අලුත් ඇඳුම්වලින් එන තාන් සුවඳ... සැරසිලි... කෑම බීම... ගේ පුරා විසිරෙන අලුත් තීන්ත සුවඳ හිතට ප්‍රබෝධයක් ගේනව තමයි. ඒත් බාහිර වැදගත්කමක් ඇති මේ හැම දේටම වඩා ආධ්‍යාත්මික ජීවිතය ගොඩනඟන තැනකටයි මේ නත්තලේ අපි ඔබ රැගෙන යන්නෙ.
ඒ දේශීය පූජක පුතුන් බිහිකරන ලංකාවේ ප්‍රථම සහ විශාලතම දෙව් සත්හල වෙත. සෙමනේරිය වෙත. අදත් රෝමයේ ශුද්ධෝත්තම පාප්තුමා සමඟ ඍජු සම්බන්ධතාවක් ඇති අම්පිටිය ජාතික දෙව්සත්හල, කිතුනු බැතිමතුන්ගේ මහත් ගෞරව ආදරයට පාත්‍ර වන තැනක්.
මේ 1893 අවුරුද්ද....
රෝමයේ ශුද්ධ වූ කතෝලික සභා මූලස්ථානය, ආසියානු රටවල පූජක පුතුන් බිහි කිරීම සඳහා දෙව් සත්හලක් ඇරඹීමට සුදුසු රටක් සොයමින් සිටි යුගය.
ආසියාකරය බාරව හුන් පෝලන්ත ජාතික ‘ලැඩිස් ලාවුස් සලෙස්කි’ පියතුමා පාකිස්තානය, බංගලාදේශය හා ඉන්දියාව හරහා අපේ රටට එන්නෙ දෙව්සත්හලකට සුදුසු එහෙම තැනක් හොයාගෙන.
සිසිල් ශාන්ත පරිසරය භාවනාවට තෝතැන්නක්. මහා කැලෑව වුණත් සීතල කඳුකරයට සලෙස්කි පියතුමාගෙ හිත යනව. එපිටින් දුම්බර කඳුයාය. පහළින් ගලා යන මහවැලි නදිය. අක්කර 300 ක බිමක් එළි පෙහෙළි කොට දෙව්සත්හලට පිඹුරුපත් සැකසුවෙත් සලෙස්කි ඉංජිනේරු පියතුමායි.
එදා පෝලන්ත සහ රෝමානු ගෘහ නිර්මාණ ශිල්පියට අනුව ඉදිවුණු මේ ගොඩනැඟිලිවල ඇණ මුරුච්චියක් පවා යෙදුණෙ පියතුමාගෙ සැලසුමට අනුව.
අදත් මේ ගොඩනැඟිලිවල නඩත්තු කටයුතු පවත්වාගෙන යන්නෙ එදා පියතුමා ලේඛනගත කොට ඇති උපදෙස් අනුව කිව්වොත් සමහරවිට ඔබ පුදුම වේවි.
අඩි දෙකකට වඩා ගනකමැති බිත්ති කළු ගලින් බැඳල. ඊට යටින් මැටි තවරල තියෙන්නෙ උණුසුමයි - සිසිලයි එකසේ රඳවගන්න. හුණු පිරියම් කොට ඇති මේ බිත්තිවලට කිසිම දවසක තීන්ත ගාන්න එයා කියලයි ලේඛනවල සඳහන් වෙන්නෙ.
අදත් මෙහි ආලේප කොට තිබෙන්නෙ සමර පමණයි. මහල් තුනක් කරා විහිදෙන මේ සද්දන්ත ගොඩනැඟිල්ල පියතුමා හදල ඉවර කළේ 1897 දී. පළමු වරට පූජක සිසුන් 20 දෙනකු බඳවගත්තෙ ආසියාකර රටවලින්.
මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් පෙරටු කොට ගත් ලාංකේය කතෝලික සභාව පාලනය වන්නෙ. රදගුරු පදවි 11 ක රදගුරුතුමන්ලා 13 කුගෙන්. පදවි 11 ට කුඩා දෙව්සත්හල් 11 ක්.
පූජක දිවිය පතන තරුණ පුතුන් අනිවාර්යයෙන් උසස් පෙළ සමත් වූ පසුවයි පදවි දෙව් සත්හලකට ඇතුළු වෙන්න අවසර ලැබෙන්නෙ. ඉන්පසු ඔවුන් මුහුණ දෙන්නෙ ජාතික දෙව්සත්හල් ප්‍රවේශ විභාගයට සහ ඉංග්‍රීසි විභාගයට. කළුතර පළාතොට ‘දහම් සෙවණ’ අතරමැදි දෙව්සත්හළ පූජක දිවියෙ සන්ධිස්ථානයක්.
ඒ තමන් ගැන, පූජක දිවිය ගැන මෙන් ම දුෂ්කර හා කැපවීමේ ජීවිතය තුළ රැඳෙන්නට සූදානම් ද යන තීරණය යළි යළිත් මෙනෙහි කරමින් ගත කරන අවුරුද්දක කාල පරිච්ඡේදයක් නිසා. අනෙක් අතට එය අධ්‍යාත්මික ජීවිතයට සූදානම් වීමේ කාල පරිච්ඡේදයක්.
“කැමැති නම් ඒ ජීවිතෙන් වෙනස් වෙන්න මේ වසරක කාලයේදී ඔවුන්ට අවසර ලැබෙනව. දේව සේවයට කැපවීමේ ස්ථිර අධිෂ්ඨානයක ඉන්න අය තමයි මේ ලොකු සෙමනේරියෙ අවුරුදු හයක අවසන් පුහුණු කාලය නිම කරන්නෙ.
පූජක දිවියට ඇතුළු වන පියතුමෙක් දර්ශනවාදය සහ දේවධර්මය පිළිබඳ උපාධි දෙකක් සම්පූර්ණ කරනව. පළමු අවුරුදු දෙක දර්ශනවාදය, බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආගම් සහ තවත් විෂයයන් 30 ක් හදාරනව. ත්‍රිපිටකය, කුරානය ගැඹුරින් හදාරන මේ අවුරුදු දෙකෙන් පස්සෙ අවුරුදු හතරක් ම ගත කරන්නෙ දේව ධර්මය ගැඹුරින් හැදෑරීමට.
නමුත් මේ කාලය තුළ තමන්ගෙ ඉංජිනේරු, කලා, විද්‍යා උපාධි සම්පූර්ණ කරගන්නත් පියතුමන්ලා වෙහෙසෙනවා. නාට්‍ය, උඩරට නැටුම්, චිත්‍ර කලා, සංගීතය, ක්‍රීඩා මේ කොයි අංශයෙත් ඉදිරියට යන්න පියතුමෙකුට බාධාවක් නැහැ... ඒ විතරකුත් නෙවෙයි, මේ පුහුණු කාලයේදී ගමේ පොදු වැඩ වෙනුවෙන් ඔවුන් කැපවෙනව. අපේ සහෝදරතුමන්ලා හුඟ දෙනෙක් පිරිවෙන්වල ස්වාමින්වහන්සේලාට ඉංග්‍රීසි උගන්වන්නෙ නොකැඩී එන සම්ප්‍රදායක් විදියට. සෙමනේරියෙ නොමිලේ පවත්වන ඉංග්‍රීසි ඩිප්ලෝමාවට එන 95% බෞද්ධ දරුවො. ඒ එන හැම කෙනෙක් ම ආපහු යන්නෙ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ඇතිව...”
මොන තරම් අපූරු ද...
පූජක දිවියට ඇතුළු වන්නට පෙර පටන් ම ඇරැඹෙන මේ සේවාවන් නිසා ඔවුන් ආධ්‍යාත්මිකව තව තවත් පෝෂණය වෙනව කියලයි අධ්‍යක්ෂ පියතුමා කියන්නෙ.
හාල්, පොල්,, තේ විතරක්නෙවෙයි, එදිනෙදා අවශ්‍ය එළවළු ටික, කිරි ටිික, කුරුඳු ගම්මිරිස් ටික මේ කොයි අවශ්‍යතාවත් සපුරගන්නෙ සෙමනේරි වත්තෙන්මයි.
එදා අක්කර 300 ක් වුවත් අද අක්කර 100 කට සීමාව ඇති මේ බිමේ වැලි කැටයක පවා තියෙන්නෙ ශාන්ත බව. 1893 වසරෙ පටන් සෙමනේරියට ජලය සැපයුණු ළිං අට අදත් ඒ කාර්යයෙ නියැලෙන්නෙ ස්වභාවික ජල උල්පත් හා බැඳිල.
“කිසිම තරගකාරිත්වයක් මෙතැන නැහැ. හැමෝම ඉංග්‍රීසි කඩුල්ල පනිනව. පුළුවන් අය බැරි අයට උදව් කරනව. විභාගවලට සූදානම් වෙන්නෙත් හැමෝම ගොඩ යා යුතුයි කියන සාමූහික හැඟීමෙන්. යාපනෙන්, මාතරින්, මොරටුවෙන්, මීගමුවෙන් විතරක් නෙවෙයි, උතුරු නැඟෙනහිර අනාථ කඳවුරුවල මාපියො හිටි පවුල්වලිනුත් ආ තරුණ පුතුන් මේ සෙමනේරිය ඉන්නව. මෙතැනට ආවට පස්සෙ හැමෝම වැඩ කරන්නෙ එක පවුලක් වගේ...”
පියතුමා කියන්නෙ ඔවුන් හැමෝම යන උතුම් ගමන ගැන.
ඉංග්‍රීසි, සිංහල හා දෙමළ වශයෙන් එදා වෙන් වෙන්ව ගොඩනැඟුණු සුවිසල් පුස්තකාල තුන අදත් මේ සෙමනේරියට එන පූජක පුතුන්ට මහඟු සම්පතක්. ජේසු තුමන් කතා කළ ‘අරමයික්’ බසින් ලියැවුණු ඉපැරණි පොතත් මේ පුස්තකාලයෙ.
අවුරුදු අටකට ආසන්න පුහුණු කාලය නිමැවී පූජාත්වරයට පා තබන මේ පියතුමන්ලා පළමු දේවාශිර්වාදය ලබන්නෙ දෙව්සත්හල් බිමේ අභිමානවත්ව නැඟී හිඳින ශාන්ත ෆ්‍රැන්සිස්කෝ සේවියර් දෙව්මැදුරෙදි. අද එය මරියමවුන්ට කැපවූ දෙව් මැදුරක්.
කළු ගලින් නිමැවුණු දෙව් මැදුර බිම් මහලට ඇතුළුවිය හැකි කුඩා කුරුබිලියක්. ඒ දිගේ ඇතුළුවන්නෙ කුටි ලෙස වෙන්වුණු බිංගෙයකට. එහි බිම හිඳ ශුද්ධ වූ සත්ප්‍රසාද වහන්සේ හා ශුද්ධ වූ බයිබලය ඉදිරියේ භාවනානුයෝගීව සිටින පූජක පුතුන් සිත කය එක්තැන් කොට දෙව්ඳුන් හා බැඳුණු ගැඹුරු සංවාදයක. අල්පෙනෙත්තක් බිම වැටුණත් ඇහෙන තරමට නිශ්ශබ්දතාව.
කැටයම් කළ වර්ණවත් වීදුරු ජනේලවල අලංකාර මිදි වැල්. දේවදූතයන්. එදා මෙදාතුර කිසිදා කිසිදු ආලේපයක් නොගැල්වූ ‘රෝස් වුඩ්’ ලීයෙන් කළ සීලිම දෙව් මැදුරට ප්‍රභාවක්. බුරුම තේක්ක සොල්දරයෙ හිඳ (බැල්කනියෙ) ගීතිකා කණ්ඩායම අදත් ගායනාවෙ යෙදෙන්නෙ පෙර දවසක වූ ගම්භීරවත්වය යළි ධ්වනිත කරමින්.
“මේ වහලෙ තවම තියෙන්නෙ 1894 හෙවිල්ලපු උළු. ‘1894 - කැලිකට් ඉන්දියා’ කියල මේ උළු කැටවල තවම සඳහන් වෙලා තියෙනවා. මේ වහල මෙච්චර කල් පවතින්නෙ මේ තරම් ඇලයට හදල තියෙන නිසා. ඒ ඉක්මනින් වතුර බැහැල යන විදියට. කැටයම් යෙදූ චීනචට්ටි වැහිපීලි මේ හැටියටම මගෙ ඇහැ ගැටුණෙ පිටකොටුවෙ ‘වුල්ෆෙන්ඩෝල්’ පල්ලියෙදි.
නුවර එන ඔබට මේ සෙමනේරිය දැක බලා ගන්න අවසර තියෙනව. ඒත් භක්තිමත් සිතින් මේ බිමට ඇතුළු වන්නට හැකිනම් පමණයි. කොහොම වුණත් රට පුරා දේව සේවයට විසිර යන පූජක තුමන්ලා බිහි කරන මේ පින් බිම දැක බලා ගැනීමම වාසනාවක්. සර්ව බලධාරී දෙවියන් වහන්සේට කැපවී, එනිසාම අවිවාහකව සිටිමින්, රදගුරු තුමන්ට කීකරු වෙමින්, මේ මුළු මිනිස් වගට සේවය කරන පියතුමකු වීම මොන තරම් අමාරු ද...
සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක්, ඉතාලි, හීබෲ ආදි භාෂා ගණනාවක් උගෙන ඉවසීම දයා කරුණාව, ඇහුම්කන් දීම, උදව් කිරීම ආදී ගුණයෙන් නොනැවතී මියෙන තුරා මිනිසුන් යහමගට ගන්න වෙර දරන පියතුමකුගෙ ජීවිතය දුෂ්කර වුවත් වාසනාවන්ත එකක් කියලයි අනෙක් අතට මට හිතුණෙ.
ඒ දේව ප්‍රේමයේ පණිවුඩය රැගෙන යන දූතයන් ඔවුන් වන නිසා.
ඡායාරූප - සුදම් ගුණසිංහ
Post a Comment