එය වසන්තයේ රමණීය උදෑසනකි. වලාකුළින් තොර අහස් කුස වඩාත් නිල්වන් ය. හිරු රැස් මුදු මොළොක්ය. එක දිගට ඍජු ව දිවෙන මාවතෙහි ඇවිද ගෙන යන විට ඇති වනුයේ ප‍්‍රසන්න හැඟීමකි.
ගස් කොළන් දිලිහෙමින් තිබූ අතර, අවට ද වූයේ, කිසියම් දීප්තියකි. සැබැවින් ම අතිශය චිත්තාකර්ෂණීය වූ උදෑසනකි, එය. උසට නැඟුණු මහාකඳු මුදුන මුළුමනින් ම සැඟැ වී තිබිණ.
පහතින් වූ පළාවන් කුඩා කඳු ගැට සුන්දර ය. තුනී වූ සිතිවිල්ලෙන් යුතු ව ඇවිද ගෙන යද්දී, සරත් ඍතුවෙහි ගසකින් ගිලිහී බිම පතිත ව තිබූ ප‍්‍රාණ නිරුද්ධ පත‍්‍රයක් ඔහු ඇස ගැසිණ.
එය පඬුවන් ය, දීප්තිමත් රත් පැහැයෙන් ද යුක්ත ය. කොතරම් සෞන්දර්යාත්මක ව එය තිබුණේ ද යත්, එහි මරණය ද අතිශයින් ම චාම් ය, ප‍්‍රාණවත් ය, සමස්ත වෘක්‍ෂයෙහි ද, ගිම්හානයෙහි ද, ජීව ශක්තියෙන් හා සෞන්දර්යයෙන් එය පරිපූර්ණ ය.
පුදුමයකට මෙන් වියළී නොගොස් තිබූ ඒ පත‍්‍රය දෙස වඩාත් සමීප ව බැලීමෙහි දී ඔහු දුටුවේ, එහි මැද නාරටිය හා අනෙක් සිහින් නාරටිත්, එහි හැඩයත් ය. ඒ පත‍්‍රය වූ කලී සමස්ත වෘක්‍ෂය ම ය.
කිසියම් රෝගාබාධයකින් හෝ වයසට ගොස්, ජරා ජීර්ණ ව, වැහැරී ගිය සිරුරින් ද යුතු ව, විරූප ව හෝ මෙතරම් දුකින් හා අසතුටින් මිනිසුන් මිය යනුයේ කවර හෙයින් ද? ගසක කොළයක් ලෙස ස්වාභාවික ව, සොඳුරු ව මිය යන්නට ඔවුනට නොහැකි වී ඇත්තේ ඇයි?
අපට සිදු වී ඇති වැරැද්ද කුමක් ද? කොතෙකුත් දොස්තරවරුන්, බෙහෙත් හේත්, ඉස්පිරිතාල හා සැත්කම් ය, ජීවිතයෙහි අප‍්‍රමාණ වූ දුක්ඛ දෝමනස්සයන් ය, එසේ ම නොයෙකුත් ඉන්ද්‍රියගත ආස්වාදයන් ය. එසේ වුව ද, උදාරත්වයෙන් ද, අනායාසයෙන් හා සිනහවකින් ද යුතු ව මිය යන්නට හැකියාවක් ඇති දැ යි අපට නොහැඟේ.
වරක් පටු මං පෙතක ඔහු ඇවිදගෙන යන විට, පිටු පසින් ඇසුණේ, ස්වර මාධූර්යයෙන් ළයාන්විත ව ගැයෙන, පෞරාණික ගම්භීරත්වයෙන් ද යුතු, සංස්කෘත සජ්ජායනයකි. හෙතෙම නැවතී වට පිට බැලුවේ ය.
පවුලේ වැඩිමල් පුතා මැටි බඳුනක් රැගෙන එයි. ඇතුළතින් ගිනි අවුළුවන ලද එය බහා තිබුණේ තවත් එවැනි ම මැටි බඳුනක ය. ඔහු පිටුපසින් ඔහු ගේ පියා ගේ මිනිය ඔසවා ගත් මිනිසුන් දෙදෙනෙකි. මිනිය සුදු රෙදි කඩකින් ඔතා තිබූ අතර, සියල්ලෝ ම කිසියම් සජ්ජායනයක යෙදී සිටිය හ.
ඒ සජ්ජායනය කුමක් දැ යි පාරේ ඇවිදගෙන ගිය අර පුද්ගලයා දැන සිටි අතර, ඔහුට දැනුණේ, තමා ද ඒ හා එක් වූ සැටියකි. පිරිස ඔහු පසු කරමින් ගිය අතර, ඔහු ද ඔවුන් පසු පස ගමන් කරන්නට විය. සජ්ජායනය කරමින් ම ඔවුහු පාරේ පහළට බසින්නට වූ හ.
වැඩිමහල් පුතා සිටියේ, කඳුළු පිරි දෙනෙතිනි. ඔවුන් පියා ගේ මිනිය රැගෙන ගියේ, මේ වන විටත් දර කැබැලි එක් කොට ගොඩ ගසා මුදුන් කොට තිබූ, ගං ඉවර වෙතට ය. දර ගොඩ උඩ මිනිය තැබූ ඔවුහු ඊට ගිනි තැබූ හ.
ඒ සියල්ල චාම් ය, අතිශයින් ම අව්‍යාජ ය. එහි මල් වඩම් නැත, අවමඟුල් රථ නැත. කළු පැහැති අසුන් යෙදූ, කළු පැහැති ගැල් රිය නැත. එය ඉතාමත් සන්සුන් ය, උත්කර්ෂවත් ය.
අනතුරු ව ඔහු නෙත ගැටුණේ, ගසකින් වැටී තිබුණු පත‍්‍රයක් වෙත ය. ගසෙහි තිබූ දහසකුත් එකක් අනෙකුත් පත‍්‍ර වෙත ය. ශීත ඍතුව හේතු කොට ගෙන, ඒ පත‍්‍රය මවු ගසෙන් ගිලිහී පාරෙහි පතිත ව තිබිණ. එය තව නොබො වේලාවකින් මුළුමණින් ම වියැළී, කර වී, දිරාපත් වනු ඇත, සුළඟට හසු ව ගසා ගෙන ගොස්, අතුරුදහන් වනු ඇත.
ඔබ, ළමයින්ට ගණිතය කියැවීම හා දැනුම අත් කර දෙන කවර විෂයයක් උගැන්වුව ද මරණයෙහි ඇති සුවිශාල වූ ඓශ්වර්යය ද ඒ සමඟ ඔවුනට උගැන්විය යුතු ය. එය එසේ කල යුතු වනුයේ, අවසානයෙහි දී මුහුණ පෑ යුතු බියකරු ශෝකාන්තයක් ලෙස නො ව, එදිනෙදා ජීවිතයෙහි ම පවතින දෙයක් ලෙස ය. නිල්වන් අහස දෙස හා කොළයක් මතට වී සිටින තණකොළ පෙත්තකු දෙස බලන දෛනික ජීවිතයට ම අයත් වූවක් ලෙස ය.
ඔබේ දත් ඒම මෙන් ද, කුඩා අවදියේ දී ලෙඩ රෝග නිසා ඇතිවන නොයෙකුත් අපහසුතාවන් මෙන් ද, එය උගැනීමෙහි ම කොටසකි. ළමයින් තුළ පවතිනුයේ අපූර්ව කුතුහලයකි. ඔබ මරණයෙහි යථා ස්වභාවය දකින්නෙහි නම්, සියල්ල ම මරණයට පත් වන බවත්, හළු ධූලි වන බවත්, යනාදී වශයෙන් විස්තර කරන්නට යන්නේ නැත.
එහෙත් ඔබ විසින් එය ළමයිනට පහදා දෙනු ලබන්නේ මුදු හදවතින් යුතු ව ය, කිසිදු බියක් නොමැති ව ය. එසේ ම ඔබ ඔවුන්ට හඟවනුයේ, ජීවත්වීමත්, මරණයත් එකක් ම බව ය. මරණය යනු, ජීවිතාවසානයෙහි, අවුරුදු පනහකින්, හැටකින් හෝ අවුරුදු අනූවකින් හෝ පසු ව සිදු වන දෙයක් ලෙස නොව, එය අර ගසෙහි ඇති පත‍්‍රයක් වැනි දෙයක් බව ය.
මහලු වියට පත් මිනිසුන් හා ගැහැනුන් දෙස බලන්න. ඔවුන් පෙන්නුම් කරනුයේ, තමන් දිරාපත් ව ගොස් සිටින බවකි, දොම්නසින් විපිළිසර ව, ලෙඩ දුකින් පෙළෙන සැටියකි. එය, ඔවුන් ජීවත්වීම හෝ මරණය හො පිළිබඳ ව හරි හැටි තේරුම් ගෙන නැති බැවිනි.
ඔවුන් ජීවිතය පරිහරණය කොට ඇත. නිරන්තර ගැටුමින් නාස්ති කොට ගෙන ඇත. එනම්, පෞද්ගලිකත්වයට, මමත්වයට හා ආත්මාර්ථයට එය යොදවමින්, ඊට ශක්තිය වැය කොට ඇත. අපේ දවස් අප ගත කරනුයේ, ගැටුමින් හා අසතුටින් යුතු එවැනි විවිධ දේවල් ඇසුරෙහි කිසියම් සතුටකින් හා ආස්වාදයකින් ද යුතු ව ය, රෑ එළි වන තුරු මත්පැන් හා දුම් පානය කරමින්, ඉවරයක් නැති වැඩපළවල නියැලෙමිනි. අනතුරු ව, කෙනකු ගේ ජීවිතාවසානයෙහි දී හෙතෙම මරණය නමින් කියැවෙන දෙයටද මුහුණ දෙයි, ඒ ගැන බිය පත් වෙයි.
එහෙත් පාරේ ඇවිද ගෙන ගිය අර පුද්ගලයා කල්පනා කරන්නේ, මරණය නිරතුරු ව ම අවබෝධ කර ගත හැකි බව ය. ගැඹුරින් විඳිය හැකි බව ය. කුතුහලයෙන් යුතු ව සිටින දරුවාට මරණය යනු කුමක් දැයි තේරුම් ගැනීමට උපකාර කළ හැකි වනුයේ, එය හුදෙක්, රෝගාබාධයකින් හෝ වයස්ගත වීමෙන් හෝ අනපේක්‍ෂිත හදිසි අනතුරකින් හෝ ශරීරය නැති නාස්ති වීමක් ලෙස නො වේ. දිනපතා ම සිදුවන දවසේ නිමාව වූ කලී දිනපතා සිදු වන තමා ගේ ද අවසන්වීමක් බව ඔහුට වටහා දීමෙනි.
මිය ගිය පසු නැවත පණ ලැබීමක් සිදු නොවේ. පුනර්ජීවනය යනු අන්ධ විශ්වාසයකි, දෘෂ්ටියකි, ඇදහීමකි, සෞන්දර්යයෙන් පිරි පොළෝ තලයෙහි සියල්ල ම ජීවයෙන් යුතු ව පැවැතී පසු ව මිය යයි. කිසියම් පැවැත්මක් බවට පත් වන දෙයක් අනතුරු ව වියැකී යයි.
ජීවිතයෙහි මේ සමස්ත කි‍්‍රයාකාරීත්වය වටහා ගනු පිණිස අවශ්‍ය වනුයේ, ප‍්‍රතිභාන්විත බුද්ධියකි, සිතීම හෝ පොත පත හෝ දැනුම හෝ පිළිබඳ බුද්ධිය නො ව, සංවේදිත්වයෙන් යුතු, ආදරය හා කරුණාව පෙරදැරි කර ගත් බුද්ධිය ය.
මරණය යනු කිසියම් බියකරු දෙයක් නො වේ. මඟ හැර සිටිය යුතු දෙයක් ද නො වේ. එය වූ කලී නිරන්තරයෙන් ම ඒ හා එක් ව සිටිය යුත්තකි. ප‍්‍රමාණාතික‍්‍රාන්ත වූ පෙර නො වූ විරූ ප‍්‍රතිවේද ඥානයක් පහළ වනුයේ එ සේ සිටින විට ය.
Post a Comment