BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, September 14, 2014

අනගාරික ධර්මපාල තුමා.....

“ඔහු ජාතික හා ආගමික පුනර්ජීවනයේ පියා පමණක් නොවෙයි. ඔහු තමයි පළමුවෙන්ම ලංකාවේ කර්මාන්ත සංවර්ධනය ගැන කල්පනා කෙළේත්, ඔහු මහත්මා ගාන්ධිටත් පෙර රෙදි විවීම ගැන කල්පනා කොට දේශීය රෙදිපිළි නිෂ්පාදනය ආරම්භ කළා. ජාතියක් වශයෙන් අන්තර්ජාතික සබඳකම් ඇතිකර ගැනීමේ වැදගත්කම ගැන ද ලංකාවේ පළමුවෙන් කල්පනා කෙළේ අනාගරික ධර්මපාල තුමා. ජාතික සංස්කෘතියත්, ජාතික නිදහසත්, ජාතික ආර්ථික සංවර්ධනයත් සඳහා ඇප කැප වී සටන් කෙරූ ඒ ජාතික වීරයාගේ නාමය අමරණීයව පවතිනවා.”

පරසතුරු ආක්‍රමණ දාසයකට මුහුණ දී ජාතික, ආගමික සංස්කෘතික උරුමය රැකගන්නට සමත්වූ ලක්වැසියන් අත්දුටු ප්‍රබලම අධිරාජ්‍ය බලය වූයේ ඉර නොබස්නා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. ඉර නොබස් අධිරාජ්‍යයේ පළමුවැනි ආක්‍රමණය ද පරදවා සිංහලේ නිදහස රැකගන්නට සමත්වූ ජනතාව බේදභින්න කර මුළු රටම යටත් කරගත් බ්‍රිතාන්‍ය පාලකයින්ට පවා ජාතියේ මුර දේවතාවුන් වූ භික්ෂුන් වහන්සේලාත් උන්වහන්සේලා සමඟ එක හදින් එක්ව සිටි බහුතර බෞද්ධ ප්‍රජාවත් ආධ්‍යාත්මික සංස්කෘතික වශයෙන් යටපත් කළ නොහැකි විය.

ඒ බව මනාව පැහැදිලි වන්නේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආධාර අනුබල ලබමින් ක්‍රියාත්මක වූ ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයට අභියෝග කර පාණදුරාවාදය ඇතුළු පංචමහාවාදයෙන් ජයගත් මිගෙට්වත්තේ ගුණානන්ද හිමියන් හා මොහොට්ටිවත්තේ ජනානන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ නිවහල් අදීන ක්‍රියාමාර්ගය තුළිනි. වලානේ සිද්ධාර්ථ හිමියන්ගේ නායකත්වයෙන් ධර්ම ශාස්ත්‍රීය කටයුතු සිදුවූ රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනෙන් බිහිවූ මහා ප්‍රාඥයින් වන හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් හා රත්මලානේ ධම්මාරාම නාහිමියන් විද්‍යෝදය, විද්‍යාලංකාර මහ පිරිවෙන් අරඹමින් දියත් කළ ධර්ම ශාස්ත්‍රීය පුනර්ජීවන ක්‍රියාදාමයේ ප්‍රතිඵලය වූයේ පංචමහා වාදයන්ට පදනම වූ ජාතික ප්‍රබෝධය ඇතිවීමයි.
වයස අවුරුදු නමයේදී සිය පියාණන් සමඟ පාණදුරාවාදය බලන්නට ගිය ඩේවිඩ් හේවා විතාරණ නමැති ළාබාල ශිෂ්‍යයා තුළ ඇතිවූ ආධ්‍යාත්මික ප්‍රබෝධයේ ප්‍රතිඵලය වූයේ සැදැහැ සිතින් පිබිදුණු ඒ උද්‍යෝගීමත් දරුවා තම පියාගේ අනුග්‍රහය ඇතිව ඒ යුගයේ මහා ප්‍රාඥයා වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙතින් බුදුදහම හා පාළි සංස්කෘත භාෂා ඉගෙනීමට යොමු වීමයි. ළාබාල වියේදීම ලෝක ප්‍රකට මහාවාදයකින් පිබිදී මහා ප්‍රාඥ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ හා හෙයියන්තුඩුවේ දේවමිත්ත හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස ධර්ම ශාස්ත්‍ර අධ්‍යයනයේ යෙදුණු ඩේවිඩ් හේවාවිතාරණ ශිෂ්‍යයා මිෂනාරීන් වෙතින් ඉංග්‍රීසි භාෂා සාමාන්‍යය හා ක්‍රිස්තු ධර්මය පිළිබඳ අධ්‍යාපනයක් ද ලබා ගැනීම අනාගත ක්‍රියාමාර්ග සකසා ගැනීමේදී බෙහෙවින් වැඩදායක විය.
පාණදුරාවාද වාර්තාව කියවා බෞද්ධ පක්ෂය කෙරේ පැහැදී ලංකාවේ ජනතාවට සේවය කිරීමේ අරමුණින් පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාගේ ඉංග්‍රීසි දේශන සිංහලට පරිවර්තනය කරමින් රට වටා යන්නට අධිෂ්ඨාන සහගතවූ ප්‍රසිද්ධ තරුණයකු ලෙස ඩේවිඩ් හේවාවිතාරණ තමන්ට පල්ලියෙන් ලැබුණු ඩේවිඩ් නමැති යුරෝපීය ක්‍රිස්තියානි නම අතහැර දමා ධර්මපාල නමැති ආර්ය සිංහල බෞද්ධ නාමය ලබා අනගාරික දස ශීලයෙහි පිහිටා මුළු ජීවිතයම ජාතික ආගමික සේවයට කැප කිරීමේ ප්‍රතිඵලය වූයේ ඇමෙරිකාවේ චිකාගෝ නුවර පැවැත්වුණු ලෝක දෘෂ්ටි සම්මේලනයේදී බෞද්ධ දාර්ශනික විවරණයක යෙදෙමින් ලෝක බෞද්ධ නායකත්වය සඳහා සුදුසුකම් ලැබීමයි.
බුදු දහම සමඟ පාලි සංස්කෘත මෙන්ම ඉංග්‍රීසි ආදි යුරෝපිය භාෂාවන් ද උගත් මහා ප්‍රාඥයකු ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා සිටි හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ලිපියක් ද රැගෙන ලෝක බෞද්ධයින් නියෝජනය කිරීමේ වරම ලබාගෙන චිකාගෝ නුවර දෘෂ්ටි සම්මේලනයට සහභාගි වූ තරුණ අනගාරික ධර්මපාල තුමා තමාගේ විද්වත් විචිත්‍ර දේශනය මඟින් ලෝක අවධානය දිනා ගැනීමට සමත් විය. විසිනම වැනි වියේ පසුවූ තරුණ අනගාරිකවරයකු ලෙස චිකාගෝ නුවර පැවැත්වුණු ලෝක දෘෂ්ටි සම්මේලනය ඇමතූ ධර්මපාල තුමා සිය දේශන විලාශය මඟින් ඇසුදුටුවන්ගේ සිත් ඇද බැඳගත් බව නොරහසකි.
ඒ බව දෘෂ්ටි සම්මේලනයේ මුලසුන දැරූ මහාචාර්ය බැරෝස් ධර්මපාල තුමාගේ දේශනා විලාශය අගය කරමින් කළ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. මහාචාර්ය බැරෝස් ධර්මපාල තුමන්ගේ දේශනය අගය කරමින් කියා සිටියේ, තරුණ ධර්මපාල තුමන් කෙරෙන් කසාවතින් සැරසුණු ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය දක්නට ලැබුණු බවයි. චිකාගෝ දෘෂ්ටි සම්මේලනය ඇමතූ ලෝක ප්‍රකට හින්දු දාර්ශනිකයකු වූ ස්වාමි විවේකානන්ද තුමන්ගේ දේශනය ඇසු කිසිවකු හින්දු දහම වැලඳ ගන්නට ඉදිරිපත් වූයේ නැතත් තරුණ ධර්මපාල තුමාගේ දේශනය ඇසු ඇමෙරිකානුවන් කීපදෙනකු ධර්මපාල තුමන් වෙතින් තිසරණ පන්සිල් ලබා බුදුදහම වැලඳ ගත් බව වාර්තා වී ඇත.
