BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, September 11, 2014

‘සරස රංග‘ ශාස්ත්‍රීය සංගීත හා නර්තන ප්‍රසංගය

ඇතැමුන් කලා ලොවට පිවිසෙනුයේ පවුල් පරම්පරාවෙන් කලා ක්ෂේත්‍රයට කිසිදු සබඳතාවක් නොමැති පසුබිමක් යටතේ ය. මේ අතර සමහරු මවුපිය උරුමය ද සමඟ කලා ලොව දිග්විජය කරති. කලාකරුවකුට හෝ කලාකාරියකට එබඳු පාරම්පරික කලා උරුමයක් තිබුණත් නැතත් එහිදී වැදගත් වනුයේ ඔහු හෝ ඇය කලා ලොව නිම්වළලු පුළුල් කරනු වස් නවතාවයෙන් දායාද කොට ඇත්තේ කුමක්ද? යන්නයි.
එහෙත් කලාකරුවකු හෝ කලාකාරියක හඳුන්වා දීමේ දී පාරම්පරික උරුමයක් ඇතිනම් එම හඳුන්වාදීම ඉතා පහසු වන බව මා නොකිව යුතු ද? සංගීත විශාරද වාද්‍ය නිපුන්, ශාස්ත්‍රපති පී.වී. මනෝමංජරී යනු සංගීත් නිපුන් පී.වී. නන්දසිරි (නාමශේෂභාවෝපගත) ගාන්ධර්වයාණන්ගේ දුවණියන් ය.
සංගීත විශාරද රූපශිඛා රණතුංග යනු ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග යුවළගේ දුවණියන් ය.




මනෝමංජරී මේ ප්‍රසංගයේ අධ්‍යාශය මා හා හෙළි කළේ මෙලෙසිනි. වී. නන්දසිරි කලා කේන්ද්‍රයත් අමරදයා පදනමත් එක්වෙලා මේ ප්‍රසංගය පැවැත්වීම සුවිශේෂත්වයක්. මේ කලා කේන්ද්‍ර දෙකම ඒකරාශිවෙලා පවත්වන ප්‍රථම ප්‍රසංගයත් මෙයයි. මීට පෙර අපි වෙන වෙන ම පදනම් දෙකෙන් ප්‍රසංග පැවැත්වූවා. අපි කුඩා කාලයේ ඉඳලම අපේ පවුල් දෙක අතර සමීප මිත්‍රත්වයක් තිබුණා. ඒ නිසා මාත් රූපශිඛාත් එකතු වෙලා මේ නිර්මාණ කාර්යය ඉදිරියට ගෙන යන්න හිතුවා.
උත්තර හා දක්ෂිණ භාරතීය සංගීතය, කථක් නර්තන ශෛලිය ඔස්සේ ගායන, වාදන, නර්තන, ශාස්ත්‍රීය ප්‍රසංගයක් පැවැත්වීමයි අපේ ප්‍රධාන අරමුණ. කුඩා කාලයේ ඉඳලම පියාගේ ආභාසය මට ලැබුණා. පියා නිවෙසේ සංගීත අභ්‍යාසවල නියැළෙන අයුරුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කරන ආකාරය මාත් මගේ සොහොයුරාත් දැක්කා. ඉන්පසු ඉදිරියට ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමේ අරමුණෙන් මා භාරතයට ගියා. එහිදී ආචාර්ය ශ්‍රීමතී එන්. රාජම්ගේ වයලින් වාද්‍ය ශෛලීය ප්‍රගුණ කිරීමේ අවස්ථාව ලැබුණා. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබා පසුව බෙනාරස් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. නැවත මෙරටට පැමිණීමෙන් පසු ගීත නිර්මාණ කිහිපයක් කළා. නමුත් මගේ වැඩි නැඹුරුව තියෙන්නේ කලා කේන්ද්‍රය හරහා සංගීත ශාස්ත්‍රය ප්‍රගුණ කළ සිසු සිසුවියන් පිරිසක් බිහි කිරීමයි.
පී.වී. මනෝමංජරී
රූපශිඛා රණතුංග
මවු පිය උරුමය තමාගේ කලා දිවියට පදනම වූ බව රූපශිඛාවන් මා සමඟ මෙසේ පැවසුවා ය. කුඩා කාලයේ පටන් ම අපට අසන්නට දකින්නට ලැබුණේ මගේ මවුපියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සංගීතය පුහුණු කරන ආකාරයයි. ගායනය පිළිබඳ මගේ පළමු ගුරුතුමිය මගේ මවයි. මේ අතර මා අටහැවිරිදි වියෙහි පටන් කමලා ජයතිලක මහත්මියගෙන් හා පද්මිණී දහනායක මහත්මියගෙන් භරත නාට්‍යම් හැදෑරුවා. උසස් පෙළ දක්වාම හැදෑරුවේ භරත නාට්‍යම්. චන්න විජේවර්ධන, උපුලි පණිභාරත දෙදෙනාගෙන් උඩරට නර්තනය හැදෑරුවා.
උසස් පෙළ විභාගයෙන් පසුව මා භාරතයට ගියා. එහිදී බෙනාරස් විශ්වවිද්‍යාලයෙන් කථක් නර්තනය හැදෑරීම ඇරඹුවා. වසර තුනක් ආචාර්ය ශ්‍රීමතී රංජනා ශ්‍රිවාස්තව මහත්මිය යටතේ කථක් නර්තනයත් ආචාර්ය ප්‍රේම්චන්ද් හොම්බල් මහත්මයා යටතේ භාරත නාට්‍යයමි ශෛලියත් ආචාර්ය ශ්‍රීමතී වනමාලා මහත්මිය යටතේ ශාස්ත්‍රීය ගායනයත් හැදෑරුවා.
මේ ප්‍රසංගයේදී සංගීත අංශය මනෝමංජරීත් නර්තන අංශය මාත් මෙහෙයවනවා. මගේ නර්තන කාර්යයේදී අනුෂ්කා ඒකනායක මෙනවියගෙන් ලැබෙන සහයෝගය ද මෙහිදී කෘතවේදීව සඳහන් කළ යුතු යි. සංගීත් නිපුන් මංජුලා සෙනෙවිරත්න, ශාස්ත්‍රපති අරුණන්දි ආරුරන්, වාද්‍ය නිපුන් උපුල මධුශංඛ යන ශාස්ත්‍රීය සංගීතය හැදෑරු ශිල්පීන් ද මේ ප්‍රසංගයට සහභාගි වෙනවා. මේ ප්‍රසංගයේදී අසන්නට ලැබෙන්නේ පෙරදිග ඉන්දියානු සංගීතය පමණයි.
උත්තර හා දක්ෂිණ භාරතීය සංගීත සම්ප්‍රදායන් අතර දක්නට ලැබෙන මූලික වෙනස්කම් කවරේද යන පැනය මා යොමු කළේ මනෝමජරියටයි.
භාරතීය සංගීතය ගෙන බැලුවොත් ඉන් වඩාත් පැරැණි දකුණු ඉන්දීය හෙවත් කර්ණාටක සංගීත සම්ප්‍රදායයි. උතුරු ඉන්දියානු සංගීතය මූලාරම්භයට බලපෑවෙත් එයමයි. දකුණු ඉන්දියානු හා උතුරු ඉන්දියානු සංගීත ශෛලින් දෙකෙහි විශාල වෙනසක් තිබෙනවා. මන්ද උතුරු ඉන්දියානු සංගීතය පර්සියාව, උර්දු ආදී විවිධ සංගීත ශෛලින් ගේ ආභාසය ලබමින් වෙනම ශෛලියක් ලෙස මතු වුණා. ඒ අනුව උතුරු ඉන්දියානු සංගීතය විවිධ සංගීත ශෛලීන් රැසක සහසංකලනයක් ලෙසයි ගොඩනැඟුණේ.
දකුණු ඉන්දියානු සංගීත ශෛලීය තමයි මේවා සියල්ලට මූල බීජ සැපයුවේ. මෙරට දමිළ ජනතාව අතර ප්‍රකට වුණත් දකුණු ඉන්දියානු සංගීතය සිංහල සහෘදයාට වැඩිය අසන්නට ලැබෙන්නේ නැහැ. මේ සංගීත ශෛලීන් දෙකම ඉදිරිපත් කිරීමෙන් එහි වෙනස හා රසය අපේ ප්‍රසංගය ඔස්සේ සහෘදයාට ලබාදෙන්න අපි උත්සාහ කළා.
හින්දුස්ථානි සංගීතයෙහි තිබෙන ඇතැම් රාග වෙනත් නම්වලින් දකුණු ඉන්දියානු සංගීතයෙහි දකින්න ලැබෙන අවස්ථාත් තිබෙන බව මා ස්මෘතියට නැගිණ. උතුරු ඉන්දියාවේ භෛරවී රාගයට දකුණු ඉන්දියාවේ හනුමන්තෝඩි යනුවෙන් ව්‍යවහාර කෙරේ. මේ ගැන මනෝමංජරිය කුමක් කියනු ඇත්ද?
ඔබ කීවාක් මෙන් මේ සම්ප්‍රදායන් යුගලෙහිම සමානකම් වගේ ම වෙනස්කම් ද තිබෙනවා. හින්දුස්ථානි සංගීතයේදී මේල දහයකට අදාළ රාග සම්ප්‍රදායක් පමණයි අපි භාවිත කරන්නේ. නමුත් දකුණු ඉන්දියානු සංගීතයේ අපට වඩා මේල ප්‍රමාණයකින්, රාග ප්‍රමාණයකින් ඔවුන් ගායනා කරනවා. නමුත් සියයට අසූවක් රාග හින්දුස්ථානි සංගීතයේත් දකුණු ඉන්දියානු සංගීතයේත් එකම රාග, නම්වලින් පමණයි වෙනස්. ඒ වගේ ම අපි භාවිත නොකරන රාග වැඩි ප්‍රමාණයක් ද ඔවුන්ට තිබෙනවා. මෙකල නර්තනය බහුලවම වාණිජ කලාවක් ලෙස යොදා ගැනීම ගැන රූපශිඛාවන්ගේ පිළිතුර මෙසේ විය.
නර්තන කලාව අද සමාජයේ බහුලව භාවිත කරන්නේ මුදල් ඉපැයීමටයි. ගීතයකට නර්තනාංගයක් ඉදිරිපත් කිරීමේ වරදක් නැතත් එහි සීමාව දැනගත යුතුයි. අද මේ සීමාව පැනීමක් දක්නට ලැබෙනවා. සිරුර හුවා දක්වන ආකාරයට ඇඳුම් ඇඳීම මෙහි හානිකර ප්‍රතිඵලයක්. එතැන දී ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නව නිර්මාණයක් බිහි කිරීම හෝ නර්තන ශෛලිය පෙන්වීම නොවෙයි. සම්ප්‍රදායෙහිම ගැති වී නිර්මාණ කළ යුතු නැහැ. නව නිර්මාණ කළ යුතුයි, හැබැයි සීමාව දැනගෙන.
ලෝක වෙළෙඳ පොළ හා එහි බලවේග ජයගනු වස් තරග වැදීම හේතු කොට භාරතයේ සංගීතය හා නර්තනය යන කලාවන්හි අනන්‍යතාවට අද හානි වී ඇතැයි මට සිතෙන බැව් මම ඔවුන්ට කීවෙමි.
ඊට රූපශිඛාවන්, ඉන්දියානු නර්තනය චිත්‍රපට සඳහා උපයෝගී කරගැනීමේ දී ඔවුන්ගේ අරමුණ වන්නේ ලෝක වෙළෙඳ පොළ ජය ගැනීම හා මුදල් ඉපැයීමයි. බොහෝ විට ඔවුන් මෙහිදී ඇමරිකානු නර්තන ශෛලීන් අනුකරණය කරනවා. නමුත් අනෙක් පැත්තෙන් ඔවුන් තමන්ගේ නර්තන සම්ප්‍රදාය රැක ගන්නත් උත්සාහ කරනවා. ඉන්දියානු චිත්‍රපටවල දී ඔවුන්ගේ අනන්‍යතාව විනාශ කරගනිමින් සිටින බව පෙනෙනවා.
දා ඉන්දියානු සංගීත, නර්තන අනන්‍යතාව එහි ප්‍රෞඪත්වය විදහා පෑ ‘ජනක් ජනක් පායල් භාජේ...” බයිජු බව්රා, නව්රාන්ගේ වැනි චිත්‍රපට බහුලව බිහිවුණා. මෑතකදී ඉන්දියානු නර්තන අනන්‍යතාව දකින්න ලැබුණේ ‘දේව්දාස්’ නව නිර්මාණය ඇතුළු චිත්‍රපට කිහිපයක පමණකැයි මට සිතෙන බව මම පැවසීමි.
කිසියම් ගායකයෙක් ගීතයක් ගයද්දී ඔහුට බාධාවෙන ආකාරයට නර්තනාංග ඉදිරිපත් කරනවාට මම විරුද්ධයි. කීවේ මනෝමංජරීයයි. ඇය තවදුරටත්, අනෙක මෙහිදී බොහෝ විට සිදුවන්නේ සංයුක්ත තැටියක ගීතය වාදනය කරලා ගායකයා ඊට අනුව රඟපෑමයි. එවිට මතුවන්නේ ඔහුගේ නියම දක්ෂතාව නොවෙයි. ඉන්දියාවේ මෙය අද වාණිජ රැල්ලක් වෙලා.
ප්‍රාසංගික බවට මුල් තැන ලැබීම නිසා ගායකයාටත් ඊට අනුව නටන්න සිදුවෙලා. එය වෙලාවකට හරි විහිළුවක්. නමුත් ඔවුන්ගේ සම්ප්‍රදාය රැක ගන්නා බවත් පෙනෙනවා. දේව්දාස් චිත්‍රපටය සංගීතවත් කළේ ඉන්දියාවේ සිටින විශිෂ්ටතම නර්තන ශිල්පියා වන බිර්ජු මහාරාජ් පඬිවරයා. එහිදී නර්තනය සංගීතය, ගායනය සියල්ල මෙහෙයවූයේ ඔහු. ඒ ගීත සියල්ල රාගධාරි සංගීතයේ රාග ආශ්‍රය කොටගත් ඒවායි.
සරල ගීත ඕනෑම අයෙකුට ගයන්න පහසු වුණත් මෙබඳු ශාස්ත්‍රිය ගීත ගායනා කිරීම ලෙහෙසි පහසු නැහැ. අද මෙරට තිබෙන රැල්ල අනුවත් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, සංගීතය, නර්තනය හදාරන්න පැමිණෙන්නේ ඇතැම් ජනමාධ්‍ය මඟින් පවත්වන තරගවලට ඉදිරිපත්වීමටයි. මේ අතර ඉතාම අල්ප ප්‍රමාණයක් අවංකවම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමේ චේතනාවෙන් ඉගෙන ගන්න බව පෙනෙනවා. බොහෝ මවුපියන්ටත් ඕනෑ තරග සඳහා ළමයින්ගේ හඬ පුරුදු කරවන්නයි.
කටහඬක් පුරුදු කරන්න දවසෙන් දෙකෙන් බැහැ. අවබෝධයක් නැතිකමයි මෙතැන තියෙන්නේ. ශාස්ත්‍රීය සංගීතය ඉගෙනීම වැදගත් වන්නේ වේදිකාවේ රාග ගැයීමට නොවෙයි. නව නිර්මාණ බිහි කිරීමට එම දැනුම වැදගත් වන නිසයි.
එදා යුගයේ රාග පදනම් කොටගෙන කොයිතරම් නම් රසවත් ගීත මෙරට බිහි වුණා ද? අද පරපුරෙන් එබඳු නිර්මාණ අසන්නට ලැබෙනවාද? අනෙක එවැනි නිර්මාණ බිහි කිරීමට රාගධාරී සංගීතය ප්‍රගුණ කළයුතුයි. අද අපට රාගධාරී ශාස්ත්‍රීය සංගීතය අසන්නට ලැබෙන්නේ ජාතික ශෝක දිනයකදී විතරයි නේද?

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger