BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, September 13, 2014

වයස 95 දී‘කොම්පියුටරයෙන්’ වැඩ කළ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ.....

ළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් අළලා ලියැවුණු පොත් කීපයක් ම සමකාලීන සාහිත්‍යයේ දක්නා ලැබේ. පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ද චරිත කතාවක ස්වරූපයෙන් ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් ගැන පොතක් ලියා ඇත. එය නම් කර තිබෙන්නේ ‘බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි’ කියාය.

මේ මෑතදී තරුණ ලේඛකයකු වන සමුද්‍ර වෙත්තසිංහ ‘ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි’ නමින් මාහැඟි පොතක් ලියා පළකළේය. එය කියවන කල්හි එම අප්‍රකට ලිපි මහනාහිමියන්,  සමුද්‍ර වෙත්තසිංහට පෞද්ගලිකව එවූ ලියුම් බව පෙනී යයි.
මහනාහිමියන් හා මේ තරුණ ලේඛකයා අතර පැවැතියේ කිනම් ආකාරයේ සම්බන්ධයක්ද? සමුද්‍ර තම පොතේ පෙරවදනෙහිලා සඳහන් කරන පරිදි එම ඇසුර අතිශය පුදුමාකාර බැඳීමකි. ඔහු තවදුරටත් කියන ආකාරයට එය පූර්වාත්ම සම්බන්ධයකි. ඒ බව ආනන්ද මෛත්‍රෙය හිමියන් ද සමුද්‍රට එවූ පෞද්ගලික ලිපියක සටහන් කර ඇත. ඒ මෙලෙසය.
”ඔබ හා මා අතර සම්බන්ධය ඇතිවූයේ ඔබේ ඒ පෙර අත්භවේ තුබුණු සම්බන්ධය නිසාය.”
එහෙත් ඒ පෙර අත්භවයේ සම්බන්ධය කවරාකාර එකක් ද යන්න සමුද්‍ර අපට අනාවරණය කරන්නේ නැත.
ම සම්බන්ධය පෞද්ගලික කාරණාවක් බැවින් එය තවදුරටත් හාරාඇවිස්සීම නිෂ්ඵල ක්‍රියාවකි.
සමුද්‍ර තම පෙරවදනේ ද ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් පිළිබඳ ප්‍රලාප සහ ගජබින්න එකතු කළ පොත් පසුගිය සමයේ වේගයෙන් පළවූ බවත් ඒවායින් උන්වහන්සේගේ චරිතය විකෘති කර අවප්‍රමාණ කර ඇති අන්දමත් ඉන්ද්‍රජාලිකයකු කර ඇති අන්දමත් දැක කම්පා වූ බව කියයි. එහෙත් එම පොත් මොනවා දැයි සමුද්‍ර හෙළිදරව් නොකරයි.
මේ ගැන තවදුරටත් විමසා බැලීමේදී ආනන්ද මෛත්‍රෙය හිමියන් ඇත්තටම බුදු බව පැතුවේද?. උන්වහන්සේ කතරගම දෙවියන් දුටුවේද? ‘බුදු බව පතනා බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි’ ග්‍රන්ථය දොරට වැඩි අවස්ථාවේ ආනන්ද මෛත්‍රෙය හිමි කළ ප්‍රකාශයක් මෙහිදී මා සිහියට එයි. එහිදී උන්වහන්සේ පැහැදිලිවම කියා සිටියේ පෘථග්ජනයන් හැටියට අප තවමත් බෝධිසත්ව මාර්ගයට නොගිය බවයි.
කලකට ඉහතදී එක්තරා ඡ්‍යොතිෂ්‍ය පුවත්පතක් ‘මෛත්‍රි බුදුන් බළන්ගොඩින් ද?’ කියා විශාල සිරස්තලයක් යොදා සුවිශේෂ ප්‍රවෘත්තියක් පළකර තිබිණි. එහි ප්‍රතිඵල වශයෙන් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර බොහෝ දෙනා උන්වහන්සේ බැහැදැකීමට පැමිණියහ. ඉන්පසු මහනාහිමියන්ට සිදුවූයේ තමන් මෛත්‍රය බෝසතුන් නොවන බවත් එසේ සලකමින් තමන් බැලීමට නොඑන ලෙසත් පුවත්පත් ප්‍රකාශයක් නිකුත් කර කියා සිටීමටය.
මීළඟට; ආනන්ද මෛත්‍රෙය නාහිමියන් කතරගම දෙවියන් දැක්කාද? තමා කතරගම දෙවියන් දුටු බව උන්වහන්සේ ඉතා පැහැදිලිව ම ‘බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි’ ග්‍රන්ථයෙහිලා කියා සිටිති. එම ග්‍රන්ථය ලියා ඇත්තේ කතුවර පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමි උන්වහන්සේ සමඟ කළ සම්මුඛ සාකච්ඡා මාලාවක් ආශ්‍රිතවය.
