කොටහේන ගුණානන්ද විදුහල සහ කුමාර විද්‍යාලය ඔහු අධ්‍යාපනය ලද විදුහල්ය. ඇයි දැන් එපා වෙලා යන්නේ ඉවත බලා, පණවාගේ හිටියට වෙන්වීලා ගියදාට, පායා ඇයි හිනැහෙන්නේ නිල් ගුවනේ තරු රාශි, පිළිගන්න මම චන්න ඇමති වෙමි, පෙරදා එක්‌වී ගී ගයමින්, බලා ඉන්නවානේ, මුලදි බැන්ද ආදරයක මිහිර දැන්, මගෙ ජීවිතයේ සතුවී තිබු දෙයක්, මා ලැබූ ජීවිතයේ සැනසුම ඔබ සතුවේ, වෙනතක යන්න ගියා, ඇලෝයි එච්. ආර්. ජෝතිපාලට එකල ලියූ ගීත කිහිපයකි.
අම්මා අමා අමොද කරුණා නිධානේ, (වී වර්ධරාජා), අහන්න මගෙ හොඳ පුංචි පුතේ (මිල්ටන් පෙරේරා), සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියෑවුණා (ඇන්ටන් රුද්‍රිගු), ජීවිතේ ප්‍රිති සංචාරෙකි ලොවේ (ධර්මදාස වල්පොළ), මං පොඩි කාලේ දැක්කට පස්සේ (හෙන්රි පෙරේරා), මම ආදරේ කියන්නම් (ආර්. සිවනන්ද), මැව්වාද කවුරු ප්‍රේමේ (හරුන් ලන්ත්‍රා, විනෝදනී), රඟපාන ඔබ කවුද සුකුමාලියේ (වී. වර්ධරාජා), සුවඳයි මුවේ මල් පැණී (සුමිත් අහංගම), ඔහු ලියූ ජනප්‍රිය ගීත අතර ඇත. ඔහු උපන්නේ 1932 ජුනි 23දා කොළඹ කොටහේනේදීය. අංගොඩ හිඹුටාන ප්‍රදේශයේ ජීවත්වූ ඇලෝයි පාරම්පරික කලා ශිල්පියෙකි. කොටහේන ගුණානන්ද විදුහල සහ කුමාර විද්‍යාලය ඔහු අධ්‍යාපනය ලද විදුහල්ය. සුමනා පෙරේරා ඔහුගේ ආදර බිරිඳය. දූ දරුවන් හත්දෙනෙකුගේ ආදරණීය පියාණන් වූ ඇලෝයි ලියූ ගීත මොහිදින් බෙග්, ලතා වල්පොල, ධර්මදාස වල්පොල, එච්. ආර්. ජෝතිපාල, රුක්‌මණී දේවි, මිල්ටන් පෙරේරා, හරුන් ලන්ත්‍රා, ජී. එස්. බී. රාණි, සුජාතා අත්තනායක වැනි ප්‍රවීණයෝ ගැයූහ. ඇලොයි ගුණවර්ධනයන්ගේ ගී පද මාලා ඇතුළත් කෘතියක් පසුගිය වසරේ ජෝර්ඡ් රොබ්සන් ද සිල්වාගේ මූලිකත්වයෙන් "මධුර භාෂිණී" නමින් එළිදැක්‌විණි.
"මා ගීත ක්‍ෂේත්‍රයට එක්‌වී වසර 58ක් ඉකුත්වී යද්දී හෝ මෙවන් ගීත සංග්‍රහයක් එළිදක්‌වන්න ලැබීම භාග්‍යයක්" යෑයි ඇලෝයි ගුණවර්ධනයන් එදා එම ගීත සංග්‍රහයට ප්‍රකාශ කර තිබිණි.
"මළවුන්ට දෙන මල් වඩමකට වඩා ජීවතුන්ට දෙන එකම එක රෝස මල අගනේය..." යනුවෙන් ජෝර්ඡ් රොබින්සන්ද සිල්වා එම ගීත සංග්‍රහයට ලියූ ලිපියක සඳහන් කර තිබිණි.
විමලදාස පෙරේරා, චන්ද්‍රසේනර වීරසේකර නම්වූ ප්‍රතිභා පූර්ණ ගේය පද රචකයන් සමග ඇලෝයි ගුණවර්ධනයන්ට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කලා රසික පදනම මගින් ප්‍රණාම පුද කරනු ලැබීය.
රොබ්සන් පැවැසූ පරිද්දෙන්ම මෙම ප්‍රණාමයද ඇලෝයි ගුණවර්ධනයන් මිය ගිය පසු දෙන මල් වඩමකට වඩා ඔහු ජීවත්ව සිටියදී දුන් අගනා රෝසමලක් වැන්න.
ඇලෝයි ගුණවර්ධනයන් අද මේ මොහොතේ අප අතර නැතත්... ඔහු ලියූ ගීත මෙන්ම ඔහුගේ නමද සදා කල් අප අතර රැඳෙනු ඇත.
සුප්‍රකට ගීත රචක ඇලෝයි ගුණවර්ධන පසුගිය ඉරිදා සවස් යාමයේ මෙලොවින් සමු ගත්තේය. ඔහු මිය ගිය පුවත මට පැවසුවේ ඔහුගේ පුත් මංගලය. ඇලෝයි ගුණවර්ධනයන්ගේ ගීත ශ්‍රවණය කළ විනා ඔහු ජීවත්ව සිටින කාලයේ මට ඔහු මුණ ගැසී නැත. ඇලෝයි ගුණවර්ධනයන් මෙරට ගීත ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය ගීත රාශියක පද රචකයාය. එකී ගීත විදග්ධ මට්ටමේ රචනා ලෙස ඔසවා තබන්නට නොහැකි වුවත් ඒ ගීත සියල්ලම වාගේ යුග යුග අතිශය ජනාදරයට පත් වූ ඒවාය.
ඇලෝයිගේ මරණයත් සමඟ මෙරට ගීත රචක පරම්පරාවේ එක් පරිච්ඡේදයක් නිමාව ළඟාවන බව මගේ හැඟීමයි. මෙරට ගීත රචනා කලාව අතිශය ජනාදරයට පත් වන්නේ හතළිහේ, පනහේ දශකවල ආරම්භයත් සමඟය. ග්‍රැමෆෝන් යන්ත්‍රයක් යනු අද මෙන් සී. ඩී. ධාවකයක් වැනි සුලබ යන්ත්‍රයක් නොවීය. එය පැවැතියේ ගමේ ප්‍රභූ පැලැන්තියේ නිවෙසක පමණි. ග්‍රැමෆෝන් යන්ත්‍රය පොහොසත්කමේ ද ලකුණක් ලෙස එකල හුවා දැක්විණි. එබැවින් එහි ගීත ශ්‍රවණය කරන්නට ලැබුණේ එක්තරා කොටසකට පමණි. කොහොමටත් ගීතය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වන්නට හේතු වූයේ කාර්මික විප්ලවය සමඟ ග්‍රැමෆෝන් යන්ත්‍රය සොයා ගැනීම හේතුවෙනි. මන්දිරවල හෝ කුඹුරක, වැඩපොළක ගැයුණු ගීතයක්, කවියක් සමස්ත ප්‍රජාවගේම රස වින්දනයට සැලසුණේ එයින් පසුවය.
අපේ රටේ ගීතය අතිශය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වනුයේ ගුවන් විදුලිය හා සිනමාව හරහාය. ගුවන් විදුලිය මෙන්ම සිනමාව ද ගීතය ශ්‍රාවකයා වෙත යොමු කර ගැනීමේ අති විශාල මෙහෙයක් අසූව දශකය දක්වාම ඉටු කළේය. එයින් බැහැරව වෙනම ගීත යුගයක් පරිවර්තනය වූයේ කැසට් පටය ගෙයින් ගෙට වැඩීමත් සමඟය. මේ අතරෙන් ඇලෝයි ගුණවර්ධන ඇතුළත් වන්නේ වෙළෙඳ තැටි ඔස්සේ ගීත රචනා කරමින් ගුවන් විදුලිය හරහා ජනප්‍රිය වූ ගීත රැසක හිමිකරුවා හැටියටය. සමකාලීන සෙසු ගීත රචකයන් මෙන් නොව ඇලෝයි ගුණවර්ධන චිත්‍රපට ගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඉතා අල්ප වශයෙනි. 'කොළඹ හාදයෝ' චිත්‍රපටයේ එන 'ජීවිතේ ප්‍රීති සංචාරකී ලොවේ' ඔහු රචනා කරන ලද එක් චිත්‍රපට ගීතයකි.
ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ මුල්ම ගීතය වූ 'ආලේහි බැඳි ජීවිත අඳුරේ' ගීතය රචනා කරමින් ගේය පද ක්ෂේත්‍රයට පිවිසෙන ඇලෝයි ජෝතිපාලයන්ගේ තැටියට නැංවුණු මුල්ම ගීතය වන මුලදි බැන්ද ආදරයක ගීතයේ ද රචකයා විය. 'ඔබට නම් නැහැ නේද රත්නේ', 'පායා ඇයි හිනැහෙන්නේ', 'බලා ඉන්නවානේ', 'බැලුවේ නැහැනේ මාගේ දිහා', 'මගේ ජීවිතයේ සතු වී තිබූ දෙයක්, 'වෙනතක යන්න ගියා' වැනි ගීත පනහ, හැට දශකවල ජනප්‍රිය චිත්‍රපට රූප රාමු අපගේ මතකයට නංවන සුළුය. තැටියට නඟන නමුදු මේ ගීත මතු කරන රූප වඩා ළං වන්නේ සිනමාවටය.
ඔහු රචනා කළ වෙනත් ගීත අතර වන ඇහැලේපොලගේ පුංචි පුතා, අම්මා අමොද කරුණා නිධානේ, පිළිගන්න මම චන්න ඇමති, සුවඳයි මුවේ මල්පැණි වැනි ගීත අද පවා ජනප්‍රිය ගීත අතර වෙයි. 1932 ජුනි 23 වැනිදා උපත ලද ඔහු කොළඹ කුමාර විද්‍යාලයෙන් හා ගුණානන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ඇලෝයිගේ පියා ඇන්ඩෲ ගුණවර්ධන වූ අතර මව සිසිලියාය. සුමනා ගුණවර්ධන සමඟ 62 වසරේ විවාහ වූ ඔහු පුතුන් සිව්දෙනෙකුගේ හා දියණියන් තිදෙනකුගේ පියෙකි.
හතළිහ, පනහ දශකයේ ක්ෂේත්‍රයට පිවිසෙන ගීත රචකයන් බහුතරය එක්තරා ආකාරයකට ජන කවියන්ගේ ස්වරූපය ගන්නා බැව් මගේ පෞද්ගලික හැඟීමය. ජන කවියා රචනා කළ කවියේ අයිතිවාසිකම කිසිවෙකුට නැත. ඒ සියල්ල හුදී ජන පහන් සංවේගය උදෙසා නිර්මාණය වූ ඒවාය. හතළිහ, පනහ දශකවල බිහි වු බොහෝ ගීත කාගේදැයි කියන්නට හරියටම නොහැක. සමහර ගීත තැටිවල ගීත රචකයා කවුරුන්දැයි කියන්නට කිසිදු සටහනක් නැත. 'මාතලන්' චිත්‍රපටයේ ගීත රචකයා ලෙස චිත්‍රපටයේ නාමාවලියේ සඳහන් වන්නේ ද, ගී තැටිවල සඳහන් වන්නේ ද ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු යන නාමයයි. එහෙත් 'මාතලන්' චිත්‍රපට ගීත පොතේ රචකයන් ලෙස බෙනඩික්ට් ප්‍රනාන්දු මාස්ටර්ගේ මෙන්ම හියුගෝ ප්‍රනාන්දු මාස්ටර්ගේත් නම සඳහන්ය. චිත්‍රපටයේ දෙබස් රචනා කළේ එහි ප්‍රධාන චරිතයක් රඟපෑ හියුගෝ මාස්ටර් ජනප්‍රිය ගීත රචකයෙකි. වරක් මේ පටලැවිල්ල මම අපේ ගීත කෝකිලා ලතා වල්පොලගෙන් විමසා සිටියෙමි. ඇය අපූරු උත්තරයක් දුන්නාය.
'ඒ කාලයේ ඕවයේ් අයිතිවාසිකම් ගැන හිතුවේ නැහැ. මට මතක හැටියට හියුගෝ මාස්ටර්ත් ඕකේ සින්දුවක් දෙකක් ලිව්වා. බෙනඩික්ට් මාස්ටර්ට සල්ලි වගයක් උවමනා කරලා තිබුණා. ඒ හින්දා ඒ ගීතවලටත් බෙනඩික් මාස්ටර්ගේ නම දාන්න ඉඩ දුන්නා'.
මෙවැනි සිද්ධි රාශියක් පැරැණි ගීත රචකයන්ගේ නිර්මාණ අනන්‍යතා සොයා යෑමේදී දක්නට ලැබෙයි. ඩී. ටී. ප්‍රනාන්දු, ටී. එල්. ජේ. නන්දන කීර්ති, සී. වීරසේකර, හර්බට් එම්. සෙනෙවිරත්න, ඒ. ජේ. ද සොයිසා වැනි එකල බොහෝ ගීත රචකයන්ගේ පමණක් නොව අසූව දශකය දක්වාම මේ පටලැවිල්ල දක්නට ලැබෙයි. ගීතය වෙළෙඳ භාණ්ඩයක් ලෙස ඉස්මතුවන තුරුම බොහෝ නිර්මාණකරුවන් නිර්මාණයේ යෙදුණේ මුදලට වඩා ආත්ම තෘප්තිය සලකා බලා බව පෙනෙන්නට තිබෙන කරුණකි. එය ගීත රචනයේ පමණක් නොව සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ද, ගායක ගායිකාවන්ගේ ද දක්නට ලැබෙන ලකුණකි.
එච්. ආර්. ජෝතිපාලයන් වර්තමානයේ බොහෝ ගායකයන් මෙන් සංගීත සංදර්ශනවලට පැමිණි ආකාරය මට සිහිපත් වෙයි. ඔහු ගායනයේ යෙදුණේ මුදලට පමණක් නොව තම ආත්ම තෘප්තිය ද සලකමිනි. සංගීත සංදර්ශනයකදී ඔහුට නියමිත මුදල ගෙවන්නට බැරි වූ සංවිධායකයෙක් වෙනුවෙන් උණු වෙන හිතක් ඔහුට තිබිණි. ගයන්නට සැරැසෙන්නේ ගීත තුනක් වුව රසිකයන් ඉල්ලන්නේ දහයක් නම් ඔවුන් වෙනුවෙන් එකී ගීත දහයම ගායනා කරන්නට ජෝතිපාලයන් නිර්ලෝභීය. ඒ පරම්පරාවේ සිටි නිර්මාණකරුවන් එයින් පසු සිදු වන්නේ කුමක්දැයි යන්න සොයා බලන්නට උත්සාහ කළේ ඉතා අල්ප වශයෙනි. ඒ එදා පරපුරේ අවංක චේතනාව වර්තමානයේ කොල්ලයකට මඟ පෑදුවේය.
පසුගිය දවසක බස් රථයක ගමන් කරද්දී මම සංගීත සංදර්ශනයක් නරඹමින් ගියෙමි. එහි නිවේදන කටයුතු කළා වූ වාචාල කොලු ගැටයෙක්ගේ හැඳින්වීමෙන් මා අසුනෙන් විසි නොවුණා පමණි. තරුණ ඝෝෂකයා සිය සංගීත කණ්ඩායමේ නවක ගායකයා සමඟ ඔහු ගයන නවතම ගීතය පිළබඳවද හඳුන්වා දුන්නේය. ඒ අනුව ගයනු ලබන ගීතය අදාළ තරුණ ගායකයාගේ පෞද්ගලික ජීවත අත්දැකීමක් මත ඔහුම රචනා කරන ලද ගීතයකි. හඳුන්වා දීම එපරිද්දෙනි. ගායකයා සිය නවතම ගීතය ගායනා කරන ලද්දේ මෙපරිද්දෙනි.
'ඇහෙනවා නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙර දින රජ මැදුරක උන්නේ
අද මහ මාවත ලතැවෙන්නේ'
මේ තරුණයාගේ අත්දැකීම මීට වසර ගණනකට පෙර අප පාසල් යන අවධියේ තිරගත වූ 'අප්සරා' චිත්‍රපටයේදී ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් එච්. ආර්. ජෝතිපාලයන් හඬ මුසු කර ගායනා කර තිබූ ආකාරය පුදුමයකි. වචන ද තනුව ද එකකි. වෙනස් හඬ පමණකි. මේ කොල්ලයක් ද? නැතිනම් නොදැනුවත් කමක්දැයි? නැතිනම් ගොන් පාට් එකක්දැයි මා නම් දන්නේ නැත.
ඇලෝයි ගුණවර්ධන වැනි ගීත රචකයන් අයත් වූයේ එයින් වෙනස් වූ පැරැණි පරම්පරාවටය. වර්තමානයේ ගීත රචකයන් ඒ අතින් තම නිර්මාණ කෙරේ උනන්දුය. මගේ මතකය නිවැරැදි නම් තම ගීතයක අයිතිය පිළිබඳ නඩු මඟට පිවිසි මුල්ම ගීත රචකයා ආචාර්ය අජන්තා රණසිංහය. ඒ අවධියේ ඔහු නවයුගය පුවත්පතේ කතුවරයාය. එය නිර්මාණකරුවනට තම අයිතිය පිළිබඳ තහවුරු කරන්නට සිත දුන් අවස්ථාවක් ලෙස මම දකිමි.
වර්තමානයේ සිටින ගීත රචකයන් ආත්ම තෘප්තිය උදෙසා ගීත රචනයේ නොයෙදෙන්නේ යැයි කියා ඔවුන්ට අගෞරව කිරීමට මා කැමැති නැත. ඒත් ඔවුන් අතීත පරම්පරාවේ මෝඩකම් කරන්නේ නැත. ගීතයේ නිර්මාණ වටිනාකම පමණක් නොව එහි වෙළෙඳ වටිනාකම ද ඔවුන් අවබෝධ කරගෙන සිටීම වැදගත්ය. එක අතකින් එදා පරම්පරාවේ අය මෙන් නොව වර්තමානයේ පාරිභෝගික අවශ්‍යතාව ඉහළය. එදා නිර්මාණකරුවෙකුට දුරකථනයක් තිබීම ද ලොකු වස්තුවකි.
වර්තමාන පරම්පරවේ පාරිභෝගික අවශ්‍යතා ඉහළ යන්නට ගීතයේ මිල ද ඉහළ යයි. එදා ගුවන් විදුලියේ ගීතයක් ප්‍රචාරය කරවා ගන්නට පැනිය යුතු වැටකඩොලු එමට වුව ද ඒ සඳහා වැය කළ යුතු මුදල නොසැලකිය නොමැති තරම්ය. එහෙත් අද ගීතය යනු තනිකරම වෙළෙඳ භාණ්ඩයකි. එබැවින් එයට මිලක් ලබා ගන්න බොහෝ දෙනෙකුට සිදුව තිබේ. ඉතින් ඇලෝයි ගුණවර්ධනලාගේ පරම්පරාව මේ සමඟ අවසන් වනු ඇත. මේ පරම්පරාවේ තව ඉතිරිව ඇත්තේ එක් අයෙක් හෝ දෙන්නෙකි. ඔවුන්ගෙන් පසු මේ පරිච්ඡේදය සදහටම අවසන් වනු ඇත.
http://www.sarasaviya.lk/2015/01/29/?fn=sa15012943
මට අයිති හැමදේම කාලය ලබාදේවි
ඇලෝයි ගුණවර්ධන
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාල යන්නෙ නෑ මගේ සුදු රත්තරන් . . .!
ගැයුම – එච්. ආර්. ජෝතිපාල
පද – ඇලෝයි ගුණවර්ධන
‘මා ගී පද රචකයෙකු වුණේ දෙවෙනි ලෝක මහ යුද්ධය පැවති කාලයේ අපි කොටහේන හිල් වීදියේ පදිංචිය අතහැර රාගම ප්‍රදේශයේ සුන්දර පරිසරයක පදිංචියට යාමත් සමඟ කියලයි මට හිතෙන්නේ. ඒ ගැමි පරිසරයේ වෙල්යාය, වැලි පාර, ගස්වැල්, මල්, ගැමි ලඳුන් මගේ සිතේ නැවුම් හැඟුම් ඇති කළා. ඒ හැඟුම්වලින් කවි ලියැවුණා. මං ඉගෙන ගත්තේ කොටහේනේ කුමාර සහ ගුණානන්ද විදුහල්වලිනුයි. ඒ කාලේ ඉඳලම මම නිවේදන, ගායන, කවි, නාට්‍ය සහ ගී පද රචනය වැනි කලා අංශයන්ට යොමු වුණා.’
* ඔබ මුලින්ම සම්බන්ධ වූණේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට නේද?
ඔව්. 1952 දී පමණ සිට කොටහේන හිල් වීදියේ මහවත්තේ ‘රත්තරන් පොත’, ‘ඇස් දෙක’, ‘කාගෙද පුටුව’ යන නාට්‍ය සහ වෙසක් නාට්‍ය ආදිය මං රචනා කර රඟ දැක්වූවා. 1976 දී ලයනල් වෙන්ඩ් රඟහලේ එළිදැක් වූ ‘තාත්තයි පුතයි මමයි’ වේදිකා නාට්‍ය කළෙත් මමයි. එමෙන්ම ‘දකුණේ සිද්ධාර්ථ’ නාට්‍යයටත් මා රචනයෙන් දායක වුණා.
ආලේහි බැඳී ජීවිත
අඳුරේහි ගැලේවි
සැමදාම ලොවේ නැහැ සැප
ශෝකය ද සදාවි . . .!
(ගැයුම - ජේ. ඒ. මිල්ටන් පෙරේරා)
* ගී පද රචකයෙකු ලෙස ඔබ මුලින්ම දායක වූ ගීතය කුමක්ද?මා නිර්මාණය කළ හැම වේදිකා නාට්‍යයකම ගී ලියුවෙත් මමම තමයි. ඒත් ඒ කාලේ පිළිගැනීමේ හැටියට ගුවන් විදුලියට ගීතයක් ලියුවේ මගේ හොඳම මිතුරා වූ මිල්ටන්ටයි. මිල්ටන් මගේ ගී දෙකක්ම එදා ගායනා කළා. ගුවන් විදුලියේ ස්්වදේශීය සේවයට මිල්ටන් ගැයූ ‘මට ආලෝක පෑ මාගෙ පියේ’ සහ ‘දී මා හදෙහි ඔබ ආදර ගුණ’ ගීත දෙක තමයි ඒ. ඒත් පසුව මිල්ටන් ගුවන් විදුලියේ වෙළඳ සේවයට ගායනා කරපු ‘ආලේහි බැඳී ජීවිත’ ගීතය තමයි අපි දෙන්නාගේම මුල්ම ගීතය ලෙස සැළකෙන්නේ. මේ ගීතයෙන් තමයි මුලින්ම මාව ගී පද රචකයෙකු ලෙසත් මිල්ටන්ව ගායකයෙකු ලෙසත් මේ රටේ ගීත රසික රසිකාවන් හඳුනා ගත්තේ.
* ඔබේ කලා දිවියට මිල්ටන්ගේ පියා වූ තබ්ලා පොඩි අප්පුහාමිගේ නම සම්බන්ධ වෙන්නේ කෙසේද?
මිල්ටන්ගේ පියාගේ සින්දු කාමරයේදී තමයි මගේ මිතුරු ජෝතිපාල, රූපසිංහ, මොහොමඩ් ගවුස් සහ එඩී මාස්ටර්ලා වැනි සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ. අපේ වගේම මිල්ටන්ගේ ගායන දිවියටත් ඔහුගේ පියාගේ සින්දු කාමරය හොඳ තෝතැන්නක් වුණා. මිල්ටන් ගුවන් විදුලියේ ස්වදේශීය සේවයට ගායනා කරපු මුල්ම ගීත දෙක පිය ගුණ ගීත දෙකක්. මම ඒ ගීත ලියුවේ මිල්ටන්ගේ පියා වෙනුවෙනුයි.
* ඔබ වැඩිපුරම ගී ලියා තිබෙන ගායන ශිල්පියා ජෝති ද නැත්නම් මිල්ටන් ද?
ජෝතිටයි මිල්ටන්ටයි එක හා සමානව ගීත සිය ගණනක් ලියා තිබෙනවා. ගුවන් විදුලියටයි, කැසට්වලටයි තමා ඒ ගීත වැඩිපුරම ගායනා කෙරුණේ. ඒ අපි තුන් දෙනාගේම තරුණ කාලේ අපිට ලැබුණු ආදර අත්දැකීම් එකිනෙකා සමඟ බෙදා ගන්න තරම් අපි සමීප මිත්‍රයෝ වෙලා උන්නේ. ඒ සැබෑ අත්දැකීම් ඇසුරෙන් මා ලියූ ගීත තමයි ඒ කාලේ වැඩිපුරම ජෝතියි මිල්ටනුයි ගායනා කෙරුවේ. උදාහරණ වශයෙන් කියනවා නම් ‘ඔබට නම් නැහැ නේද රත්නේ’, ‘වෙන තරුණියකගෙ දෑත රැගෙන මට’, ‘කවුරුවත් වින්ඳේ නැහැ මේ වාගෙ දුකක්’, ‘බැලුවේ නැහැනේ මාගෙ දිහා’ වැනි ජනප්‍රිය ගීත ඒ අතරින් කිහිපයක්.’
ඔබට නම් නැහැ නේද රත්නේ
මට වගේ දුක් වේදනා
නැද්ද මගෙ මුළු ජීවිතේටම
ගන්න ඔබෙ අත වාසනා . . .!
(ගැයුම – මිල්ටන් පෙරේරා)
* ඔබේ මෙම ගී පොතට ඇතුළත් ඇතැම් ගී සඳහා කලකට පෙර වෙනත් පද රචකයන්ගේ නම් යොදාගෙන ඔබට අසාධාරණයක් සිදු කෙරුණා නේද?අනේ ඔව්. එහෙම වුණා නම් තමයි. පසුව මමත්, මගේ මංගල පුතාත් ඒවා වගකිවයුත්තන්ට පෙන්වා කරුණු සනාථ කළා. දැන් නම් මා දැනුවත්ව මට කවුරුත් අසාධාරණයක් කරන්නේ නැහැ. කළත් ඒවා ගැන කියලා ලියලා අපේ සිත් අපිරිසිදු කරගන්න ඕනෑ නැහැ. අපි අහිංසක කලාකාරයෝනේ. මට අයිති දෙයක් තියෙනවා නම් ඒවා මට කවදා හරි ලැබෙයි. දැන් මේ මගේ ගීත පොතත් පළ වෙලා තියෙනවා වගේ මට අයිති හැමදේම කාලය විසින් ලබා දෙයි කියා මං හිතනවා. ඒ නිසා මට වෙච්ච අසාධාරණ වගේ දේවල් මේ වගේ හොඳ වෙලාවක මතක් කරන්න ඕනෑ නැහැ. කෙසේ හෝ කැසට් යුගයේදී මට හැකියාව ලැබුණා මගේ පද රචනා සඳහා අනන්‍යතාවය ඔප්පු කරන්න. පසුව ‘පායා ඇයි හිනැහෙන්නේ’ නමින් එළිදැක් වූ සංයුක්ත තැටියෙනුත් මං මගේ ගී පදමාලාවල අනන්‍යතාවය තහවුරු කළා.
* ඔබේ ‘මධුර භාෂිණී’ ගීි පොතට පසුවදන ලියන ප්‍රවීණ මාධ්‍යවේදී ජයන්ත පීරිස් ඔබව ඳුන්වන්නේ ‘50 දශකයේ ගීත සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ඇති කළ ප්‍රථම ගී පද රචකයා’ ලෙසයි. ඒ පිළිබඳව ඔබට හැඟෙන අයුරු පවසන්න පුළුවන්ද?
මගේ ගී පදමාලා වලින් 50 දශකයේ ගීත සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ඇති වී තිබෙනවා නම් එය මට සතුටක්. මෙවැනි ඇගැයීමක් මා වෙනුවෙන් කළාටත්, මා ලියූ පදමාලා ඇතුළත් ගීත රසිකයන්ට ගුවන් විදුලි වැඩ සටහන් මඟින් හඳුන්වා දෙමින් ඉටු කරන මහඟු මෙහෙයටත් මා ජයන්ත පීරිස් මහත්මයාට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ මංගල පුතා සමඟ එක් වී මේ ගීත පොත ප්‍රකාශ කර බෙදා හැරීමේ කටයුතු කරගෙන යාමට බාර ගත් දන්කොටුවේ ‘රසාංජලී’ ප්‍රකාශකයන්ටත් ස්තුතියි.
* ඔබේ ගීත පොතේ අඩංගු පදමාලාවන්ගේ කිසියම් විශේෂත්වයක් තිබෙනවාද?
මං හිතන්නේ ජෝති ගායනා කළ ගීත පනහකට වැඩි ගණනක් මේ ගී පොතේ පළ කර තිබීම එක් විශේෂයක් වේවි. තව ද එදා පරපුරේ වසන්තා සන්දනායක, රුක්මණී දේවි, ජෝති, මිල්ටන්, ධර්මදාස වල්පොලගේ පටන් මෙදා පරපුරේ ගාමිණී පතිරණ දක්වා ගායක ගායිකාවන් විසින් ගායනා කළ මා ලියූ පදමාලා සමඟ ‘ඇහැළෙපොළගෙ පුංචි පුතා මද්දුම බණ්ඩාර’, ‘උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ’ (ඇන්ටන් රුද්‍රිගු), ‘පුෂ්ප පිපී ලස්සන දේ’, ‘ගුණදහම හොඳ නරක කණපිටට පෙරලුණා’ (ඒ. එම්. යූ. රාජ්), ‘රඟපාන ඔබ කවුද සුකුමාලියේ’ (වී වර්ධරාජා), ‘රත්තරන් කූඩුවේ ඉන්න රන් කිරිල්ලියේ’ (හරූන් ලන්ත්‍රා, විජිත කුසුම් ලියනගේ, ’සුවඳයි මුවේ මල්පැණි (සුමිත් අහංගම), ‘ඔබේ පිනට පායන සඳ හරියට සීතයි’ (හරූන් විජය කුමාරණතුංග, නිමලා අතපත්තු), ‘මං පොඩි කාලේ දැක්කට පස්සේ’ (හෙන්රි පෙරේරා) වැනි ජනප්‍රිය ගී රැසක පදමාලා මේ පොතට ඇතුළත්වීමත් විශේෂයක් කියා මං හිතනවා. මේ හැම ගී පද මාලාවක්ම මම මගේ හදවතින්ම ආසාවෙන් ලියූ පදමාලා මිස මුදල් බලාගෙන ලියපුවා නෙමේ. ජෝති ගැයූ තවත් ගීත සමඟ ‘ඇස් දෙක වාගෙ හිටිය දෙන්නට’ ගීතය ඇතුළත්ව ඒ නමින්ම ගී පොතක් ද ඉදිරියේදී පළ වෙනවා.
‘ජීවිතේ – ජීවිතේ ප්‍රීති සංචාරෙකි ලොවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිව රෑ රැඳෙයි සුවේ . . .!
ගැයුම – ධර්මදාස වල්පොල
එලෙස ‘කේසර සිංහයෝ’ චිත්‍රපටයට පසුබිම් ගීතයක් ඇලෝයි ලියා ඇති නමුත් ඔහුගේ ජීවිතය ‘ප්‍රීති සංචාරයක්’ වීදැයි අපට නම් පැනයකි. මන්ද බරපතළ හෘද රෝගයකින් පෙළෙන ඇලෝයි වයෝවෘද්ධ හෙයින් අදාළ ශල්‍යකර්මය කළ නොහැකිව නිවසට වී කල දවස ගෙවන්නට ඔහුට සිදු වී ඇති නිසාය. සිය ආදරණීය බිරිඳ සුමනාගේත්, දරුවන්ගේත් සත්කාර හැරෙන්නට කලා ක්ෂේත්‍රයේ කිසිවෙකුගේ හෝ ළෙන්ගතුකමක් මෙතෙක් හිමි වී නැති ඇලෝයි ශ්‍රවණාබාධයකින් ද පෙළෙන හෙයින් ළඟින් හිඳ කතාබහ කර පහදා දීමෙන් මිස දුරකථනයෙන් ඔහු හා සම්බන්ධ වීමට නොහැක.
ජනප්‍රිය සරල ගී පද රචනා කලාවෙන් අහන්න, විඳින්න පුළුවන් ගී නිර්මාණ ගණනාවක්ම සිංහල ගී පද රචනා සාහිත්‍යයට දායාද කර දී සිටින ඇලෝයිව මෙලෙස හුදකලා නොකොට අගයන්නේ නම් මේ ඊට අවස්ථාවයි. කිසියම් කලාකරුවෙකු හට උපහාරයක්, අගැයීමක් කරන්නේ නම් එය වඩා සුදුසු වන්නේ ඔහු හෝ ඇය ජීවත්ව සිටියදී යයි අපි සිතමු. තවමත් ඇලෝයි ගුණවර්ධන කලාකරුවාණන් ජීවතුන් අතර සිටියි. ඉතින් ‘මළවුන්ට දෙන මල් වඩමකට වඩා ජීවතුන්ට දෙන එකම එක රෝස මලක්’ වුව එය අගේ නොවනු ඇද්ද?
Post a Comment