ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිනමා කලා ප්‍රකාශනය වන ’සරසවිය’ පුවත්පත 50 වැනි වරට පා තබයි. ‘සරසවිය’ මංගල කලාපය එළිදුටුවේ 1963 අප්‍රේල් මස 10 වැනි දිනය. ‘සරසවිය’ මෙරට ප්‍රථම සිනමා කලා ප්‍රකාශනය නොවන්නට පුළුවන.
මෙරට පළවූ මුල්ම සිනමා පුවත්පත වෙයි) එසේ වුවත් පනස් වසරක් තිස්සේ අඛණ්ඩව අද දක්වාම පළවන ශ්‍රී ලංකාවේ එකම සිනමා කලා ප්‍රකාශනය ලෙස ඓතිහාසික වැදගත්කමක් උසුලන්නේ ‘සරසවිය’ පුවත්පතය.
පුවත්පත බිහිවූයේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක් පසුබිම් කරගෙනය. ඒ වනවිට ‘රේඛාවෙන්’ බිහිවූ මෙරට කලාත්මක සිනමාවේ වර්ධනීය අවස්ථා ‘සංදේශය’, ‘රන්මුතු දූව‘, ‘කුරුලු බැද්ද’, ‘සිකුරු තරුව‘ හා ‘ගම්පෙරළිය’ වැනි චිත්‍රපටවලින් සනිටුහන් කළ බැවිනි.
’සරසවිය’ පුවත්පත බිහිවීමේ ඓතිහාසික පසුබිම මෙපරිදිය. එවක ‘සිළුමිණ’ පුවත්පතේ උපකතුවරයකුව සිටි විමලසිරි පෙරේරා මහතා එක්සත් ජාතීන්ගේ පත්‍රකලා සංවිධානයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත පුවත්පත් කලාව හැදෑරීමේ පාඨමාලාවක් සඳහා එංගලන්තයට ගියේය.
ඔහු ආපසු එන ගමනේදී ඉන්දියාවේ ටික දිනක් නැවතුණේය. ඔහු එහිදි රැඳී සිටියේ ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාවේ සංස්කාරකවරයාව සිටි බී.කේ. කරංජියා මහතාගේ නිවෙසේය.
ලේක්හවුස් ආයතනයෙන් සිනමා පුවත්පතක් පළකිරීම පිළිබඳ මුල්ම යෝජනාව කරංජියා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ඒ අවස්ථාවේදීය. විමලසිරි මහතා යළි ලංකාවට පැමිණීමෙන් ඉනික්බිතිව එකී යෝජනාව එවක ‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘවරයාව සිටි මීමන ප්‍රේමතිලක මහතා වෙත යොමු කෙරිණි. එවක එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපතිව සිටි රංජිත් විජයවර්ධන මහතාට මේ අදහස ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අවශ්‍ය අනුමැතිය ලැබුණේය.
ඊළඟට මතුවූ ගැටලුව වූයේ පත්‍රයට සුදුසු නමක් යෙදීමය. ප්‍රකට කවියකු හා චිත්‍රපට තිරකතා රචකයකු වූ පී.කේ.ඩී. සෙනෙවිරත්න ඊට ‘සරසවිය’ යැයි කියා නම තැබුවේය.
බඹරැන්දේ සිරිසීවලි ස්වාමින් වහන්සේ විසින් එය අනුමත කරන ලදි. ‘සරසවිය’ හෙවත් ‘සරස්වති’ යනු මහ බ්‍රහ්මයාගේ බිරියයි. බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර ත්‍රිමුර්තියෙන් ඇය සැලකිලි ලබයි. වචනයට, ඉගෙනීමට, ශාස්ත්‍රයට හා කලාවට අධිපතිනිය වන්නී ඇය ය.
සරසවියේ ආරම්භක ප්‍රධාන කර්තෘවරයා වූයේ මීමන ප්‍රේමතිලකය. නැකතට අනුව පළමු පිටපත වර්ණ යෝජක එස්.ඒ. කර්තේලිස් බාස් උන්නැහේට භාර දුන්නේ මීමන මහතාය.
’සරසවිය’ පත්‍රයේ මංගල කලාපය පිටපත් 50 දාහක් මුද්‍රණය කර ඇත. එහි මිල ශත 50 ක් විය. මංගල කලාපයත් සමඟ සරස්වති දේවියගේ මනහර ඡායාරූපයක් නොමිලේ බෙදා හරින ලදි.
මුල් යුගයේ ‘සරසවිය’ හුදෙක් සිනමා පුවත්පතක් පමණක් නොවීය. එවක ‘තරුණි’ පුවත්පත ආරම්භ කර නොතිබුණු බැවින් කාන්තා පිටුවක් ද, ‘මිහිර’ පත්‍රය ආරම්භ කර නොතිබුණු බැවින් ළමා පිටුවක් ද, ‘ක්‍රීඩා’ පත්‍රයක් හෝ සඟරාවක් ආරම්භ කර නොතිබුණු බැවින් ක්‍රීඩා පිටුවක් ද ඊට ඇතුළත් වූයේය. ‘සරසවිය’ මංගල කලාපය හඳුන්වා ඇත්තේ ද මෙලෙසිනි.
”මේ අලුත්ම ලේක්හවුස් ප්‍රකාශනය පවුලේ කාටත් රස විඳිය හැකි විවිධාංගයන්ගෙන් සමන්විත කලා මංජුසාවකි.”
පුවත්පත් කලාවේ දැවැන්තයකු වූ ඩී.බී. ධනපාල මහතා ‘සරසවිය’ හඳුන්වා ඇත්තේ ‘පුංචි සිළුමිණ’ ක් ලෙසිනි. ‘සරසවිය’ පුවත්පතට 40 වසරක් පිරුණු අවස්ථාවේ එය සමරමින් විශේෂ ලිපියක් ලියූ ‘විසිතුර’ පුවත්පතේ හිටපු කතුවරයාවූ එසේම ශ්‍රී ලංකාවේ අංක එකේ සිනමා පුවත්පත් කලාවේදියා වූ ආතර් යූ. අමරසේන මෙසේ සඳහන් කර ඇත.
”ලේක්හවුසියෙන් නිකුත් වූ අලුත් ප්‍රකාශනය ‘සරසවිය’ නමින් හැඳින්විණි. එය දොරට වඩින තෙක් මටත් වඩා උනන්දුවකින් හා වුවමනාවකින් මඟ බලා සිට ඇත්තේ ලොක්කා බව මා දැනගත්තේ අප්‍රේල් 10 වැනිදා කන්තෝරුවට ගොඩ වැදුණායින් පසුවය. මා කර්තෘ මණ්ඩලයට ගොඩවඳිනවාත් සමඟම ලොක්කා මගේ නම කියා කෑගැසුවේය. ඔහු අතේ ‘සරසවිය’ පත්‍රයක් විය.
”අයිසේ අමරසේන යූ සෝ දැට් පේපර්?”
”නෝ සර්” යැයි මම කීවෙමි.
”දෙයාස් නතිං... ඉට්ඊස් ජස්ට් ලයික් ද පුංචි සිළුමිණ” ඔහු සරසවිය මා අත තබමින් කියා සිටියේය. (සරසවිය 10 – 04 – 2003)
’සරසවිය’ පුවත්පතෙන් ආරම්භ කළ ‘සරසවිය’ සම්මාන උලෙළ ද සිනමා කලා ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවකි. (ප්‍රථම සරසවිය සම්මාන උලෙළ 1964 මැයි 9 වැනි දින පවත්වන්ට යෙදුණේය) ප්‍රථම ‘සරසවිය’ සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය ලෙස විනිශ්චය මණ්ඩලය තේරුවෙත් පාඨක ඡන්දයෙන් ජනපි‍්‍රය චිත්‍රපටය බවට පත් වූවේත් ‘ගම්පෙරළිය’ යි. මෙයින් වැදගත් කරුණු දෙකක් අවධාරණය වෙයි. එකක් නම් ආරම්භයේ සිටම ‘සරසවිය’ සම්මාන උලෙළ කිසියම් ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යෑමයි. එදා විනිශ්චය මණ්ඩලය ගත් තීන්දු වඩාත් නිවැරදි බව ප්‍රත්‍යක්ෂ වූයේ ‘ගම්පෙරළිය’ 1965 වසරේ පැවති තුන්වැනි නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී රණමයුර සම්මානය දිනාගැනීමෙනි.
දෙවැනි කාරණය ‘ගම්පෙරළිය’ ජනපි‍්‍රය චිත්‍රපටය ලෙස තේරීමෙන් එවක සිටි රසිකයන්ගේ මුහුකුරා ගිය රසඥතාව සාක්ෂාත් වීමයි.
ගෙවුණු පනස් වසර තුළ දක්ෂ පුවත්පත්කලාවේදිහු රැසක් ‘සරසවිය’ පුවත්පතේ කර්තෘධුර දැරූහ. මීමන ප්‍රේමතිලක, විමලසිරි පෙරේරා, ධර්මදාස බොතේජු, ග්‍රැන්විල් සිල්වා, ඒ.ඩී. රංජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල, ගාමිණි සමරසිංහ ඔවුන් අතර වෙති.
’සරසවිය’ නව මුහුණුවරක් ගත්තෙත් එය සමතල (ඕෆ්සෙට්) මුද්‍රණයෙන් පළවන්ට පටන්ගත්තේත් ග්‍රැන්විල් සිල්වා යුගයේදීය.
තිලකරත්න කුරුවිට බණ්ඩාර යුගයේදි ‘සරසවිය’ පුවත්පත වසා දැමීමට යම් යම් බලපවේගයක් ක්‍රියාත්මක වූයේය. එම අඥාන තීන්දුව ගෙන ආවේ ලේක්හවුස් පරිපාලනයට රිංගා ගත් සුරේන් රාඝවන් නමැත්තෙකි. ඒ අවස්ථාවේදී ‘සරසවිය’ වසා දැමීමට එරෙහිව බලවත්ව නැඟී සිටියේ ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක බව ඔහුට ප්‍රණාමය පළ කරමින් මෙහිලා සඳහන් කළ යුතුය. ඔහු එවක ජනාධිපති මාධ්‍ය උපදේශකවරයා වූයේය. ඔහු ‘සරසවිය’ පිළිබඳ මතුවූ ප්‍රශ්නයේදී එවක මාධ්‍ය ඇමැතිව සිටි මංගල සමරවීර සමඟ ඍජුවම ගැටුණේය. ‘සරසවිය’ වසා දමන බවට වූ තීන්දුව ක්‍රියාත්මක කළහොත් තමා මාධ්‍ය උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වන බව සනත් මහත් අවධාරණයෙන් මාධ්‍ය ඇමැතිවරයාට කියා සිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ‘සරසවිය’ වසා දැමීමේ තීන්දුව ක්‍රියාත්මක නොකිරීමට ඇමැතිවරයාට සිදුවූයේය.
’සරසවිය’ 52 වසරක සැමරුමේදී කර්තෘවරුන්ට අමතරව ‘සරසවියට’ සම්බන්ධව සිටි මාධ්‍යවේදීන් කීපදෙනෙකු හෝ මෙහිලා සිහිපත් කිරීම මගේ යුතුකමකි. අද ප්‍රවීණ සාහිත්‍යධරයකු හා ටෙලිනාට්‍ය පිටපත් රචකයකු වන සෝමවීර සේනානායක මහතා වසර ගණනාවක්ම ‘සරසවියේ’ උපකතුවරයකු හා නියෝජ්‍ය කතුවරයකු වශයෙන් කටයුතු කළේය. ලක්ෂ්මන් වික්‍රමසිංහ, නිමල් පෙරේරා අභයවර්ධන, පර්සි ජයමාන්න, අද මහාචාර්ය පදවියක් දරන ඩයස් ගුණරත්න, එල්මෝ ගුණරත්න, සිබිල් වෙත්තසිංහ, අර්නස්ට් වඩුගේ, කුමාරදාස වාගිස්ට, විමල් තිලකරත්න, සිරිකහවල, එඩ්මන්ඩ් පෙරේරා, සුනිල් හොරේෂස් වැනි පුවත්පත් කලාවේදීන් ද, රෙජී බුලත්සිංහල, බන්දු එස්. කොඩිකාර වැනි ඡායාරූප ශිල්පීන් ද ‘දැක්කොත් පද්මාවති’ වැනි ජනපි‍්‍රය කාටුන් ඉදිරිපත් කළ කැමිලස් පෙරේරා ද, ‘සරසවිය’ ට චිත්‍රකතා රැසක් නිර්මාණය කළ දයා රාජපක්ෂ ද මෙහිලා විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. එසේම ජයවිලාල් විලේගොඩ, එඩ්වින් ආරියදාස, ධර්මපාල වෙත්තසිංහ, වසන්ත ඔබේසේකර, ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයේ සිටද, බෙනඩික්ට් දොඩම්පෙගම ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලයේ සිටද ඩී.සී. රණතුංග ‘ඔබ්සර්වර්’ කර්තෘ මණ්ඩලයේ සිටද සරසවියට අගනා විශේෂාංග ලිපි ලියූහ.
අද ‘සරසවිය’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධුරය හොබන්නේ සිනමා ලේඛනයේ අති දක්ෂයකු වූද දෙස් විදෙස් සිනමාව පිළිබඳ පෘථුල අවබෝධයකින් යුතුවූද අරුණ ගුණරත්නය.
අවසාන වශයෙන් තවත් සුවිශේෂ කරුණක් අවධාරණය කළමනාය. සිනමා පුවත්පතක් පළකරන්නේ කා සඳහා ද? හුදෙක් නළු නිළියන් හෝ සිනමා ශිල්පීන් සඳහා ද? නොඑසේ නම් සිනමා ලෝලී පාඨකයන් සඳහා ද? මේ අරභයා නිශ්චිත දැක්මක් සිනමා පුවත්පත් කතුවරයකුට තිබිය යුතු යැයි මම සිතමි. අවුරුදු තිස්හතරක සිනමා පුවත්පත් කලාවේ අත්දැකීම් ඇති මවැන්නකු ඊට දෙන පිළිතුර නම් පාඨකයන් සඳහා බවය. පත්‍රයක් මිලදී ගැනීමෙන් එය පවත්වාගෙන යෑමට අනුබල දෙන්නේ මේ සිනමා රසික පාඨකයන්ය. ‘සරසවිය’ මිලදී නොගන්නා සිනමා නළුනිළියන් ගැන මම දනිමි. ඔවුන්ගේ ලිපියක් පළවූ විට ඔවුන් ලැජ්ජ නැතුව කියන්නේ ‘පුළුවන් නම් පත්තරයක් එවන්න’ කියාය. තමන්ට ප්‍රචාරය දීමට සිනමා පුවත්පතක් බැඳී සිටිනවා යැයි සිතන උද්ධච්ච නළුනිළියෝ ද වෙති. ඔවුන් සිතන්නේ සිනමා පත්‍රයක් යනු තමන්ගේ අම්මගෙ අප්පගෙ පෞද්ගලික බූදලයක් කියාය. ‘සරසවිය’ පවත්වාගෙන යා යුත්තේ එදා ශත 25 ට එය මිලදී ගත් එසේම අද රුපියල් 25 ට එය මිලදී ගන්නා සිනමා ලෝලී පාඨකයන් උදෙසාය.
මෙහිදී ඊට අදාළව තවත් කරුණක් නොකිවහොත් එය ඌනතාවයකි. ඒ නම්; චිත්‍රපට නළුනිළියන් හෝ වෙනත් සිනමා ශිල්පීන් නොමැතිව ද සිනමා පත්‍රයක් පවත්වගෙන යා නොහැකි බවය. ඔවුනොවුන් අතර අන්‍යෙන්‍ය සබඳතාවයක් මෙහිලා තුබුව මනාය.
ලෝක පරිමාණයෙන් ගත්තද පුවත්පත් කලාවට දීර්ඝ අනාගතයක් ඇතැයි මම නොසිතමි. එබඳු පසුබිමක පුවත්පත් කලාව, ජනමාධ්‍යයක් ලෙස පවතින තුරු ‘සරසවිය’ ද චිරස්ථායිව පවතීවා ය යන්න එහි හිටපු කතුවරයකු වශයෙන් මගේ ප්‍රාර්ථනාව වන්නේය.
Post a Comment