මතුගම මහින්ද විජේතිලක මහතා ලියූ ‘අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ’ නමැති පොතේ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් කියා ඇති ආකාරයට කතරගම දෙවියන් යනු බුදුසමයේ දඹදිව සිටි දේවතාවෙකි.
බුදුන්ගේ නියමය පරිදි ලංකාවේ වැසියන් හා බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට මෙරටට ආ දෙවිකෙනෙකි. කතරගම දෙවියන් දැන් කතරගම නැති බවත් ඔහු ඉන්නේ ඔක්කම්පිටියටත් එහා ඈත මහවනයේ ගල්ගුහාවක භාවානුයෝගීව බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කියා ඇත.
ඉහත කෘතියට ප්‍රස්තාවනාවක් ලියන පූජ්‍ය බෙල්ලන ඥානවිමල ස්ථවිරයන් ප්‍රකාශ කරන කරුණක් ඉතාමත්ම මධ්‍යස්ථ බව කිව යුතුය. ඒ මෙලෙසය.
”කතරගම දෙවියන් පිළිබඳව බළන්ගොඩ මහනායක හාමුදුරුවන් පවසා ඇති තොරතුරු උන්වහන්සේගේම පුද්ගලික වැටහීමය. එය වෙනත් කෙනකුට වග විභාග කිරීමට හෝ විමසීමට අපහසුයි. පුද්ගලික අත්දැකීම් වශයෙන් එක එක පුද්ගලයා සත්‍ය ලෙස පිළිගන්නා දේවල් බොහෝම තියෙනවා. එයින් සමහරක් වෙන කෙනෙකු ඉදිරියේ සමර්ථනය කිරීමට සාධක නැත. එහෙත් අත්දැකීම් ලැබූ පුද්ගලයාට එය සත්‍යයකි. එබඳු ඒවා ප්‍රකාශ නොකර සිටීම වඩා සුදුසු දෙය බව මගේ පිළිගැනීමය.”
ආනන්ද මෛත්‍රෙය හිමියන් හා සබැඳි බුදු බව පැතීම, කතරගම දෙවියන් දැකීම, පූර්වාත්මයන්හි ප්‍රවාද හා මෝහන විද්‍යා වැනි කරුණු විශ්වාස කිරීම හෝ එය පිටුදැකීම පාඨකයන්ට භාර දෙයකි.
කෙසේ වෙතත් සමුද්‍ර වෙත්තසිංහ තම පොතෙන් ප්‍රයත්න දරා ඇත්තේ මේ ශ්‍රේෂ්ඨ යතිවරයාණන්ගේ චරිතය, දෘෂ්ටිය හා චින්තනය ගැන පෘථුල විමර්ශනයක යෙදීමටය. ආනන්ද මෛත්‍රෙය නාහිමියන් පිළිබඳ ප්‍රලාප හා ගජබින්නවලට දිය හැකි හොඳම පිළිතුර එය බව ඔහු කියයි.
ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ චරිතාපදානය පිරික්සා බැලීමේදී ගිහි පැවිදි කාටත් ඉන් ලද හැකි ආදර්ශය අතිමහත්ය. උන්වහන්සේ අවුරුදු 95 දී පරිගණකය පාවිච්චි කරමින් ලිපි සැකසූ බව ඇතැම් ලිපිවල මෙන්ම සමුද්‍රගේ පොතේ ද සඳහන් වෙයි. ආනන්ද මෛත්‍රෙය නාහිමියන් 1990 දී පමණ ඇමෙරිකාවේ වොෂිංටන් විහාරයේ වැඩම කර සිටියදී එක් ඇමෙරිකන් බෞද්ධ මහතෙක් උන්වහන්සේට පරිගණකයක් පරිත්‍යාග කළේය. උන්වහන්සේ එය දුටුවේ පුදුම උපකරණයක් ලෙසය. තවත් පුදුමයක් වන්නේ ඒ වන විට 95 හැවිරිදි වියෙහි පසුවූ උන්වහන්සේ සති දෙකක් ඇතුළතදී පරිගණකය ක්‍රියාකරවන ආකාරය ඉගෙන ගැනීමය.
සමුද්‍ර තම පොතේ ලියා ඇති සටහනකින් මම මේ කෙටි ලිපිය අවසන් කරමි.
”ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ ජීවිතයේ අවසාන භාගයේ සිය ලිපි ලේඛන පරිගණකයෙන් කරගැනීමට මනා හුරුවක් ලබා සිටියහ. උන්වහන්සේගේ ජීවිතය වඩා අපූර්ව වී ඇත්තේ මෙබඳු ක්‍රියාකාරකම් නිසාවෙන් විනා කතරගම දෙවියන් දුටුවාය, මහසෝනා දුටුවාය වැනි කතන්දර නිසා නොවේ යැයි සිතමි.”

විශේෂ ස්තුතිය – මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගම,
බොරැල්ලේ සදීපා ප්‍රකාශන මන්දිරය හා සමුද්‍ර වෙත්තසිංහ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger