BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, December 6, 2014

මෙවැනි අධමයනට නිසි දඬුවම් ලබාදෙනු....!!!

සාමාන්‍යයෙන් මිනී මැරුම් වැනි සාහසික ක්‍රියා පිළිබඳව වන පුවත් අප පළ කරනවා සීමිතය...ඵසේ පළ කිරීමට ගිය හොත් අප අඩවියම ඒ සඳහා  අවකාශ නොමැති තරම් වේ..අද අපේ රටේ තරම්  අධමයන්, ම්ළේච්ඡයන් වෙන කිසිදු රටක නොමැති තරම්‍ වේ..ඵදා අභිමානවත්වූ රට අද අපේ යැයි කීමට තරම් නොවන තරමේ ලජ්ජා සහගත අගාධයකට වැටී ඇත....මේ පුවත අප පළ කරනුයේ  සාතිශය වේදනාබර හදවත් තුළිණී....
කොන්කඩුවේ නන්දසිරි හිමි විසින් විවේක සේනාසනයේ අලුතින් ඉදිකරමින් පවතින ආවාස ගෙයක වහලයට ප්‍රයෝජනයට ගැනීම සඳහා දායකයකු විසින් ලබා දුන් කොස් ගසක් ප්‍රවාහනය කිරීමේදී ව්‍යාපාරික ප්‍රියන්ත ගුණරත්න එයට විවිධ බාධා පැමිණ විය. මෙම බාධා කිරීම සම්බන්ධව දායක සභාවට දැනුම් දුන්නැයි කියා නන්දසිරි හිමි සමග ප්‍රියන්ත ගුණරත්න ගැටුමක් ඇති කර ගත්තේය.
“තෝ තමා මගේ නම කෑවේ. මම තෝව යහතින් තියන්නේ නෑ.” යැයි පරුෂවචනයෙන් බැණ බැණ ප්‍රියන්ත පැමිණෙන විට තමා මේ කනංගම විවේක සේනාසනයේ ගෙවන අවසන් හෝරා කිහිපය කියා කෝන්කඩුවේ නන්දසිරි හිමිට සිතාගන්න බැරිව ඇත. ගතවූයේ නිමේෂයකි.
සුමන සමන් අඩවියේ අහස ‍පොළොව නුහුලන අපරාධයකට මුලපුරමින් බුද්ධ පුත්‍රයකුට අමානුෂික ලෙස තිරිසන් වෙස්ගත් පාපතරයන් තිදෙනකු ‍පොලු මුගුරුවලින් පහර දෙන්නට පටන් ගත්හ. මෙම පහරදීමෙන් කෝන්කඩුවේ නන්දසිරි හිමි සිහිසුන්ව ඇද වැටිණි.
දෙහිඕවිට කනංගම විවේක සේනාසනයට අප යන විටත් නන්දසිරි හිමියන්ගේ දේහය සේනාසනයේ ධර්ම ශාලාවේ තැන්පත් කර තිබුණි. කොළඹ-හැටන් මාර්ගයේ අටුලුගම හන්දියේ සිට කනංගම දක්වා මග දෙපස කහ පාට කොඩිවැල්වලින් සරසා තිබුණි. ඒ වන විටත් ගිහි පැවිදි විශාල පිරිසක් උන්වහන්සේට අවසන් ගෞරවය දක්වා තිබුණි.
ඇඹිලිපිටිය - කෝන්කඩුව ප්‍රදේශයේ උපත ලද උන්වහන්සේ 1971 නැදුරන චිත්‍රාඇල්ල භාවනා මධ්‍යස්ථානයේදී ඉලුක්තැන්නේ ධම්මසිරි නායක හිමියන් ඉදිරියේ සාමණේර හිමිනමක් ලෙස පැවිදි දිවියට ඇතුළත් වූහ. 1983 වසරේ උන්වහන්සේ උපසම්පදා ලැබූහ. පසුව කනංගම ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවකු වන රංජිත් ජයවර්ධන මහතා පරිත්‍යාග කරන ලද අක්කර දෙකක ඉඩමක ඉදිකළ කනංගම විවේක සේනාසනයට වඩින උන්වහන්සේ 1989 වසරේ විවේක සේනාසනාධිපති පදවියට පත් වූහ.

විවේක සේනාසනාධිපති පදවියට පත් වීමෙන් අනතුරුව උන්වහන්සේ විවේක සේනාසනයේ ධර්ම ශාලාවක් හා භික්ෂු ආවාසයක්,විහාර මන්දිරයක් ඉදිකළහ. එසේම ප්‍රදේශයේ දුප්පත් පවුල් පහක් සඳහා නිවාස ඉදිකර දීම, ගර්භණී කාන්තාවන් සඳහා නොමි‍ලේ ‍පෝෂණ මල්ලක් හා රුපියල් පන්දහසක් ලබා දීමට උන්වහන්සේ ක්‍රියා කළහ. එසේම අබලන් මාර්ග පවා කොන්ක්‍රීට් කිරීමට මෙම යතිවරයා ක්‍රියා කර ඇත. සැමවිටම ගමෙන් පන්සලට නොව පන්සලෙන් ගමට යන සිද්ධාන්තයෙන් වැඩ කළහ.

නන්දසිරි හිමියන් දානවලට සහභාගි වී නැවත විවේක සේනාසනයට පැමිණෙන විට දානයට ලැබෙන සියලුම පලතුරු ප්‍රදේශයේ කුඩා දරුවන්ට ලබාදීමට අමතකනොකළහ. මේ නිසා උන්වහන්සේ ප්‍රදේශයේ කුඩා දරුවන් අතරේ ‘ඇපල් හාමුදුරුවෝ’ ලෙසින් ජනප්‍රිය වූහ. උන්වහන්සේ විනය ගරුක සීලවන්තව නිකායේ සම්ප්‍රදාය ආරක්ෂා කළහ.

මෙවැනි වටපිටාවක් තුළ අටුලුගම-කනංගම ප්‍රදේශයේ ප්‍රියන්ත ගුණරත්න නමැති ව්‍යාපාරිකයකු දිනෙන් දින වැජඹෙන්නට විය. මොහු ප්‍රදේශවාසීන් විසින් කනංගම ඇළෙන් ගොඩ දමන සියලුම වැලි සොච්චම් මුදලට මිලදී ගත්තේය.

පිටස්තර පුද්ගලයන්ට වැලි මිලදී ගැනීමට ඉඩ නොදී එසේ පැමිණෙන ලොරිවලට පහරදී පන්නා දමා වැලි ඒකාධිකාරියක් පවත්වාගෙන ගියේය. ඒ වගේම මොහු බලපත්‍රයක් නොමැතිව ඩීසල් හා පෙට්‍රල් අලෙවි කළේය. මොහු කුමන හෝ නීති විරෝධී ක්‍රියාවක් කළත් ඔහුව ආරක්ෂා කිරීමට නීතිය රැකීමට සිටින නිලධාරින් පිරිසක් ඔහු වටා සිටියහ. තමාට දෙන උපකාර වෙනුවට ප්‍රති උපකාර ලෙස මිල මුදල් යහමින් විසි කරන්න ප්‍රියන්ත සැමවිටම ක්‍රියා කර ඇත. ඒ වගේම මොහු ළඟ අජිත් ප්‍රියශාන්ත හා නිශ්ශංක කුමාර නම් වූ ඔහුට සේවකයන් දෙදෙනකුද සේවය කළේය මොවුන් තම මුදල් බලයෙන් ප්‍රදේශයේ පුද්ගලයන් කීප දෙනකුට පහරදී ඇත. එම පහර දීම්වලට එරෙහිව නීතියද ක්‍රියාත්මක වී නැත.

කොන්කඩුවේ නන්දසිරි හිමි විසින් විවේක සේනාසනයේ අලුතින් ඉදිකරමින් පවතින ආවාස ගෙයක වහලයට ප්‍රයෝජනයට ගැනීම සඳහා දායකයකු විසින් ලබා දුන් කොස් ගසක් ප්‍රවාහනය කිරීමේදී ව්‍යාපාරික ප්‍රියන්ත ගුණරත්න එයට විවිධ බාධා පැමිණ විය. මෙම බාධා කිරීම සම්බන්ධව දායක සභාවට දැනුම් දුන්නැයි කියා නන්දසිරි හිමි සමග ප්‍රියන්ත ගුණරත්න ගැටුමක් ඇති කර ගත්තේය.

පසුගිය මාසයේ 11 වැනිදා ව්‍යාපාරික ප්‍රියන්ත ගුණරත්න හා ඔහු ළඟ සේවය කරන නිශ්ශංක කුමාර හා අජිත් ප්‍රියශාන්ත යන අය සමග පන්සලට කඩා වැදී ‘තෝ තමා මගේ නම ගමේ කෑවේ. මම තෝව යහතින් තියන්නේ නැහැ කියමින් ස්වාමීන් වහන්සේට පහර දෙන්නට පටන් ගෙන ඇත. පහරකෑමට ලක්වූ උන්වහන්සේ සිහිසුන්ව වැටුණු පසු ප්‍රියන්ත ඇතුළු පිරිස නික්ම ගොස් ඇත.
නැවත සිහිය පැමිණ පසු නන්දසිරි හිමියන් දායකයකු වූ රංජිත් මහතාට දුරකථනයෙන් අමතා තමා ගල් වැටියකින් වැටී කකුලට හානි සිදුවී ඇති බවත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යෑමට අවශ්‍ය බව පවසා ඇත. මුලින්ම තල්දූව ප්‍රදේශයේ සිංහල වෛද්‍යවරයකු ළඟට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් ඇති අතර උන්වහන්සේට සිදුවී ඇති තුවාල අනුව ගල්වැටියකින් වැටී සිදුවූ තුවාල නොවන බවට ප්‍රතිකාර ලබා ගැනීමට නන්දසිරි හිමියන් රැගෙන ගිය රංජිත් මහතාට වැටහී තිබුණි.

ඉන්පසු මේ බව උන්වහන්සේගෙන් විමසීමේදී ප්‍රියන්ත ඇතුළු දෙදෙනකු තමන්වහන්සේට පහර දුන් බව පවසා ඇත.

මුලින්ම අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කළ උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. එසේ ප්‍රතිකාර ගනිමින් සිටියදී පසුගිය පළමුවැනිදා රාත්‍රී 7.30ට පමණ අපවත් වූහ.

උන්වහන්සේගේ අපවත්වීම දැනගත් ප්‍රදේශවාසීන් ප්‍රියන්ත ගුණරත්න ඇතුළු අනිත් සැකකරුවන් දෙදෙනාගේ නිවාස හා දේපළවලට ගිනි තබා ඇත. මෙම ගිනි තැබිමෙන් නිවාස කිහිපයක් හා බස් රථයක්, ත්‍රීවීල් එකක්, ලොරි රථයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

 
පසුව අටුලුගම, කනංගම ප්‍රදේශවල පැවැති ප්‍රචණ්ඩකාරී තත්ත්වය සමනය කිරීම සඳහා සීතාවක කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත අතිරේක ‍පොලිස් කණ්ඩායම් හා ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් යොදවන ලදී.

මේ වන විට නන්දසිරි හිමිට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත නිදහස් කර සිටින ප්‍රියන්ත ගුණරත්න, අජිත් ප්‍රියශාන්ත, නිශ්ශංක කුමාර යන අය නැවත ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය පිළිබඳව සීතාවකපුර කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත රුවන්වැල්ල ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන මහතා ඇතුළු නිලධාරින් පරීක්ෂණ පවත්වති.
ඒ.ඩී.ඒ. නිශාන්ත - 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger