ප‍්‍රකට ගායක ගායක වින්සන්ට් ද පෝල් පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.
ඒ ගීතයේ මුල් වචන පෙළ දෙසවන වැටෙන විට අද සිටින ඕනෑම වැඩි හිsටියෙක් මීට වසර හතළිහකට, පණහකට ඉහත අතීතයකට නොදැනුවත්වම අවතීරණය වනු නොඅනුමානය. බයිසිකලේ, අශෝකමාලා ඇතුළු ජනප්‍රිය ගීත රාශියක්‌ම ගායනා කර ඉතිහාසය සුවඳවත් කළ ඒ සොඳුරු ගායකයා පරම්පරා හතරකින් සමන්විත තම දරු මුණුපුරන් සහභාගි කරවාගෙන සංගීත ප්‍රසංගයක් පවත්වා ගිනස් වාර්තා පොතට ඇතුළත් වීමට සූදානමින් සිටී. තමන්, තම දුව, ඒ දුවගේ දරුවන් හා ඒ දරුවන්ගෙත් දරුවන් ගී ගයන මේ ප්‍රසංගය තම 90 වැනි උපන් දිනය නිමිත්තෙන් ලබන නොවැම්බර් මස 04 වැනි දින සවස 6.30 කොළඹ ඇල්විටිගල මාවතේ බ්‍රිටිෂ් ස්‌කූල්හිදී පැවැත්වීමට සූදානම් වෙයි. 90 වැනි උපන් දිනයට ආසන්නව සිටියද ඉතාමත් නිරෝගී මනා පෞරුෂයකින් හෙබි මේ උත්තුංග දේහධාරී ගායන ශිල්පියා මා සමග පිළිසඳරට එක්‌වුණේ ඉතාමත් සුහදශීලීවය.
මම උපන්නෙ කොළඹ මෝදර. ඒ 1922 නොවැම්බර් 03 වැනිදා. මගේ පවුලේ අක්‌කයි, අයියල දෙන්නයි, මමයි හතර දෙනයි. මගේ පියා නැව්වලට බඩු සැපයූ ව්‍යාපාරිකයෙක්. කලිසමට උඩින් රෙද්දක් ඇඳල, කෝට් එකක් ඇඳගෙන තොප්පියකුත් දාගෙන තමයි ගමන් යන්නෙ. ඒ කාලෙ අපේ ගෙදර කාර් 03 ක් තිබුණ. මම මුලින්ම පාසල් ගියේ මෝදර ඩිලාසල් විද්‍යාලයට, අපි එතකොට පුංචි ළමයි වුනත් කලිසමයි, කමිසයයි, ටයි එකයි ඇඳල තොප්පියකුත් දාන්නම ඕන. මම ඒ කාලෙ ඉඳලම සංගීතයට ආසයි. අපේ ගෙදර පියානෝ එකකුයි. වයලීනයකුයි තිබුණ. සැමදාම අපි හතර දෙනාම සවසට එකතු වෙල වාදනය හා ගායනය කරනව. සිංදු කියන්නෙ ඉතින් මම තමයි. මට එතකොට හොඳට සිංදු කියන්න පුළුවන් නිසා පාසලේ මම හොඳට ජනප්‍රිය වුණා. අපේ පාසලේ සිටිය චෙක් ජාතික පියතුමා සෑම ප්‍රසංගයකටම මාව සහභාගි කරවනව. පල්ලියේ ගීතිකාවලටත් මාව එක්‌කන් යනව.
1940 යුද සමයේදී පාසල් වැහුව. ඊට පස්‌සෙ මගේ ඉගෙනීමෙ කටයුතුත් අඩාල වුණා. අපේ ගෙදර පිහිටා තිබුණෙ මෝදර මුහුදට ඉතා ආසන්නවයි. ඒ හින්ද අපට ගොඩක් පරිස්‌සම් වෙන්න සිදු වුණා. යුද්ධ කාලෙ කොළඹට කාපිරි මිනිස්‌සු ගොඩබැහැල තිබුණ. අම්ම කිව්ව කාපිරි මිනී මස් කනව කියල. ඉතින් අපි හොඳටම බය වුණා. යුද්ධ කාලෙ සයිරන්ස් නළා හඬක් ඇසෙන කොටම පැන්සලක් කටේ දමා හපාගෙන බිම දිගාවෙන්න කියල උපදෙස් දීලා තිබුණ. රාත්‍රියට පාරවල්වල ලාම්පු දල්වන්නෙ නැහැ. ගෙවල් වලත් ලාම්පු එළිපිටට නොපෙනෙන්න දොරවල් වහගෙන ඉන්න ඕන. ඒ කාලෙ අපේ රට පාලනය කළේ සුදු ජාතිකයො. ඒ සුද්දන්ගෙ කඳවුරුවල සිංදු කියන්න අපේ ඥති දොස්‌තර කෙනෙක් මාව එක්‌කන් යනව. යුද සමයෙ අපේ ජනතාවට බේරී ඉන්න බංකර් ඉදිකරන්න අරමුදල් සොයන්නත් මම සිදු කියල තියෙනව.
ඒ කාලෙ නාඩගම් වේදිකාවෙත් මම සිංදු කිව්ව. සිංදු කියල ඉවර වුණාම මිනිස්‌සු වේදිකාවට සල්ලි වීසි කරන සිරිතක් තිබුණා. ඉතින් මමත් සිංදු කියල ඉවර වුණාම මිනිස්‌සු මගේ ළඟටත් සතේ, සත දෙකේ කාසි වීසි කළා. මම ඒ කාසි ඇහිඳගෙන ගෙදර ගියාම අම්ම මට දොස් කීව" දෙවියන් වහන්සෙ පුතාට තෑග්ගක් හැටියට දීපු කටහඬ විකුණල සල්ලි ගත්තොත් පව් සිදු වෙනව කියල.
ඒ කාලෙ රටේ තිබුන යුද වාතාවරණය නිසා තාත්තා අපිත් අරගෙන ගම්පහ පළාතේ පදිංචියට ගියා. එතකොට මම ක්‍රිකට් ක්‍රීඩාවටත් ඇලුම් කළා. බ්ලුම්µSල්ඩ් ක්‍රීඩා සමාජයට සහ මොරටුව ක්‍රීඩා සමාජයට බැඳී ක්‍රීඩා කළා. නවසිය හතළිස් ගණන්වල මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවක ගීතයක් ගායනා කළේ. එවකට කොළඹ නගරාධිපතිව සිටි කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතා ප්‍රධාන අමුත්තා වශයෙන් සිටි වේදිකාවක. ඊට පස්‌සෙ මවුන්ට් බැටින් සාමි, සර් ඔලිවර් ගුණතිලක වැනි රාජකීයන් සිටි වේදිකාවල ගී ගයන්න තරම් මම වාසනාවන්ත වුණා.
ගී ගයන්න තිබූ ආසාව නිසාම 1946 දී පමණ මම රේඩියෝ සිලෝන් එකට ඉල්ලුම් පත්‍රයක් දැම්ම. ඒ කාලෙ රේඩියෝ සිලෝන් එක තිබුණෙ බොරැල්ලෙ කොටා පාරෙ නිවසක. ඉතින් රේඩියෝ සිලෝන් එකේ සම්මුඛ පරීක්‌ෂණයෙන් මම සමත්වුණා. මුලින්ම මට ගීත 03 කට විනාඩි 15 ක් දුන්නා. ඒ කාලයේ ගීත එළියෙ පුරුදු පුහුණු වෙලා ප්‍රවෘත්ති කියල ඉවර වෙන කොටම ක්‌ෂණිකව මැදිරියට ගිහින් ගීතය ගයන්න ඕන සජීවීවම. මට මතකයි මම මුලින්ම කිව්වෙ "පෙම්බර මෑණි" කියල මව් ගුණ ගීතයක්. ඊට පස්‌සෙ සෙක්‌කුව, කෝච්චිය ආදී ගී ගායනා කළා. ඒ කාලෙ ඉන්දියාවෙන් ආව රක්‌නශංකර් කියල සංගීතය පිළිබඳ මහාචාර්යවරයෙකුගේ පරීක්‌ෂණයකටත් මාව ලක්‌වුණා. ඊට පස්‌සෙ පැය භාගයක් සිංහල ගීතත් පැය භාගයක් ඉංගී්‍රසි ගීතත් ගයන්න මාව තේරුණා. භාෂා දෙකෙන්ම ගී ගයන්න තේරුණ එකම ශිල්පියා මමයි.
ඊට පස්‌සෙ රේඩියෝ සිලෝන් එක බොරැල්ලෙන් ටොරින්ටන් චතුරස්‍රයට ගෙනාව. එහිදී අපට සෑම මාසයකටම පැය භාගය බැගින් ලැබුණ. ඒ පැය භාගෙට අලුත් සිංදු 5 ක් කියන්න ඕන. ඒ කාලෙ මා ගැයූ සෙක්‌කුව, කුස්‌සිය, ඔරලෝසුව, රික්‌ෂො කාරයා ආදී ගීත ජනප්‍රිය වුණා. ඊට පස්‌සෙ එච්. එම්. වී. (හිස් මාස්‌ටර් වොයිස්) තැටිවලට ගීත ගායනා කළා. එක ගීතයක් තැටි ගත කරන්න දවසකට වැඩිය යනව. ඒ කාලේ රේඩියෝ සිලෝන් එකෙන් පිට වැඩ සටහන් කළා. කම්කරුවන් සිටින වැඩපළවල්වලට ගොස් කම්කරු පැය කියල වැඩ සටහනක් කළා. ඒ එක වැඩ සටහනකට ල.ස.ස.ප. නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහත්තය ඇවිත් සිටිය. එහිදී මම "රික්‌ෂොකාරයා" සිංදුව කිව්වට පස්‌සෙ ඇන්. ඇම්. පෙරේරා මහත්තය මගේ උරහිසට තට්‌ටු කරල කිව්ව රික්‌ෂෝකාරයො මෙච්චර දුක්‌විඳිනව කියල මම දැනං සිටියෙ නැහැ කියල. ඒ කාලෙ "මාසික රැඟුම" වැඩ සටහන් පිට පළාත්වල කළා. අපි ගායක ගායිකාවො හතර පස් දෙනෙක් යනව. සී. ටී. ප්‍රනාන්දු, කාන්ති වක්‌වැල්ල, ලතා, බෙග්, ශීලා පීරිස් ආදිය අය.
ලංකාවෙ මුලින්ම චිත්‍රපට ගත කළ වර්ණ චිත්‍රපටය වන "ගම්බද සුන්දරී" චිත්‍රපටියෙ මම රඟපෑව, ඊට පස්‌සෙ අපි ලංකාව පුරා සංගීත සංදර්ශන පැවැත්තුවා. පී. එල්. ඒ. සෝමපාලයන් තමයි සංගීතය සැපයුවෙ. මහ රැජන ලංකාවට ආ වෙලාවෙ මම තමයි ගීත ගායනා කළෙ. ලංකාවෙ සිරි නරඹලා ආපසු එංගලන්තයට යැමට නැවට ගොඩවෙන අවස්‌ථාවෙ ගීතයක් ගායනා කරන්න තරම් මම වාසනාවන්ත වුණා. ඒ ගීතය ලියුවෙ කරුණාරත්න අබේසේකර සූරීන්.
ලංකාව වටේ සංචාරය කරලා
යනවාද මහා රාජනී
කවදාද ආයෙ එන්නෙ කුමාරි
නිවලා මේ සෝ ගිනී... ආදී ඒ ගීතයේ වචන මට තවමත් මතකයි. 2550 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙනුත් මම ගීතයක් ගායනා කළා.
* සිරිපාදේ සමනල කන්ද පෙනේ
* ඇවිළේ සැමදා රශ්මිය විහිදා
* බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ
* මල් මාල ගොතා දෙනවද සොඳුරියෙ
* දුම්රිය ලංකාවේ
* පොසොන් දිනේ
* සීගිරියේ
ආදී එදා මෙන්ම අදත් ජනප්‍රිය රැල්ලේ පවතින ගීත රාශියක්‌ම ගායනා කළ මේ සොඳුරු ගායකයා රද්දොළුගම නිවාස සංකීර්ණයේ 7F54 දරණ නිවසේ තම ජීවිතයේ සැඳෑ සමය ඉතාමත් සැහැල්ලුවෙන්, විවේකීව ගත කරයි. දිවයිනේ සතර දෙසින් වන්දනා, විනෝද සහ අධ්‍යාපන චාරිකා යන කොයිකාගේත් එදා මෙන්ම අදත් මුවග රැඳෙන මොහුගේ ගීත අපේ හදවත් තුළදී නොමැකෙන ලෙස සටහන් වී ඇත.
තම ජීවිතයේ 90 වැනි වියට පා තැබීමට සූදානම්ව පරම්පරා හතරක් සහභාගි කර ගී ප්‍රසගංයක් පවත්වා ගිනස් පොතට යැමට සැරසෙන මේ සොඳුරු ගායකයාගේ බලාපොරොත්තු ඉටු වී චිරාත් කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වීමට හේතු වාසනා වේවායි අපිදු ප්‍රාර්ථනා කරමු.
සටහන - රද්දොළුගම - ප්‍රේමසිරි හේවගේ
දිවයින
2012/11/02
දිවයින
2012/11/02
Post a Comment