1893 දී චිකාගෝ නුවර පැවැත්වුණු ලෝක දෘෂ්ටි සම්මේලනයේදී ජාත්‍යන්තර මට්ටමේ දේශකයකු බවට පත්වූ ධර්මපාල තුමා ඇමෙරිකාවෙන් පිටත්වී හොනලුලු දිවයින බලා ගිය ගමන බෙහෙවින් පලදායක වූයේ, හොනලුලු හිදී ධර්මපාල තුමන්ගේ දේශන ඇසූ මේරි පෝස්ටර් නමැති දානපතිනිය බුදුදහම වැලඳගෙන තමන් සතු ධනය යොදවමින් ලෝක ශාසන සේවාවක යෙදෙන්නට තරම් භක්තිමත් බෞද්ධ මහෝපාසිකාවක් බවට පත්වූ නිසාය. මේරි පෝස්ටර් මැතිනියගේ ආධාර අනුග්‍රහය ඇතිව හොනලුලු දිවයිනෙන් එංගලන්තය බලා ගිය ධර්මපාල තුමා ලන්ඩන් නුවර මහාබෝධි සමාගමේ ශාඛාවක් පිහිටුවා ලන්ඩන් බෞද්ධ විහාරය ඇරැඹීමෙහිලා පුරෝගාමි මෙහෙවරක් ඉටුකරමින් එංගලන්තයෙන් ප්‍රංසයටත්, ප්‍රංසයෙන් ජර්මනියටත් ජර්මනියෙන් රුසියාවටත් යමින් මහා බෝධි සමාගමේ ශාඛා පිහිටුවමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වූයේ චිකාගෝ දෘෂ්ටි සම්මේලනයෙන් ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම ද උපයෝගී කරගනිමිනි.
රුසියාවෙන් කොරියාවේ සිඕල් නුවරට ගිය ධර්මපාල තුමන් පිළිගන්නට විසිදහසක් තරම් ජනතාවක් එක්වූ බව වාර්තා වී ඇත. කොරියාවෙන් පිටත්වී ජපානයේ ටෝකියෝ නගරයට ගිය ධර්මපාල තුමන් පිළිගන්නට විසිපන් දහසකට වැඩි ජනකායක් එක්වූ බවත් ජපානයෙන් චීනයේ ෂැංහයි නුවරට ගිය ධර්මපාල තුමන් පිළිගන්නට තිස්දහසක් තරම් ජනතාවක් එක්වූ බවත් වාර්තා වී ඇත. චීනයේ කොමියුනිස්ට් පක්ෂය පවා බිහිවී නොතිබුණු ඒ යුගයේ ආසියාව බෞද්ධ චින්තනයෙන් පුබුදු කළ ජාත්‍යන්තර නායකයා වූයේ අනගාරික ධර්මපාල තුමාය.
චීනයෙන් තායිලන්තයටත් තායිලන්තයෙන් බුරුමයටත් ගිය ධර්මපාල තුමන් ඉන්දියාවට පැමිණියේ ලෝක බෞද්ධ නායකයකු ලෙසිනි. ලෝක බෞද්ධ ප්‍රජාවගේ අනුබලය ලැබු ධර්ම වීරයකු ලෙස ඉන්දියාවට පැමිණි ධර්මපාල තුමා එතෙක් හින්දු ආධිපත්‍යය යටතේ පැවැති බුද්ධගයා, ලුම්බිණි, බරණැස ඉසිපතන හා කුසිනාරා නුවර පූජනීය බුද්ධ භූමිවල වන්දනාමානාදී බෞද්ධ ආගමික කටයුතු කිරීමේ අයිතිය ජාත්‍යන්තර බෞද්ධයින්ට ලබාදීමේ ව්‍යාපාරය දියත් කළේ බුද්ධගයාව හින්දු කෝවිලක් බවට පත්කරගෙන සිටි මහන්තාගේ ආධිපත්‍යයට අභියෝග කරමිනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමන් සමඟ ලංකාව පුරා යමින් සිංහල බෞද්ධයින් අවදි කිරීම සඳහා කටයුතු කරමින් ලබා තිබු ජාතික ආගමික පුනර්ජීවන ක්‍රියාදාමයේ අත්දැකීම් උපයෝගී කරගනිමින් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට ද අභියෝගයක් වූ ධර්මපාල තුමා මහන්තාගේ හින්දු අධිපතිවාදයට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය ද ප්‍රයෝජනයට ගන්නට තරම් උපායශීලී විය.
මහන්තාගේ මැර බලයට මුහුණදීම සඳහා ඇතැම් රාත්‍රී කාලවල බුද්ධගයා භූමියේ ගස් උඩ පවා සිටිමින් සිය ප්‍රයත්නය අත්නෑරම ඉදිරියට ගෙන ගොස් ලෝක බෞද්ධ ප්‍රජාවගේත් වෙනත් ප්‍රබුද්ධ ජන කොටස්වලත් සහාය හා ආධාර අනුබල ලබා ගනිමින් ඉන්දියාවේ ඓතිහාසික බෞද්ධ උරුමය තහවුරු කරගන්නට සමත් වූ ධර්මපාල තුමන් කෙරෙන් ප්‍රකට වන්නේ වනගතව සේනා සංවිධානය කිරීමේදී වනමුල් පලාපල පවා ආහාරයට ගනිමින් ජාතික විමුක්ති ව්‍යාපාරය ඉදිරියට ගෙන ගිය වළගම්බාවන් හා කීර්ති කුමාරයා වෙතින් පළවූ ජාතික, ආගමික අධිෂ්ඨානයයි. ධර්මපාල තුමන් පැවිදි නොවී අනගාරික වූ සුවිශේෂ පිළිවෙතක් අනුගමනය කළේ එය කාලීන ජාතික අවශ්‍යතාවක් වූ හෙයිනි.
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ මඟපෙන්වීම අනුව යමින් ලෝක ශාසන සේවා සිදු කළ දේවානම්පියතිස්ස රජතුමන්ගේ ක්‍රියාමාර්ගය අපේ යුගයේ යථාර්ථයන් අනුව ඉදිරියට ගෙන ගිය ජාතික ආගමික වීරයා වන්නේ අනගාරික ධර්මපාල තුමන්ය. දේවානම්පියතිස්ස රජතුමාගේ සොහොයුරු සූරතිස්ස රජු සේන ගුත්තික ප්‍රමුඛ සතුරන් අතින් පරාජය වී ලංකා ඉතිහාසයේ පළමුවැනි විමුක්තිකාමී නායකයා වූවා සේ තම සොහොයුරා වූ එඩ්මන් හේවාවිතාරණයන් අධිරාජ්‍යවාදී ආණ්ඩුව යටතේ යාපනේ බන්ධනාගාරයේ මියයද්දී බෙංගාලයේ නිවාස අඩස්සියේ සිටිමින් කල්කටාවේ ධර්මරාජික විහාරය කරවා බරණැස ඉසිපතනේ නව මූලගන්ධ කුටි විහාරයේ පදනම දැමු ධර්මපාල තුමන් කෙරෙන් ප්‍රකට වූයේ, “මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා” යයි ප්‍රකාශ කළ දුටුගැමුණු රජතුමාගේ පිළිවෙත ඉදිරියට ගෙන ගිය මහා වීරයකුගේ ප්‍රතිරූපයයි.
පරසතුරන් පරදා අහස උස සුදු දාගැබ් කරවා විශ්වන්තරවාදී බෞද්ධ චින්තනයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට කළ ගැමුණු රජතුමාගේ පිළිවෙත ජාත්‍යන්තර මට්ටමින් ඉදිරියට ගෙන ගියේ පිය උරුමයෙන් ලැබුණු දේපළක් තම තරුණ ජීවිතයත් ලෝක ශාසන සේවා උදෙසා කැපකළ අනගාරික ධර්මපාල තුමන් විසිනි. අනගාරික ධර්මපාල තුමන් විසින් ඉටුකරන ලද ජාත්‍යන්තර මෙහෙවර ආසියාව පුරා බුදුදහම පතුරුවා හරින්නට ආධාර අනුබල දුන් අශෝක අධිරාජයා විසින් සිදුකරන ලද සේවාවට දෙවැනි නොවේ. දික්සඳ සෙනෙවියා පිරුවන්පති මහාවංශ කර්තෘ මහානාම හිමියන්ගේ රැකවරණය ලබමින් ධර්ම ශාස්ත්‍ර හා ජාතික නායකත්වයක් සඳහා අවශ්‍ය යුද්ධතන්තු, අටීතන්තු ආදි පංච තන්ත්‍රය ඉගෙන ගෙන පරසතුරු උවදුරින් රට මුදා ගනිමින් ලෝක උරුමයන් බවට පත්වූ මහා වාරි කර්මාන්ත කරවූ ධාතුසේන රජතුමා මෙන් මහා ප්‍රාඥ විද්‍යෝදය පරිවේණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මාර්ගෝපදේශකත්වය ලබමින් රටවැසියන් දේශප්‍රේමයෙන් පුබුදුවමින් තරුණ පරපුර කාර්මික හා කෘෂි සංවර්ධන ක්‍රියාමාර්ගයට යොමු කරවමින් මහා ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ ආර්ථික මෙහෙවරක යෙදුණු ධර්මපාල තුමන් කෙරෙන් ප්‍රකට වන්නේ, අධිරාජ්‍ය යුගයේ යථාර්ථයන් අනුව කටයුතු කළ නිවහල් අදීන ධර්මධර මහා පුරුෂයකුගේ උත්තුංග ස්වරූපයයි.
වසර දෙදහස් පන්සිය ගණනක දේශප්‍රේමී ජාති හිතෛෂී ශාසනමාමක ඉතිහාසය ලෝක ව්‍යාප්ත අධිරාජ්‍ය යුගයේ යථාර්ථයන් අනුව ඉදිරියට ගෙන ගිය ධර්මපාල තුමා හෙළ බොදු ජීවනයේ සජීවී සංකේතයක් බවට පත්විය. “සිංහලයිනි, නැගිටිව් බුද්ධගයාව බේරා ගනිව්” යනුවෙන් ධර්මපාල තුමන් විසින් ඉදිරිපත් කරන ලද උද්‍යෝග පාඨය මඟින් විදේශාක්‍රමණ දාසයක් ජයගත් අභිමානවත් ජනතාවක් වූ සිංහලයින් වටා ලෝක බෞද්ධ ප්‍රජාව එකතු කිරීමේ මඟ පාදා ගත හැකි විය. සිංහලයිනි නැගිටිව් සුදු අධිරාජ්‍යවාදීන් පලවා හරිව් නොකියා ලෝක ව්‍යාප්ත අධිරාජ්‍ය බලයකට යටත්ව තිබු කුඩා රටක ජනතාව ලෝක බෞද්ධ නායකත්වයක් කරා ඔසවා තබන්නට තරම් ධර්මපාල තුමා උපායශීලී විය.
සිංහලයින් ලෝක නායකත්වයක් සඳහා ඔසවා තබන්නට කැපවුණු ධර්මපාල තුමන් විසින් ජාතියට ලබා දුන් ශක්තිය ප්‍රයෝජනයට ගත් බණ්ඩාරනායක මහතා පංචමහා බලවේගය මඟින් ලබාගත් දේශපාලන ජයග්‍රහණය උපයෝගී කරගෙන කටුනායක හා ත්‍රිකුණාමලේ අධිරාජ්‍යවාදී කඳවුරු ඉවත් කරවා ජාතික නිදහස සම්පූර්ණ කිරීමට සමත් නොවීනම් ඒ අධිරාජ්‍ය කඳවුරු ඊළාම් ව්‍යාපාරයේ රක්ෂස්ථාන වනු නිසැකය. මහා විප්ලවීය ජයග්‍රහණයකින් පසුවත් කිව්බාවට තම රටේ කොටසක පිහිටි ගුවන්තනවෝ කඳවුර ඉවත් කරගත නොහැකි වූ බවත් එම කඳවුර ලතින් අමෙරිකාවේ විප්ලවවාදීන්ට වධ හිංසා කරන අධිරාජ්‍යවාදී කඳවුරක් වී ඇති බවත් අප අමතක නොකළ යුතුය.
ධර්මපාල තුමන් විසින් මතුකරන ලද දේශප්‍රේමී ජාතික ආගමික බලවේග උපයෝගී කරගෙන ලොව පළමුවැනි අගමැතිනිය බවට පත්වූ බණ්ඩාරනායක මැතිනිය කච්චතිව් දූපතේ අයිතිය ලංකාවට ලබාදීම ඊළාම්වාදීනට අවාසිසහගත වූ බව රහසක් නොවේ. නොබැඳි ව්‍යාපාරයේ නායකත්වයට පත්වූ මැතිනිය ඉන්දු ලංකා දේශසීමා අවුල් ලිහාගන්නට සමත්වීම ධර්මපාල තුමන්ගේ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් වූ බව නිසැකය. අධිරාජ්‍ය හවුල්කාරී දෙමළ ඊළාම් ව්‍යාපාරයට එරෙහිව පවා ප්‍රයෝජනයට ගත හැකි වූ ධර්මපාල තුමන්ගේ ක්‍රියාමාර්ගය විසිඑක් වැනි සියවස පුරාමත් දේශප්‍රේමී ජාති හිතෛෂී ශාසනමාමක ජනතාවට ශක්තියක් වනු ඒකාන්තය.
තිස්දහසක් තරම් තරුණ රණවිරු ජීවිත පුදා ඇස්, අත් පා පරිත්‍යාග කර ලෙයින් මිල ගෙවා එක්සේසත් කරන ලද ශ්‍රී ලංකාවේ ඒකීය භාවය තහවුරු කළ හැක්කේ ද ඉන්දියාවේ නායකයින්ට පවා නිවැරැදි මග පෙන්වමින් සිය අවසාන කාලය දඹදිව බුද්ධ භූමි ඇසුරේ ගෙවූ අනගාරික ධර්මපාල තුමන්ගේ ආදර්ශය අනුව කටයුතු කිරීමෙනි. තමන් බුදුන් වහන්සේ ගැන දැනගත්තේ එඩ්වින් ආනෝල්ඩ් නම් ඉංග්‍රීසි ලේඛකයාගේ “ලයිට් ඔෆ් ඒෂියා” පොත කියවීමෙන් යයි ප්‍රසිද්ධියේ කියාපෑ මහත්මා ගාන්ධි තුමන්ට ඔහුගේ වරද එම වේදිකාවේදීම පෙන්වා දෙමින් ඉන්දියානු නායකයින් ඉන්දියාවේ ඉපිද ඉන්දියාව විජය භූමිය කරගත් මහෝත්තම මහා පුරුෂරත්නය ගැන දැනගත යුත්තේ විදේශීය ලේඛකයින්ගේ පොතපතින් නොව තම මවුබිමේ තමන්ගේම ගවේෂණාත්මක අධ්‍යයනයෙන් බව පහදා දුන් ධර්මපාල තුමාගේ කථාව ඇසූ ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ නායකයා ඉතාම නිහතමානීව තම වරද පිළිගත්තාක් මෙන් ධර්මපාල තුමාගෙන් ඉගෙන ගන්නට නිහතමානී විය යුතුව තිබේ.
ඉන්දියානු බුද්ධිමතුන් අතරින් අම්බෙඩ්කාර් වැනි ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයින් බිහිවීමේ දොරටු විවර කළ ධර්මපාල තුමන් තමිල්නාඩුවේ මධුරාසි (දැන් චෙන්නායි) මහා බෝධි මධ්‍යස්ථානය පදනම් කරගෙන දෙමළ ජනතාව අතරින් බෞද්ධයින් බිහි කිරීමට කටයුතු කළානම් අපට අපේ රටෙන් නිකරුණේ මුහුදට ගලා යන රසායනික වස විසෙන් දූෂණය නොවූ කළු ග‍ඟේ පානයට ඉතාම සුදුසු මහා ජලකඳ උපයෝගී කරගෙන උතුරේ දෙමළ ජනතාව මෙන්ම තමිල්නාඩුවේ පානීය ජල හි‍ඟයෙන් පෙළෙන ජනතාවට සාධාරණ මිලකට ජලය සපයා දෙමළ සිංහල සමඟියේ පදනම ශක්තිමත්ව ගොඩනඟා ගත හැකි වන බවට සැකයක් නැත. ලෝක මෙහෙවරක යෙදුණු ධර්මපාල තුමන්ට කරන ලොකුම උපහාරය දැවෙන ලොව නිවා සනසන බුදුදහමත් සමඟ සුන්දර ශ්‍රී ලංකාව උද්‍යාන දේශයක් බවට පත්කිරීමයි.
“ඔහු ජාතික හා ආගමික පුනර්ජීවනයේ පියා පමණක් නොවෙයි. ඔහු තමයි පළමුවෙන්ම ලංකාවේ කර්මාන්ත සංවර්ධනය ගැන කල්පනා කෙළේත්, ඔහු මහත්මා ගාන්ධිටත් පෙර රෙදි විවීම ගැන කල්පනා කොට දේශීය රෙදිපිළි නිෂ්පාදනය ආරම්භ කළා. ජාතියක් වශයෙන් අන්තර්ජාතික සබඳකම් ඇතිකර ගැනීමේ වැදගත්කම ගැන ද ලංකාවේ පළමුවෙන් කල්පනා කෙළේ අනාගරික ධර්මපාල තුමා. ජාතික සංස්කෘතියත්, ජාතික නිදහසත්, ජාතික ආර්ථික සංවර්ධනයත් සඳහා ඇප කැප වී සටන් කෙරූ ඒ ජාතික වීරයාගේ නාමය අමරණීයව පවතිනවා.”

ඇස්. ඒ. වික්‍රමසිංහ
ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති
(නව ලෝකය 1964 ජුලි කලාපය) 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger