BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, October 30, 2014

කොස්ලන්ද ඛේදවාචකයේ අතුරුදන්වූවන් සොයා සිදුකරන මෙහෙයුම් .....

 කොස්ලන්ද ඛේදවාචකයේ  අළුත්ම  ඡායාරූප අපට  ලැබී තිබෙනවා...අපගේ සුවිශේෂී ස්තූතිය ශ්‍රීලංකා ගුවන් හමුදා  මාධ්‍ය ඒකකයට....

Hundreds missing after mudslide sweeps through tea plantation in Sri Lanka

කොස්‌ලන්ද, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතුයායේ බිහිසුණු නායයැමෙන් මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව කොතෙක්‌ දැයි සෙවීම සඳහා සංගණනයක්‌ ආරම්භ කර ඇත.
කොස්‌ලන්ද, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතු නිවාස ගම්මානයේ අතුරුදන් වූවන් සොයා සිදුකරන මෙහෙයුම්වලට සහායක්‌ වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානයක්‌ ඊයේ (30 වැනිදා) සිට යොදවා ඇත. ආපදා
කළමනාකරණ මධ්‍යස්‌ථානය කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්‌ අතුරුදන් වූවන් සොයා සිදුකරන මෙහෙයුම් අවසන් වන තුරු ක්‍රියාත්මක වන බව ගුවන් හමුදාව පවසයි.



මීට අමතරව ඕනෑම හදිසි අවශ්‍යතාවකට යොදා ගැනීම සඳහා තවත් එම්අයි 17 හා බෙල් 212 යන හෙලිකොප්ටර් යානා දෙකක්‌ රත්මලාන හා දියතලාව ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය තුළ රඳවා තිබේ.


අතුරුදන්වූවන් සොයා සිදුකරන මෙහෙයුම් වෙනුවෙන් ගුවන් හමුදාව නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු සෙබළුන් එකසිය හයක්‌ යොදවා ඇතැයි ද ගුවන් හමුදාව වැඩිදුරටත් පවසයි.
 

පස්‌ කඳුවලට යටවී මියගොස්‌ සිටින පුද්ගලයන්ගේ සිරුරු සෙවීම සඳහා යුද හමුදාව ගුවන් හමුදාව සහ පොලිසිය දැවැන්ත මෙහෙයුමක්‌ ඊයේ පෙරවරුවේ සිට ක්‍රියාත්මක කළද දහවල් වනතුරුත් කිසිදු සිරුරක්‌ සොයා ගැනීමට නොහැකි විය.


පොලිසිය පවසන්නේ පෙරේදා (29 දා) දිනයේදී සොයාගත් මළ සිරුර අට කොස්‌ලන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේ නායයැම සිදුවන අවස්‌ථාව වනවිට වතු නිවාසවල පදිංචි පුද්ගලයන් බොහෝ දෙනකු සිය දෛනික රාජකාරි කටයුතු සඳහා පිටත්ව ගොස්‌ සිටි බවයි.

එහෙයින් මෙම අනතුරින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව දැනට සැකකරන මරණ සංඛ්‍යාව (192) ට වඩා අඩුවිය හැකි බවද එම නිලධාරියා කියා සිටියේය.

මෙම මහා ව්‍යසනයෙන් පසු ප්‍රදේශයේ පදිංචිකරුවන් විසිරී ගොස්‌ විවිධ ස්‌ථානවල රැඳී සිටින නිසා ඊයේ දහවල් වනතුරුත් අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකි වූ බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.


විපතට පත්වූවන් 869 දෙනෙක්‌ පුනාගල සහ කොස්‌ලන්ද මහා විද්‍යාලවල රඳවා සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සියල්ල සපයා දීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනු ඇත.

යුද හමුදාව සහ ගුවන් හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්‌ඩායම් කීපයක්‌ අතුරුදන් වූ පුද්ගලයන් සොයා පස්‌ කඳු ඉවත් කිරීමේ කටයුතු ඊයේ ක්‍රියාත්මක කෙරිණි.

බැකෝ යන්ත්‍ර යොදාගෙන පස්‌ කඳු ඉවත් කිරීමේ කටයුතු ඉතාම පරීක්‍ෂාකාරී අන්දමින් ක්‍රියාත්මක කළයුතු බව යුද හමුදා නිලධාරීන් කියා සිටියහ.

නාය යැමෙන් පහළට ගලා ආ පස්‌ කඳු ඉවත් කරද්දී ඉහළ කොටසේ රැඳී ඇති ගල් සහ පස්‌ තට්‌ටු නැවතත් පහළට ඇදී ඒමෙන් තවත් විනාශයක්‌ සිදුවීමට ඉඩ ඇති නිසා ඉතාම පරීක්‍ෂාකාරී අන්දමින් පස්‌ තට්‌ටු ඉවත් කළ යුතු බව යුද හමුදාව පවසයි.


නාය යැමට ලක්‌වූ කන්ද මතින්a විශාල ජල පහරක්‌ පහළට ගලා එන අතර මෙම කන්ද තවදුරටත් නාය යැමේ තර්ජනය ඉවත් වී නොමැති බවද පොලිසිය පවසයි.

කොස්‌ලන්ද හල්දුම්මුල්ල මීරියබැද්ද වතුයායේ සිදුවූ විනාශය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති   ඊයේ පෙරවරුවේ එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.

මහින්ද රාජපක්‍ෂ  හෙළිකොප්ටරයේ නැගී නාය යැම සිදුවී ඇති ප්‍රදේශයට ගුවනින් ගොස්‌ නිරීක්‍ෂණය කළේය.


පසුව  අවතැන් වූ පිරිස නවාතැන් ගෙන සිටින පූනාගල සහ කොස්‌ලන්ද පාසල් වෙත ගොස්‌ ඔවුන් සමග කතා කරමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කළහ.


මෙම නාය යැමට හසු වීමෙන් මීරියබැද්ද ප්‍රදේශයේ වතු නිවාස 63 ක්‌ මුළුමනින්ම විනාශ විය. ඊට අමතරව කෝවිලක්‌, රජයේ නිල නිවාස 3 ක්‌, ප්‍රජා ශාලාවක්‌, කිරි එකතු කරන මධ්‍යස්‌ථාන 3 ක්‌, වෙළෙඳසල් 2 ක්‌ මුළුමනින්ම විනාශ වී තිබිණි.


ඊයේ පෙරවරුව වන විට කොස්‌ලන්ද ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය යහපත් අතට හැරී තිබිණ. මේ හේතුව නිසා පස්‌ කඳුවලට යට වූ සිරුරු සෙවීම තරමක්‌ පහසු වී තිබූ බව ආරක්‍ෂක අංශ සාමාජිකයන් කියා සිටියහ.

ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය සොයා බැලීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් මහින්ද බාලසූරිය සහ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් ද කොස්‌ලන්ද ප්‍රදේශය වෙත ඊයේ ගොස්‌ සිටියහ.

ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ, බණ්‌ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි බුද්ධික සිරිවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණ දියයුතු ආකාරය පිළිබඳව පොලිස්‌පතිවරයා උපදෙස්‌ ලබා දුන්නේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger