ගීතයක් රස විඳින්නට හා එහි නිර්මාණාත්මක ගුණය විවරණය කරන්නට අත්‍යන්තයෙන්ම අත්‍යවශ්‍ය වන "සංගීතවේදය" නම් විෂය මූලික ප්‍රවේශයකින් ගීතයට ප්‍රවේශ වූවෝ අපේ රටේ හිඟය. හිඟයක් නොවේ... ඇත්තේම නැති තරම්ය....
සංගීතඥ ලාල් ආනන්ද අබේධීර අපට වැදගත් වන්නේ මෙන්න මේ සංගීත රික්‌තකය ගැන කතා කරනවිට අපේ සමාජයට ඒ අඩුව පුරවන්නට වෙහෙසෙන ශූර හා නිර්මාණශීලී සංගීත විචාරකයෙකු හා පර්යේෂකයෙකු හැටියටය....
අපේ රටේ අද්‍යතන සිංහල සුභාවිත ගීතය පිළිබඳව පසුගිය කාලයේ හොඳ කතිකාවතක් තිබූ බව අද අපි කොයි කවුරුත් පිළිගන්නා කාරණයකි. සිංහල ගීත රස විඳින සරල රසිකයාගේ පටන් සිංහල ගීතය දෙස පර්යේෂණාත්මක විවරණයකින් බලන විද්වතා දක්‌වාම ලොකු කුඩා රසිකයෝ අඩු වැඩි වශයෙන් ඒ කතිකාව පෝෂණය කරන්න දායක වූ බව කිව යුතුය.
එහෙත් ඉන් වැඩිදෙනා සිංහල ගීතය විවරණය කළේ එහි ඇති සාහිත්‍යමය ප්‍රවේශයෙනි. තවත් ටික දෙනෙක් එම කේවල ගීතය පෙන්නුම් කරනා සංගීත සම්ප්‍රදාය හා රසභාව මුල්කරගෙන සංගීතමය ප්‍රවේශයකින් බලන්නටද උත්සාහ කළ බව පැහැදිලිය....
මේ කාරණා වඩාත් පැහැදිලිව කිවහොත් අපේ රටේ සිටින හා සිටි අංක එකේ ගනයේ ගීත පර්යේෂකයන් හා විචාරකයන් වන මහාචාර්ය සුචරිත ගම්ලතුන් ගත්තත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගත්තත්, අමරදේවයන් ගත්තත්, ප්‍රේමසිරි කේමදාසයන් ගත්තත්, වික්‌ටර් රත්නායකයන් ගත්තත් මෙකී නොකී බොහෝ දෙනා ගීතය තුළට කි¹ බැස්‌සේ එහි පද රචනය විවරණය කරමින් සාහිත්‍යමය ප්‍රවේශයකිනි. නැතිනම් ගී තනු රචනය හා ගීතයට ආලේපිත සංගීත සැරසිල්ල විවරණය කරමින් සංගීතමය ප්‍රවේශයකිනි.
එහෙත් ගීතයක් රස විඳින්නට හා එහි නිර්මාණාත්මක ගුණය විවරණය කරන්නට අත්‍යන්තයෙන්ම අත්‍යවශ්‍ය වන "සංගීතවේදය" නම් විෂය මූලික ප්‍රවේශයකින් ගීතයට ප්‍රවේශ වූවෝ අපේ රටේ හිඟය. හිඟයක් නොවේ... ඇත්තේම නැති තරම්ය....
සංගීතඥ ලාල් ආනන්ද අබේධීර අපට වැදගත් වන්නේ මෙන්න මේ සංගීත රික්‌තකය ගැන කතා කරනවිට අපේ සමාජයට ඒ අඩුව පුරවන්නට වෙහෙසෙන ශූර හා නිර්මාණශීලී සංගීත විචාරකයෙකු හා පර්යේෂකයෙකු හැටියටය....
ලාල් ආනන්ද අද්‍යතන ගීතයේ පෝෂණයට තනු රචකයා හා සංගීතවේදියා ඉටුකරන මෙහෙය කොතරම්දැයි විවරණය කරන්නේ සංගීතවේදයානු කූලවය. ඔහු ඒ උත්තුංග කාර්යභාරය පරයමින් අමරදේව, ප්‍රේමසිරි කේමදාස, වික්‌ටර් රත්නායක, සරත් දසනායක, සනත් නන්දසිරි වන් අග්‍රගණ්‍ය සංගීතඥයන්ගෙන් අරඹන්නට පෙරාතුව සමාජයේ අවධානයට හා ගෞරව බහුමානයට සංගීත නිර්මාණ ශිල්පීන් ලෙස පාත්‍ර නොවූ එහෙත් අනුපමේය නිර්මාණශීලිත්වයක් සහිත අප්‍රකට සංගීතඥයන් කිහිප දෙනකුගෙන් පටන් ගන්නට කල්පනා කළේය. ලාල් ආනන්ද අබේධීර අතින් "මියෑසි හරසර" සංගීත නිර්මාණ පර්යේෂණ කෘතිය බිහිවන්නේ ඒ අනභිභවනීය සද් ව්‍යායාමයේ උදාරතර ප්‍රතිඵලයක් හැටියටය....
සංගීතවේදයානුකූලව බලන විට ලොව සිටින සංගීතඥයන් ඔවුන් නිර්මාණ සඳහා නිතර භාවිත කරන සංගීත ශිල්පක්‍රම අනුව සංගීත දහරාවන් ප්‍රධාන වශයෙන් හතරකට බෙදනු ලබයි. මේවා
1) ගතික ආර
2) තානික ආර
3) ගුණාත්මක ආර
4) කාලික ආර වශයෙන් හඳුන්වනු ලබයි. ගීතය මුල මැද අග ඒකාකාරී තනුවකින් හා සංගීතයකින් වියුක්‌ත විවිධත්වයක් ඇති නිර්මාණ බිහිවන්නේ ගතික ආරෙනි. ප්‍රේමසිරි කේමදාස හා එච්. එම්. ජයවර්ධන මේ ගතික ආරේ ප්‍රබලයෝය. මේ අයුරින් තානික ආර යනු තනුවට ප්‍රධානත්වය ලැබෙන ආරය. ගුණාත්මක ආර යනු තනුව සංගීතය ගායනය ආදී සියලු පක්‍ෂයන් ඉස්‌මතු කරන ආරයි. කාලික ආර යනු රිද්මයට මුල්තැන දෙන සංගීත ආරයි. අද ඊට අපට සිටින හොඳම උදාහරණය රූකාන්ත ගුණතිලකය.
මේ සෑම ආරක්‌ම සතු ගුණාත්මක අගයන් උකහාගෙන නිර්මාණකරණයේ යෙදුන අපේ රෝහණ වීරසිංහ බඳු සංගීතවේදීන් අයත් වන තවත් ආරක් ඇත. ලාල්ගේ විග්‍රහයට අනුව ඒ ආර සමෝධානික සංගීතවේදීන්ගේ ආර ලෙස හඳුන්වනු ලබයි.
ලාල් ආනන්ද මෙකී ශිල්ප විධි උපක්‍රම භාවිතයෙන්, මේ රටේ නිර්මාණකරණයේ යෙදුණු අග්‍රගණ්‍ය සංගීතවේදීන් 5 දෙනෙක් ගේ සංගීත නිර්මාණාත්මක ගුණ සුවඳ සකල ලංකාවාසී රසික සමූහයාගේ අවධානයට ලක් කරන්නට උත්සාහ දරයි. ඔහුගේ පර්යේෂණයට පාත්‍ර වූයේ නිර්මාණ කාර්යයේදී අප්‍රකටව සිටි, එහෙත් සංගීත ක්‍ෂේත්‍රයේම රැඳී සිටිමින් ජීවිත කාලය ඊටම කැප කළ පිවිතුරු නිර්මාණවේදීන් 5 දෙනෙකි.
1) සිසිර සේනාරත්න
2) චන්ද්‍රදාස බෝගොඩ
3) වික්‌ටර් දලුගම
4) ජයතිස්‌ස අලහකෝන්
5) සරත් බාලසූරිය මේ පස්‌දෙනායි.
සිසිර සේනාරත්න
සංගීත ක්‍ෂේත්‍රයේ කා අතරත් සිසිර සේනාරත්න නමැති මේ පෞරුෂවත් මහත්මයා ප්‍රකට වූයේ අසමසම හඬ පෞරුෂයක් ඇති ගායකයෙක් ලෙසය. එහෙත් දෙමළ හා හින්දි අනුකාරක තනු අනුව යමින් සිංහල කොපි සින්දු සම්ප්‍රදායක් බිහි කර ඒ තුළින් සිනමාව පෝෂණය කරමින් සිටි එ සමයේ සිසිර සේනාරත්න මැදිහත්ව, මනමෝහනීය සිංහල ගී තනු වැස්‌සකින් සිංහල චිත්‍රපට ගීතය නමැති මහපොළොව අස්‌වද්දන්නට මේ අසමසම සංගීතඥයා දැරූ වෙහෙස අදටත් සමාජයේ සම්භාවනාවට පාත්‍රව නැත. හඳපාන චිත්‍රපටයට "පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ" ගීතය නිමවා ගායනා කරමින් සිංහල චිත්‍රපට සංගීත ක්‍ෂේත්‍රයට පැමිණි ඔහු චිත්‍රපට 15 කට අධික සංඛ්‍යාවකට මධුර තනු නිමවමින් සංගීත අධ්‍යක්‍ෂණයේ යෙදුණේය. ඒවායේ ගීත අතිශය ජනප්‍රිය විය. ඔහුගේ කටහඬ ජනප්‍රිය විය. එහෙත් ඒ චිත්‍රපට බොහෝමයක් අසාර්ථක, නිර්මාණශීලී ගුණයෙන් හීන චිත්‍රපට වූ නිසාත්, ඒවායේ සංගීතඥයා මතුවූයේ ද නැත. එහෙත් හඳපාන, හිතට හිත, දිව්‍යාංජලී, කවුද හරි බඳු චිත්‍රපටවලට ඔහු නිමවූ "වැටෙන නැගෙන නැගෙන වැටෙන, මාගේ පුතුට මල්, රිදී කුමාරී සීතල ඇල්ලයි, හඳපානේ මල් පිපුණා" වැනි ගීතාවලිය දනන් තුඩ තුඩ ගැයෙන්නට පටන් ගත්හ.
සිසිර සේනාරත්න නම් ගායකයා පිටුපස සිටි සිසිර සේනාරත්න නම් සංගීතඥයා මතුකරලීම ලාල් ආනන්ද සිය වගකීම කොට ගෙන තිබේ.
චන්ද්‍රදාස බෝගොඩ
ඈත දකුණේ තෙලිඡ්ජවිල නම් ග්‍රාමයේ වෙල් එළියේ දුවපැන ඇවිද හැදී වැඩී සංගීතය උගෙන ඉන්දියාවට ගොස් උත්තර භාරතීය රාගධාරී සංගීතය පරතෙරට හදාරා යළි පැමිණ නිහඬ සංගීත වින්‍යාසයක යෙදෙමින් නිර්මාණකරණයේ යෙදුණු ඔහු දකුණේ ප්‍රකට බෝගොඩ පවුලේ ප්‍රමුඛයාය. උත්තර භාරතීය රාගධාරි සංගීතයේ රස නුමුහුන්ව හා නොමසුරුව සිංහල සංගීතයට ලබාදුන් පරපුරේ ප්‍රමුඛයා ලෙස ලාල් ආනන්ද ඔහුව දකී. එතුළින් සිංහල සංගීත ක්‍ෂේත්‍රයට වැටුණු සංගීත අම මී බිඳු වන් නිර්මාණ පෙරහරින් "මගේ නීල නෙත් සඟලින්, පෙම් කල වරදට, මා ප්‍රිය හිමියනි, මා හිත පිරිමැද, ශීත දියවැල් ගලා" වැනි ගී එකක් දෙකක් පමණි.
ලාල් ආනන්ද. මේ අසමසම සංගීතඥයා ගැනද සිය පර්යේෂණය තුළ මහත් ප්‍රහර්ෂයෙන් කතා බහ කරයි.
සිසිරත්, චන්ද්‍රදාස බෝගොඩත් හැරුණු විට වික්‌ටර් දලුගම, සරත් බාලසූරිය, ජයතිස්‌ස අලහකෝන් යන තිදෙනාම එවක ගුවන් විදුලි වාදක මණ්‌ඩලයේ ප්‍රකට වාදකයෝය. සංගීතය මෙහෙයවන්නෝය.
මේ අතුරෙන් වික්‌ටර් දලුගම ගත් විට පියානෝ වාදකයෙකි. මැන්ඩලීන් වාදකයෙකි. වයලින් වාදකයෙකි. චිත්‍රපට ගණනාවක සංගීත අධ්‍යක්‍ෂවරයෙකි. තනු රචකයෙකි. සරල සිංහල ගීතයට බටහිර ආරෙහි ශිල්ප උපක්‍රම තවරමින් මනමෝහනීය තනු නිර්මාණය කළ වික්‌ටර්, අමරදේවයන්ගෙන් පටන් ගෙන එවක රටේ ජනප්‍රියව සිටි ගායිකාවන් ගණනාවකටම ගීත නිර්මාණ කළේය. ඒ අතර "අනෝතත්ත විල, විලක නෙළුම් මට කුමටද, රන් දොරින් එන්න ආදරේ, ආදර චාරිකා, පින පෑදුනු දා" වැනි මධුර මනෝහර තනු ගණනාවකි.
චිත්‍රපට දහයකට අධික සංඛ්‍යාවක් සංගීතවත් කළේය. සිංහල සංගීතයට බටහිර ආර මුහු කරමින් සංගීත අත්හදා බැලීම් කරමින්, ක්‌ලැරන්ස් විඡේවර්ධනලා වැනි අලුත් ආරක් තනා ගත් පරපුරකට පාර කිව්වත් කිසි කලෙක කිසි කෙනෙකුගේ ඇගයීමකට ලක් නොවූ සංගීතඥයෙකු ලෙස ප්‍රකටය. ලාල් ආනන්ද සිය පෑන් තුඩගින් මේ ආනන්දනීය සංගීතඥයා ගැන මහත් ප්‍රහර්ෂයෙන් යුතුව ලියා ඇති කරුණු අපූරුය.
සරත් බාලසූරිය යන නම අද සංගීත ක්‍ෂේත්‍රයේ කිසිවකු නොදනිතත් "මලවුන්ගේ නගරයේ, මාගේ මේ රට වාසනා, ආදර සුබා වාසනා වේවා, ආත්ම ගණනක සිතුවිලි අතරේ" බඳු ගීත අමතක නැත. චිත්‍රපට සංගීතඥයෙක් ලෙසත් සරල ගී සංගීත නිර්මාණ ශිල්පියෙකු ලෙසත් එවක ප්‍රකටම නිර්මාණශීලී තනු රැසක් දායාද කළ සරත් වැඩිපුරම දක්‍ෂතා පෙන්නුම් කළේ ස්‌වර ලිපි හා තනු රචනාවන් හිදීය. කනට ඇසෙන ඕනම ගීයක තනු රචනාව එවේලේ ලිවීමට තරම් සංගීතාත්මක ස්‌මෘතියක් හා සංගීතාත්මක සාක්‍ෂරතාවක් හිමි ඔහුට දක්‍ෂතා අතින් නූතන පරපුරෙන් දිය හැකි හොඳම උදාහරණය නාලක අංජන කුමාරය.
විවිධ ජීවන ගැටලු හා කලකිරීම් මැද අඳුරට කි¹ බසින ලද ජීවිතයක් සහිතව අවසාන භාගයේ ගතකළ ඔහු 1997 දී අසනීපයකට බෙහෙත් ගන්නට ගොස් සිටියදී කළුබෝවිල රෝහලෙන් අතුරුදන් වූ බව ප්‍රකටය.
ලාල් ආනන්දගේ විචාරාක්‍ෂියට හසුවූ අවසාන සංගීතඥයා ජයතිස්‌ස අලහකෝන්ය. මධුර ගී තනු නිර්මාපකයෙකි. දහසක් සිතුවිලි හා සාමා චිත්‍රපටවලින් චිත්‍රපට සංගීතඥයකු ලෙසද ප්‍රකට විය. පරසිදු ටීටර් සංගීත අධ්‍යක්‍ෂවරයකු වූ මර්වින් අලහකෝන් මාස්‌ටර්ගේ පුත්‍රයා ලෙස සංගීතය ක්‍ෂේත්‍රයට පිවිසි ඔහු "සතුට විලයි සැපත මලයි, නන්දා මාලනිය ගයන කප්සුවහස් කල් පෙරුම් පුරාගෙන, කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි වැනි ගී නිර්මාණ රැසක් බිහිකළ සංගීතඥයාය.
ගුවන් විදුලියේ දක්‍ෂ වාදකයකු ලෙස මෙන්ම සංගීත කණ්‌ඩායම් මෙහෙයවන්නෙකු ලෙස හේ නමක් දිනා ගත්තේය. පසුකාලීනව සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රකටයන් හා ප්‍රබලයන් බවට පත්වූ වික්‌ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, සරත් දසනායක වැනි සංගීතඥයන් පවා එදා ජයතිස්‌ස අලහකෝන් මෙහෙයවන ලද වාදක මණ්‌ඩලය තුළ සිටීම විශේෂත්වයකි.
ලාල් ආනන්ද සිය සංගීත පර්යේෂණ කටයුතු ඇරඹුවේ මේ පස්‌දෙනාගෙනි. සිංහල සංගීතය මුල් යුගයේ විවිධ දුෂ්කරතා මැද ආ ගමනට දායක වූ පරපුර පිළිබඳ මතකය අවදි කරමින් කරන ලද මේ පර්යේෂණ කාර්ය භාරය සංගීත ක්‍ෂේත්‍රය තුළ නොමඳ සම්භාවනාවට ලක්‌වන "හොඳ වැඩක්" වනු නිසැකය. මේ "හොඳ වැඩේ" පොතක් ලෙස එළිදක්‌වන උත්සවයද "හොඳ වැඩකි." ඒ "හොඳ වැඩේ" නොවැම්බර් 5 වැනිදා සවස 3 ට කොළඹ පොල්හේන්ගොඩ ජනමාධ්‍ය අධ්‍යයන ශ්‍රවණාගාරයේ දී දැක බලාගන්නටද ඔබට මෙන්ම මටද වාසනාව උදාවී තිබීම කෙතරම් භාග්‍යයක්‌දැයි මට සිතෙයි.
බුලිත ප්‍රදීප් කුමාර
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment