BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, August 17, 2013

සාදයක මුවාවෙන් මධු බඳුනට වස දමා ජෙයරත්නම්ව කිලිනොච්චියට ගෙන ගිය හැටි

මේ වෙනකොට ජෙයරත්නම් මහත්තය විතරක් නෙවෙයි හැම කෙනෙක්ම ජීවත් වුණේ තම තමන්ගෙ ජීවිත සම්බන්ධයෙන් අනියත බියකින්. මරණය හැම වෙලාවකම අහුමුලුවලින් එබිල බැලුව. කොයි වෙලාවෙ කොයි පැත්තෙන් ඇවිත් ජීවිතයක් අරගෙන යයිද කියලා කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. මිනිසුන්ට හැංගෙන්න තැනක් තිබුණෙ නෑ. මිනිස්සුන්ට තම තමන්ට පුළුවන් විදියට ජීවත්වෙන්න සිද්ධ වෙලා තිබුණා. කොහෙ හරි ගොඩගැහෙන මළ සිරුරු ගොඩකට තමන්ව එකතු වෙයිද කියන බය විතරයි මිනිසුන්ට තිබුණෙ. එහෙම හිතන මිනිස්සු අතරෙ ජෙයරත්නම් මහත්තයත් හිටිය. පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරපු ජෙයරත්නම් මහත්තය ඒ වෙනකොට ගල්කිස්ස පොලිස් ස්ථානයේ, ත්‍රස්ත විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විදියට කටයුතු කළා.


ඒ නිසාම ජෙයරත්නම් මහත්තයට තමන්ගෙ ජීවිතයටත් වඩා අනුන්ගෙ ජීවිත සම්බන්ධවත් වගකීමක් තිබුණා. ඒ වගකීම යටතේ තමන්ගෙ බිරිය සහ දරුවන් රැකගැනීම සම්බන්ධව ලොකු වගකීමක් තිබුණ. රාජකාරියට සීයට සීයක්ම අවංක නිලධාරියෙක් වුණ ජෙයරත්නම් මහත්තයට තම පවුල සම්බන්ධව අනාරක්ෂිත බවක් නොදැනුණා නෙවෙයි.

මේ අතරේ පොලිස් පරීක්ෂක ජෙයරත්නම්ගෙ ක්‍රියාකාරකම් සම්බන්ධව තවත් පැත්තකින් විශාල වැඩසටහනක් සූදානම් වුණා. එහි නායකත්වය අරගෙන කටයුතු කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වවුනියාව නායකයෙක් වූ පෙරීමන්. පෙරීමන් තමන්ගෙ වැඩකටයුතු පහසු කරගන්න විවිධ උපක්‍රම යොදමින් හිටියා. එහි එක්තරා තීරණාත්මක අවස්ථාවක් විදියට තමයි ජෙරත්නම් මහත්තයගෙ ‘තොරතුරුකරුවෙක්’ පෙරීමන්ව මුණගැහෙන්නෙ. ඒ හමුවෙදි එක්තරා සුවිශේෂී කතාබහක් ඇති වෙන නමුත් ජෙයරත්නම් මහත්තය තමන්ගෙ ‘තොරතුරුකරු’ සම්බන්ධයෙන් ඒ විදියට විශ්වාසය පවත්වාගෙන යනව. මේ වෙනකොටත් පොලිස් පරීක්ෂක ජෙයරත්නම් මහත්තයට දිගින් දිගටම එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ජීවිත තර්ජන එල්ලවෙන්න පටන් අරගෙන. මේ අතර ඔහුට විදේශගත වීමේ යෝජනාවක් එනව.
මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන විවිධ සමාජ තත්ත්වයන් එක්ක ජෙයරත්නම් මහත්තයගෙ හිත කියනව ඒ යෝජනාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. ඒ අනුව තමයි ජෙයරත්නම් මහත්තය තමන්ගෙ පවුලෙ අයත් සමඟ ගල්කිස්ස මහ හෝටලයට යන්නෙ. ඒ මහ හෝටලයෙ පැවැත්වෙන රාත්‍රි සාදයක් සඳහා. එහි විශේෂත්වය තමයි පොලිස් පරීක්ෂක ජෙයරත්නම් මහත්මයගෙ විදේශගත වීමට අදාළ කටයුතුත් එදා සාකච්ඡා වෙන්න නියමිතයි. එහි සම්බන්ධීකරණ කටයුතු සිද්ධ වෙන්නේ ජෙයරත්නම් මහත්තයගෙ කලින් සඳහන් කරපු තොරතුරුකරු විසින්.

එදා හරියටම දෙදහස් පහේ හතරවැනි මාසේ විස්ස. අවුරුද්ද ඉවරවෙලා තිබුණාට අවුරුදු සිරිය නැත්තටම නැතිවෙලා තිබුණෙ නෑ. ජෙයරත්නම් මහත්තයත් තමන්ගෙ දරුවන් සහ බිරිය සමඟ ගල්කිස්ස මහ හෝටලයට පිටත් වුණා. ජීවිත සම්බන්ධව අනියත බවක් තිබුණත් එදා ඒ සම්බන්ධව ගැටලුවක් දැනුනෙ නෑ. මොකද පොලිස් පරීක්ෂකතුමා තමන්ගෙ තොරතුරුකරු සම්බන්ධව විශ්වාස කරමින් හිටිය. සාදය රාත්‍රිය පහුකරල මධ්‍යම රාත්‍රිය පැත්තට ගියා. ජෙයරත්නම් මහත්තයගෙ ‘තොරතුරුකරු’ උපක්‍රමශීලීව ජෙයරත්නම් මහත්මියත්, දරුවනුත් නිවෙසට පිටත් කළා. ජෙයරත්නම් මහත්මියත් දරුවනුත් නිවෙසට ගිහින් පහුවැනිදා ඉර එනතුරුම බලාගෙන හිටියත් පොලිස් පරීක්ෂකතුමා ගෙදර ආවේ නෑ. ඒ වෙනකොට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ වවුනියාව ප්‍රදේශයේ නායක විදියට කටයුතු කරපු පෙරිමන්ගෙ උපක්‍රමය සාර්ථක වෙලා තිබුණ.

ගල්කිස්ස මහ හෝටලයෙදි පැවැත්වුණ සාදය එල්.ටී.ටී.ඊ. සංවිධානය උපක්‍රමශීලීව සැලැසුම් කරන ලද්දක්. එහි මහ මොළකරු විදියට කටයුතු කළේ පෙරීමන්. පෙරීමන් ඒ කටයුතු සාර්ථක කරගන්න යොදාගත්තෙ ජෙයරත්නම් මහත්තයගෙම තොරතුරුකරුවෙක්. ඔවුන් ජෙයරත්නම් මහත්මියත්, දරුවනුත් මහ හෝටලයෙන් නික්ම ගියාට පස්සෙ, ජෙයරත්නම් මහත්තයගෙ සිහි විසඥ කරන්න කටයුතු යොදනව. ඔවුන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරල අවසන්. ජෙයරත්නම් මහත්තයගෙ සිහිය විසඥ වෙනවත් එක්කම සුදු වෑන් එකක් ගල්කිස්ස මහ හෝටලයට එනව. ඔවුන් ඒ සුදු වෑන් රථය යොදාගෙන ජෙයරත්නම් මහත්තයව හලාවතට ගෙනයනව. ඊළඟට හලාවත ඉඳලා මන්නාරමට රැගෙන යනව. ඒ සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය යොදාගෙන තියෙන්නේ මුහුදු මාර්ගය. මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් තමයි ජෙයරත්නම් මහත්තයව මන්නාරමට රැගෙන යන්නෙ. ඒ වෙනතුරුම ඔහු ඉන්නෙ පෙරීමන් භාරයෙ. මන්නාරමෙන් පොලිස් පරීක්ෂකතුමාව වෙඩිතලතිව්වලට අරගෙන යනව. වෙඩිතලතිව්වලින් කිලිනොච්චියට රැගෙන යෑමෙන් පස්සේ ඔහු පිළිබඳ භාරකාරත්වය පෙරීමන්ගෙන් මරවන්ට මාරුවෙනව. මරවන්ගෙ භාරකාරත්වය යටතේ ජෙයරත්නම් මහත්තයව රඳවා තැබීමට කටයුතු යොදනව. ඒ සඳහා යොදාගන්නෙ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයිති යාල්වේන්දන් කඳවුරට ආසන්න ස්ථානයක්. එල්.ටී.ටී.ඊ. තොරතුරුකරුවන් පවසන පරිදි මේ ස්ථානය යාල්වේන්දන් කඳවුරු සංකීර්ණයට අයත් නොවූ වෙනත් ගොඩනැඟිල්ලක්.


යාල්වේන්දන් කඳවුරට ආසන්නයේ පිහිටි නිවෙසක් වැනි ස්ථානයක්. එහි ජෙයරත්නම් මහත්තයව රඳවාගෙන ප්‍රශ්න කළ බව තමයි දැනගන්න ලැබෙන්නෙ. ඒ සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ විවිධ මට්ටමේ නායකයන් සහභාගි වෙලා තියෙනවා. අපට ලැබුණු තොරතුරු අනුව පොට්ටුඅම්මාන්, කපිල්අම්මාන්, පෙරීම්බන්, සංගීදන්, ඊළවන්, මාදවන්, මාස්ටර්, දයාබරන්, ගාන්ධි වැනි නායකයන් මේ අය අතර ඉඳලා තියෙනවා. ඔවුන් පොලිස් පරීක්ෂකතුමන්ව මාස තුනක් විතර කාලයක් මේ විදියට රඳවා තබා ගන්නවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තොරතුරුකරුවන් අද පවසන විදියට ඔවුන් ඒ වෙනකොට ජෙයරත්නම් මහත්තයට වධ හිංසා කරලා නෑ. ඒත් ජෙයරත්නම් මහත්තය ඒ වෙනකොට දැඩි මානසික ආතතියකින් පසුවෙලා තිබුණෙ. ඔහු තමන්ගෙ දරුමල්ලන් සම්බන්ධව කියමින් කෑගහල තියෙනව. නමුත් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තමන්ට කිසිම ගැලවීමක් නොලැබෙන බව ජෙයරත්නම් මහත්තය අවබෝධ කරගන්නව. මොකද ගල්කිස්ස පොලිසියෙ ත්‍රස්ත විමර්ශන අංශයෙ ස්ථානාධිපති විදියට කටයුතු කරපු ඔහුට ත්‍රස්තවාදීන් පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණා.

මේ විදියට දිගින් දිගටම රඳවා තබා ගැනීම සම්බන්ධව ජෙයරත්නම් මහත්තයට තිබුණෙ දැඩි මානසික ආතතියක්. ඔහු ඒ පිළිබඳ එල්.ටී.ටී.ඊ. නායකයන්ගෙන් විමසුවත් ඔහුට නිදහසේ සේයාවක්වත් පේන්නේ නෑ. ඔය අතරෙ දක්ෂ පළපුරුදු පොලිස් නිලධාරියෙක් වුණ පොලිස් පරීක්ෂක ජෙයරත්නම් මහතා ත්‍රස්තවාදීන්ගෙ කටයුතු පිළිබඳ දැඩි සුපරික්ෂාකාරීව පසුවෙනව. ඔහු වටා නිරන්තරව යොදා තිබෙන එල්.ටී.ටී.ඊ. ආරක්ෂාව සම්බන්ධව ජෙයරත්නම් මහතා නිහඬවම තොරතුරු රැස්කරනවා. ඔහුට අවශ්‍ය දිනය සහ වේලාව උදාවෙනවා. එල්.ටී.ටී.ඊ. යාල්වේදන් කඳවුරේ විශාල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පිරිසක් සිටිනා මුත් එදා ජෙයරත්නම් මහතා රඳවා සිටි ස්ථානයේ ආරක්ෂාවට ර¼දවා සිටි ත්‍රස්තවාදීන්ගේ ඇස්වලට හොරෙන් රැඳවුම් ස්ථානයෙන් පිටවෙන්න පොලිස් පරීක්ෂකතුමා සමත් වෙනව. ඔහු ඉන්නෙ සම්පූර්ණයෙන් එල්.ටී.ටී.ඊ. ප්‍රදේශයක බව ඔහු නොදන්නව නෙවෙයි. ඒත් ජෙයරත්නම් මහත්තය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට නෙපෙනෙන විදියට රැඳවුම් ස්ථානයෙන් පිටවෙනව. එහෙම පිටවුණත් ඔහුට කොහේ යන්නද කියල හිතාගන්නවත් බෑ. ඔහුට සැඟවෙන්නටත් ඒ ප්‍රදේශයේ ස්ථානයක් නෑ. අනෙක් කාරණය තමයි ජෙයරත්නම් මහත්තය රැඳවුම් ස්ථානයේ නැති බව විනාඩි කිහිපයක් ඇතුළතම කොටි සංවිධානය දැනගන්නව. නමුත් ජෙයරත්නම් මහත්තය හැකි සෑම උත්සාහයක්ම දරනව යාල්වේදන් කඳවුරු භූමියෙන් පුළුවන් තරම් දුරට පැන ගන්න.

ඔය අතරෙ ජෙයරත්නම් මහත්තය පැනල ගිහින් කියන ආරංචියත් එක්ක ක්‍රියාත්මක වෙන්නෙ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ සාමාන්‍ය නායකයෙක් විදියට කටයුතු කරන ‘ගාන්ධි’. ‘ගාන්ධි’ මේ බව දැනගත්ත වහාම ජෙයරත්නම් මහත්තයව හොයන්න පටන්ගන්නව. ගල්කිස්ස පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකයෙ ස්ථානාධිපති විදියට කටයුතු කරමින් සිටියදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පැහැරගෙන ගිය පොලිස් පරීක්ෂක ජෙයරත්නම් මහත්තය පාරක් තොටක්වත් නොදැන, එල්.ටී.ටී.ඊ. යාල්වේන්දන් කඳවුරු මායිමේ අඳුර අතර සැඟවෙමින් නිදහස සොයා ගමන් අරඹනව.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger