BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, October 12, 2014

මොහොතක මා ඔහුගෙන් විමසා සිටියේ කොහොමද? 92 සපිරුණු ඔබගේ ජීවිතය කියාය....


ආත්ම භාෂණය නිමා කරනු වස් ඔහු පාවිච්චි කළ වචන කෝෂයේ තරම පිළිබඳ අදහසක් ඇති කර ගත්තකු හට 'මෙවන් නිවිච්ච අයකු සමඟ සල්ලාපයේ යෙදීමට ඉඩ ලැබීම පිළිබඳ ආත්ම අභිමානය ඇති වන්නේ කෙලෙසද මම එම මොහොත අත්විඳිමින් සිටියෙමි. ඔහුගේ සිතට උනන සිතිවිලි පරයා මුවඟට උනන වචනවල පාලනයක් තිබෙන බව වැටහුණේ 'මහත්තයා මේ කියන්නේ මගේ අවුරුදු 27 ඉඳල ජීවිතය, යැයි ඔහුම පැවසුවාට පසුවය.



අප පැමිණ සිටියේ පදියපැලැල්ල හරහා ඉඩම්පිටිය ගම් මැද්දටය. මුල් දිනවල පුරා තම චණ්ඩ රශ්මියෙන් මහ පොළොව පෙළමින් සිටි හිරු,ක‍දා් පැණියකු ලෙස කඳු වළල්ල අතරින් අතරමං වුණ සේ බැස ගියේ මීදුම නැඟ ආ නිසාය. හිරුගේ අඩකවම ගමනට කොමාවක් තබන්නට සිතා සිටීමද මීදුම නැඟ ඒමට හේතුවක් වන්නට පුළුවන. මීදුම අතරින් පෙරී එන චාම් හිරු කිරණ රත් කෙදි වර්ණයක් මීදුම මත උපද්දවා තිබුණු සැ¼දෑ මොහොතක මා ඔහුගෙන් විමසා සිටියේ කොහොමද..? 92 සපිරුණු ඔබගේ ජීවිතය කියාය.
අප සිටි ඉස්මත්තට පහළින් ගලා ගිය බෙලිහුල් ඔය දිය තලාවේ මුහුණතක් බදු ඔහුගේ දෙඇස එහෙට මෙහෙට සක්කලන් කරන්නට වුණේ කිසිවක් නොදන්නා කාලසීමාවක ඒක නාමය ලෙස සහ කාලාන්තරයක් පුරා ගොන් කරත්තවල සිට සුඛෝපභෝගී රථවාහනවලින් මෙම නුවරට (මන්දාරම් පුරයට) ආගිය සතා සතුන්ගේ, මනුෂ්‍යයන්ගේ, හැසිරීම් සතුට ගෙනෙන පියවර අට මඟින් තමා ග්‍රහණය කර ගත්තා වැනි හැඟීමක් මුහුණ පුරාවට ඇති වුණු නිසාය. එය කදිම පිළිතුරක් ලෙස මම භාරගතිමි.
මා සමඟ සල්ලාපයේ යෙදී සිටිනුයේ පැරැණි ගම්පතිවරයෙකි. නොදන්නා කරුණක් දන්නා ලෙස ගළපාගෙන අදහසකට පැමිණියහොත් 92ක වසරක් පසු කළ මෙම මිනිසා ලංකා තලය මත ජීවත්වන අවසන් ගම්පතියා වීමටද පුළුවන. හේ නමින් කපුහින්නේ කරුණාධිපති දිවාරත්න වාසල මුදියන්සේලාගේ සමරකෝන්ය.


ඉංග්‍රීසි පාලන සමයේ කන්ද උඩරට එළිපෙහෙළි කරනු ලැබුවේ තේ, කෝපි වගාවන් සඳහාය. වාණිජමය බෝගයක් ලෙස තේ වගාව ව්‍යාප්ත වූවාට පසු ඒ හා සමඟ සැසඳෙන පාලන රටාවක්ද කඳුකරය තුළ ස්ථාපිත වූයේ වාණිජමය පහසුකවලට ලක්කරන පුද්ගලයන් ශික්‍ෂණයකට ලක් කළයුතු යැයි එවකට සිටි පාලකයන් සිතූ නිසාද විය හැකිය. 1950 දශකයේදී සුදු ඒජන්ත මහත්වරුන්ගේ පාලනය ගම් නියම් ගම් කරා රැගෙන යෑම මුල් කරගත් බලතල ප්‍රදානයන් ලෙස ගම්පති තනතුර ඇති වන අතර ගම්පතියකු වීමට කැමැති අයකු තනතුර ලැබුණෝතින් පළමුව සිදු කළ යුත්තේ කරකාර බැඳීම යැයි යන නීතියක්ද පනවා තිබිණි. මා පළමුවෙන්ම විමසා සිටියේ 1950 දශකයට පෙර මන්දාරම් පුරය පැවැති ආකාරය පිළිබඳවය.


"ඒ කාලේ පාරවල් හිඟයි. සාමාන්‍ය විදියට පාරවල් තිබුණේ. නුවරඑළිය, මතුරට පැත්තෙන්. හඟුරන්කෙතින් පටන් ගත්ත කරත්ත පාරවල් පල්ලේබැද්ද දක්වා තිබුණා. සුද්දෝ ඒ අයගේ ලොකු වතුවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අරගෙන ගියේ ඒ කරත්තවලින්. කරත්ත ටික එක පේළියට මහනුවර ඉඳල හඟුරන්කෙත හරහා පල්ලේබැද්දට එනවා. පල්ලේබැද්දේ ඉඳල ඒ ගෙනාපු භාණ්ඩ වතුවලට අරගෙන ගියේ එළමලේ ඉඳල තිබුණු කැරකෙන කේබල්වලින්. ඒ කේබල් කැරකුණේ වතුරවලින්. එක එක වතුවලට ගිය බඩු බා ගත්තට පස්සේ ඒවාට වතුවලින් කඩා ගත්ත තේ දලු ගෝනි පටවන එක කළා. ඊට පස්සේ තමයි ඒවා කරත්තවලට පටවාගෙන ආපහු නුවර පැත්තට එන්න පල්ලම් බැස්සේ. ඒ කාලෙ ඒ කරත්ත කොන්ත්‍රාත් පදනම මත ගත්ත ඒවා. නුවරින් කරත්ත පිටත් වුණාම කන්ද හන්දිය, හඟුරන්කෙත, නුගයාය, එළමලේ විතරයි නතර කළේ. ආපහු කරත්ත පිටත් වුණාමත් ඒ තැන්වල නතර කරල තමයි ගමන් ආරම්භ කරන්නේ. ඒ අරගෙන ගිය බඩු බෙදුවේ කබරගල වත්තටයි, මන්දාරම්පුර වත්තටයි විතරයි. එනමලේදි කම්බිවල දාල බඩු වතුවලට යවන එක බලන්න ලස්සන වැඩක්. දැන් ඒ කම්බි ඔක්කොම ගලවල දාලා ඉතිරි වෙලා තියෙන්නේ මන්දාරම් නුවර ගෝනි බාගත්ත ඉස්ටෝරුවේ එක කණුවක් විතරයි.
මට පුංචි සන්ධියේදීම වුවමනා වුණා මේ පැති දියුණු වෙනවා දකින්න. ඒත් මම දැනගන හිටියා සුද්දෝ මේ ටික නොකළානම් අපේ පාලකයෝ ඒවා කවදාවත් කරන්නේ නැහැ කියලා".


උඩරැටියන් ලෙස තම පෙළපත් ගෝත්‍රය පිළිබඳ මිනිසුන්ට ඇත්තේ ආත්ම සන්තෘෂ්ටිය පරයා ගිය හැඟීමකි. නමුත් එය කිසි විටෙකදී හුදු ආඩම්බරකාරී සිතිවිල්ලක් නොවී ආත්මාභිමානය පිළිබඳ වූ සිතිවිල්ලක් විය යුතුය. අප කතානායක තෙමේද එවැන්නෙකි. අද වන දෙය හෙට වන විට ඉතිහාසයට අයත් වන නිසා ඉතිහාසය යනු මුඛ පරම්පරාව යැයි කීමද අතිශයෝක්තියක් නොවේ. ඒ මුත්? මෙම මිනිසුන් ඉදිරිපිට ඇත්තේ අලිඛිත මුඛ පරම්පරාගත ඉතිහාසයක් නොව ලිඛිත සහ භෞතිකව අත්විඳිය හැකි ඉතිහාසයකි. ලිඛිත ඉතිහාසයේ මුල් ඉම වන්නේ තම මන්දාරම්පුර පුවතය. කාව්‍යයක් ලෙස ලියවුණු මන්දාරම්පුර පුවතට අනුව අප කතානායක තෙමේගේ ඉතිහාසය ලකුණු වන්නේ ක්‍රි.ව. 1700 රජ කළ විමලධර්මසූරිය රජුගේ පාලන සමය සමඟය.


"දුම්බර, හාරිස්පත්තුව, මාවනැල්ල කියන හතර කෝරලය විමලධර්මසූරිය රජතුමාගේ කාලේ පාලනය කරල තියෙන්නේ ගිරි කියන නිගන්ඨ ආගම අදහපු පුද්ගලයෙක්. ජනතාව මේ පාලකයාට ඒ තරම් කැමැත්තක් දක්වලා නැහැ. ඊට පස්සේ විමලධර්මසූරිය රජතුමා මේ ගිරි පාලකයාව බලයෙන් පන්නල දාන්න එයා යටතේ හිටපු දක්‍ෂ නිලධාරියෝ 4 දෙනෙක් පිටත් කරල තියෙනවා. ඒ අය මා ඔයෙන් එගොඩ වෙලා බෙලිහුල්ඔය හරහා මාලිගාතැන්නට ඇවිත් තියෙනවා. සටන ඇරඹිලා තියෙන්නේ වැල්ලේගිරියේදී. වැල්ලේගිරිය නම හැදුණේ ඒ නිගන්ඨයා අල්ලලා ගිරියට වැලි දාල කොටපු හින්ද කියලයි තියෙන්නේ. බලය තහවුරු කරගත්තට පස්සේ ඒ ඇමැතිවරු කවුරුවත් ආපහු ඒ අයගේ ගම් පළාත්වලට ගිහින් නැහැ. ඒ අය අතරින් අපේ පරම්පරාවේ උරුමක්කාරයා දිවාරත්න. සම්පූර්ණ නම කිව්වොත් කපුගින්නේ කරුණාධිපති දිවාරත්න වාසල මුදියන්සේ. එයා තමයි මේ කපුගින්න කියන ප්‍රදේශයේ පදිංචි වුණේ. ඒ පරම්පරාව තමයි අපේ පරම්පරාව. එතකොට පුද්ගලවංකඩ ඇමැතිතුමාට දුන්න වැල්ලගිරිය කොටස. වීරසූරියයි හීන්කෙන්දයි කියන ඇමැතිවරුන්ටත් තම පළාත් අයිති වුණා. කපුකොටුව පරම්පරාවත් අපේ ඇමැතිවරු එක්ක මේ පළාතට සේන්දු වුණු වැදගත් පරම්පරාවක්.


පරම්පරා කතාව එහෙමයි. ඊට පස්සේ මට මතක අපේ අප්පච්චිලාගේ, සීයා තාත්තලාගේ කාලේ ගැන විතරයි. ඒ කාලේ බොහොම සෞම්‍යයයි. අපේ අප්පච්චිට තමයි මාව ගම්පතිවරයෙක් කරන්න වුවමනාව තිබුණේ. අප්පච්චි හැම කෙනාටම උදවු පදව් කරගෙන හිටිය කෙනෙක්. අම්මත් එහෙමයි. ඒජන්ත උන්නැහැ මේ පළාතට රාජකාරි කටයුත්තකට ආවොත් ඒ කාලේ නතර වෙන්නේ අපේ මහ ගෙදර. මහ ගෙදර කියන්නේ 20කට ආවත් කෑම වරදින්නේ නැති තැනක්. ඒවා ශාලා ගෙවල්. ඒ කියන්නේ හතර පලේට ගහලා හතර පැත්තෙන්ම ගෙට ඇතුළු වෙන්න ‍ෙදාරවල් දාලා තිබුණේ. කැමැති කෙනෙක්ට ගෙට ගොඩවෙලා කාල බීලා යන්න පුළුවන්කම තිබුණා. අප්පච්චි නූගතෙක් නෙවෙයි. ඒත් එයා පිළිවෙළකට අධ්‍යාපන කටයුතු කරගෙන ගිහින් තිබ්බේ නැහැ. ඒ පාර අප්පච්චිට ඕනෑ වුණා මට හොඳට උගන්වන්න. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ 8 දෙනෙක් හිටියා. තාමත් ඒ අය ජීවතුන් අතර. මම තමයි ජීවත්වන අයගෙන් වැඩිමලා. ඉගෙනගන්න තියෙන උනන්දුව හින්ද අප්පච්චි මාව පදියපැල්ලේ පොල්වතු ස්කෝලෙට ඇතුළත් කළා. ඊට පස්සේ පොරමඬල මහා විද්‍යාලයට ඇතුළත් කළා. බාලිකාවේදි තමයි ජේ‍යෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය පාස් වුණේ. පදියපැලැල්ලේ ඉඳල මම පොරමඬලට ගියේ හැතැම්ම හතක් පයින්. මාසයකට ඉගන ගන්න ගාස්තු විදියට රු. 15ක් ගෙවන්න වුණා. උදේ පාන්දර 4ට ඉස්කෝලේ යන්න ගියාම හැන්දෑවේ 3 වෙනවා ආයේ පදියපැලැල්ලට එද්දී.


ඉංගී්‍රසි, දෙමළ, සිංහල කියන මාධ්‍ය තුනම මට ඉගෙන ගන්න ලැබුණේ පොරමඬල මහා විද්‍යාලයේ ගුරුවරුන්ගේ මඟපෙන්වීමෙන්. පස්සේ මට මුලින්ම පත්වීමක් ලැබෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට. ඒ කාලේ අපි තමයි නුවරඑළිය වසමේ ජල පහසුකම් භාරව හිටියේ. එක එක පළාත්වල දිය උල්පත් හඳුනාගෙන ඒවා සංරක්ෂණය කරගෙන වතුර අඩු පළාත්වලට අරගෙන යන්න මාව පත් කළා. මම ඇළ මාර්ග තුනක් අලුතින් කපලා අක්කර 150ක ඉඩමක් වුණ වුඩ්වුක් වත්ත ආණ්ඩුවට පවරාගෙන අලුතින් ජනපදයක් ඇති කළා. ඔය විදියට මිනිස්සුන්ට සේවය කරගෙන ඉද්දි තමයි නුවරඑළියේ ඒජන්ත තැන කතා කරල කිව්වෙ ගම්පතිවරු පත් කරන්න යනවා, ඒකට ඉදිරිපත් වෙන්න කියලා. ඒකට මගේ අප්පච්චි බොහොම කැමැති වුණා. යමක් කමක් තිබුණු ජනප්‍රසාදය තිබුණු පවුල්වල තරුණයෝ විස්සක් විතර ඒජන්ත තැන ගෙන්වලා ප්‍රශ්න කරලා ඒ අතරින් දෙන්නෙක් තෝර ගත්තා. ඒ දෙන්නට පොරමඬලට එන්න කියල මිනිස්සුන් ගෙන්නුවා. ගෙන්නල ඇහුවා මේ දෙන්නගෙන් කවුරුද උඹලගෙ ගම්පති කියල. මිනිස්සු කෑගහලා කිව්වා මම තමයි සුදුස්ස කියලා. ඒ වෙලාවෙම ඒජන්ත උන්නැහේ මගේ පත්වීම ස්ථිර කළා. මම ගම්පති වුණු එක ගැන මිනිසුන්ට හරි සතුටුයි. මිනිස්සු මාව අලියෙක් පිට තියලා පෙරහරකින් තමයි ගමට එක්කගෙන ආවේ.


ගම්පති විදියට වැදගත් රාජකාරි ගොඩක් පැවරිලා තිබුණා. ගම්පති වගකිව්වෙ ආදායම් පාලක නිලධාරියාට. ආදායම් පාලක නිලධාරි ගොඩක් අය සුද්‍ෙදා. කාර්යාලවල ඉඳන් නිලධාරිගොල්ල දක්වා අය වැඩ කළේ නීතියට. 1950දි මම ගම්පති වෙද්දි පුදුම කාර්යක්ෂම පාලනයක් තිබ්බෙ. කොච්චර දුෂ්කර ප්‍රදේශයක වුණත් දවසක් දෙකක් ඇතුළත ජනතා ප්‍රශ්නවලට අපි උත්තර බැන්ද. ඒ කාලේ විදියට ගම්පතිට තමයි තුලානවල හැමෝ බය පක්ෂපාති. කිරිමේල් වැඩක් කළත් මගුලක් මළගෙයක් උදා වුණත් පොදු උත්සවයක් වුණත් ඒකට ගම්පතිගේ මැදිහත්වීම අනිවාර්යයි. මේ පොදු මැදිහත්වීම නිසා තමයි මම අර ඉස්සරවෙලා කිව්ව වගේ ගම්පති තනතුර දරන කෙනා තනතුර භාර ගත්තට පස්සෙ පෙලවහක් කර ගන්න ඕන කියන නීතිය ආවෙ. විශාල ප්‍රදේශයක් පාලනය කරපු හින්ද මට ගෙදර වැඩකටයුතුවලට ඒ තරම් කාලයක් වෙන් කරන්න බැරි වුණා.

මගේ බිරිය තමයි දරුවන්ගෙ සෑම දේම සොයල බලල ඒ අයට උගන්වන්න උනන්දු වුණේ. නුවරඑළිය කොටසේ හැම තැනම ඒ කාලෙදි දුෂ්කරයි. මම ඔය හැම තැනටම පයින් ඇවිදල තියෙනවා. වාරිමාර්ගයෙ වැඩ කරද්දි ලැබුණ දැනුමත් ඒකට බලපාපු කරුණක්. පුරාණ කාලෙ ගල් සොරොව් දාල හදපු මහ විශාල වැව් අටක් දහයක් අදටත් කැලේට යටවෙලා තියෙනවා. කොයි කාලෙද හදාපුවාද කියන්න බැරි වුණත් ඒ වැව් ටික හදල ගත්තොත් තවත් ජනතාව මේ ප්‍රදේශවල පදිංචි කරන්න පුළුවන්. පාරවල් හදන්න මිනිස්සු උනන්දු කරන්න පැවරුණේ අපිට. මොරපාය පන්සල දැන් පිහිටලා තියෙන තැන තියෙන ගල් පාලම තමයි ඒ කාලෙ පාලම් හදන්න උදාහරණයකට ගත්තෙ. සුද්දගෙ කාලෙ ඒ පාලම හදල තියෙනවා කියල කියන්නෙ පොල්ලෙලි පුරවල ඒ උඩින් බදාම කළුගල් උඩින් බර වැටෙන විදියට තද වෙන්න අඩුක් කරල. අඩකේ කිරිල්ලෙන් පස්සෙ කරනවා කියන්නෙ ඒ පොල්ලෙලි ගොඩට ගිනි තියනව කියන එක. දුම් ගහල ඒ සැරට තමයි පාම සවි ශක්තිමත් වෙන්නෙ. ඔය තාක්ෂණය අරගෙන අපි පාලම් ගොඩක් හැදුව. සෑම දුෂ්කර මාර්ගයක්ම ප්‍රධාන මාර්ග එක්ක සම්බන්ධ කරන්න තමයි අප උත්සාහ ගත්තෙ.


මේ තත්ත්වය අපි නුවරඑළියෙ හොඳින් පවත්වාගෙන ගියා. සුද්දගෙ පාලනයට මුල් තැන ලැබිල ඒකට හුරු වුණ මිනිස්සු හිටිය හින්ද වැඩි කරදරයක් නැතිව ගම්පතිකමේ බලතල පාවිච්චි කරල පාලනය කරගෙන යන්න පුළුවන්කම තිබ්බ. ජීවිත කාලෙටම වැරැද්දකට කියල මම ඔය කාලෙ කළේ පොඩි අඩියක් ගහපු එක. ඒකත් මම දරුවව ලොකු මහත් වෙන්න ගත්ත ගමන් අත්හැරිය. සීතල උහුලගන්න බැරි දවස්වලත් මම අරක්කු ඩිංගක් නොබී රාජකාරි කරන්න ගත්ත. ඒ කාලේ අඩියක් ගහනවා කියන එක ඒ තරම් දෙයක් නොවේ. රජයේ නිලධාරි ගොල්ල පොඩියට රත්වෙලා, සිගරැට් එකක් දල්වාගෙන ජේත්තුකාර විදියට තමයි රස්සාව කළේ.


1950 ඉඳල මම ගම්පති විදියට වැඩ කරපු එක අවසන් වුණේ 1963දි. 56 බලය අල්ලපු සමගි පෙරමුණු ආණ්ඩුවට ගම්පතිකම් කරපු අය ඇල්ලුවේ නැහැ. මොකද ගම්පතියෝ හැමෝම යූ.ඇන්.පී.කාරයෝ. ඒ පාර ඉලංගරත්න මහත්තයට හේවාහැටදී එක ගම්පතිවරයෙක් ‍ෙදාස් කිව්ව කියල උන්නැහේ ගම්පතිකම අහෝසි කරන්න නීති ගෙනාවා. ගම්පතිකම දරද්දි ආණ්ඩුව මට ගෙව්වෙ රුපියල් දෙසීය ‍ෙදාළහයි. ඒ පඩිය දෙවැනි වුණේ ආදායම් පාලකට විතරයි. ඒ පාර ආණ්ඩුව කිව්ව ග්‍රාමසේවක විභාගය කියල එකක් හඳුන්වල දෙනව එක පළාතකට වසම් ඇති කරල කාරිය ඒ අයව පත් කරනව. ගම්පතීන්ට පුළුවන් තරග කරල විභාගය ලියල ආයෙ රාජකාරි කරන්න කියල. ඒ කාලෙ අධ්‍යාපනයයි සල්ලිය භාගෙයි දෙකම තිබුණ ගම්පතිවරු අඩුයි. මම කල්පනා කළා මේක අභියෝගයක් නම් මම ඒක භාරගන්න ඕන කියල. පරණ ගම්පතිවරු 22ක් ලංකාවෙන්ම විභාගය ලියන්න තීරණය කළා. ඒත් ඒ අය අතරින් දෙන්නටයි විභාගය පාස් කරන්න ලැබුණෙ. ඒ හැමෝම අතරින් මම තමයි වැඩිම ලකුණු ගත්තෙ. 63 අවුරුද්දෙ අග භාගයේදී මට රුපියල් 242ක පඩියට රූගම වසමේ ග්‍රාමසේවක විදියට පත් වුණා. රූගම කියන්නේ හේවාහැට පැත්තෙ තියෙන දුෂ්කර ගමක්. මම ඒත් උපරිම දක්ෂකමින් රාජකාරි කළා. ඒ කාලෙ සමගි පෙරමුණු ආණ්ඩුව හින්ද මිනිසුන්ට ගොඩක් ප්‍රශ්න තිබුණා. මුලින්ම හමු වන රාජ්‍ය නිලධාරියා හින්ද මිනිස්සු හැම ප්‍රශ්නයකට උත්තර හෙව්වෙ ග්‍රාමසේවකගෙන්.

ඔය කාලෙ මම ලංකාවෙන්ම පළමුවැනි කාර්යක්ෂම ග්‍රාමසේවක වුණා. ඒ පාර ස්වදේශ කටයුතු ඇමැති දහනායක උන්නැහේ මගෙන් ඇහැව්වා මොනවද තියෙන ප්‍රශ්න කියලා. මම කිව්වා මට පෞද්ගලික ප්‍රශ්න නැහැ.තියෙන්නෙ සේවය ගැන පොදු ප්‍රශ්නයක් විතරයි කියලා. ඒ පාර උන්නැහේ ඇහැව්වා මොකක්ද ඒ පොදු ප්‍රශ්නය කියලා. මම කිව්වා ඇයි ග්‍රාමසේවක කියලා මේ තනතුර පවත්වාගෙන යන්නේ, ඒක ග්‍රාම නිලධාරි කරන්න කියලා. ඒකෙන් මම බලාපොරොත්තු වුණේ අලුතින් සේවයට එක්කාසු වන අයගේ අභිමානය නඟාසිටුවන්න. දහනායක උන්නැහේ කිව්වා මම ඒක කරනවා කියලා. ඒ පාර 1965දී විතර ග්‍රාම සේවක ග්‍රාම නිලධාරි වුණා. දහනායක උන්නැහේ කතා කරල කිව්වා අන්න අර පොදු සටන ඔයා ජය ගත්තා කියලා.


ග්‍රාම නිලධාරි රස්සාවට වැඩිය වටින්නේ ගම්පති රස්සාව. තනි තීරණ අරගෙන ඒව ක්‍රියාත්මක කරන් පුළුවන්කම ගම්පතිට තිබුණා. ඒකට හොඳම උදාහරණය තමයි මම කිව්ව වුඩ්වුක් ජනපදය. වුඩ්වුක් ජනපදය මම හැදුවේ මම පෞද්ගලිකව මුහුණදුන්න අත්දැකීමක් මුල් කරගෙන. මගේ මහගෙදර පිහිටල තිබ්බෙ ඉඩම්පිටිය ගමේ. ඉඩම්පිටිය කියන්නේ පොඩි ඉඩක ගෙවල් ගොඩක් පිහිටල තිබ්බ තැනකට. ඒ කාලෙ හොරෙක් හතුරෙක් තියා අපිටත් අනික් ගෙදරට නොදැනෙන්න එළිපහලියට යන්න අමාරුයි. හැම තැනම නාය යන හින්දා නාය නොයන කොටසක මිනිස්සු කොටු වුණා. මේක හරියන්නේ නැති නිසා මම වුඩ්වුක් වත්ත කොටස්කරලා අක්කර එකහමාර ගාණේ පනහකට බෙදල දුන්නා. ගොවි ජනපද ආරම්භ කරද්දි පොළොන්නරුව, පදවිය, ගිරිතලේ වගේ ප්‍රදේශවලට ඉඩම් නැති අයව අරගෙන ගියා. එහෙම ගිහින් ආපහු රාජකාරිය අවසන් කරලා ගෙදර එද්දි අරගෙන ගිය මිනිස්සු අපිට කලින් ගෙදර ඇවිත්. ඒත් ඒ විදියට පදිංචියට ගිය අයට වැරැදුණේ නැහැ. ඒ පාර මම ගමට තවත් සේවයක් කරන්න ඕනෑ කියලා නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවක් ඉදි කළා. අදටත් ඒක නිසා ගොඩක් දෙනා නිරෝගී වෙනවා. හොඳ දරුවො සමාජයට දායාද කරලා තවත් ඒ වගේ දරුවො යහපත් පුරවැසියො කරපු එක තමයි මේ ජීවිත කාලෙදි මම හරිහම්බ කරපු දේ. අදටත් මම මගේ වැඩ ඔක්කොම කර ගන්නවා. අසනීප තත්ත්වයක් කියලා විශේෂයෙන් සඳහන් කරන් දෙයක් නැහැ. පොඩ්ඩක් සීතල වැඩ දවස්වලට කන පොඩ්ඩක් විතර ඇහෙන එක අඩු වෙනවා. දරුවො,බෑනල, ලේලිල හැම දෙනාම මට මගේ දරුවෝ වගේ. ඒ අයත් මට ආදරෙයි. මාව රැකබලා ගන්නවා. ඉතින් මීට වඩා සැපයක් මම බලාපොරොත්තු වන්නේ නැහැ."

පාර දිගේ ඇසූ පිරූ තැන් ඇති මා ලද අත්දැකීම් තුළින් කලකට ඉහතදී දැන කියාගත් සුමුදු අමුතු මිනිසෙක් අනුරාධපුරයට නුදුරු ගම්මානයක විසුවේය. හේ කරුණු කාරණා දන්නා කියන වයසැති අයෙකි. මීහරකුන් දක්කන විටදී ඔහුගේ බෑගිරියත් මල්කෑර කෝටුවේ කිසි කිසියත් අතරතුර පළමු වතාවට ඔහු සමඟ සල්ලාපයේ යෙදුණෙමි.


"ගොයියෝ මේ ස්වභාවධර්මයා ගැන විතරයි මට විශ්වාස. 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger