ර බැලීම පිළිබඳව දක්ෂයකු මෙන් ම ජනප්‍රිය අයෙකු ද ‍විය.
මල්ලිකා හේවාවිතාරණ (මව)

ඇය; කොළඹ කොටහේන ධනවත් ව්‍යාපාරිකයකු මෙන් ම සමාජ සේවකයකු වූ දොන් අන්දිරිස් ධර්මගුණවර්ධන දෙමහල්ලන්ගේ දියණිය වූ මල්ලිකා ධර්මගුණවර්ධන විය. එක්දහස් අටසිය හතලිස් හයේ ජූලි විසිහත්වන දින උපන් ඇය සුරූපී තරුණියක් විය. කුඩා වියේ සිට ම ආගමට ධර්මයට නැඹුරුව විනීතව හැඳුන ඇය ඉගෙවීෆහ් කටයුතු ද සාර්ථකව නිමකර සිටියාය. සමාජ සේවකයකුවූ දොන් අන්දිරිස් ධර්මගුණවර්ධන බුද්ධ ශාසනය නඟා සිටුවීමෙහිලා විශාල පරිත්‍යාගයන් කළ අයකු විය. එදා කොළඹ මරදාන මාලිගාකන්දේ විද්යෝදය පිරිවෙන ඉඳිකිරීම සඳහා ඉඩම පරිත්‍යාග කළේ දොන් අන්දිරිස් ධර්මගුණවර්ධනය.“එතකොට අපේ මුත්තට වයස අවුරුදු විසිහතයි. දවසක් ඔහුට කොටහේන පැත්තෙ ගෑනු ළමයකුගෙ කේන්දරයක් බලන්න ලැබිල තියෙනවා. ඒ කේන්දරය හිමි ගෑනු ළමයා හරි වාසනාවන්ත කෙනෙක් බව මුත්තට තේරුණා. මුත්තා එයාගෙ තාත්තව ගෑනු ළමයගෙ ගෙදරට යැව්වා විවාහ යෝජනාවක් කරන්න.” දොස් කරෝලිස් තරුණයාගේ විවාහයට පදනම වැටුනේ එසේය.
දොන් කරෝලිස් හේවා විතාරණ සහ මල්ලිකා ධර්මගුණවර්ධනගේ විවාහයෙන් පසුව ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු තව තවත් දියුණු වන්නට විය. එවකට ලක්දිව පැවැති කටුක වාතාවරණය මධ්‍යයෙහි දොන් කරෝලිස් හේවාවිතාරණ තවත් කර්මාන්ත කීපයක් ම ආරම්භ කළේය. එයින් රටේ සංවර්ධනය සඳහා ලැබුණ දායකත්වය අති විශාලය.
තමන් ලැබෙන ධනස්කන්ධ්‍ය අසරණයින් උදෙසා පිරිනැමීමට දෙදෙනා ම නිර්ලෝභී වූහ. දිනපතා ලක්දිව නන් දෙසින් භික්ෂූ, උපාසක, උපාසිකා, දුගී මගී යාචකාදීන් හේවාවිතාරණ නිවස කරා පැමිණියහ. ඔවුන්ගේ අඩු පාඩු දුක්ගැනවිලිවලට කාරුණිකව සවන් දුන් මල්ලිකා හේවාවිතාරණ ප්‍රණීත ආහාර පාන ආදියෙන් ඔවුන් සතපා ඇඳුම් පැළඳුම් ආදියෙන් ද ඔවුන්ට සංග්‍රහ කළාය. ඇය මුණගැසීමට එන කාන්තාවන්ගේ කිලිටි වස්ත්‍ර දෙස බලා ඔවුන් සනසන අටියෙන් සිය අල්මාරිය විවෘතකොට සාරි, හැට්ට පමණක් නොව යට ඇඳුම් ආදිය ද දුන්නීය. අවසානයේ ඇය නොදැනුවත්වම අල්මාරිය හිස්විය. පුස්තකාලයක් සඳහා අල්මාරියක් සොයා පැමිණි භික්ෂූන් වහන්සේ නමකට හිස් ඇඳුම් අල්මාරිය ද ඇය පූජා කළාය.
හේවාවිතාරණ යුවළට කුළුදුල් ම දරුවා ලැබෙන්නේ 1864 සැප්තැම්බර් දහහත්වන දිනය. ඔහු දොන් ඩේවිඩ් හේවාවිතාරණය; හෙවත් අනගාරික ධර්මපාල තුමන්ය. දෝන එංගල්තිනා උපන්නේ එක්දහස් අටසිය හැටපහේදීය. එඩ්මන් හේවාවිතාරණ උපන්නේ 1870 ජුනි මස විසිඑක්වන දිනය. සයිමන් ඇලෙක්සැන්ඩර් හේවාවිතාරණ උපන්නේ 1875 අප්‍රියල් මස විසිවෙනි දිනය. චාල්ස් හේවාවිතාරණ උපන්නේ 1876 අප්‍රියෙල් මස විසිඅටවන දිනය. එයට අමතරව හේවාවිතාරණ යුවළට තවත් දියණියක් ලැබුන අතර ඇය කුඩා අවදියේ ම මිය ගියාය.
“අපේ මුත්තා ඒ කියන්නෙ දොන් කරෝලිස් හේවාවිතාරණ අවුරුදු හැත්තෑ දෙකක් ආයු වලදල එක්දහස් නවසිය හයේදි මිය යනවා. ඒ පවුලෙ වැඩිමලා අනගාරික ධර්මපාලතුමා ආගමික කටයුතු වලට යොමුවෙලා තිබුණ නිසා දොන් කරෝලිස් ලී බඩු ව්‍යාපාරයෙ කටයුතු කිරීම භාර වෙන්නෙ මගෙ සීයට. ඒ කියන්නෙ එඩ්මන් හේවාවිතාරණට”, මාලා හේවාවිතාරණ වීරසේකර පවසන්නේ දොන් කරෝලිස් ව්‍යාපාරයේ තවත් යුගයක් පිළිබඳවය.
එඩ්මන් හේවා විතාරණ විවාහ වන්නේ පාණදුර සුජාතා පීරිස් සමඟය. ඔවුන්ට පුතුන් තිදෙනෙකු සහ එක් දියණියක විය. නීල් සහ රාජා එම දරුවන් අතරින් දෙදෙනෙකි. අපට මෙම ‍තොරතුරු හෙළිකරණ මාලා, රාජා හේවාවිතාරණගේ දියණියකි.
1915 වෙසක් මස පුර පසළොස්වක දින මහනුවර ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුම දින දෙක තුනකින් ලංකාව පුරා පැතිර ගියේ ය. පළමුවන ලෝක යුද්ධය ආරම්භ වී තිබුණ එම අවදියේ මුස්ලිම් සිංහල කෝලහාලය ඉංග්‍රීසීන් දුටුවේ බ්‍රිතාන්‍යට විරුද්ධව ගෙනයන අරගලයක් හැටියටය.
මෙනිසා එවකට ලංකාව පාලනය කළ රොබට් චාචර්ස් ආණ්ඩුකාරය මාර්ෂල් ලෝ - යුද නීතිය පැනවීය. එහිදී සිංහල නායකයින් හැටදෙනෙකු සිරභාරයට ගන්නා ලදී. බ්‍රිතාන්‍ය මහරජතුමාට විරුද්ධව යුද්ධය මෙහෙයවීම, ලංකාවේ බ්‍රිතාන්‍ය රජය පෙරළීමට කටයුතු කිරීම, ගිනි තැබීම මංකොල්ලකෑම මිනිමැරීම, තුවාල කිරීම ආදී චෝදනා යටතේ. යුද්ධාධිකරණය 1915 ජූලි 07 දින හෙන්රි ප්‍රේද්‍රික් වීරයාව වෙඩි තබා මැරුවේ මෙම අවස්ථාවේදීය.
පිටකොටුවේ කෛයිසර් වීදියේ “ක්‍රිස්ටල් පැලස්” නැමැති මුස්ලිම් ජාතිකයකුගේ කඩයක් කැඩී ම සහ එයට මිනිසුන් පෙළඹවීම යන චෝදනා යටතේ ඇල්බට් විජේසේකර සහ එඩ්මන් හේවා විතාරණට විරුද්ධව යුද්ධාධිකරණයේ නඩු පවරණ ලදී. දින තුනක නඩු විභාගයකින් පසුව එඩ්මන් හේවාවිතාරණට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
ප්‍රථමයෙන් වැලිකඩ සිරගෙදර රැඳවූ එඩ්මන් හේවාවිතාරණව පසුව යාපනයට මාරුකර යවනලදී. එහිදී අසනීප තත්වයට පත් ඔහුට නිසි ප්‍රතිකාර නොලැබුන අතර සිරගෙදර රෝහලහි සිමෙන්ති පොළවෙහි පැදුර කඩමාල්ලක වැතිර සිටීමට සලස්වන ලදී. යාපනය සිරගෙදර රෝහලෙන් යාපනය රජයේ රෝහලට මාරුකර යවන්නේ අසනීප වී බොහෝ කාලයකට පසුවය.
“අපේ සීයගේ සහෝදරය, දොස්තර සී.ඒ. හේවාවිතාරණ යටත් විජිත ලේකම්ට පෙත්සමක් යවමින් ඉල්ලා සිටියා ඔහුට සීයාව බලන්න ඉඩ දෙන්න කියලා. ඒ අවසරය ලැබුණෙ සීයා මැරෙන්න දවස් පහකට ඉස්සර. නමුත් එතකොට ප්‍රමාද වැඩියි”, මාලා හේවාවිතාරණ පවසන්නේ තම සීයාට බ්‍රිතාන්‍ය රජයෙන් සිදුවූ අසාධාරණය පිළිබඳවය.
එඩ්මන් හේවාවිතාරණ යාපනය රෝහලේ දී මිය යන්නේ 1915 නොවැම්බර් 19 දිනය. ඔහුගේ අවමඟුල් උත්සවය කොළඹදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් සිදුවිය.
එම කාලයේ ම එඩ්මන් හේවාවිතාරණගේ බිරිඳ සුජාතා, මව මල්ලිකා හේවාවිතරණ ඇතුලු බෞද්ධ භික්ෂූන් වහන්සේලා, විවිධ ජනනායකයින්ගේ අත්සන් වලින් යටත් විජිත ලේකම්ට පෙත්සමක් යවන ලදි. එහිදී රොබට් චාචාර්ස් ආණ්ඩුකාරයා වැරදි සහගත ක්‍රියාකළ බව තීරණය කිරීම නිසා ඔහුව ආපසු බ්‍රිතාන්‍යට කැඳවන ලදී. පසුව පැමිණි විලියම් මැනින් ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය රජයෙන් එඩ්මන් හේවාවිතාරණට සිදුවූ අසාධාරණයට සමාව ඉල්ලමින් හේවාවිතාරණ පවුලට ලිපියක් එවන ලදී.
“අනගාරික ධර්මපාලතුමාගේ තවත් සහෝදරයකු වූ සයිමන් හේවාවිතාරණ 1913 ජනවාරි 17 දින හදිසියේ ම මියගියා. එතකොට සයිමන් සීයගෙ වයස අවුරුදු තිස් අටයි;” හේවාවිතාරණ පවුලේ තවත් සාමාජිකයකු මියගිය කාලවකවානුව මාලා හේවාවිතාරණ සිහිපත් කළාය.
එඩ්මන් හේවාවිතාරණගේ මරණයෙන් පසුව දොන් කරෝලිස් සමාගමේ ව්‍යාපාර පාලනය බාර ගත්තේ දොස්තර සී.ඒ. හේවාවිතාරණය.
“ඉස්සර ලංකාවෙ තිබුණේ ස්විඩීන සමාගමකින් හදපු ත්‍රී ජෙම්ස් කියන ගිනිපෙට්ටි. සතේට ගිනි පෙට්ටි දෙකක් දෙනවා. දොස්තර සීයා දොන් කරෝලිස් සමාගමට අලුත් ව්‍යාපාරයක් හඳුන්වා දෙමින් “අලි දෙදෙනා” ලකුණ ගිනි පෙට්ටි නිපදවන්න පටන් ගත්තා. ලංකාවෙ පළමුවෙනි ගිනි පෙට්ටි කම්හල ඒකයි. “අලි දෙන්නා” ලකුණ ගිනි පෙට්ටිත් සතේට දෙකක් දුන්නා. කාලයක් ලංකාවෙ ජනප්‍රියම ගිනිපෙට්ටි ජාතිය වුනේ ‘අලි දෙන්නා’ ලකුණ ගිනිපෙට්ටි හේවාවිතාරණ පවුලෙන් ලංකාවට තවත් අලුත් කර්මාන්තයක් හඳුන්වා දුන්නේ එසේය.
දොන් කරෝලිස් සමාගමට අවශ්‍යය දැව තොගයක් මිලදී ගැනීමට යන ගමනකදී ඔහු ගමන් කළ මෝටර් රථය, ඇහැලියගොඩ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී සිදුවූ හදිසි අනතුරකින් ඔහු මිය ගියේ 1929 අප්‍රියෙල් මස තුන්වෙනි දිනය. එවිට ඔහුගේ වයස අවුරුදු පනස් තුනක් විය.
දොන් කරෝලිස් යුවළගේ එකම දියණිය දෝන එංගල්තිනා හේවාවිතාරණ විවාහ වූයේ ජේකබ් මුනසිංහ සමඟය. කුමාරදාස මුනසිංහ නලීන් මුනසිංහ, සනත් මුනසිංහ, පියදාස මුනසිංහ ඔවුන්ගේ දරුවන්ය.
“ගුවන් විදුලි සංස්ථාවෙ සභාපති වෙලා හිටිය සුසිල් මුනසිංහ, ලංගම සභාපතිවෙලා හිටිය අනිල් මුනසිංහ; පියදාස මුනසිංහගෙ පුත්තු දෙන්නා. පස්සෙ සුසිල් ඉන්දියාවෙ තානාපති වුණා. අනිල් ඔස්ට්‍රියාවෙ තානාපතිවුණා.” මාලා හේවාවිතාරණ පවසන්නේ අනගාරික ධර්මපාල තුමන්ගේ තවත් ඥාතීන් පිරිසක් පිළිබඳවය. එසේම මංගල මුනසිංහ සනත් මුනසිංහගේ පුතාය.
“මගෙ තාත්තා අවුරුදු හතේදි එංගලන්තයට ගියා. නීල් බාප්පාවත් යවන්නයි හිටියෙ. එයා වෙනුවට නලීන් මුනසිංහව ඇරියා.” රාජා හේවාවිතාරණ මෙන් ම නීල් හේවාවිතාරණ ද කලක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෝ වූහ. සර් ක්ලෝඩ් කොරයා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධුරයට පත්කර යැවූ පසු ඔහු දැරූ කම්කරු, කර්මාන්ත සහ වෙළඳ ඇමැතිධුරය හිමි වූයේ රාජා හේවාවිතාරණට.
“ඒ දවස්වල ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ආර්.ජී. සේනානායක, සිරිපාල සමරක්කොඩිවගේ අය නිතර ම අපේ ගෙදර එනවා. තේ බීලා එහෙම යනවා” මාලා හේවාවිතාරණ පවසන්නේ ගෙවීගිය අතීතයක අනුස්මරණීය සැමරුම් පිළිබඳවය.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1956 අගමැති ධුරයට පත්වූ පසු රාජා හේවාවිතාරණව බුරුමයේ තානාපති ධුරයට පත්කරන ලදී. ඔහු මිය ගියේ 1958 ජූලි 17 දිනය.
“මගෙ මහප්පා නීල් හේවාවිතාරණට දූවරු හයදෙනෙක් හිටියා. ඒ අයගෙන් සීතා හේවාවිතාරණව ගාමිණී ජයසූරිය විවාහ කර ගත්තා. මගෙ තාත්තගෙ නංගී සුජාතා හේවාවිතාරණගේ පුතා තමයි ගාමිනී ජයසූරිය. තවත් දියණියක් වූ මානෙල් හේවාවිතාරණ, ටයිම්ස් පත්තරේ කතෘ සිංහ රණතුංගගේ අම්මා” ඒ මාලා හේවාවිතාරණගේ ඇවැස්ස ඥාතීන් සමහරක්ය.
බම්බලපිටිය රෙක්ලමේෂන් පාරේ “මල්ලිකා අනාථ නිවාසය” හේවාවිතාරණ පවුල ආරම්භ කර දැනටත් ඔවුන් නඩත්තු කරයි. එහි ඇති බුදු මැදුර තනා දුන්නේ අනගාරික ධර්මපාල තුමන්ය. මාලිගාකන්ද විද්යෝදය පිරිවෙනමෙන් ම ආනන්ද බාලිකා විදුහල ඉදිකළ ඉඩම් එම පවුලේ පරිත්‍යාගයන්ය. ගම්පහ පීටර් වීරසේකර ළමා නිවාසය මාලා හේවාවිතාරණ වීරසේකරගේ සැමියා වූ සිංහ වීරසේකරගේ පියා සිහිවීමට ආරම්භ කළ එකකි. 1948 දී සාරිපුත්ත මොග්ගොල්ලාන ධාතුන් ලංකාවට වැඩමවීමට මූලික වූයේ රාජා හේවාවිතාරණය.
“දහසය වැනි ශත වර්ෂයේ දොන් ජුවන් ධර්මපාල බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් විනාශ කළේය. දහනව වැනි ශත වර්ෂයේ දොන් ඩේවිඩ් ධර්මපාල (ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා) බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් උද්දීපනයට පත් කෙළේය.”
යගිරල ශ්‍රී ප්‍රඥානන්ද නා හිමි 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger