BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, November 18, 2014

මගෙ අම්මා මට උගැන්නුවෙ බීඩි ඔතලා හම්බ කරපු සල්ලිවලින්...- ආචාර්ය එච්. ඩබ්ලිව්. කරුණාරත්න

මාතර දිස්ත්‍රික්කයේ හක්මන නරවැල්පිට කුඩා කටු මැටි ගැසූ පැලක හෙතෙම උපන්නේ ය. දරිද්‍රතාව පීඩනය පරදා ජීවිතය ජයගත් ආචාර්ය එච්. ඩබ්ලිව්. කරුණාරත්න කැලණි විශ්ව විද්‍යාලයයේ සමාජ විද්‍යා අංශයේ වසර 13 ක් අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.

සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රයේ විශාරදයෙකි. ගමේ බැත, කෙත, නියර, අම්බරුවන් හොඳින් හඳුනන, එළහරකා බටුහරකා වෙන් කොට දන්නා, නියරක් දිගේ නොවැටී කෙළින් දිව යා හැකි ආචාර්ය කරුණාරත්න කැලණි සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස අදත් සේවය කරයි.

ඉතාම අව්‍යාජව තම මවගේ ගුණාංග හා දිරිය මෙහෙවර ගැන කරුණු කී එතුමා කාටවත් නොකී රහස් රැසක් මෙහිදී හෙළි කරයි. තම මව පිළිබඳව මොහොතක් හෝ වැය කැර කරුණු කියන්නට නොකැමැති ආචාර්ය මහාචාර්යවරුනට මෙය අතුල් පහරක් බව ද කිව යුතුය.
“අපේ පවුලෙ හිටියෙ අක්කයි මමයි මල්ලියි. පියා ගම් පළාතෙ ප්‍රසිද්ධ නැට්ටුවෙක්. වඩාත් නිවැරැදිව කිවහොත් යකැදුරෙක්. නරවැල්පිට පුස්ගොඩ එන්දෝරිස් ගුරුන්නාන්සෙ කිව්වම ඒ මගෙ තාත්තා. ශාන්ති තිර්ම බලි තොවිල් විෂයයෙහි කෙළ පැමිණියෙක්. අපේ අම්මා එච්. ඩබ්ලිව්. සෝමාවතී. නරවැල්පිට ඇගේ ගමයි. තාත්තගෙ ගම පස්ගොඩ වුණත් මේ ගමේ බින්න බැහීම තමයි සිද්ධ වුණේ.
රට පුරා තියෙන බලිතොවිල් පසුපසම දිව්වා මිසක් තාත්තා ගෙදර දොර වගකීම් බාරගත් කෙනෙක් නොවෙයි. පාරම්පරිකව පියාගෙන් ආ ශිල්පය ඉදිරියට ගෙන ගිය කෙනෙක් තාත්තා.
මුදල් ඉපැයීම ගැන තුට්ටුවකටවත් හිතුවෙ නැති සමාජ නම්බුව, ගෞරවය සේවය ගැනම හිතපු කෙනෙක්. කොච්චර ගෙදර වගකීම් පැහැර හැරියත් අම්මගෙ ලෝකෙ තාත්තා මහා වීරයෙක්.
ඒ වීරයා අම්මගෙ ගමේ තොවිලෙකට ආවම ඉතින්! අම්මට තියෙන සතුට වචනයෙන් විස්තර කරන්න බෑ. සමහරවිට තාත්තා ගෙදර එන්නෙ මාසෙකට සැරයක් වෙන්න පුළුවන්. ඒ ආවමත් දවස් 2 ක් ඉඳලා නැවත කොහේ හරි තොවිලයකට යනවා.

අම්ම හිටියෙ තමන්ගෙ මහගෙදර අපි තුන් දෙනත් එක්ක. මහගෙදර කීවට ඒකත් කටුමැටි ගහපු පුංචි පැලක්. මං මුලින්ම ඉස්කෝලෙට ඇතුළු කළ දවස මට අද වගේම මතකයි.
අපට නිල ඇඳුම් නෑ. සරමක් ඇඳලා බැනියමක් දාගෙන සපත්තු සෙරෙප්පු නැතිව මේ ගමන යන්නෙ. හැබැයි! හෝඩියෙ පන්තියට දාන්න කලින් අම්මා ගෙදරදි මට අකුරු කියෙව්වා.
සාමාන්‍යයෙන් සිංහලෙන් අට සමත් කෙනෙක් අම්මා. නරවැල්පිට මහා විද්‍යාලයට ගිහින් ලොකු මහත්තයා හමු වුණා. එතුමා මාව ළඟට අරන් ‘අ’ යන්න පෙන්වලා ‘අ’ යන්න ශබ්ද කළා. මා ඒ වෙලාවෙ කියලා තියෙන්නෙ ඒක ‘අ’ යන්න තමයි. කියලා. ගෙදර දි අම්මා අකුරු කියවපු හුරුව නිසා ගුරුවරයාත් සතුටු වුණා. මගේ ජීවිතයේ සාහිත්‍ය සමාජ විද්‍යාවේ මුල් පොත අම්මා. අම්මා පත්තරයක් ඉඳහිට හෝ ගෙනෙනවා.
පියදාස සිරිසේනගේ, ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවකතා පොත් කියවනවා. බොහෝ විට ඒවා අහගෙන ඉන්නවා. කියවන්න ඕනෑ මමයි. අපේ අම්මට තිබුණු අක්කර 2 ක පමණ පුංචි ඉඩමෙ ගහක ගෙඩි පවා හැදුණෙ මං ඉපදුණාට පස්සෙ කියලයි අම්මා කීවේ. ඒකෙන් මා අක්කා නරකයි කියන්නෙ නෑ. මගෙ මල්ලි තමයි විපුල හේවා වලිමුනි.
ප්‍රවාහන කොමිසමේ අධ්‍යක්ෂ (සැලසුම්). අපේ අම්මා මගේ කේන්දරේ බලනකොට නැකැත් රාළ මෙහෙම කීවලු. පුතාගෙ කේන්දරේ අනුව ඉගෙන ගන්න දක්ෂයි. හැබැයි! මෙයා ගෑනු ළමයින්ගෙන් ප්‍රවේශම් කරගන්න කියලයි.
එසේ කියූ ආචාර්ය කරුණාරත්න ‘හොග්’ ‘හොග්’ ගා හිනැහෙයි. ඒ වුණාට අද වෙලා තියෙන්නෙ ගෑනු ළමයින්ට මගෙන් පරිස්සම් වන්න... විහිළුවට .... උපහාසයට කැමැති හෙතම අව්‍යාජය. තවදුරටත් ඒ හඬට සමීප වෙමු.
මං ඉපදුණේ 1953 දෙසැම්බර්. 57 - 58 කාලෙ ඉරි සරමක් ඇඳලා බැනියමක් දාලා (අරවින්ද ‘විරාගය’ චිත්‍රපටයෙ අඳින විදියේ) එක් පැත්තකින් ගැටයක් දාලා ගැට ගහලා දැන් මා පාසල් යන්න කිිලෝ මීටර් 2 ක් විතර පයින් යනවා. මේ ගමන හරිම සුන්දරයි. කාලයක් යද්දි මල්ලිවත් එක්කරගෙන යන්නෙ මමයි. නියර දිගේ ඇවිත් ඇළත් දොළක් අතරින් පැනලා බඩවැටි ඕවිටි කුඹුරු දිගේ ඇවිත් අන්තිමට ලොකු ඒදණ්ඩකින් එගොඩ වෙලයි මේ පාසල් ගමන යන්නෙ. ගමේ කොලු රංචුව මේ විදියට තමයි එදා පාසල් ගියෙ.
අපෙ අම්මා බොරුව වංචාවට කැමැති නෑ. කොච්චර තිත්ත වුණත් ඇත්තම කියන්න කියලයි අපට උගැන්වුවෙ. පාසලෙන් පස්සෙ අයියලා අක්කලාගේ සාහිත්‍ය සමිතියෙ නැටුම් ගැයුම් පුහුණුවීම් බලන්න අපි හරි ආසයි. දවසක් මේ විදියට අක්කලාගේ නර්තන පුහුණුවීම් බල බලා ඉන්නකොට මගෙ පොත් මිටිය නැතිවුණා.
කාඩ්බෝඩ් එකක් තියලා පොත් මැදට තබලා රබර් පටියකින් බැඳලයි මේ පොත් මිටිය තියෙන්නෙ. පොත් මිටිය හොයා ගන්න බැරිව මා අඩ අඬා ගෙදර ගියා. අම්මා ඇහුවා ඇයි පුතේ! කියලා. මා කීවා ලොකු මහත්මයා පොත් මිටියක් අරන් බනිස් කාමරයට දාලා මට හොඳටම ගැහුවා කියලා. මා කීවේ නිර්මාණාත්මක බොරුවක්. අම්මා ඒ වෙලාවේ කලබල නොවී ඉඳලා පහුවදා උදේට මාවත් රැගෙන පාසලට ආවා.
ඇවිත් ලොකු මහත්තයා හමුවෙලා “ඇයි? සර් වරදක් කළානම් ගහන්න. පොත් මිටිය දෙන්න කීවා. සර් කීවා එහෙම දෙයක් සිදුවුණේ නෑ කියලා. ඒ වන විටත් වෙනත් ටීචර් ;කනකුට මේ පොත් මිටිය ලැබිලත් තිබුණා. අම්මට හෙළිවුණා කරන ලද ලොකු බොරුව.
අම්මා කීවා ලොකු මහත්තයට මේකට හොඳටම ගහන්න සර්’ කියලා. ඒත් එදා හිටපු ගුරුවරු කෙතරම් ගෞරවනීය ද කියන්නෙ එතුමා කීවා “අප දරුවන්ට වැරැදිවලට දඬුවම් කරනවා.
ඒත් අම්මලා ඉදිරිපිට කවරදාවත් දඬුවම් කරන්නෙ නෑ” කියලා. දැන් මේ සිද්ධිය බලන්න ළමයින් පිරිලා. හැංගිලා බලනවා. අම්මා වේවැල අතට අරගෙන (පංතිය තිබුණේ උස් වේදිකාවක) මාව එක අතකින් අල්ලගෙන පාදවලට පහර කීපයක් ගැහුවා මුළු ස්කෝලෙම ළමයින්ට පෙනෙන්න.
මට එතකොට වයස 8 යි. තුනේ පන්තියෙ හිටියෙ. දැන් මුළු ස්කෝලෙම කාලයක් යනකම් මට වදේ ගහනවා. ‘පුංචි බොරුකාරයා’ කියලා.
අපේ අම්මගෙ ජීවන ක්‍රමේ ගැන ඔබ අහනවා. අපෙ අම්මා බීඩි ඔතන කර්මාන්තෙක මැනේජර්. අපේ ගෙදර බීඩි ඔතන ශාඛාවක් තිබුණා.
ගමේ ගෑනු ගොඩාක් මේ ෆැක්ටරියෙ වැඩ කළා. කොළ දුම්කොළ දීලා පොත්වල ලියලා බීඩි එතුවාම බාර අරගෙන කළමනා කටයුතු කිරීමයි ඇගේ වෘත්තිය. ඇයත් බීඩි ඔතනවා. අම්මට කිසිම කම්මැලිකමක් නෑ.
රෑට අඩ නින්දෙන් මා අවදි වී බැලුවත් අම්මා ලාම්පුවෙ දුබල එළියෙන් බීඩි ඔතන දර්ශනය මට පෙනෙනවා. අපට කවලා පොවලා අන්ඳවලා පාසල් යවලා ඇය මේ කටයුතු පටන් ගන්නෙ. මේ කර්මාන්තයෙ බීඩි ඔතන ගණන් හදන්නේ අම්මයි මමයි. අපි මෙතැන ඉඳන් ලිපි ලියා හදන ගණන අක්කා කාමරයෙ ඉඳන් මනෝමයෙන් හදලා කියනවා. ඒත් අපේ ඉස්කෝලෙ ප්‍රශ්න නිසාත් අම්මට කෑම ටික දෙන්න ඕනෑ නිසාත් ඒ දක්ෂ අක්කා ඉස්කෝලෙ ගමන නතර කරනවා.
පසු කාලයක ‘බුදු නොවෙනා බෝසත්වරු’ කෘතිය ලියන විපුල හේවා වලිමුනි මල්ලි ගුරු ගෙදර අපට දන් දුන් ඒ අක්කාව මතකයට නඟනවා. ඇත්තටම ඇය අක්කෙක් විතරක් නොවේ අපට දෙවැනි මවක්. අම්මා කොච්චර කරුණාබර වුණත් වැරැද්දට හරිම තදයි. ගමේ කොල්ලෙක් වුණත් නුවුවමනා විහිළුවක් අක්කට කළත් කැත්ත තමයි අතට ගන්නෙ. මටත් ගහන්නෙ ගස් බැඳලා. මට ගස් නඟින පුරුද්දක් තිබුණා. අම්මා මේවා පරිස්සමින් කියලා ඉඩ දුන්නට පාසල් ‘කට්’ කරලා ගමේ කැලෑවට පනිනවට විරුද්ධයි. වැවේ ඇළේ දොළේ නාන්න.
මී හරක් පිටේ යන්න. හොර කුරුම්බා කඩන්න මාත් ආසයි. දවසක් මෙහෙම පාසල් ‘කට්’ කරලා ගිහින් ගිරා පැටවුන් ගන්න දිරච්ච පොල් ගහකට නැංගා. ගහේ බෙනයට අත දාපුවාම ගිරා පැටවුන් නොවේ හිටියෙ. සර්පයෙක්. ‘පුෂ්’ ගානකොට මා ගහ අතහැරලා පැන්නා. කොන්ද නොකැඩී බේරුණෙ නූලෙන්. අම්මට මේක ආරංචි වෙලා එදා ගස් බැන්දා. දිමි ගොටු දැම්මා. මේවා ඔක්කොම කළේ අප හදාගන්නට ඉතා කරුණාවෙන්. අම්මගෙ නමට ළඟ කඩේක ණය පොතක් තිබුණා. දවසක් මේ පොතට දාන්නැයි මුදලාලිට කියලා මං දොදොල් කෑල්ලක් මල්ලිට නොදී කෑවා.
මල්ලි මේක අම්මට කිව්වා. අම්මා එදාත් මට දඬුවම් කළේ අපූරු විදියට. ණය පොතින් ගත්තට නොවේ අම්මට කේන්ති. මල්ලිට නොදී කෑවටයි. තවත් දවසක් මල්ලිට බැලුම් බෝලයකුත් මට බැලුම් බෝලයකුත් අම්මා ගෙනැත් දුන්නා. මගෙ එක ඉක්මනට පුපුරුවා ගත් මා මල්ලිගෙ එකටත් අල්පෙනෙත්තෙන් ඇන්නා. අම්මා මගෙ කැටෙන් සල්ලි අරන් කිලෝ මීටර 3 ක් කාෂ්ටක අව්වෙ ගිහින් අම්මා හඳුනන කඩේකින් මල්ලිට විතරක් බැලුම් බෝලයක් මට කියලා ගෙන්නෙව්වා. මේ විදියෙ අපූරු දඬුවම් කළේ මගෙ හිතුවක්කාර ගති හදන්නයි.
බීඩි ඔතන ගමන් අම්මා එක් එක් පොත් ගෙනැවිත් ඈට ඇහෙන්න කියන්න කියනවා. කැලෑ හඳ, ගම්පෙරළිය, ඩිංගිරි මැණිකා මේ විදියටයි කියෙව්වෙ. අම්මට කොච්චර වැඩ තිබුණත් රාත්තිරියට අම්මා පාඩම් පොත් හයියෙන් කියන්න කියලා අහගෙන ඉන්නවා. ඉංගී‍්‍රසි පාඩමත් අහනවා. කිව්වට පිළිගන්න දුටුගැමුණු කුමාරයාගෙ කතාව කියන ඩෙනිස් ක්ලාර්ක්ගේ පරිවර්තනය ‘රන්දිව‘ පොතත් අම්මා මට කියලා කියෙව්වා.
එහි තියෙනවා මෙහෙම වාක්‍යයක්. ‘කඩොල් ඇත් පැටවා තමා දෙසට එන බව ගැමුණු කුමරු අඳුර විනිවිද දුටුවේය.’ අම්මා මේක ඇහුණම මගෙන් ඇහුවා. මොකක්ද පුතේ! මේ අඳුර විනිවිද කියන්නෙ කියලා. මා කීවා අඳුර අතරින් පෙනෙන බවයි කියන්නෙ කියලා. අම්මා තමන්ගෙ ළයට මාව තුරුලු කරන් සිප ගත්තා. දැන් මට අතට අහුවෙන හැම දේම කියවනවා අම්මගෙන් ලැබුණු ආභාසය නිසා.
මේ අතර ගෙදර තිබුණු පෙට්ටගමක තාත්තා අම්මට එවන ලියුම් හමුවුණා. ඒවා පටන් ගන්නෙ “ආදරණීය සෝමෙ” කියලා. මේවා කියවන්න පටන්ගන්නකොට ඒ ලියුම් අම්මා අස්ථානගත කළා.
අම්මට තිබුණු එකම ඉලක්කය අප ලොකු මිනිසුන් නොව ලොකු හොඳ මිනිසුන් කිරීමයි. කන්න ක්‍රමේට අම්මගෙ පවුලෙ කට්ටියගෙන් අම්මට කුඹුර කරන්න වාරය ආවම අම්මා කුඹුර කොටන්නත් යනවා. මාත් ඉතින්! පොඩි උදලු කෑල්ලක් අරන් අම්මට උදව් කරනවා. අනෙක මගෙ අම්මගෙන් මා උගත් තවත් දෙයක් නායකත්වය. අනෙක හරිම එඩිතරයි. ගමේ කාන්තා සමිතිවලත් ඇය ඉන්නවා.
ගමේ ගෑනු රැස්කරගෙන කරන ප්‍රජා කටයුතු වලදීත් මූලිකත්වය අම්මා ගන්නවා. ගමේ ඕනෑම මඟුල් ගෙයක වෑංජන ඒදන කටයුතුවලට අම්මට නිතරම ආරාධනා තිබුණා. ඇය ඒදන හොද්දක රස වැරැදිලා නෑ. මටත් ගමේ මිනිස්සු කීවෙ රත්න පුතා, රත්න ළමයා, රත්න අයියා කියලා. මේ විදියට කොහොම හරි මං ජ්‍යෙෂ්ඨය සමත් වුණා. මට තිබුණෙ කලිසම් 2 යි. ඒක වෙලාවට හෝදන්නත් අම්මා අණ කරලා තිබුණා. අපට විදුලි බලය නෑනෙ. ඒ නිසා චිමිනිය කළු වෙනකොට හෝදගන්න ඕනෑ. පිළිවෙළට ඇඳුම් තියෙන්න ඕනෑ. පිළිවෙළට පොත් ටික තියන්නත් ඕනෑ. මේවා කිළුටුවට අපිරිසුදුවට තිබුණොත් අම්මගෙන් බැණුම්. අක්කගෙ වැඩ පිළිවෙළ ගැනත් අම්මා හොයා බලනවා.
අම්මට හොඳටම කේන්ති ආවෙ අපි තුන්දෙනා රණ්ඩු වෙන වෙලාවටයි. ඒ ;වලාවට ඇය හරිම කම්පා වුණා. වෙලාවට වැඩ කිරීම ඇය අගය කළා. ඇයත් උදේ හතරට අවදි වෙලා රාත්තිරි 11 ට විතර නින්දට ගියේ. දිගටම වැඩ. තාත්තගෙ නැටුම් හැකියාවට ඇය හරිම ආසයි. ගමේ තොවිලයක්, ගම්මඩුවක්, දෙවොල් මඩුවක්, කොහොඹා කංකාරියක්, දහඅට සන්නියක් තිබුණොත් තාත්තා තමයි ඒකෙ ලොකුම ගුරුන්නාන්සෙ. ඒ වෙලාවට අම්මා ඒවා අපට පෙන්වනවා.
දවසක් තාත්තා සති අන්තයක ඇවිත් අම්මට කීවා “අපි ලොකු පුතාට නැටුම් උගන්වමු. මේක පාරම්පරික ශිල්පයක්නෙ” කියලා. අම්මා එකහෙළාම විරුද්ධ වෙලා කීවා. ඒකා ඉගෙන ගන්ඩ දක්ෂයි. තාත්තා නැටුම් කළා කියලා පුතා ඒකම කරන්ඩ ඕනැ නෑ. එයා ඉගෙන ගන්ඩ ඕනැ කියලා. අන්තිමේ තාත්තා ඒ අදහස හකුලා ගත්තා.
. දැන් ජ්‍යෙෂ්ඨය පාස් වෙලා සපත්තු දාලා උසස් පෙළ කරන්න යන කාලෙ. 1970 විතර. පි‍්‍රන්සිපල් කෙනෙක් ටයිකෝට් දාලා ඉස්කෝලෙට ආවා. දැන් විදුහලත් දියුණුයි. මේ කාලෙ මාත් ඉස්කෝලෙ දීප්තිමත් චරිතයක්. ඉස්කෝලෙ පෙන්වපු “එලොව ගිහින් මෙලොව ආවා” සරස්චන්ද්‍රගෙ නාට්‍යයේ කපුවාගෙ චරිතයත් රඟපෑවා. අම්මත් ඇවිත් ආසාවෙන් මා රඟපාන හැටි බලා සිටියා මතකයි.
 අල, බතල, මඤ්ඤොක්කා පළා වර්ග වත්තෙ වවලා තිබෙන නිසා කරවල, භූමිතෙල් වගේ දෙයක් තමයි නගරෙන් අම්මා ගෙනාවෙ. අම්මා නාට්‍ය රඟදක්වන දවස්වල උදේම නැගිටලා බත් මුලක් බැඳලා දෙනවා. යාළුවොත් එක්ක කන්න. අනෙත් දවස්වලට දවල්ට ගෙදර එනවනේ. උසස් පෙළ කළා. මගෙ දඟ වැඩ නම් නැවතුණේ නෑ. ගමේ පහළ තිබෙන ඇල්ලෙවෙල වැවට මාළු බාන්නත් යනවා. අහුවුණ දවසට අම්මා බනින්නෙ “උඹ සිංහ ලග්නෙ වුණාට වෘෂභ වැඩනෙ කරන්නෙ” කියලයි. අම්මා තවත් කැමැති දෙයක් මා ළඟ තිබුණා. වරදක් කළාම දඬුවමට යටත් වෙනවා. පැනලා දුවන්නෙ නෑ. අම්මා කෝටුව ගෙනෙන කොට අත පානවා. සමාව ඉල්ලන්නෙ නෑ. දඬුවම ඉල්ලනවා(උසස් පෙළට) සිංහල, බෞද්ධ සංස්කෘතිය, භූගෝල විද්‍යාව, ඉන්දියානු හා ලංකා ඉතිහාසය විෂයයන් ලෙස අරන් මා දැන් පළමු වසරෙ ඉන්නවා. ඒ වෙලාවෙ මා හැදුවා නාට්‍යයක්. නාට්‍යයේ නම ‘අඳුරෙන් එළියට’ නොවේ. එළියෙන් අඳුරටයි. මේ කතා වස්තුවෙ චරිත බවට පත්වන්නෙ ස්කෝලෙ වැඩ නොකරන ගුරුන් දෙතුන් දෙනෙක්. මං එතකොට ස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායක. නාට්‍යයේ පිටපතත් අධ්‍යක්ෂණයත් මගේ.
කොහොම හරි මේ නාට්‍ය ස්කෝලේ ගුරුන් ගේ ඇතැම් ක්‍රියාකාරකම් කියන නාට්‍යයක් කියලා ආරංචිය ගිහින් විදුහල්පති ගුණසිංහ සර් මගෙන් නාට්‍ය පිටපත ඉල්ල ගත්තා. පහුවදාම මේ නාට්‍යය තහනම් කළා. නාට්‍ය තහනම් කළ දවසෙම සිංහල සාහිත්‍යය සර් පන්තියට ආවම මේ ප්‍රශ්නෙ ඇදුණා. අන්තිමට සර්ට කොල්ලො ‘හූ’ කීවා.
මාත් සමඟ තවත් ප්‍රධාන යාළුවො දෙන්නෙක් සර් එක්ක නාට්‍ය තහනම ගැන කතා කළේ. ගුරුවරු එදා පන්තියට ආවෙ නෑ. මාත් බෙල් එක ගහලා ස්කෝලෙ ඇරියා. බෙල් එක හැටියට තිබුණෙ ලොකු ලොරි තට්ටුවකට බයිසිකල් පැඩල් එකෙන් පහර දෙන එකයි. එදා සිකුරාදා දවසක්. සඳුදා එන විට මගෙත් යාළුවො දෙන්නගෙත් පන්ති තහනම්.
අපේ පන්ති තහනම ගැන අම්මා කම්පා වුණා. යාළුවො දෙන්නා හක්මන කෝංගල මහා විද්‍යාලයට ගියා. මට ගම එපා වුණා. මං අම්මට පොරොන්දු වුණා මා ගමෙන් පිටට ගියත් කොහේ හරි ඉගෙන ගන්නවා කියලා. මාතර සුදර්ශි පිරිවෙනට මා ඇවිත් එහි සිටි උපුල් රණවීර ගුරුතුමාට ඇත්ත කීවා. එතුමා විෂය කරුණු කීපයක් විමසුවා. මගේ උත්තර හොඳයි. දඟ ළමයෙක් වුණාට ඔබ දක්ෂයෙක්. මේ පිරිවෙනේ ඉඳන් ඉගෙන ගන්නවා. මං ලොකු හාමුදුරුවන්ට කියන්නම්. එහෙම කියපු ඒ ගුරු දෙවියා මට පිහිට වුණා. වීරබා පිරිවෙනේ ඒ කාලෙ මල්ලිත් නේවාසිකව ඉගෙන ගනිමින් හිටියෙ. ඒ නිසා මට ගමන එන්න පහසු වුණා.
අම්මා මාසයකට සැරයක් කදක් බැඳගෙන (කැවිලි පෙවිලි) ඇවිත් ගුරුනට කරුණු කියලා මට ඉංගී‍්‍රසිය ඉගෙන ගන්න කීවා. සුදර්ශියේ ඉංගි‍්‍රසි පන්තියට මාත් ඇතුළු වුණා. ගුරුන්ගේ කාරුණිකත්වය මත මුදල් අය කළේ නෑ. ඒත් අම්මා විටින් විට ගුරුවරුන්ට දෙන්න සල්ලි ටික ටික එව්වා. අම්මගෙ කලාත්මක අකුරු වලින් ඇය පෝස්ටර් ඇඳීම මට ගමේදී පුරුදු කැර තිබුණා.
ගමේ අංකුර කලාකරුවෙක් හැටියටත් මා හිටි කාලය ගැන ඔබට කියන්න බැරිවුණා. ඒ පුහුණුව මට මාතරදි වැදගත් වුණා. ගමේ මළ ගෙවල්වල බැනර් පෝස්ටර් ඇන්දෙත් මම. ගොක් කොළ සැරසිලි ආදිය කළෙත් මම. ඒක තාත්තගෙන් ආවෙ. මාතර රාහුල රඟහලට එන මනමේ, සිංහබාහු, සුබ සහ යස, මකරා, ඒකාධිපති, හුණුවටය වැනි ඕනෑම නාට්‍යයක පෝස්ටරය අඳින්නෙ මමයි.
මේ තත්ත්වයට එනකොට මට යන්තම් මුදලකුත් ලැබුණා. හැබැයි! මේක ආවෙත් අම්මගෙ කලාත්මක අකුරින් පෝස්ටර් ඇඳලා පුරුදු වෙලා බව කිව යුතුමයි. අලුත් ලොකු හාමුදුරුවරු කෙනෙක් පන්සලට ආව වෙලාවෙ මටත් යන්න වුණා.
මගේ ඊළඟ නවාතැන වුණෙ බෞද්ධ සංස්කෘතිය උගන්වපු ධර්මරත්න සර්ගේ ගෙදර. මාතර නූපේ හන්දියේ රේල් පාර ළඟ තිබුණු මේ ගෙදර මගේ අධ්‍යාපනයටත් පහසුයි. මා ගමෙන් පිටවුණත් අම්මා මාව අත්හැරියෙ නෑ. අම්මා මා පේරාදෙණිය සරසවියට 1976 අපේ‍්‍රල් විභාගයෙන් සමත්වෙනකම් කද මලු අරගෙන මාව බලන්න ආවා.
මේ අතර අක්කට විවාහ යෝජනාවක් ඇවිත්. රුපියල් 500 දැවැද්දක් ඒ පැත්තෙන් ඉල්ලුවා. දෙනගම ගමෙන් කෙනෙක් විවාහයට ආවේ. අම්මා මගෙන් ඇහුවා. ‘පුතේ අක්කා දීග දෙන්න මට ඉඩම උගස් තියන්න වෙලා තියෙනවා. මං හිඟා කාලා හරි ඒක බේර ගන්නවා. උඹ ඒකට කැමැති ද?’ ඛ්යලා. මාත් ඉතින්! කැමැති වුණා.
අම්මා බීඩි කර්මාන්තයෙන්ම ඒ මුදල කොහොම හරි හොයලා අවුරුද්දක් යන්නටත් ඉස්සෙල්ලා ඉඩම බේරගන්නකම් අප දන්නෙත් නෑ. මල්ලි කිරිල්ලවල හිටියෙ. මං ඇල්දෙනියෙ ගෙයක් හැදුවා. මට අවශ්‍ය වුණා අම්මව මේ ගෙදරට ගෙන්වා ගන්න. මගෙ නෝනා කුසුම් රාණි කරුණාරත්න. බියගම කලාපයේ ගුරු උපදේශිකවරියක්. ඊට ඉස්සෙල්ලා ගමේ තිබුණ මට සම්බන්ධකමක්. මේක නැවැත්තුවෙම නෑ.
ඒ ළමයා හොඳ වුණත් එයාගෙ සහෝදරයො එතරම් හොඳ නෑ. මේ පවුල් පසුබිම නිසා අම්මා විරුද්ධ වෙලා හිටියා. ඒක නවත්වන්නෙ නැති හින්දා “අම්මා මහණ වෙන්න” තීන්දු කළා. අපේ අම්මා කිව්වොත් කිව්වමයි. මා ඒ සම්බන්ධය නැවැත්තුවා. පස්සෙ ඒ ළමයා පේරාදෙණියටම මා ගියාට පස්සෙ අවුරුද්දෙ ඇවිත් මට පෙනෙන්නම කොල්ලෙක් එක්ක රවුම් ගැහුවා. අම්මගෙ ප්‍රායෝගික ඥානය හරිය කියලා තේරුණේ එදායි.
මේ සම්බන්ධයට අම්මා කෙළින්ම විරුද්ධ වුණේ නෑ. නිහඬ පිළිවෙතක් අනුගමනය කළා. ඒත් මගේ නෝනා අම්මට සැලකුවා, අම්මත් එයාට සැලකුවා. මගෙ එකම පුතා රංග ප්‍රසාද් කරුණාරත්න. කැලණිය ධර්මාශෝකෙ ඉගෙන ගන්නෙ. තවම උසස් පෙළ කරනවා. අම්මගෙ තනියට ගෙදර හිටියෙ මගෙ අක්කගෙ දුව. ඒ දුව දීග දෙන වෙලාවෙ අම්මා ඇහුවා පුතේ ඒ ඉඩම ඈට ලියා දෙන්න ද කියලා. මාත් එකඟ වුණා.
ඒත් බලාපොරොත්තු වූ විදියට ඒ අයගෙන් අම්මට සැලකුම් ලැබුණේ නෑ. ඒ නිසා ගම දාලා එන්න අකමැත්ත තිබුණත් මං අම්මාව අරගෙන අපේ ඇල්දෙණිය ගෙදරට ආවා. ඒ අතර නෝනගේ අම්මත් අසනීප වෙලා අපේ ගෙදරමයි හිටියෙ. දැන් අපේ අම්මලා දෙන්නම අපේ ගෙදර. ටික කලකින් අම්මගේ ගමන් සගයා නෝනගේ අම්මා නැතිවුණා.
අම්මා නිස්කලංක ගමේ පරිසරයට යන්න කැමැති නිසා මං කඩවත ගනේමුල්ල පාරෙ වැලිපිල්ලෑවෙ අලුත් ගෙයක් හදලා ඥාති දියණියක් ගෙනැවිත් එයාට බලාගන්න දීලා අම්මාව එහි නැවැත්තුවා. නෝනයි පුතයි හිටියෙ ඇල්දෙනියෙ ගෙදර. ඒ අයගෙ කටයුතුවලට එතැන පහසුයි. මං නිතරම අම්මත් එක්ක වැලිපිල්ලෑවෙ ගෙදර හිටියා. මං රස්සාවට ආවෙ අම්මාගේ තේරීම අනුවයි.
මට ඒ ටික ඔබට කියන්න බැරිවුණා. මාතර සුදර්ශියේ ස්ථිර ගුරුකමයි කැලණි සරසවියේ තුන් මාසෙක තාවකාලික අංශ ප්‍රධානි සමාජ විද්‍යා තනතුරයි .... මං ආවා. අම්මා කීවා මාතර සුදර්ශියෙ යන්න එපා. උඹ තාවකාලික වුණත් විශ්ව විද්‍යාලය කථිකාචාර්ය තනතුරට පලයන් කියලා.
සමාජ විද්‍යා නමැති අලුත් විෂය ජනපි‍්‍රය වෙද්දි විශ්ව විද්‍යාලයය මේක ස්ථිර තනතුරක් කළා. ඒ නිසා මා අදත් කැලණි සරසවියෙ. නැත්නම් මට වෙන්නෙ මාතර සුදර්ශියෙ ගුරුකමේ ඉන්න. අම්මගේ ප්‍රායෝගික ඥානය හරිම ඉහළයි.
මේ අතර අම්මා අසනීප වෙලා කඩවත පෞද්ගලික රෝහලකට ගෙනාවා. ඔක්සිජන් බට නහයෙන් දාලයි තිබුණේ. ක්ෂේත්‍ර පරික්ෂණවලට කණ්ඩායම් අරගෙන මට පිට යන්න සිදුවෙන බව අම්මා දන්නවා. ඒ දිනවලත් එහෙමයි. අර ඔක්සිජන් බට හරිම කරදරයක්. අම්මා කීවා පුතේ උඹ මාව බලාගෙන ඉන්න එපා. මං කොහොමත් මැරෙනවා. අනෙක මේ බටය මට කරදරයක්. මං මේක ගලවනවා.
උඹ රාජකාරියට පලයන් කියලා. බැරිම තැන මං දවස් කීපයකට පස්සෙ ක්ෂේත්‍ර පරීක්ෂණයකට කොළඹින් ටිකක් ඈත ගියා. එදාමයි අම්මා මළේ! ඔක්සිජන් බට ගලවා දමපු හින්දා මරණය ඉක්මන් වුණාද දන්නෙ නෑ. ඒත් ඈ මරණයටත් වඩා හිතුවෙ මගෙ රාජකාරිය ගැනයි. ඇය මැරෙන වෙලාවෙ ළඟ ඉන්න බැරි වීම ගැන දුකයි.
ඡායා -විමල් කරුණාතිලක

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger