කත්මණ්ඩු නිම්නය, භක්තපූර් ඩර්බාර් චතුරස්‍රය,
බෞද්ධනාත් විහාරය, චන්ගුනාරායන් විහාරය,
කත්මණ්ඩු ඩර්බාර් චතුරස්‍රය, පතාන් ඩර්බාර් චතුරස්‍රය,
පසුපතිනාත් දේවාලය, ස්වයම්බුනාත් විහාරය, ලුම්බිණිය,
චිත්වාන් ජාතික උද්‍යානය, සාගර්මාතා ජාතික උද්‍යානය (එවරස්ට්),
ලොව උසම කඳු මුදුන, බුදුන් උපන් ලුම්බිණිය හා ජීවමාන කුමාරි දෙව්දුව යනු නේපාලයේ අනන්‍යතාව ලොවට විදහා දක්වන තුන් වැදෑරුම් උරුමය ලෙස හැඳින්වේ. මේවා වෙනත් කිසිදු රටකට හෝ ජාතියකට හිමිකම් නොකියන සුවිශේෂී උරුමයන්ය.මුහුදු මට්ටමින් අඩි 1000ක්වූ උතුරු ඉන්දියානු තැනිතලා බිමෙන් ඇරඹෙන නේපාල භූමිය ලොව උසම කඳු මුදුන වූ එවරස්ට් දක්වා වූ අඩි 30,000ක සීමාව දක්වා දිවෙන දකුණින් ඉන්දියාවෙන් හා උතුරෙන් චීනයෙන් වටවූ නිවහල් භූමියකි.
නේපාලයේ බෞද්ධාගමික උත්සවයක සේයා සටහන් පෙළක්.....
කිසිදා විදේශීය ආධිපත්‍යයකට නතු නොවූ රාජ්‍යයක් වීම හේතුවෙන් තවත් දුරටත් තම අනන්‍ය සංස්කෘතික ලක්ෂණ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන රාජ්‍යයක් වුවද වර්තමාන ගෝලීය ආර්ථික රටාව යටතේ ඉන්දියාව හා චීනය යන බලවත් රාජ්‍යයන් දෙකේ ග්‍රහණයේ පවතින බව නොකියමනාය.
හතර අතින්ම ගොඩබිමෙන් වටවී තිබීම හා ප්‍රබල රාජ්‍යයන් දෙකකට මායිම්ව තිබීම හේතුවෙන් විවිධාකාර සැපයුම් සඳහා එම රටවල් දෙක මත යැපීමට සිදු වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද තවමත් සරල ජීවන රටාවකට හුරුවී සිටින ගැමි නේපාල ජාතිකයන් තම වටපිටාව මත යැපීම හේතුවෙන් නිවහල් ආර්ථික ක්‍රමයක් පවතී. සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් රාශියකට උරුමකම් කියන නේපාලයේ ලෝක උරුම ස්ථාන 4කි.
මේ සියලු ලෝක උරුම ස්ථානයන් අධික ලෙස දේශීය හා විදේශීය සංචාරකයන් හා වන්දනාකරුවන්ගේ ආකර්ෂණයට ලක්වූ ස්ථානයන්ය. මේ අතරින් කත්මණ්ඩු නිම්නයේ වූ ස්ථාන කණ්ඩායමේ හක්තපූර් පැරැණි නගරයට මා ගිය ගමන මගේ ජීවිතයේ අමරණීය අත්දැකීමකි.
නගරයට ඇතුළුවන තැන පිහිටි පොකුණ අසල රථය ගාල් කළ අප පටු වීථිය දිගේ ඇතුළු වීමේ ෙදාරටුව කරා පිය නැඟුවෙමු. ඒ අතරතුර පිහිටි ප්‍රකට එහෙත් ඉතා කුඩා කඩයකින් සාම්ප්‍රදායික මී කිරි හට්ටියක රස බැලීමටද අවස්ථාව ලදිමි.
භක්තපූර් නගරයට ඇතුළුවන ෙදාරටුව අසලදී ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වේ. විදේශිකයන් සඳහා එය නේපාල රුපියල් දහසක් වුවද, සාක් සාමාජික රටවල් සඳහා රුපියල් පන්සියයක් පමණි. ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන නැරැඹීමේදී එලෙස විශේෂයක් නොකරන බව මා හට එහිදී සිහිපත් විය. ඇමෙරිකානු ජාතිකයාද, චීන ජාතිකයාද, ඉන්දියානු ජාතිකයා මෙන්ම දුප්පත් බංග්ලාදේශ වන්දනාකරුවන්ද සීගිරියට, පොළොන්නරුවට ඇතුළුවිය යුත්තේ රුපියල් 3,500ක පමණ ඉහළ මිලක් ගෙවීමෙන්ය.
ප්‍රවේශ පත්‍රය ලබා ගත් අප පටු වීථි දිගේ ඉක්මන් ගමනින් නගරය පුරා සැරිසරන්නට වූයේ අපට තිබුණේ පැය තුනක පමණ කාලයක් පමණක් වූ හෙයින්ය. ගඩොලින් බැඳ කපරාරු නොකළ බිත්ති, ඉදිරියට නෙරා ආ දැවමය වහලවල්, මැටි උළු ආදිය එයටම ආවේණික ගොඩනැඟිලි පද්ධතියක් සංකේතවත් කරයි. නමුත් මේ චතුරස්‍ර ඒ කෙළවර ඇති විහාරාරාම, පොකුණු සහ පටු වීථි මට සිහිපත් කළේ 12 වැනි සියවස ආශි්‍රත රෝමානු නගර නිර්මාණ ලක්ෂණයි. අදටද ක්‍රියාත්මකව පවතින දියුණු රෝමානු නගරයක් වැනි නාගරික සංස්කෘතියක් 12 වැනි සියවසදී මෙහි පැවැති බවට හොඳම සාධකයකි මේ භක්තපූර් නගරය.
ලංකාවේ අපට ආගන්තුක වූ නගර චතුරස්‍ර ක්‍රමය යුරෝපීය ක්‍රමයක් යැයි අප සිතන්නේ අද ඒවා දකින විටයි. නමුත් ඒ හා සමාන සංස්කෘතියක්, මේ කඳුකර කත්මණ්ඩුවේ පැවැති බව දකින විට හැඟෙන්නේ වෙනස් සිතුවිල්ලකි. එනම් යුරෝපයේ වැනි ශිෂ්ටාචාරයක් හා සංස්කෘතියක් මේ කඳුකර කත්මණ්ඩුවේ පැවැති බවයි. අදටද මේ චතුරස්‍ර වටා ඒකරාශිවී සිටින දේශීය ජනතාව, වෙළෙඳ ප්‍රජාව මෙන්ම නැටුම්, ගැයුම්හි යෙදෙන ශිල්පීන්ද සිහිපත් කරන්නේ එදා පැවැති සමාජ රටාවයි. අද බොහෝ පෞරාණික නගරවල පවතින්නේ කෘත්‍රිමව සකස් කළ සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් සංස්කෘතික ප්‍රදර්ශනයන් වන නමුත් භක්තපූර් නගරයේ එවැන්නක් දැකිය නොහැකිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ජීවමාන සංස්කෘතික ලක්ෂණ විදහා දක්වන පුරයකි.
නේක වර්ණ දේශීය සාරියෙන් සැරැසීගෙන විහාරස්ථාන හා දේවාල වෙත බැතියෙන් යන නේපාල කාන්තාවන්, රංචු ගැසී සතුටු සාමීචියේ යෙදෙන තරුණ තරුණියන් අම්බලම්වලට වී ෙදාඩමලුවන වැඩිහිටියන්, ආදී වශයෙන් විවිධාකාර පිරිස් නගරය ජීවමාන කරති. ගඩොල් අතුරන ලද පටු මාවත්වල කුඩා වාහන හා යතුරුපැදි ගමන් කළද එයින් නගරයේ පෞරාණිකත්වයට හානි ගෙන දෙන බවක් නොපෙනේ.
ගඩොලින් බැඳි සිවු මහල් දේවාල ගොඩනැඟිලි වහලය නිර්මාණය කර ඇති හැටි අපූරුය. ගොඩනැඟිලි බිත්තියේ මතුපිට සිට අඩි 10-12 පමණ පිටතට නෙරා යන ආකාරයට දැව රාමු සකස් කර ඇත්තේ විස්මිත ආකාරයටයි. ඒ සඳහා භාවිත කර ඇති දැව මෙන්ම, තාක්ෂණයද උපරිම මට්ටමක පවතින බව අවිවාදාත්මකයි. ඒවා අදටද යහ පැවැත්මෙන් පැවතීම එම නිර්මාණයන්හි උත්කෘෂ්ටභාවයට නිදසුන්ය. එමෙන්ම උස, දිග, පළල ආදී මිනුම් වශයෙන් ගත් කල ඒවායේ අනුපාතීය ගුණාංගයන් ඉතා සංවේදී ලෙස ඉස්මතු වේ. උසට සරිලන දිග පළලින් මෙන්ම, නෙරා යන වහලයද ගැළපෙන වාස්තු විද්‍යාත්මක ගුණාංගයන් පෙන්වයි. එමෙන්ම ඒවායින් බලාපොරොත්තු වූ ආගමික අවශ්‍යතාවන් හා ගෞරවනීයභාවය අදටද ඉෂ්ට සිද්ධ වේ. ඒ ඒ සිද්ධස්ථානයන්හි තිබිය යුතු ආගමික තත්ත්වයන් ඉස්මතු වන ලෙස යොදා ඇති කැටයම් ඇතුළු ලක්ෂණයන් මේවා තවත් ඔප්නංවයි.
වීථියට මුහුණලා වීථියට මායිම් වන ලෙසම ඉදි කර ඇති පොදු ජනතාවගේ නිවාසද අත්‍යවශ්‍යම අවශ්‍යතාවන් ඉටු කරන ඒවා මිසක අති සුඛෝපභෝගී ඒවා නොවන බව පෙනේ. එනමුත් ඒවාද වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අතින් අතිශයින් පොහොසත්ය. කැටයම් හා වෙනත් කලාත්මක ලක්ෂණයන්ගෙන් තොර ෙදාර උළුවස්සක් හෝ නොමැති තරම්ය. ඇතුළත අවකාශයන්ද කුඩා නමුත් හොඳින් සැලසුම් කළ ඒවාය. මහල් දෙකකින් යුත් මේ නිවාසයන්හි වහලය විවෘත ටෙරසයකින් නිමාවේ. සෑම නිවෙසකම මෙවැනි ටෙරසයක් තිබීම තුළින් අසල්වැසියන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමේ හැකියාව ලැබේ.
ජාතික උරුමය ජීවිතය කරගත් එක්තරා නේපාල මහාචාර්යවරයකුගේ නිවෙසට මා කැඳවාගෙන යන්නට මාගේ මිතුරන්ට හැකි විය. ඔහු නමින් රාම් නාරායන් ප්‍රජාපතීය. ඔහුගේ බිරිය අත් කඩදාසි නිපදවන කර්මාන්තයක් පවත්වාගෙන යයි. ඔවුනගේ නිවෙස මහා කෞතුකාගාරයක් වැනිය. මහල් පහකින් සමන්විත එහි එක් එක් මහලට කැඳවාගෙන ගිය ඇය අපට ඒ ඒ මහල්වල එක්රැස්කර තිබූ ලක්ෂ සංඛ්‍යාවක් වූ පෞරාණික භාණ්ඩ එකතුව අපට පෙන්වූයේ මහත් අභිමානයෙනි. තැන තැන කඩා ඉවත්කරන ගොඩනැඟිලිවලින් එකතු කරගත් අංගෝපාංග, මුළුතැන්ගෙයි උපකරණ හා ගෘහ භාණ්ඩ එකතුව මිල කළ නොහැකි එකකි.
ඉහළම මහලට යද්දී එහි එක් කෙළවරක මේසයක වාඩි වී පොතක් අධ්‍යයනය කරමින් සිටි මහාචාර්යවරයා අප දැක ඉමහත් සතුටට පත් විය. මා ශ්‍රී ලංකාවෙන් යැයි පැවසූ විට දැන් සුළු මොහොතකට අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ සීලාලංකාර හිමියන් ඔහු සමඟ සාකච්ඡාවේ යෙදී සිට පිටත්ව ගිය බව පැවැසුවේය. තමන් මේ සියලු දේ කරනුයේ කිසිදු වාණිජමය අරමුණකින් නොවන බවත් බොහෝ අයට මේ උරුමය පිළිබඳ හැඟීමක් නැති වීම පිළිබඳ කනගාටුවත් පළ කළ ඔහු ඔහුගේ නිවසේ ඉහළම මහලේ වූ ටෙරසයට අප කැඳවාගෙන ගියේය. එහි ඉහළම මුදුනේ කුඩා විහාරයකි. එය වෙනත් ගොඩනැඟිල්ලකින් ඉවත් කළ නිසා ගෙනැවිත් මෙහි සවිකර රැක බලා ගන්නා බව ඔහු පැවැසීය. ඔහුගේ මතු මහලට ගිය විට මුළු භක්තපූර් නගරයම මැනැවින් දර්ශනයවේ. එය වචනයෙන් කියා නිමකළ නොහැකි මනස්කාන්ත දර්ශනයකි. ගඩොලින් නිමකළ සියලු ගොඩනැඟිලි අතර කපරාරු කර වර්ණාලේප කළ ගොඩනැඟිල්ලක් ඔහුගේ නිවෙස අසලම විය. එය භක්තපූර්හි අනාගත ව්‍යසනයක ලක්ෂණයක් බව ඔහු පැවැසීය.
ඔහු විසින් අලුත්වැඩියා කරමින් පවතින තවත් ගොඩනැඟිල්ලක් පෙන්වීමටද අප කැඳවාගෙන ගියේය. එය අලුත්වැඩියාවෙන් පසුව කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යන්නට අදහස් කරයි. එම ගොඩනැඟිල්ලේ ඇති කැටයම් කළ ලී කණු මත ඇති බාල්ක පුරා සම්පූර්ණ පන්සිය පනස් ජාතකය කැටයම් කරන්නට ඔහු කටයුතු කර ඇත.
මහාචාර්යවරයාගෙන් සමුගත් අප ඊළඟට ගියේ සාම්ප්‍රදායික නේපාල ආහාර වේලක රස බැලීමටයි. භක්තපූර් නගරය පුරා ඇවිද මහන්සි වී සිටි අප කුඩා තරප්පුවකින් ඉහළට නැග්ගේ ජංගම දුරකතනයේ ආලෝකයෙන්ය. ඉහළට ගිය අප මේස තුනකින් යුත් කුඩා අවන්හලකට ඇතුළු වූයෙමි.
මගේ මිතුරන් මගෙන් විමසුවේ සාම්ප්‍රදායික නේපාල ආහාර වේලක් රස විඳින්න කැමතිද කියා පමණයි. අවන්හලේ හිමිකාර කාන්තාවට නේපාල බසින් ඇමතූ ඔවුන් විවිධ දේ ගෙන එන්නට ඇණවුම් කළහ. ස්වල්ප වේලාවකින් මේසය මතට ආවේ උණු උණුවේ දුම් දමන ආහාර පිඟන් කිහිපයකි. අප හතර දෙනාට වෙන්වූ පිඟන් හතරක කඩල, රටකජු, කවුපි ආදී ධාන්‍ය වර්ග ආශි්‍රතව තැබ්බීමෙන්, බැදීමෙන්. පිසීමෙන් ආදී ලෙස විවිධ ලෙස සකස් කළ ආහාර වර්ග එකතුවක් එහි විය. ඒ සමඟ අප හබල පෙති යනුවෙන් නම් කරන සහල් ආශි්‍රත ආහාරයද විය. නමුත් අප මෙන් මෙය තැම්බීමෙන් තොරව පිළියෙල කර තිබිණි.
ඇත්තෙන්ම එය ඉතා රසවත් ආහාරයක් විය. ඒ සමඟම වෙනමම පිඟානක් පුරවා ගෙන ආවේ මෝ මෝ යනුවෙන් හඳුන්වන සාම්ප්‍රදායික මස් වර්ග එකතු කර සකස් කර, පිටිවලින් සකස් කළ කවරයකින් ඔතාගත් කුඩා ගුළි වර්ගයකි. එය වෙනමම වෑංජනයක තවරා ආහාරයට ගත යුතු විය.
බෞද්ධ හා හින්දු ධර්මය ඇදහුවද පවතින පාරිසරික තත්ත්වයන් අනුව ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා සත්ත්වාහාර පරිභෝජනය නේපාලයේ සිදු වේ. එය හුදෙක් ශාරීරික අවශ්‍යතාවක් සඳහාම සිදු කරන හෙයින් ඒ පිළිබඳව ඔවුහු තැවෙන්නේ නැත. නමුත් මාගේ මිත්‍ර දිනේෂ් නිර්මාංසිකයෙක් හෙයින් ඔහු එම රසවත් ආහාරය භුක්තිවින්දේ නැති නමුත් උපරිම ලෙස මට සංග්‍රහ කරන්නට උත්සුක විය. ඇත්තෙන්ම පැවැති වර්ෂා සහිත සිහිල් දේශගුණයට එම උණුසුම් ආහාරවලින් ගෙන දුන්නේ කදිම ශක්තියකි.
හවස් වන්නට විය. අඳුර වැටෙද්දී නගරය පාළු වේ යැයි සිතුවද එය එසේ නොවීය. එන්න එන්නම නගරයේ චතුරස්‍රවලට එකතු වන ජනතාව වැඩි වේ. විදුලිබල පහසුකම අතින් දුප්පත් නේපාලයේ මේ භක්තපූර් නගරයද
පොදු විදුලි ආලෝකයෙන් දුප්පත්ය. ගොඩනැඟිලිවල එළියෙන් පමණක් මාර්ගයද එළිය වේ. ජනතාව ඔවුන්ගේ ප්‍රීති ඝෝෂා, දේවාල හා පන්සල්වලින් නැඟෙන සීනු හඬ සාධු නාදය මුළු නගරයම එළිය කරද්දී මාගේ සිතේ සිහිනයක්ව වූ භක්තපූර් දෑසින් දැකගැනීම ඉටුකරගත්තෙමි.
භක්තපූර් දේශීය නේපාල (නොවාරි) භාෂාවෙන් භක්තපූර් "ක්වෝපා" ලෙස හඳුන්වයි. භක්තපූර් නේපාලයේ සංස්කෘතික අගනගරයයි. මෙහි ඉතිහාසය ක්‍රි.ව. 8 වැනි සියවස දක්වා දිවෙන අතර ක්‍රි.ව. 12-15 දක්වා කාලයේදී භක්තපූර් නේපාලයේ අගනුවර විය. 18 වැනි සියවස දක්වාම ප්‍රාකාරයකින් හා ෙදාරටු ගණනාවකින් ආරක්ෂිත වූ මෙම නගරය ස්වෛරී රාජ්‍යයක් ලෙස පවත්වාගන්නට එහි වාසය කළ පැරැන්නෝ සමත් වූහ.
ඉගිළෙන පරෙවියකුගේ හැඩයෙන් යුත් මෙම බිම වර්ග කිලෝමීටර් 6.88ක වපසරියකින් යුක්ත වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 1400ක් ඉහළින් පිහිටා ඇත. භක්තපූර් නගරය දේශීය ජනතාව ලක්ෂයකට පමණ සෙවණ සලසයි. මෙයින් සමහරු ව්‍යාපාරිකයන්, දේශීය කර්මාන්ත ශිල්පීන් වන අතර සමහර රාජ්‍ය නිලධාරීන් වේ.
ජුජු දළ (යෝගට්), බඩ්ගෝල තොපි (කැප්-තොප්පි), හකු පටාසි (රතු බෝඩරය සහිත කළු සාරි), මැටි බඩු, කැටයම් බඩු, අත්කම් භාණ්ඩ, භක්තපූර්හි අනන්‍යතාව පෙන්වන නිෂ්පාදන වන අතර ඒවා සුවිශේෂී නිර්මාණ ලෙස ලොව ප්‍රකටය. බහුතර ජනතාව හින්දු හා බෞද්ධ දර්ශන දෙකම එක ලෙස අදහන අතර ආගමික සහජීවනය ඉහළින්ම කැපී පෙනෙයි.
සෑම ආගමකටම සම්බන්ධ උත්සවයන්, ආගම් බේදයෙන් තොරව එක්ව එකම උනන්දුවෙන් හා කැපවීමෙන් යුතුව සියලු දෙනා විසින්ම සැමරීම විශේෂ ලක්ෂණයකි. අතීතයේ පටන් පැවත ආ උතුරු දිග කලාවන්, දකුණු දිග ආගමික දර්ශනයන්, පාරම්පරික කලාව, වාස්තු විද්‍යාව හා සංස්කෘතිය, භක්තපූර්හි උරුමය ලෙස සැලකේ.
දාගැබ්, ශිඛරාකාර විහාර, පාරම්පරික බෞද්ධාරාම, පොකුණු හා ජල මල්, පොදු අම්බලම්, නගර ෙදාරටු, ගඩොලින් බැඳී විහාර, හින්දු දේවස්ථාන, සාම්ප්‍රදායික ජල තටාක, මාලිගා, කලාත්මක පුද්ගලික නිවාස, මෙන්ම අනෙකුත් සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන ප්‍රධාන ස්මාරක වශයෙන් සැලකේ.
මේ සුවිශේෂී අනන්‍යතාව හා කැපී පෙනෙනසුලු විශ්වීය වටිනාකම හඳුනාගැනීම හේතුවෙන් 1979දී භක්තපූර් ඩර්බාර් චතුරස්‍රය ලෝක උරුම ස්ථානයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
භක්තපූර් යනු නේපාල සංස්කෘතිය ගැඹුරින් විදහා දක්වන "ජීවමාන උරුමයක්" හෝ "ජීවමාන කෞතුකාගාරයක්" ලෙස හැඳින් විය හැකිය.
විශාල ආගමික උත්සව, නේපාල දේශීය ජනතාවගේ ජීවන රටාව, ආගමික වතාවත්, සිරිත් විරිත්, නැටුම් ගැයුම්, යනාදිය මෙහි අස්පර්ශීය උරුමයට ජීවය ලබා දෙයි. අප්‍රේල් මාසයේ මැද, අගෝස්තු, ඔක්තෝබර් හා නොවැම්බර් මාස යන කාල වකවානුවල ආකර්ෂණීය උත්සව පැවැත්වේ.
නැටුම්-ගැයුම් හා පුද පූජාවලින් යුත් දෛනික සංස්කෘතික කාර්යයන් සඳහා සියලු දෙනාටම සහභාගි විය හැකිය. එමෙන්ම නේපාල ජාතිකයන් පාරම්පරික නේපාල ඇඳුමින් සැරැසී මේවාට සහභාගි වීම තුළින් මෙම අගයන් තවත් ඔපවත් කරයි.
මෙම ජීවමාන උරුමයන්, ශත වර්ෂ ගණනාවක් ඔස්සේ පරම්පරාවෙන් පරම්පාරාවට නොකැඩී නොනැසී පවත්වාගෙන එන ඒවාය. දේශීය උරුමය අනුව තම නිවාසයන්හි අලුත්වැඩියා කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය දැව, ගඩොල් හා උළු මිලදී ගැනීම සඳහා ජනතාවට නගර සභාව මඟින් මූල්‍යමය ආධාර සපයනු ලබයි. මේ අනුව ආසියාවේ පිරිසුදුම නගර දහය අතරට එක් වීමට භක්තපූර් නගරයට හැකි වීම සුවිශේෂී ජයග්‍රහණයකි.
පස්මහල් විහාරය. බයිරාබ් නාත් විහාරය, ජනේල පනස් පහේ මාලිගාව, තෙලේපූර් සංකීර්ණය, ජගන්නාථ විහාරය, පසුපතිනාථ විහාරය, නවදුර්ග වියෝචෙන්, ත්‍රිපුරසුන්දරී වියෝචෙන්, සිද්ධ පොකුණ, කුමාරි පොකුණ, පොදු අම්බලම් දෙක, (පාති සහ සත්තාල්) ජාවූර් හා චතුර් බ්‍රහ්ම මහා විහාර, නගර ෙදාරටු, ළිං, වතුර මල්, ආදිය නගර සභාව මඟින් සංරක්ෂණය කළ ස්මාරක අතරින් කිහිපයකි. මේ සඳහා මහජන සහාය ලැබී ඇති අතර භක්තපූර් නගරයට පිවිසෙන ආගන්තුකයකුට සියවස් ගණනාවක් එපිට අතීත සංස්කෘතික සංදර්භයක අසිරිය එලෙසින්ම විඳ ගැනීමට මෙමඟින් අවකාශය ලැබී ඇත.
මෙම උත්සාහය අගය කරමින් යුනෙස්කෝ සංවිධානය මඟින් 1998-1999 වසර සඳහා ආසියා ශාන්තිකර කලාපීය "පළමු ගෞරවනීය සම්මානය" භක්තපූර් වෙත පුදකරන ලදී. එමෙන්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් "ඒකාග්‍රතාවයේ දිවයින" සම්මානයෙන් පුද කරන ලද්දේ මෙහි පවත්වාගෙන යන ආර්ථික විනය හා විනිවිදභාවය වෙනුවෙනි. මේ සියලු උපහාරයන්හි ගෞරවය පසුගිය දශක පහේ මෙහි ජීවත් වූ ජනතාවගේ උත්සාහයේ ප්‍රතිඵලයයි.
භක්තපූර් වෙත පිවිසෙන සෑම දෙනාම තබන තබන පියවරක් පාසාම එහි කලාත්මක, වාස්තු විද්‍යාත්මක, සංස්කෘතික උරුමයන් මඟින් විස්මයට පත් වන අතර නැවත වතාවක් එහි ආ යුතුයි යන ආකර්ෂණය සිතෙහි ඇති වේ. එය මෙහි එන ආගන්තුකයන්ට ජීවිත කාලයටම මතක සිටින අත්දැකීමක් ලබා දෙයි. මෙම විස්මිත පුරාණ නගරය ශතවර්ෂ ගණනාවක් පැරැණි සංස්කෘතික, කලා, වාස්තු විද්‍යාත්මක අත්දැකීම පමණක් ලබා දෙන ස්ථානයක් ලෙස කිසිසේත් නොසිතිය යුතුයි. මන්ද, දේශීය පෙරදිග ආගන්තුක සත්කාරය, රසවත් නේපාල ආහාර පාන, සුවපහසු නවාතැන්, කලාත්මක සමරු ආදිය විනයගරුක නේපාල ජාතිකයන් විසින් පවත්වාගෙන යන අවන්හල්, හෝටල්, ආගන්තුක නිවාස හා අත්කම් භාණ්ඩ වෙළෙඳසල් ආදිය තුළින් අත්දැකිය හැකි බැවින්ය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment