අසංකා අබේසේකර
තරප්පු පේලිය බැහැගෙන සාලෙට එන ඔහුගේ ප්‍රතාපවත් මුහුණ අද අපිට දැකගන්නට නෑ. ඒත් පුරුද්දට වාගේම ගෙට ගොඩ වුණාම තරප්පු පේලිය දිහා බැලෙනවා. අද එතැන ඉඳල අප පිළිගන්නට ආවේ ඔහුගේ දයාබර බිරිය. අපි මේ ගොඩවැදුණේ අපේ සිනමාවේ මහා යුග පුරුෂයකුගේ නිවෙසට. ඔහු නැති අඩුවෙන් සිංහල සිනමාව සදා නොපිරවිය හැකි සේම ඔහු වසර ගණනාවක් ජීවත් වූ මේ නිවසේ ද ඔහු නැති අඩුව පුරවන්නට කිසිවෙකුටත් නොහැකියි. ඔහු මීට ඉහත දී අපෙන් වෙන්වුණු තිස්ස අබේසේකරයන්ය.ජීවිතේ දිගු කලක් ඔහුත් සමඟ එක්ව දුක සැප වැළඳූ ඈ අසංකා අබේසේකරය.
පුරා වසරක් ගතව ගොස් ඇතත් එදා ඇගේ ඇස් අග දිලිසුණු කඳුළු කැට තවමත් වියැකී ගොස් නැත. සිය දයාබර සැමියාගේ මතකය සමරන මොහොතක් පාසාම උණුසුම් කඳුළක් නිරන්තරව ඇගේ දෙකොපුල් සිප ගනී. මේ කඳුළු කැට අපට කියන්නේ පුරා දශක තුනකට ආසන්න විවාහ ජීවිතයක සොඳුරු මතක හා සිය සැමියා වෙනුවෙන් උපන් අසීමිත ආදරයේ සදාතනික බවය.
”මම දන්නේ නෑ ඔහු නැතුව මේ අවුරුද්ද මම කොහොම ගෙව්වද කියලා. මට තවමත් හිතෙන්නෙ නෑ ඔහු මියගිහින් කියලා. තාමත් ඔහු කතා කරන හඬ මට මේ ගෙදරින් ඇහෙනව වගේ. උඩ තට්ටුවේ එහාට මෙහාට ඇවිදින හෙවණැල්ල පල්ලෙහා ඉඳන් බලා ඉන්නකොට තාමත් මට පේනවා. ඔහු නැතුව මේ ගෙවුණු තුන්සිය හැටපස් දවසෙන් එක දවසක් එක මොහොතක්වත් නෑ ඔහු මතක් නොවුණු. මේ ගෙදර හැම තැනම මම ඇවිදගෙන යනකොට ඉස්සරහට මට පේන්න ඔහුගේ ඡායාරූප තියාගෙන ඉන්නේ. රෑට නිදියන්න යනකොට හැමදාම පින්තූරේ අතගාලා නිදාගන්න යන්නේ. මට ඔහු සමඟ කතා කරන්න ඕන වෙනවා. ඔහුට කියන්න ගොඩක් දේවල් තියෙනව වගේ දැනෙනවා. එහෙම දවසට මම පින්තූරෙ ළඟට ගිහින් අතගාල අඬ අඬා කියනවා හීනෙන්වත් ඇවිත් කතාකරල යන්න කියලා. ඇත්තම කිව්වොත් එදාට ඔහු මට හීනෙන් පේනවා.
හුඟාක් වෙලාවට අපි දෙන්නා කතා කර කර ඉන්න පුරුදු වෙලා හිටියේ අපේ නිදන කාමරේ. ඇඳ අයිනේම පුටු දෙකක් තියාගෙන උන්නා කතා බහ කරන්න. ඔහු මිය යන්න අවුරුද්දකට විතර උඩදි ඉඳන් අපේ කතාබහේදි අපි දෙන්නට දෙන්නා නැතුව ජීවත්වෙන්නේ කොහොමද කියන එක ගැන නිතරම කතා කළා. මගේ කේන්දරේ හැටියට මට කනවැන්දුම් යෝග තිබුණේ නෑ. නමුත් ඔහුගේ කේන්දරේ එහෙම තිබුණා. ඒ හින්දම මම කිව්වා ‘අප්පච්චි.. ඔයා බයවෙන්න එපා. ඔයා ඉක්මනට මැරෙන්නේ නෑ’ කියලා. එතකොට මට එයා උත්තර දුන්නේ මෙහෙමයි.
”ඔයා නැති ජීවිතයක් ගැන මට හිතාගන්න බෑ. මම දන්නෙ නෑ දරුවන් ගැන වුණත් මොනවද කරන්නේ කියලා. ඔයා මැරෙන්න පැය 24කට කලින් හරි චුට්ටා මට මැරෙන්න ඕන” කියලා.
තිස්ස - අසංකා යුවළ කොයිතරම් ආදරයකින් බැඳීමකින් ජීවත්වෙන්න ඇද්ද? තිස්ස අබේසේකරයන් ආදරේට සිය බිරිය ඇමතුවේ චුට්ටි කියලා. ඒ වගේම බොහෝ අවස්ථාවල අසංකා ඔහුව ඇමතුවේ ‘අප්පච්චි’ කියලා. තිස්ස අබේසේකරයන් සහ අසංකා අතර අවුරුදු 15ට වැඩි වයස පරතරයකින් තිබුණත් ඒ වයස් පරතරය ඔවුන්ගේ විවාහ සංස්ථාවට කොයි ලෙසකින්වත් බලපෑවේ නෑ. ඔවුන් අතර මේ තරම් දැඩි බැඳීමක් ඇතිවෙන්නට හේතුව සත්‍ය ලෙසම කුමක් වන්නට ඇත්ද?
ඇත්තටම ඔහු තරම් ජීවිතේ හැලහැප්පීම්වලට ලක්වුණු, පෞද්ගලික ජීවිතේ කෙනෙකුට දරාගත නොහැකි තරම් දුක් කන්දරාවක් දරාගත්තු කෙනෙක් මට නම් මගේ ජීවිතේදි හමුවෙලා නෑ. මම ඔහුට වැඩිය අවුරුදු 15ටත් වැඩිය බාලයි. මෙච්චර බාල වයසක කෙනෙක් ඔහුව කොහොම තේරුම් ගනීද කියලා ඔහු කොහොම හිතුවද කියන්න මම දන්නේ නෑ. අපි අතර විවාහවෙන්න කලින් වසර 2 1/2ක වගේ ආශ්‍රයක් තිබුණා.
ඒක ඉඳහිට හමුවීමක් විතරයි. ඒත් ඒ ඇසුරේ කිසිම තැනක ආදරයක්, ප්‍රේමයක් ගෑවිලාවත් තිබුණේ නෑ. එයා දිහා මම බැලුවේ වැඩිහිටියෙක් දිහා බලන බැල්මකින්. හැමතිස්සෙම ගුරුහරුකම් ගත්තේ ගුරුවරයෙක්ගෙන් වගේ. එයා මගේ දිහා බැලුවෙත් හරියට දරුවෙක් දිහා බලනව වගේ කියලයි මට හැඟුණේ. මට හරියට ඔහු ආදරෙයි කියලා මම දැනගෙන හිටියා. නමුත් ඒ ආදරය තුළ ආදරවන්තියකට තිබෙන ආදරයක් මට දැනුණේ නෑ.
ඔහුගේ පෞද්ගලික ජීවිතය එක්තරා මොහොතකදි කඩාවැටෙත්දි, වැටෙන්න යත්දි යමක් අල්ල ගන්නව වගේ ඔහු මාව අල්ලගත්ත. ඒත් මට දැනුණේ නෑ මේ පවුල් ජීවිතයක් ගෙවන්න අල්ල ගත්තා කියලා. ඔහු කෙරේ මට තිබුණේ අසීමිත ගෞරවයක්. එක් මොහොතක ඔහු මට යෝජනාවක් ගෙනාපු වෙලාවේ මා තුළ ඔහුට තිබුණ ගෞරවය නිසාම ඒක මට ප්‍රතික්ෂේප කරන්න බැරිවුණා. මම අසරණ වුණා කිව්වොත් හරි.
ඔහු කලාවේ දැවැන්ත පුද්ගලයෙක් කියලා හිතල නොවෙයි මම කැමැති වුණේ. ඒ වෙනකොට ඔහු කලාවේ ඒ තරම් ලොකු දෙයක් කරපු කෙනෙකුත් නොවෙයි. නමුත් මට ඉදිරිය පෙනුණා. මේ පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතය යහපත් කළොත් කලාවට යමක් කළ හැකි පුද්ගලයෙක් කියලා. මම වයසින් ලාබාල වුණත් මෝරපු කෙනෙක් විදියට හිතන්න පුරුදු වුණා. මට අවිශ්වාසයක් ඇතිවුණෙත් නෑ ඔහුත් සමඟ මේ ගමන යන්න.
ඔහු සමඟ ගත කළ තිස් වසරක අතීතය ඇයට ඊයේ අද මෙන් ය.
සැබැවින්ම තිස්ස අබේසේකර නම් වූ ඔහු මිය යන විට අපේ රටේ ජාතික වස්තුවක්. චතුර ලෙස ද්විභාෂාවෙන්ම කතා කළ හැකි, ලිවිය හැකි උගතුන් අතර සිටි ප්‍රවීණයෙකි. සිනමාවේ පමණක්ම නොව, සාහිත්‍යය, සංගීතය, ඉතිහාසය, පුරාවිද්‍යාව මෙකී නොකී සෑම විෂය ක්‍ෂේත්‍රයකම පෘථුල දැනුමකින් යුතු තැනැත්තෙකි. මේ ජාතික වස්තුව ආදරෙන් රැකබලා ගත් ඈ නොසිටින්නට මේ - සා දුරක් ඔහුට සකල කලාවෙහිම යාමට නොහැකිවන්නට ද ඉඩ තිබුණි. නිවෙසේ කටයුතුත් පවුලේ බාරදූර වගකීමුත් කරට ගෙන ඔහුගේ ලෙයින් උපන් දූ දරුවන්ට ආදරණීය අම්මා ද වූවාය.
පවුලේ වගකීම් සියල්ලම මගේ අතින් ඉටුවුණාට අපිට ආර්ථික හයියකට තිබුණේ ඔහු හම්බකරන දේ විතරයි. මට සල්ලි දුන්නම මම අරපරිස්සමින් ඒවා වියදම් කළා. දරුවන්ගේ කටයුතු වුණත් මම තමයි එයාට කියන්නේ. දරුවන්ට හරියට ආදරේ වුණාට වෙන අය වගේ ඒක පෙන්නන කෙනෙක් නොවෙයි. හරි අමුතු චරිතයක්. ඒ වුණාට මිය යන්න මාස 03-04ට කලින් දුවයි පුතයි ළඟට අරගෙන හරියට කතා කර කර හිටියා. දුව කිව්වා එයාගේ උපාධියට සිනමාව හදාරන්න කැමැතියි කියලා.
එතකොට මට මතකයි එයා කිව්වා ‘ඔයා විශ්වවිද්‍යාලෙට ගිහින් වෙන මොනවහරි ඉගෙන ගන්න. මම ඔයාට සිනමාව උගන්වන්නම් කියලා’. ඒ ගැන කිය කියා දුව තාමත් අඬනවා. දැන් දුවට අවුරුදු 21යි. පුතාට 19යි. දෙන්නම ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තේ. දුවව පිටරට විශ්වවිද්‍යාලයකට යවන්න තරම් මට ආර්ථික හයියක් නෑ. තිස්ස මියගියාට පස්සෙ පුතාත් ඉස්කෝලෙන් අස්කර ගත්තා. මුදල් වියදම් කරල උගන්වන්න තරම් ආර්ථික හයියක් දැන් මට නෑ. ඔහු ඉන්න කාලේ ඉඳන්ම ස්ථිර ආදායම් මාර්ගයක් අපට තිබුණේ නෑ. පොත් ලියලා, තිර රචනා ලියලා හම්බකරපු සල්ලිවලින් තමයි අපි ජීවත්වුණේ.
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිකම ලැබෙන කොට අපි ගොඩාක් ණය වෙලා හිටියා. ඒ කාලේ අපි ළඟ තිබුණු කාරක විකුණලා ඒ ණය ඔක්කොම ගෙව්වා. ඒ කාලෙම තමයි ඔහුට සංස්ථාවෙන් වාහන බලපත්‍රය (permit) ලැබුණේ. නමුත් ඔහු වාහනේ ගත්තේ නෑ. මට දවසක් අපේ ඩ්‍රැයිවර් කිව්වා මහත්තයාට පර්මිට් එක ලැබිලා තියෙන්නේ කියලා. එක දවසක් ගෙදර ආවම මම නිකමට මතක් කළා. ‘අප්පච්චි පර්මිට් එක.... කියලා විතරයි මට කියන්න ලැබුණේ. මට සැරදාලා මෙහෙම කිව්වා.
”මම රස්සාවකට ගියේ පර්මිට් අරන් කාර් ගන්න නොවෙයි. මට එතන වැඩ තියනවා කරන්න. ජාතික චිත්‍රපට සංස්ථාව කියන්නේ ගඳ ගහන කුණු ගොඩක්. මම ඒ කුණුගොඩ සුද්ද කරන්න ඕන චුට්ටී. මට කරදර කරන්න එපා.. කියලා.
ඊට මාස 02ට පස්සෙ පර්මිට් කැන්සල් වුණා. ඊළඟ අවුරුද්දේ ආණ්ඩුව පෙරලුණා. තිස්ස චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඉල්ලා අස්වීමේ ලියුම දීලා ඔහු ගෙදර ආවේ ත්‍රීවීල් එකකින්. එදා ඔහු එක්ක ගිය ඩ්‍රැයිවර් ගෙදරට බස්සන්න අහනකොට කිව්වලු – ‘තිලකරත්න දැන් මම ඕගොල්ලන්ගේ චිත්‍රපට සංස්ථාවේ සභාපති නොවෙයි. මම තිස්ස අබේසේකර. ඒ හින්ද මම තී‍්‍රවීල් එකක ගෙදර යන්නම් කියලා.
එදායින් පස්සෙ අපට කාරෙකක් තිබුණෙත් නෑ. ගන්න සල්ලි තිබුණෙත් නෑ. ඊට පස්සෙ තිස්ස රූපවාහිනී අභ්‍යාස ආයතනයේ වැඩ කරපු කාලේ ඊ.ටී.එෆ්. එකේ සල්ලි ලැබුණා. ඒ සල්ලියි මම documentry එකක් කරල ගත්ත සල්ලියි දීලා ඉතුරු ටික ලීසිං කරල අපි වාහනයක් ගත්තා. ඒ වාහනේ අරං හරියටම මාස 07යි පාවිච්චි කරන්න ලැබුණේ. ඔහු අසනීප වුණා. එදා උදේ ඉස්පිරිතාලෙට යන්න ලෑස්තිවෙලා මට කිව්වා, ’ඔයා කරපු ලොකුම දේ තමයි මේ කාරෙක ගත්ත එක’ කියලා.
අපි මේ ඉන්න ගෙදර මගේ නංගිගේ. එයා ඉන්නේ රට. තිස්ස ඉන්නකම්ම අපි මේ ගෙදරට සල්ලි ගෙව්වා. ඔහු කැමැති වුණේ් නෑ කොහොමත් ණයට ඉන්න. තිස්ස නැතිවෙලා හත් දවසෙ දානේ ඉවරවෙලා යන්න ලෑස්ති වෙලා මගේ නංගී මට කිව්වා,
”ලොකු අක්කා කොහෙවත් යන්න ඕන නෑ. ඔයාගේ දරුවෝ ලොකු වෙලා ඔයා බලාගන්නකම් මේ ගෙදර ඉන්න” කිව්වා.
මගේ නංගිට පින්සිද්ද වෙන්න තමයි අදටත් මමයි දරුවෝ දෙන්නයි මේ ගෙදර ඉන්නේ.
දරුවෝ දෙන්නම සිනමාව ගැන හරිම උනන්දුයි. ඒ වුණාට තාත්තා වගේ සිනමාව වෘත්තිය කරගන්න ඒ දෙන්නම කැමැති නෑ. ඒ මොකද තාත්තා සිනමාව වෘත්තිය කරගෙන විඳපු දේ ඒ දෙන්නම දැක්කා. එයාලා ඇසුරු කරපු එයාලගේ පන්තියේ අනිත් දරුවන්ට වඩා මේ දෙන්නටම අඩුපාඩු තිබුණා. ඒ නිසා පුතා හැම තිස්සෙම මට කියන්නේ ’අම්මේ අප්පච්චි තරම් ප්‍රතිපත්ති ගරුක වෙන්න කියලා අපට කියන්න එපා කියලා. ඉතින් ඒ වගේ වෙලාවට මම නිරුත්තරයි.
පැමිණි දුක් පැණිරසයි කියලා දුක් සැප එක්ව වළඳන්න ඇය ඔහු එක්ක ආවේ එක හිතින්මයි. පුරා තිස් වසරක් ඔහුට මාතු භාර්යාවක්ම වූ ඈ ඔහුගේ ජීවිතේ තවත් එක් අඩුවක් සම්පූර්ණ කරලීමට සමත් වාසනාවන්ත ගැහැනියක වුණා. ඒ ඔහු කවදත් ප්‍රාර්ථනා කළ ඔහුගේ් ලෙයින් මසින් උපන් පුත් රුවනක්. ඒ සදාතනික සිහිවටනය ලබා දිය හැකි වුණේ ඇයටමයි. අද ඇගේ තනි නොතනියට දෙපසින් ඉන්නේ ඈ ඔහුටත්, ඔහු ඇයටත් ආදරයේ නාමයෙන් තිළිණ කළ මේ සිහිවටන දෙකයි. ඇගේ එකම අභිප්‍රාය වන්නේ ද ඔහු ප්‍රාර්ථනා කළ අයුරින්ම මේ දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් දී යහපත් පුරවැසියන් කරලීමයි. ඒ සමඟම ඔහු අතින් දැයට දායාද වුණු අගනා අපූරු වටිනා නිර්මාණ රැසක් වේ. මේ සියල්ල දැයේ ඉදිරි පරම්පරාව වෙත දායාද කරලීම ද ඇගේ අපේක්ෂාවක්.
’තිස්ස අසනීප වෙන්න සති දෙක තුනකට කලින්
’ඔළුව කැක්කුමයි මට ඔයාගේ ඔඩොක්කුවෙන් ඔළුව තියාගන්නද ඇහුවා.
මම කිව්වා අනේ හා තියාගන්න කියලා. ඔළුව අත ගගා හිටියා.
’අම්මිගේ ඔඩොක්කුවෙන් ඔළුව තියාගත්ත වගේ දැනෙනවා මට.’ කිව්වා.
ඒ දවස් ටිකේම හීනෙන් එක එක ඒවා පෙනෙනවා අම්මිත් පෙනෙනවා මැරෙන්නද දන්නේ නෑ කියලත් කිව්වා.
අසනීපවෙලා ඉස්පිරිතාලේ ඉන්නකොටත් එයාට ඕන වුණේ ඉක්මනට ගෙදර එන්න. එයා අන්තිමට ලිව්වේ ‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව‘ කියන පොත. මගෙන් නිතරම ඇහුවා පාර්ලිමේන්තුවේ චෙක් එක ගෙන්න ගත්තද කියලා. සල්ලි ඕන කියලා නිතරම එයාගේ හිතේ වැඩ කරන්න ඇති. ගෙදර ගිය ගමන්ම සුදත් රෝහණගේ ‘ස්වයංජාත’ තිර රචනය ඉවර කරන්න ඕන කිය කිය හිටියේ. තිර රචනය ඉවර නොවුණට සමස්තයක් විදියට කොළ 25-30 සාරාංශයක් එයා කරලා තිබුණේ. එයා සුදත්ගේ ‘ස්වයංජාත’ ඉවර කරලා තිබුණේ කවි පදයකින්. ඒක තමයි පෑනකින් අන්තිමට ලිව්ව වචන දෙක තුන. දැන් මට හිතෙනවා නොදැනුවත්වම ඔහු මේ කවි පද ටික ලිව්වෙ මටද කියලා.
”...ඉතිං සසර ඇවිදින්නේ නෑ දේවී
ගොහිං බුදුව එනකම් හිටපන් දේවී...”
ඉතිං ඈ අදත් හෙටත් බලන් ඉන්නවා. සංසාරේ පුරාම බලන් ඉන්නවා.
”දමා ගියත් අතරමඟදි දිවි ගමනේ
බලා හිඳිමි සසර පුරා හිමිසඳුනේ...”
කඳුළුත් එක්ක දිලිසුණු ඇගේ මූණ බලත්දි මට මේ කවි පද දෙක ලියන්න හිතුණා.
Post a Comment