අපේ අම්මට පොල් අක්කර 50 කුත්, තාත්තට හෝටල් 04 කුත් තිබුණනම් මමත් ඔය ලාභ ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නෑ. එහෙනම් මමත් ගෙදරට වෙලා ඉඳගෙන ඉතාම ඉහළ ගණයේ චිත්‍රපටයක දෙකක විතර රඟපාලා ඉන්නවා. අනිත් පැත්තෙන් මම කුඩු විකුණලා සල්ලි හම්බ කරන්නේ නෑ. මටත් මගේ දරුවන්ව ජීවත්ව කරවන්න රැකියාවක් තියෙන්න ඕන. අනිත් එක මෙච්චර කාලෙකට කවුරුවත් මට චිත්‍රපටයට ප්‍රධාන චරිතයකට කතා කරලා නෑ. මගේ රඟපෑම් ඕනතරම් දැකපු අය ඉන්නවා. මමම ලියාගෙන මමම රඟපෑවා මිසක්. අපේ රට දුප්පත් රටක්. මම ඉන්දියාවේ ඉපදුණා නම් මේ ටිකට මම රඟපාපු ටික ඇති සුව පහසුව ජීවත්වෙන්න. ඉතින් ජීවත්වීමේ ප්‍රශ්නය බරපතළව තිබෙන නිසා ටෙලි නාට්‍යවල රඟ නොපා ඉන්න බෑ.
තණ්හා - රති - රඟා චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා චිත්‍රපට ශාලා රැසක ප්‍රදර්ශනය වෙනවා. ඉහළ ගණයේ නිර්මාණයක් ලෙසින් කාගේත් පැසසුමට ලක්වන මෙම චිත්‍රපටය, සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් සිනමා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන අත්දැකීම් සරිකර ගත් නිලේන්ද්‍ර දේශප්‍රියගේ අධ්‍යක්ෂණයක්. වසර තිහක යුද්ධයකින් පසු නිදහස් වූ රටක් තුළ පශ්චාත් යුද අත්දැකීමක් වස්තු බීජය කොට ගනිමින් මෙම චිත්‍රපටයේ තිර නාටකය රචනා කර ඇත්තේ මෙරට වේදිකාවේ හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතද්වයක්. ඔවුහු කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලය. චිත්‍රපටයේ තිර නාටකය සේම එහි ප්‍රධාන චරිතය වන ‘විමලේ’ ලෙසින් රංගනයට එක්වන කුමාර සමඟ කළ කතාබහකි මේ.
තණ්හා - රති - රඟා චිත්‍රපටයේ තිර නාටක රචනයට මෙම සංකල්පය ගොඩ නැඟුණේ කොහොම ද?
වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය පිළිබඳ ආරංචිය ලත් සැණින් මේ රටේ ජනතාව විශාල ප්‍රීති උත්සව පැවැත්වූවා. රබන් ගැහුවා, කිරිබත් ඉව්වා, රතිඤ්ඤා පත්තු කළා. මේ ක්‍රියාකලාපය අපේ ගෙදර ඉඳන් මමත් සරත් කොතලාවලත් බලාගෙන හිටියා. එදා ඒ මොහොතේ සරත් මට කියනවා දැන් ඉතින් යාපනේ පැත්තේ අපේ අයත් බලන්න යයි. ඔය ඉතිරි වෙලා තිබෙන ආයුධ එහෙම හම්බ වුණොත් කොහොම ද කියලා. ඔහු ගෙදරින් පිටත්ව ගිහින් මධ්‍යම රාත්‍රිය වෙනකොට මේ කතාව ඔස්සේ මට කතා ගොඩාක් මැවෙන්න ගත්තා. අදහස් ගොඩාක් ගලාගෙන ආවා. අපි දෙන්නා ළඟ තිබෙනවා මාධ්‍යවේදීන් පාවිච්චි කරන කුඩා රෙකෝඩරයක්. ආපසු සරත්වත් ගෙන්න ගෙන උදේ 6.00 වෙනතුරු ඒ කතා ටික රෙකෝඩ් කළා. මේ කතන්දර ටික එකතු කරගෙන මාස 3 ක් විතර ගතකරල ටිකෙන් ටික මේ පිටපත නිර්මාණය කළා.
දැන් මේ චිත්‍රපටය තිරගත වෙනවා. ඔබ එහි රඟපානවා. මොනව ද දැනෙන්නෙ?
