සංගීතඥ පී. ඩන්ස්ටන් ද සිල්වාණන් ගේ අභාවයෙන් වසර 19 ක් සපිරීම නිමිත්තෙනි.
නිර්මාණාත්මක කාර්ය භාරය එක් තැනෙක රැඳී සිටින්නක් නොවන්නේ ය. එසේ රැඳී සිටිය හොත් නිර්මාණ කාර්යයෙහි ජීව ගුණය වියැකී යෑම ඒකාන්ත ය. ගලා නොබස්නා දිය කඩිත්තක් මෙන් භාවිතයෙන් ඈත් වන බැවිනි.
මෙය කවර කලා විෂයයකට හෝ පොදු ය. නිර්මාණය නම් තවත් නිර්මාණයකට පාදක විය යුත්තකි. නිර්මාණයෙන් තවත් නිර්මාණයක් පහළ වන්නේ ය. එබැවින් නිර්මාණය මහා ප‍්‍රවාහයක් සේ ගලා බසින්නේ ය. සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා නිර්මාපකයාණන් ගේ කලාත්මක මෙහෙවර විමසා බලන විට මේ යථාර්ථයට නිදසුන් සපයා ගත හැකි ය.
නෘත්‍ය නාඩගම් වේදිකා ගීතවලින් ග‍්‍රැමපෝන් තැටි ගීතවලට පිවිසි සිංහල ගී කෙත ඉක්බිති සනිටුහන් කරන්නේ සිංහල ගුවන්විදුලි ගීත යුගය යි. ඒ ගීත හඳුන්වන ලද්දේ සරල ගී නමිනි. හතළිහේ, පණහේ දශකවලට අයත් ය.
බොහෝ සෙයින් අසන්නට ලැබුණේ ජනපි‍්‍රය හින්දි චිත‍්‍රපට ගීතවල ස්වර රචනා අනුව සිංහල පද මාලා සකස් කර ගැනීමෙන් ගැයූ සරල ගීත යි. ඒ ගීතවලින් දැනට ශේෂ ව ඇත්තේ ඉතා ස්වල්පයකි. වත්මන් කල මෙන් පටිගත කිරීම්, තැටි ගත කිරීම් ආදි තාක්ෂණික පහසුකම් සුලභ ව නොපැවැති එකල ඉදිරිපත් කරනු ලබන සරල ගී වැඩසටහන් සමඟ ගීත මාලාව ද සුළඟේ පාවී ගියේ ය.
ගුවන්විදුලි සේවාව පුළුල් වීමත් සමඟ සංගීත වැඩසටහන්වලට වෙන් කළ ගුවන් කාලය වැඩිවීම නිසා ද නිර්මාණාත්මක සිංහල සංගීතයක අවශ්‍යතාව වඩ වඩා වැටහෙන්නට වූ නිසා ද සරල ගී නිර්මාණය යුහුසුලු ව කළ යුත්තක් විය.
සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා ලංකා ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ ප‍්‍රධාන සංගීත වැඩසටහන් විධායක නිලධාරියා වශයෙන් පත්වූයේ මෙබඳු පසුබිමක් ඇසුරෙහි ය. මෙය සිදුවූයේ 1954 දී ය.
සංගීත විශාරද උපාධිධාරී කුසලතා පූර්ණ සංගීතවේදියකු වූ ඔහු ගුවන් විදුලි සේවයට බැඳුණේ එවක ගුවන් විදුලියේ ප‍්‍රධාන අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි ඇම්.ජේ. පෙරේරා මහතා ගේ ආරාධනය පිළිගැනීමෙනි. ඒ වන විට ඔහු නිරත ව සිටියේ ස්වකීය වර්ණ ඡායාරූප ශාලාවේ කාර්ය භාරය ව්‍යාප්ත කර ගනිමිනි.
ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයයෙහි ගායනය පිළිබඳ පූර්ණ පාඨමාලාව හදාරා සම්භාව්‍ය ශාස්තී‍්‍රය ගායකයකු වශයෙන් තම මවුබිමට පැමිණි පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීත විශාරදයාණන් හට ප‍්‍රධාන වශයෙන් ස්වකීය නිර්මාණ දායකත්වය සංදීපනය කරන්නට අවස්ථාව සැලැසුණේ ගුවන් විදුලි සේවයට පැමිණීමෙන් පසු ව ය.
ඔහුට පැවැරුණු කාර්ය භාරය මහත් වගකීම් ඇති, අලුත් ප‍්‍රමිති නිපදවිය යුතු, සිංහල සංගීතයේ ප‍්‍රගතියට හේතු කාරක වන ශ‍්‍රාවකයන් ගේ වින්දනය තෘප්තිමත් කළ යුත්තක් විය. ඒ වන විට සිංහල සංගීතයක් නිපදවීමේ සංකල්පයට අරුණලු පතිත වෙමින් පැවැත්තේ ය.
ඔහු තමාට මුහුණ දෙන්නට සිදු වූ අභියෝගය ජය ගැනීමට සිය මුළු ජීවිතය ම ඇප කැප කෙළේ අවංක ව ය. දේශ භක්තිය හා කලා කුසලතාව පෙරට තබාගෙන ය.
ස්වකීය අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පදනමක් සකස් කර ගනිමින් රසධාරා නමින් නව ගීත ඉදිරිපත් කරන විශේෂ වැඩ සටහනක් ආරම්භ කෙළේ ය. ඔහු ගේ ස්වර රචනා අනුව ගැයූ ‘වනමල් පියලි සලා’, ‘සුදු පිරුවට ඇඳලා’, ‘ගලා යන දොළේ’ යනාදී ගීත අප‍්‍රමාද ව ජනපි‍්‍රය විය. රසිකයනට හෘදයංගම වින්දනයක් ලබා දීමට සමත් වූ හෙයිනි.
ඉක්බිති ඔහු විසින් තබන ලද පියවර අතිශයින් සාර්ථක වූවක් බව සංගීත විචක්ෂණයන් මෙන් ම කලා විචාරකයන් ද එක හෙළා පිළිගන්නා කරුණකි. ඒ වූකලී අන් කිසිවක් නො ව, ගුවන් විදුලි ගීතනාටක නමින් අලුත් සංගීතාංගයක් නිපදවීමයි. පළමු වැනි ගීත නාටකය ‘මනෝහාරී’ නම් විය.
ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ සූරීන් විසින් රචනා කරන ලදී. තනු නිර්මාණය, සමාරම්භක වාදන, අතුරු වාදන ආදි සංගීතාත්මක නිර්මාණ සියල්ලක් ම නිපදවන ලද්දේ පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීතවේදියාණන් විසිනි. එය නිෂ්පාදනය කරන ලද්දේ ‘මේඝදූත’ යන ආරූඪ නමින් පෙනී සිටි එවක සිංහලාංශයේ ප‍්‍රධාන සංවිධායක තේවිස් ගුරුගේ මහතා විසිනි.
‘රසධාරා’ වැඩසටහන්වලට උත්තර භාරතීය රාගධාරී සම්භාව්‍ය සංගීතයේ ද ලංකාවේ ජන ගීවල ද ආභාසය ලබා ගත් ඔහු, ගීත නාටකවලට සංගීතය නිර්මාණය කිරීමේ දී වඩ වඩා ස්වතන්ත‍්‍ර රීතියක් අනුගමනය කෙළේ ය.
ප‍්‍රධාන ගීතාංග සතරෙන් ස්ථායී, අන්තරා යන දෙකොටස වඩාත් ඉස්මතු වී පෙනෙන ලෙස ස්වර රචනා නිර්මාණය කළ ඔහු, රාගධාරී සංගීතයේ අකාරාදී ආලාප ක‍්‍රම ද උපයෝගී කර ගන්නට සමත් වූයේ ය.
කේවල, ශාස්තී‍්‍රය සිද්ධාන්ත මත පිහිටි ආලාප ගානයන් නො ව, සරල වර්ණයෙන් යුතු ගායන ශෛලියක් එයට එක් කෙළේ ය. සප්තක තුනෙහි ම සංචාරය කරන ස්වර රටා අනුව නාද මාලා නිර්මාණය කෙළේ ය.
පළමු වැනි ගීත නාටකයෙහි තේමාව අකාර ආලාපය උපයෝගී කොට ගත් ගායනයකි. එයට උචිත වාදනය සහාය කර ගැනීමට ද ඔහු තමා තුළ පැවැති ප‍්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිහිට කොට ගත්තේ ය.
අවුරුදු 43 ක් පැරැණි මේ තේමා ගීතය ඒ ගීත නාටකය මෙන් ම බොහෝ සෙයින් ජනපි‍්‍රය විය. එය ඇසෙන විට ගුවන් විදුලි ගීත නාටකයක් ප‍්‍රචාරය වන්නේ ය යන හැඟීම රසිකයන් තුළ අදත් ජනිත වන්නේ ය.
ඔහු ගේ නිර්මාණ ප‍්‍රවාහය සංගීත ක්ෂේත‍්‍රයේ නොයෙක් අතේ අතුපතර විහිදවමින් ගලා ගියේ ය. සිංහල ගුවන් විදුලි සේවාවෙන් හඳුන්වා දුන් ගීතමය නව නිෂ්පාදන, දේශානුරාගී ගීත, සංගීතමය ප‍්‍රණීතාංග, විජය ගීත, රාග රස වින්දන, සත්පියුම් යනාදි ශීර්ෂාංග යටතේ නිෂ්පාදනය වුණු වැඩ සටහන් සිංහල සංගීතයේ නව ප‍්‍රවණතාවක් ඇති කිරීමට හේතු වූවාක් මෙන් ම පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීතඥයාණන් ගේ සහජ නිර්මාණ කුසල බලය ද ප‍්‍රකට කිරීමට පාදක වූයේ ය. රස නිෂ්පත්තියේ දී ඔහු ඒකස්වරූපකාවෙන් බැහැර වී අවස්ථාවට උචිත, පදමාලාවට යෝග්‍ය රස භාව නිපදවීම සඳහා ස්වකීය ප‍්‍රතිභා ශක්තිය වහල් කොට ගත්තේ ය.
විමල් අභයසුන්දර විසින් රචනා කරන ලද 1960 සිට මේ වන තුරු ම හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අභියස දී ගැයෙන ‘පූජා බැති ගීත ගාන’ මෙහි ලා වෙසෙසින් සඳහන් කළ යුතු ය.
විවිධ රස නිෂ්පාදනයෙහි ඩන්ස්ටන් ද සිල්වා නිර්මාපකයාණන් පළ කළ සුරුබුහුටිකම් පිළිබඳ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත ‘ගාන්ධර්ව අපදාන 4’ නම් පොතෙහි දැක්වෙන විශ්ලේෂණයක් මීට නිදර්ශන වශයෙන් ඉදිරිපත් කිරීම ප‍්‍රමාණවත් යයි සිතමි.
“ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා වැනි ජන නායකයන් ගේ අභාවයන්හි දී ඔහු විසින් විරචිත තනු රචනා, ඒ ඒ ප‍්‍රභූන් වෙනුවෙන් ගැයුණු විශිෂ්ටතම ගීත ලෙස සැලැකිය හැකි ය.
බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් වෙනුවෙන් කොතෙක් ගී ගැයී ඇතත්, ඩන්ස්ටන් තැනූ ‘පූජා බැති ගීත ගාන’ (මේ ගීතය ඇතුළත් වූයේ පළමු වැනි බණ්ඩාරනායක ගුණානුස්මරණය වෙනුවෙන් ගුවන්විදුලිය මඟින් සම්පාදනය කරන ලද ‘ධ්වනි පූජා’ නම් වූ සංගීත වැඩසටහනට යි.
එය 1960 සැප්තැම්බර් 26 වැනි දා හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අභියස දී ද ගායනා කරන ලදී. ගායනා කළාහු නන්දා මාලිනී ඇතුළු පිරිස යි.) තරම් ඒ කිසිවක් ප‍්‍රබල නැත. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ශී‍්‍රමතාණන් ගැන කෙතරම් ගී ගැයී ඇතත් ඩන්ස්ටන් තැනු ‘සූරිය මල මැලවී ගියා’ හෝ ‘රතු සේද පාවාඩ’ (ගායනය : නන්දා මාලිනි) යන ගීත යුග්මය තරම් ඒ කිසිවක් කරුණ රසය ජනිත කරන්නේ නැත.”
පී. ඩන්ස්ටන් ද සිල්වා විශාරදයාණන් තුළ පැවැති තව ද සුවිශේෂ ලක්ෂණයක් නම් ගායන ශිල්පීන් හා ශිල්පිනීන් ද වාදකයන් ද තුළ පවත්නා හැකියාව ප‍්‍රථම අවස්ථාවේ ම හඳුනා ගැනීමට පිළිවන් වීමයි.
ඔවුනට උපදෙස් දීමට, ගුරුහරුකම් දීමට, සංගීත පාඩම් ඉගැන්වීමට, ස්වර රචනා පුහුණු කරවීමට ඔහු දැරූ වෑයම කොතරම් දුර සාර්ථක වී ඇද්දැ යි දැන් තක්සේරු කළ හැකි ය. හැකියාව ඇති ගායක ගායිකාවන් කිසි ම පැටලීමක් නැති ව ස්වකීය සංගීත වැඩ සටහන්වලට යොදා ගැනීමටත්, සංගීතවේදීන්ට වැඩ සටහන් භාර දීමටත් ඔහු දැක්වූයේ දිරිගන්වනසුලු අභිරුචියකි.
තමා නිර්මාණය කිරීමට පටන් ගත් තනු රචනාව අඩක් පමණ අවසන් කොට සුදුසු සංගීතඥයකුට භාර දී එය සම්පූර්ණ කරවාලීමට පවා ආදර්ශවත් විය.
ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව, වික්ටර් රත්නායක, සංගීත නිපුන් සනත් නන්දසිරි, සංගීත් නිපුන් ශාන්ති ගීතදේව, දේවානන්ද වෛද්‍යසේකර, විශාරද දයාරත්න රණතුංග, විශාරද ඩබ්ලිව්.ඇප්. විමලසිරි, නාරද දිසාසේකර ආදි ගායකයන් හා විශාරද නන්දා මාලිනී, ආචාර්ය අමරා රණතුංග, සූජාතා අත්තනායක, පි‍්‍රම්රෝස් ජයසිංහ, අමිතා වැදිසිංහ, ඇන්ජලීන් ගුණතිලක, චන්ද්‍රානි ගුණවර්ධන, මල්ලිකා කහවිට, මල්කාන්ති නන්දසිරි, දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස් යනාදි ගායිකාවෝ ද පී. ඩන්ස්ටන් ද සිල්වා නිර්මාණය කළ ස්වර රචනා අනු ව ජනපි‍්‍රය ගීත ගායනා කළහ.
උපාධිධර ගායකයකු වූ ද විශිෂ්ටතම බට නළා වාදකයකු වූ ද පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා ගුවන් විදුලි සේවයට බැඳීමෙන් පසු වෘත්තීය සංගීතඥයකු වශයෙන් කි‍්‍රයා කෙළේ නැත. එබැවින් ඔහු ගේ ගායන වාදන ඇසෙන්නේ නැත. එහෙත් ඔහු විසින් ගයන ලද අවසාන සිංහල ගීතය රචනා කිරීමේ භාග්‍යය මට අත් විය. ඒ මෙසේ ය.
වජිරාසන මත කුස කණ අතලේ
පොළව සසලවා ජයතුරු බෝමුල
මමායනය සිප් හසරින් වෙන් කළ
සවාසනා සව්කෙලෙසුන් සුන් කළ
සම්බුදු නුවණ ලබා
පොළව සසලවා ජයතුරු බෝමුල
මමායනය සිප් හසරින් වෙන් කළ
සවාසනා සව්කෙලෙසුන් සුන් කළ
සම්බුදු නුවණ ලබා
මිනිස් සිතේ හැම අහුමුලු පීරා
රා දොස් මොහඳුරු දුරු කළ තිලොවේ
සුගත තථාගත සම්මා සම්බුදු
දෙපිය කරමි පිණිපා
රා දොස් මොහඳුරු දුරු කළ තිලොවේ
සුගත තථාගත සම්මා සම්බුදු
දෙපිය කරමි පිණිපා
දුක් දුක් සමුදය නිරෝධ ගාමිණි
සිවුසස් පිළිසමුපා දම් මාවත
පා දා දුන් නිවනින් සැනැසෙන සේ
බුදු සෙවණේ නිවෙමී
සිවුසස් පිළිසමුපා දම් මාවත
පා දා දුන් නිවනින් සැනැසෙන සේ
බුදු සෙවණේ නිවෙමී
මෙහි තනුව, සංගීතය හා ගායනය විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා ගේ ය. 1981 සහ 1982 වර්ෂ දෙක පුරා ජාතික රූපවාහිනියෙන් මාස් පතා ප‍්‍රචාරය වුණු ‘පද සරණිය’ නම් සංගීත වැඩ සටහනේ අවසන් නිෂ්පාදනයට මේ ගීතය ඇතුළත් වූයේ ය.
‘පද සරණිය’ පී. ඩන්ස්ටන් ද සිිල්වා ගේ ම තනු හා සංගීතය අනු ව නිර්මාණය වූ ගීතවලින් සමලංකෘත වූවකි.
සිංහල සංගීතයේ නිර්මාණාත්මක ජීවය උද්දීපනය කිරිම පිණිස අතුල්‍ය මෙහෙවරක් කළ සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා කීර්තිශේෂභාවෝපගත වූයේ 1988 ඔක්තෝබර් 27 වැනිදා ය. එතුමා ති‍්‍ර සිංහලයට ම අහිමි වී ගියත් එතුමා ගේ නිර්මාණ දායකත්වය යුගයෙන් යුගයට ප‍්‍රවාහයක් මෙන් ඉදිරියට ම ගලා ගෙන යනු ඇත්තේ ය.
Post a Comment