අපේ සාමූහික ඡන්දයෙන් තේරුණු විශිෂ්ටතම චිත්‍රපට 10 වූයේ මේවා ය. ‘නිධානය’, ‘ගම්පෙරළිය’, ‘විරාගය’, ‘බඹරු ඇවිත්’, ‘සත් සමුදුර’, ‘තුංමංහන්දිය’, ‘පළගැටියෝ’, ‘දඩයම’, ‘රේඛාව‘, ‘වැලිකතර’ හා ‘පරසතුමල්’ ය. (වැලිකතර හා පරසතුමල් දහවැනි තැනට එක සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්තේ ය.)
ඉහත පෙළ ගැස්වීමට අනුව 50 වසරක සිංහල සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපට තුන වන්නේ ‘නිධානය’, ‘ගම්පෙරළිය’ හා විරාගය’ යි. මේ සිනමා පටවලට නිර්මාණාත්මකව දායක වූ එකම එක් සුවිශේෂ කලාකරුවෙක් සිටී. ඒ ආචාර්ය තිස්ස අබේසේකරයන් ය. ‘ගම්පෙරළියේ’ අතිරේක දෙබස් රචකයා වූයේ ඔහු ය. ‘නිධානය’ චිත්‍රපටයේ තිරනාටකය ඔහුගේ ය. ‘විරාගය’ තිස්ස ගේ අධ්‍යක්ෂණයකි.
තිස්ස, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මාහැඟීම සොයා ගැන්මකි. තිස්ස පමණක් නොව ගාමිණී ෆොන්සේකා, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, සුමිත්‍රා පීරිස්, ටයිටස් තොටවත්ත, විලී බ්ලේක්, තිස්ස ලියනසූරිය, ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක යන කලාකරුවන් ද ආචාර්ය ලෙස්ටර්ගේ සුවිශේෂ සොයා ගැනීම බව මෙහිලා සඳහන් කළ යුතු ය. (ඒ අනුව ඔහු තරම් දක්ෂ ගෝල පිරිසක් බිහිකළ අන් සිනමාකරුවකු මෙරට නැති තරම්ය.)
නන්දා - “බොරු! නිකම් මිනිහෙක් රාජකුමාරියක් බඳින්නේ කොහොමද?”
පියල් - “සල්ලි තියනව නම් කුමාරියක් වුණත් බදින්න බැරිද?”
ඉහත දෙබස් අතිශය සංකේතානුරූපීය. මන්දයත්; චිත්‍රපටයට අනුව පෙළපතින් ද හීන නිකම්ම නිකම් මිනිසකු වන පියල්, නන්දා වැනි වංශවත් කාන්තාවක් විවාහ කර ගන්නා බැවිනි.
කලකට ඉහත මා තිස්ස අබේසේකරයන් හමු වූ විටෙක මම ඔහුගෙන් අමනෝඥ ප්‍රශ්නයක් ඇසීමි.
‘ගම්පෙරළියේ’ නිකම් මිනිහෙක් කුමාරියක් කසාද බදින අර දෙබස් ටික ලිව්වේ මිස්ටර් අබේසේකර ද?
තිස්ස පිළිතුරක් නොදී සෝපාහාස සිනහවක් නැඟුවේ ය. මට ස්වල්පයක් ලැජ්ජා සිතුණි. ඒ චිත්‍රපටයේ අතිරේක දෙබස් ලීවේ ඔහු බව මා ඊට ඉහත ද දැන සිටි හෙයිනි.
තිස්ස ඉතා ශූර දෙබස් රචකයෙකි. ‘දෙලොවක් අතර’, ‘වැලිකතර’, ‘වීර පුරන් අප්පු’ වැනි චිත්‍රපටවලට ඔහු ලියූ දෙබස් මොනතරම් රසාලිප්ත ද?
තිස්ස සිංහල සිනමාවේ දැවැන්ත අභියෝග දෙකක් සාර්ථකව ජයගත් කලාකරුවෙකි. එක් අභියෝගයක් නම් ‘නිධානය’ වැනි පිටු පහක, හයක කෙටි කතාවකින් විශිෂ්ට ගණයේ තිරනාටකයක් ලිවීමයි. අනික් අභියෝගය ‘විරාගය’ වැනි අතිශය සංකීර්ණ ආඛ්‍යානයකින් යුතු නවකතාවකින් සම්භාව්‍ය සිනමා පටයක් නිර්මාණය කිරීමයි.
‘නිධානය’ තිස්ස ලියූ විශිෂ්ටතම තිරනාටක තුනෙන් එකකි. (අනිත් තිරනාටක දෙක ‘වැලිකතර’ හා ‘විරාගය’ යි)
ආචාර්ය තිස්ස අබේසේකර යනු සිංහල සිනමාව එතෙක් මෙතෙක් බිහිවූ උසස් ම තිරකතා රචකයා ය යන්න විවාදයෙන් තොර පිළිගැනීමකි.
‘නිධානය’ චිත්‍රපටයේ දී (විශේෂයෙන් එහි විලී අබේනායකගේ ආත්ම භාෂණය උදෙසා) තිස්ස උපයුක්ත කරගත් භාෂාව ඉතාම කාව්‍යාත්මක වූවකි. ඒ කාව්‍යෝචිත භාෂාව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පවා ඉමහත් පැසසුමට ලක්වූ බව ආචාර්ය ලෙස්ටර් මා සමඟ කියා ඇත.
පිටු පහක හයක කෙටිකතාවක් පැය එක හමාරක පමණ චිත්‍රපටයක් බවට පත් ප්‍රතිනිර්මාණය කිරීමේ දී ඊට අලුත් චරිත හා සිදුවීම් එකතු කිරීම අනිවාර්යයෙන් ම සිදුවිය යුත්තකි. ‘නිධානය’ චිත්‍රපටයේ ආ ජුවානිස් නමැති මෙහෙකරුවා, විලීගේ නෑනාවන ඩල්සි, ජුලියස්, දොස්තර වැනි චරිත ද විලීගේ මී මැස්මොරය, වලව්වේ කූඩුවක සිටින මොනරා, පිහිය නැතිවීමේ සිද්ධිය, අයිරින් තනිව නිවෙස බලා යෑම, යන සිදුවීම් අලුතෙන් එකතු කර ඇති වග පෙනේ.
තිස්ස ශූර දෙබස් රචකයකු බව මම මීට ඉහතද සඳහන් කළෙමි. මගේ ප්‍රකාශය සනාථ කිරීම සඳහා උදාහරණ දෙකක් පහත යෙදේ. පළමු උදාහරණය ‘වැලිකතර’ චිත්‍රපටයෙනි. දෙවැන්න ‘වීරපුරන් අප්පු’ චිත්‍රපටයෙනි.
වැලිකතර චිත්‍රපටයේ වික්‍රම රන්දෙණිය (ගාමිණි ෆොන්සේකා) ගෝරිං ගේ (ජෝ අබේවික්‍රම) හොර ජාවාරමක් වටලයි. ඉන් පසු ගෝරිං වික්‍රමගේ නිවෙසට බලෙන් ඇතුළු වෙයි.
වික්‍රම - බැහැපං මිනිහෝ එළියට. මං හොඳ හිතින් කිව්වේ.
ගෝරිං - ඒ ජාතියෙන් ද එන්න හදන්නේ සර්. හොඳයි එමු බලන්න. මමත් ලෑස්තියි. මම පිස්තෝල පාවිච්චි කරන්නේ නැහැ සර්ව නැති කරන්න. මම ගිරිය කඩාගෙන කෑගහන්නෙත් නැහැ. ඊට වඩා බලගතු ආයුධයක් තියෙනවා මා ළඟ. ඒක හින්දා පරිස්සමෙන් හාමුදුරුවනේ. ආසියා මගේ අතේ බූරුවත් මගේ අතේ. නමේ කොළෙත් මාගේ අතේ. තුරුම්පු හතරයි. අත වහලා ගහමු ද? අද සර්ට ලොකු දවසක් එහෙම නේද? සපුමල් කුමාරයා යාපා පටුනට ගිනි තිබ්බා. ඒ කියන්නේ වික්‍රම රන්දෙණිය ඒ. ඇස්. පී. හාමුදුරුවෝ නොහොත් රන්දෙණිය රටේ මහත්තයාගේ එකම පුත්‍ර රත්නය වූ වික්‍රම රන්දෙණිය පොඩි හාමුදුරුවෝ ගෝරිං මුදලාලි නොහොත් දිප්පිටිගල මුදියන්සේලාගේ සුදු බණ්ඩාගේ හොර තෙප්පම්වලට වැඩක් දුන්නා. ලොකු හපන්කමක්. ඉතිහාසගත වන වීර ක්‍රියාවක්. ඒ පී‍්‍රතියට පොඩි අඩියක් ගහන්නයි මං මේ ආවේ.”
කුඩාපොළ හිමි - “වැන්දට සුවපත් වේවා කියලා අහගන්නව එහෙම නෙවෙයි. දණින් වැටිලා ජීවත්වෙන්න පුළුවන් කාලයක් නෙමෙයි ඉලන්දාරියා මේ. දෙපයින් හිටගෙන කියමු ආ කාරණේ මොකද කියලා.”
අවසාන වශයෙන් තිස්ස සාර්ථකව ජයගත් ඊළඟ අභියෝගය ගැන වචන කීපයක් කිව යුතුය. තිස්ස ඊට ඉහත අධ්‍යක්ෂණය කළ ‘කරුමක්කාරයෝ’ හා ‘මහගෙදර’ යන චිත්‍රපට දෙක පිළිබඳ පෞද්ගලිකව මගේ ඒතරම්ම පැහැදීමක් තිබුණේ නැත. තිස්ස ‘විරාගය’ නවකතාව සිනමාවට නඟන බව පුවත්පත් මඟින් දැන ගත් අවස්ථාවේ මා තුළ ගැටලු තුනක් මතු වූයේය.
(1) අරවින්ද වැනි මනස්පුතකු ගැන කියැවෙන පරාජිත නවකතාවක් චිත්‍රපට ගත කිරීමේ ඇති කාලීන වැදගත්ම මොකද්ද?
(2) ‘විරාගය’ වැනි ආත්ම භාෂණයකින් යුතු එසේම ඇතුළු හදට නැමුණු චරිතයක සංවේදනා ගැඹුරින් නිරූපණය කරන අතිශය සංකීර්ණ ආඛ්‍යානයකින් යුතු නවකතාවක් චිත්‍රපටයකට නංවන්නේ කෙසේ ද?
(3) අරවින්ද ගේ චරිතයට සාධාරණය ඉෂ්ට කරමින් එම චරිතය සාර්ථක නිරූපණය කළ හැකි නළුවකු සොයා ගන්නේ කොහොමද?
මින් පළමු ප්‍රශ්නය නිෂ්පාදිකා චන්ද්‍රා මල්ලවආරච්චිගේ නිවෙසේ පැවති ‘විරාගය’ චිත්‍රපටයේ මුහුරත් උළෙල දා මම තිස්සගෙන් ඇසිමි. ඊට තිස්ස පමණක් නොව වෘත්තියෙන් දොස්තරලා තුන්දෙනෙක් ද පිළිතුරු දුන්නාහ. ඒ ගුණදාස අමරසේකර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා හා මාර්ටින් වික්‍රමසිංහ පුත් දොස්තර රංග වික්‍රමසිංහයන් ය. ඔවුන් එකහෙළාම කියා සිටියේ අරවින්ද මනස් පුතකු නොවන බවයි. ‘විරාගය’ පරාජිත නවකතාවක් ය යන මතවාදය එකල අප තුළ බලවත්ව ගොඩනැඟී තිබුණේ සමාජ සත්තා යථාර්ථවාදය අප වැරදි කොණින් අල්ලාගත් බැවිනි.
‘විරාගය’ තිරගත වන අවදියේ මා මිත්‍ර, ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගමත් මමත් ‘මාවත’ සඟරාව වෙනුවෙන් තිස්ස සමඟ සම්මුඛ සාකච්ඡාවක් කොට ලිපියක් සකස් කළෙමු. එම සාකච්ඡාවේදී තිස්ස අප හා තවදුරටත් පැහැදිලිවම කියා සිටියේ අරවින්ද පරාජිත චරිතයක් නොවන බවත් ඔහු එක් සමාජ ප්‍රවාහයකට එරෙහිව නැඟි සිටියකු බවත්ය. පහත එන්නේ එහිදී තිස්ස කියු තවත් කියුමකි.
“ඇත්තෙන්ම විරාගය එදාට වඩා අදට වැදගත් වන කෘතියක් විදියටයි මට පෙනෙන්නේ. අපෙන් ගිලිහී ගිය පුරුෂාර්ථ මොනවාද යන්න පිළිබඳ පැහැදිලි මතක් කර දීමක් මෙයින් සිදු වෙනවා. භෞතික වශයෙන් වල්මත් ව සිටින අපට එබඳු මතක් කර දීමක් ඉතාම අවශ්‍යයි.” (මාවත 1987 ජුලි සැප්තැම්බර් කලාපය)
‘විරාගය’ චිත්‍රපටය නරඹද්දි තිස්ස මා තුළ පැන නැඟුණු ගැටලු තුනටම ඉතාම සාර්ථකව පිළිතුරු දී ඇති බව මට ප්‍රත්‍යක්ෂ විය. ඔහු චිත්‍රපට ගත කිරීමට ඉතාම අසීරු නවකතාවක් උත්කෘෂ්ඨ ලෙස සිනමාවට නඟා තිබිණි. සනත් ගුණතිලක වැනි ඒ වන විට වාණිජ සිනමාව විසින් ක්‍රම ක්‍රමයෙන් ගොදුරු කරගනු ලැබු නළුවකු අරවින්දගේ චරිතයට යොදා ගනිමින් තිස්ස අභියෝගය ජය ගෙන තිබුණේ සනත් දක්ෂ චරිතාංග නළුවකු බවට ද පත්කරවමිනි.
මීට වසර පහකට පමණ ඉහත පේරාදෙණි විශ්ව විද්‍යාලයයේදී ‘විරාගය’ චිත්‍රපටය තිරගත වූයේය. එම චිත්‍රපට දැක්ම වෙනුවෙන් කොළඹින් සනත් ගුණතිලකත් ගාමිණි වේරගමත් මමත් සහභාගි වීමු. එහිදි චිත්‍රපටය නැරඹු සරසවි සිසුන් ඉන් මහත්සේ උද්දාමයට පත්වූ අයුරු අපට දැකගන්ට ලැබිණි. ඇතැම් සිසුන් එදින ‘විරාගය’ නැරඹුවේ පළමු වතාවට බවක් පෙනෙන්ට තිබිණි.
‘විරාගයෙන් තිස්ස තවත් අභියෝගයක් ජයගත්තේය. ඒ උසස් සම්භාව්‍ය චිත්‍රපටයක් වාණිජමය වශයෙන් ද සාර්ථකත්වයට පත් කිරීමෙනි. ‘විරාගය’ දින 100 ක් තිරගත වූ චිත්‍රපටයකි. ප්‍රබුද්ධ පේ‍්‍රක්ෂකයන් මෙන්ම පොදුජන රසිකයන්ද ‘විරාගය’ නරඹා සන්තුෂ්ටියට පත්වූ බවක් පෙනිණි. මේ සියල්ල තිස්සගේ සුවිශේෂ ජයග්‍රහණ නොවේ ද?
සුනිල් මිහිඳුකුල
Post a Comment