චිත්‍රපටයට ඉතාම හොඳ විචාරක ප්‍රතිචාර ලැබෙනවා. විදෙස් සිනමා උලෙළින් පවා සම්මානයට ඇගැයීමට පාත්‍ර වෙලා තිබෙනවා. නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේ ජූරි සහිකයන් විසින් මේ චිත්‍රපටයට දී ඇති හේතු පාඨය වෙන්නේ ලෝකයේ ඕනෑම කොදෙව්වක වෙසෙන පණ තිබෙන මිනිසුන් විසින් අනිවාර්යයෙන් නැරැඹිය යුතු චිත්‍රපටයක් ලෙස. ජැක්සන් ඇන්තනී මහතා වරක් මා සමඟ පැවසුවා මෙය අහස් ගව්ව, බඹරු ඇවිත්, වැලිකතර වැනි චිත්‍රපට ලෙසට කෙදිනක හෝ මෙම චිත්‍රපටයත් ඕනෑම මොහොතක නැරැඹිය හැකි චිත්‍රපටයක් ලෙසින් තිබේවි කියලා. නමුත් මේ සියල්ල මැද්දේ මගේ හිතේ කනගාටුවක් තිබෙනවා. ඒ මේ චිත්‍රපටය මගේ රටේ ප්‍රේක්ෂකයින් බලලා ඒ දිරිගැන්වීම කළේ නෑ කියන තැන මම ඉන්න නිසා.
තිර පිටපත රචනා කරද්දී ප්‍රධාන චරිත දෙක ඔබලාම නිරූපණය කරනවා යන තීන්දුවෙද හිටියෙ?
මේ චරිත උත්පාදනය වුණේ අපේ හිතේ. ඒ නිසා මා හිතනවා එයින් මේ චරිතවලට අසාධාරණයක් වෙලා නෑ කියලා. තිර පිටපත අධ්‍යක්ෂවරයාට දෙද්දී අපේ කිසිම බලපෑමක් තිබුණේ නෑ. නමුත් සාජන්වරයාගේ චරිතය සඳහා අපි දයාදේව එදිරිසිංහවම යෝජනා කළා. අපේ චරිත ගැන වුණත් සුදුසු ආකාරයට ඉදිරිපත් කිරීමේ නිදහස තිබුණා. අධ්‍යක්ෂවරයාගේ තෝරා ගැනීමත් අපේ අදහස්වලටම සමපාත වුණා.
ඔබ අප හඳුනාගන්නේ වේදිකා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙසට. ඒ තුළත් ඔබ සතු දක්ෂතා ඔබ ප්‍රකට කර තිබෙනවා. සිනමාව තුළත් එම ශක්‍යතාව මෙම චිත්‍රපටය ඔස්සේ ඔබ ප්‍රකට කරනවා. ඔබ වැනි දක්ෂ නළුවෙක් අද හැදෙන ලාභ ටෙලි නාට්‍යවලත් දකින්න ලැබෙන්නේ ඇයි?
අපේ අම්මට පොල් අක්කර 50 කුත්, තාත්තට හෝටල් 04 කුත් තිබුණනම් මමත් ඔය ලාභ ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නෑ. එහෙනම් මමත් ගෙදරට වෙලා ඉඳගෙන ඉතාම ඉහළ ගණයේ චිත්‍රපටයක දෙකක විතර රඟපාලා ඉන්නවා. අනිත් පැත්තෙන් මම කුඩු විකුණලා සල්ලි හම්බ කරන්නේ නෑ. මටත් මගේ දරුවන්ව ජීවත්ව කරවන්න රැකියාවක් තියෙන්න ඕන. අනිත් එක මෙච්චර කාලෙකට කවුරුවත් මට චිත්‍රපටයට ප්‍රධාන චරිතයකට කතා කරලා නෑ. මගේ රඟපෑම් ඕනතරම් දැකපු අය ඉන්නවා. මමම ලියාගෙන මමම රඟපෑවා මිසක්. අපේ රට දුප්පත් රටක්. මම ඉන්දියාවේ ඉපදුණා නම් මේ ටිකට මම රඟපාපු ටික ඇති සුව පහසුව ජීවත්වෙන්න. ඉතින් ජීවත්වීමේ ප්‍රශ්නය බරපතළව තිබෙන නිසා ටෙලි නාට්‍යවල රඟ නොපා ඉන්න බෑ.
ඔබේ පෞද්ගලික ජීවිතේ බිරිය, දරුවන්ගෙන් ලැබෙන සහයෝගය කොහොම ද?
ගෙදර මට හොඳ මානසිකත්වයක් නැතිනම් මම කොහොම ද මෙහෙම නිර්මාණ කරන්නේ. මගේ සම්පූර්ණ කාලයම කලාව වෙනුවෙන් කැප කරන්න නිදහස දුන්න බිරියක් මට ඉන්නවා. වෙන අයට වගේ දරුවෝ පාසල් එක්ක යන්න ගේන්න යන්න, මාර්කට් යන්න මට කරදර කරන්නේ නෑ. මගේ සම්පූර්ණ කාලයම රංගනය හා තිර රචනය වෙනුවෙනුයි යොමු වෙන්නේ.
ඔබ ඉස්සර පුවත්පත් කන්තෝරුවක රැකියාවක් කළානේ?
ඔව්. මම අවුරුදු 15 ක් දිවයින පුවත්පතේ සෝදුපත් බලන්නෙකු විදියට කටයුතු කළා. මේ රස්සාවෙදි මට මුළු පත්තරේම කියවන්න සිද්ධ වෙනවා. දේශපාලන ලිපි, කලා ලිපි, නඩු හබ, වගේම ලග්න පලාපල පවා කියවන්න ඕන. කියවීම මගේ රස්සාව වුණ නිසා මේ අවුරුදු 15 ට මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ ඉගෙනීම සහ අත්දැකීම් මගේ නිර්මාණ ජීවිතේ බොහෝ දේ සඳහා දැන් මට උපකාරී වෙනවා.
අද මගේ පිටපත්වල සේම මගේ රංගනයේ ඇතැම් අවස්ථා සඳහා මේ අත්දැකීම් ඇසුරු කරගන්නා අවස්ථා එමටයි.
ඔබ සහ සරත් කොතලාවල දෙදෙනාගේ සුසංයෝගය බොහෝ කලක පටන් පවතින්නක් ද?
ඔව්. අපි දෙදෙනා තිර පිටපත් රචනයට බොහෝ කලක පටන් එක්වී සිටිනවා. ටෙලි නාට්‍ය තිර පිටපත් බොහොමයක් අපි අතින් රචනා වුණා. අප දෙදෙනාගේ සුසංයෝගයෙන් හොඳ නිර්මාණ බිහිවෙයි කියන පරමාර්ථයක් තිබෙනවා. අපි දෙන්නා නිර්මාණය කරන්න ගියාම බැණ ගන්නවා, තරහා වෙනවා, ආයෙත් යාළු වෙනවා. ඒක කිසියම් ක්‍රමවේදයකට දැන් හැඩගැහිලා තිබෙනවා. අපේ නෝනලා දෙන්නා තරහ වුණත් අපි දෙන්නාගේ සබඳතාව ඈත්වෙන්නේ නෑ. හුඟක් වෙලාවට දෙන්නෙකුට එක මඟ යන්න අසීරුයි කියලනේ කියන්නේ. නමුත් අපි දෙන්නා තාම යනවා. ඉදිරියටත් යනවා.
ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු කොයි වගේ ද?
තව චිත්‍රපට තිර නාටකයක් මේ වන විට අපි දෙදෙනා ් ලියලා ඉවර කරලා තිබෙනවා. ඒ පිටපත දැකපු අධ්‍යක්ෂ සුනිල් කොස්තා එයට බෙහෙවින් කැමැති වෙලා පිටපත අරගත්තා. මේ දිනවල ඒ සඳහා නිෂ්පාදකවරයකු සොයමින් සිටිනවා. තවත් චිත්‍රපටයක තිර පිටපතක් මේ දිනවල සකසමින් ඉන්නවා. බොහෝ වෙලාවට එය අප දෙදෙනා අතින්ම අධ්‍යක්ෂණය කරන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම මට මේ මොහොතේ සමස්ත ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන්න තිබෙන්නේ මෙම සිනමා අත්දැකීම විඳගන්නට සිනමා ශාලා වෙත පැමිණෙන ලෙසයි. මම විශ්වාස කරනවා එය ඔබට අලුත් සිනමා ආස්වාදයක් රැගෙන ඒවි කියලා.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment