BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, September 4, 2014

‘එදා සීපද’මානව විද්‍යාත්මක හැදෑරීමක්...

 ලංකාවේ විදග්ධ සාහිත්‍යය තරම් ම පර්යේෂණාත්මක හැදෑරීමක් ජන සාහිත්‍යය ඔස්සේ ද සිදු කරන්නට හැකි වෙයි. එපමණට ම ජන සාහිත්‍යයේ විවිධතා අපට හමු වේ. ජනකතා, ජනකවි, ජන කියමන් වශයෙන් ජන සාහිත්‍යය ප්‍රධාන ධාරා තුනකට බෙදිය හැකි වෙයි. ජ්ධතඬ තධපඥ නැතහොත් ජනශ්‍රැතිය පාදක වී මේ සියලුම සාහිත්‍යාංග ගොඩනැඟී පැවතීම ද විශේෂත්වයකි. එමෙන් ම එය ඉතා පුළුල් ක්‍ෂේත්‍රයක පැතිර පැවතීම ද දැකිය හැකියි.

සිංහල ජාතියේ ආරම්භයේ පටන් ම ගොඩ නැඟුණු ජන සාහිත්‍යාංග අප සතු වීම ද අනෙක් සාහිත්‍යයන්ගෙන් මෙය වෙන් කර ගැනීමට හේතු වෙයි. ජනශ්‍රැති වශයෙන් මේවා පත්වීම නිසා කලින් කල සංස්කරණය වීම ද අභාවයට යාම ද සිදුවෙයි. දශක කීපයකට පෙරාතුව සිදුවූ ජනාකීර්ණත්වයට පෙර ශ්‍රී ලංකාව පුරා බහුතරයක් වාසය කළේ ගැමියන් ය. ඔවුන්ගේ බස ජන බස වන අතර ඔවුන්ගේ සාහිත්‍ය ජන සාහිත්‍යය වෙයි.
ජන සාහිත්‍යය හැදෑරීමේ අගයන් හතක් පර්යේෂකයකු වන ජී.සී.පෙරේරා උපුටා දක්වයි. එනම්,
1. සාහිත්‍යමය අගය
2. මිථ්‍යා කථාවල ප්‍රභවය සෙවීම
3. මානව විද්‍යාත්මක අගය
4. ආගමික විශ්වාසයන්හි ප්‍රභවය සෙවීම
5. ඓතිහාසික භූගෝල විද්‍යාව හැදෑරීම
6. මානසික විග්‍රහයන් හැදෑරීම
7. පැරණි උත්සවවල ආරම්භය හා විකාසය සෙවීම
යන්නයි. (43 පිට, විධිමත් අධ්‍යාපනය සඳහා ජන සාහිත්‍යය) මේ හැරුණු කල්හි සිංහල සමාජය සකස් කර ගැනීම උදෙසා අතීත වටිනාකම් භාවිතයට ගැනීමට ජන සාහිත්‍යය හැදෑරීමේ ප්‍රධාන ඵලයක් ලෙස දැක්විය හැකියි. නිදසුනක් ලෙස යශෝදරාවත නම් වූ ජන කාව්‍යය අදටත් මානව දයාවේ උපරිමය දක්වා ශ්‍රාවකයා කැන්දයි. යශෝධරා චරිතය යථාර්ථවත් ව විවරණය කරන කවියා ඒ ඔස්සේ දෙන පණිවුඩය නූතන වනිතාවට ද වටී. මේ නිසා ජන සාහිත්‍යය අධ්‍යයන කිරීම මානව විද්‍යාවක් ගවේෂණය කිරීමකි. මිනිසා අධ්‍යයනය කිරීම සඳහා ජන සාහිත්‍යය තරම් තවත් මාධ්‍යයක් අපට නැත.
කවර සාහිත්‍යයකින් වුව අපේක්ෂා කරන ජීවිත පරිඥානය පුළුල් කිරීම හා මානව දයාව ගොඩනැඟීම ජන සාහිත්‍යය හැදෑරීමෙන් අපට ලැබෙන පුළුල් ප්‍රතිඵලයකි.
අපේ ගමරාළගේ කථා මහදැනමුත්තාගේ කථා, අන්දරේගේ කථා නූතනයන් පවා රස විඳින්නේ එයින් ලැබෙන ජීවන දැක්ම ද සෙමින් විඳ ගනිමිනුයි. එබැවින් ජන විද්‍යාත්මක පර්යේෂණ අපේ සාහිත්‍යයට ඉටු කරන්නේ ප්‍රබල මෙහෙවරකි.
කේ.බී.මානෑව අපට සිටින වියත් ජන සාහිත්‍ය පර්යේෂකයෙකි. ඔහුගේ “ලග්ගල ජනවහර” මෑතදී රාජ්‍ය සම්මානයෙන් පුද ලැබීය. එමෙන්ම ‘නුවර කලාවියේ ජන වහර’, ‘නුවර කලාවියේ ජනමංගල්ල’, මඟුලේ තැන්න වැනි ජන පර්යේෂණ සම්මානයෙන් පුද ලබන්නට තරම් හේතු වන්නේ නූතන ජන විඥානය පෝෂණය කරගන්නට එයින් ලැබෙන ප්‍රබල මෙහෙය හේතුවෙනි. ඔහුගේ නවතම කෘතිය “එදා සීපද” වෙයි.
සිළුමිණ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියාරච්චි ලියන පෙරවදනේ දැක්වෙන්නේ මේ කෘතිය “අව්‍යාජ ගැමි ජීවිතයේ හරස්කඩක්” යනුවෙනි. ‘එදා සීපද’ කියෙව්වාම සිත නිවෙනවා යැයි පුන්කලස සංස්කාරිකා සුමුදු චතුරාණි ජයවර්ධන කියා සිටී. මේ සිරස්තල ද්වය ම පොත පිළිබඳ ව කදිම හැඳින්වීම් බවට පත්වෙයි.
පෙරදී ද දැක්වූ පරිදි මේ රට මුළුමනින් ම පාහේ ගැමියන්ගේ දේශයක් ව පැවැති බව අපට පෙන්වන්නේ ජන කවියෙනි. ඔවුනගේ මුළු මහත් දිවියම ජනකවියෙන් ප්‍රතිරාව වෙයි. ගොවිපලේ කම්හලේ පමණක් නොව කවරම ජීවනෝපායක් ඔස්සේ ගොඩනැඟුණු ජනකවි දහස් ගණනක් අප සතු වෙයි. ඒ සෑම ජන කවියක් ම ගැමි ජීවිතයේ වගතුග කියාපාන හරස්කඩක් ම වෙයි.
කේ.බී.මානෑවයන් උපතින් ද චින්තනයෙන් ද ගැමියෙකි. ගැමියකු පමණක් නොව ගැමි දිවිය විනිවිදින සාහිත්‍යධරයෙකි. ඔහු සිළුමිණ පුවත්පතෙහි පුන්කලසට වසර පහක් තිස්සේ ලියන එදා සීපදය ගැමි දිවියේ අප්‍රකට තොරතුරු වෑහෙන රස ප්‍රවාහයකි. ඔහු තෝරා ගෙන විග්‍රහ කරන සෑම සීපදයක් ම ගැමි දිවියෙහි සාරසොබාවත් කදිමට විවරණය වෙයි. අව්‍යක්ත ගැමියාගේ නිර්මාණ, කෞශල්‍යය පමණක් නොව ඖචිත්‍ය ධර්මතාවන් ද මේ ඔස්සේ ප්‍රකට කෙරෙයි.
සිළුමිණෙහි පළ වූ මේ සීපද විවරණ පනහත් “එදා සීපද” නමින් ග්‍රන්ථගත වීම ජනශ්‍රැති පර්යේෂක ආධුනිකයන්ට කෙරුණු අගනා අනුග්‍රහයකි.
ඔහු තෝරා ගන්නා සීපදය නිර්මාණය වීම උදෙසා බලපෑ සමාජ පරිසරය කෙටියෙන් දක්වා අනතුරුව සීපදය විවරණය කරන්නේ අප නොසිතනා අදහස් හා දැනුම් සම්භාරයක් පාඨකයාට උරුම කරමිනි. මේ කෘතියෙහි සංගෘහිත සියලු සීපද ප්‍රධාන වශයෙන් වර්ගීකරණයකට ඇතුළත් කළහොත් ඒ මෙසේය.
1. මාපිය සෙනෙහස
2. දූදරු සෙනෙහස
3. නෝක්කාඩු
4. පවුල් දිවියේ අඩදබර
5. මානව දයාව
6. මිතුරුදම්
7. පරිසර හිතවාදිත්වය
8. ආගමික ඇදහිලි හා විශ්වාස
9. ගැමි ප්‍රේමයේ සුන්දරත්වය
10. වන්දනා ගමන්
11. මරණය
12. කපටි වදන් යනාදිය ගත හැකිය.

 මේ සියල්ල ගැමි ජීවිතයේ කැඩපතකි. මේ මිනිස් හැඟීම් ජන කවියකු නිර්මාණය කර ඇත්තේ අපූර්වත්වයෙනි. ඒවායේ ගායනා විලාසය සුන්දර ය. ඔවුන් ඊට යොදන බස මනහර ය. ගන්නා උපහැරණ, චමත්කාරජනක ය. කේ.බී.මානෑවයන් පර්යේෂකයකු වශයෙන් මේ කරුණු සියල්ල හාරාඅවුස්සා ගනී. ගැමි ජීවිතය දෙස නැවුම් දෘෂ්ටියකින් බලන්නට පාඨකයාට මඟ පෙන්වයි. නැතහොත් අප සියල්ල ගමේ බැද්දට, වෙල් එළියට, ඉපනැල්ලට, පැලට පිලට කැන්දයි. ගැමි දිවියේ අපූර්ව චමත්කාරයෙන් අප පුබුදුවන්නට මානෑවයෝ වෑයම් කරති. මේ කරුණු තහවුරු කරලන්නට ඔහු විවරණය කරන ජනකවි කිහිපයක් ගෙනහැර දැක්වීම වටී.

ඉරදෙවි ගිනිගත් මහ මද්දහනට
    කුඹුකක් උනු මයෙ අම්මා
කරකොළයක්වත් නැති බඩසායට
    දිවුල් ගහක් උනු මයෙ අම්මා
ගෙරවිලි බියකරු විදුලි අකුණු මැද
    මහදඹරුක උනු මයෙ අම්මා
මරසෙන් පරදා බුදුහිමි පිට දුන්
    මහබෝවයි මට මයෙ අම්මා


මාතෘත්වය පිළිබඳ ව කියැවුණු ජනකවි රාශියකින් උපුටා ගත් මේ නිර්මාණය මානෑවයන් විවරණය කරන්නේ “මහබෝවයි මට මයෙ අම්මා” යන පරිච්ඡේදයේ ය. ජනකවියාගේ අව්‍යාජ මව් සෙනෙහස ගැමි වහරින් ම ඉදිරිපත් කළ මේ සීපදය විවරණය කරන මානෑව මහතා වත්මන් සමාජයේ මාපිය ගුණ ගායනා දෙමහල්ලන් පිළිබඳ කෙරෙන කතිකාවක් මෙන්ම නිමක් නැති ධර්ම දේශනා ද පලක් නැති බව දක්වමින්, නූතනයේ මහලු මඩම්, අනාථ නිවාස, මහමඟ, අගුපිලෙහි ඇතැම් මව්පියන් කඹුරද්දී, දරුවන් මහ මන්දිරවල වැජඹෙන අයුරු තම විවේචනයට ලක් වෙයි. ඊට හේතුව ‘ආදරය’ බැහැර වීම බව ද ඔහුගේ විග්‍රහය වෙයි. පැරණි ගමෙහි අම්මා කෙතරම් පූජනීයත්වයට පත් ව සිටියා ද යන්න මේ ඔස්සේ මානෑව විවරණය කරයි.
මෙහිදී කවියා අම්මා උපමා කරන්නේ කුඹුක් ගස, දිවුල් ගස, දඹ ගස සහ බෝ ගසටයි. මේ සියල්ල ප්‍රචණ්ඩ සූර්ය තාපයට කදිම සිසිලසක් දෙන වෘක්ෂයෝ ය. අම්මා යන සංකල්පයේ ගැඹුර ඔවුන් දුටු අයුරු නූතන දරුවකුට පවා නැවුම් සිතිවිලි ජනිත කරලීමට සමත් වෙයි. කුඹුක් ගස සිසිල් ය. දිඹුල් ගස හැම කල්හිම පලදාව දෙයි. දඹ ගස අකුණු සන්නාහකයක් ලෙස පැරණි ගැමියන් භාවිත කොට තිබෙයි. අම්මා අකුණු සන්නාහයකි. බාහිරින් එන සියලු සතුරු උපද්‍රව වනසා දමන්නට මව් සෙනෙහසට හැකිය. අවසන අම්මාට දක්වන පූජනීය උපහාරය ජයශ්‍රීී මහා බෝධියට අම්මා උපමා කිරීමෙනි. එය නිකම්ම බෝධිය නොව මරසෙන් පැරදූ බෝධියයි. බුදුහිමියන් අනිමිස ලෝචනයෙන් කෘතෝපහාර කළ බෝධියයි. වක්‍රයෙන් ජනකවියා කියා පාන්නේ දරුවන්ගේ යුතුකම් සම්භාරය නොවේද?
මානෑවයන් එකතු කළ සීපද අතරෙහි ඔහු විග්‍රහ කෙරෙන මෙවැනි මව් ගුණ කවි රාශියකි. ‘සීත දුරුතු කිරි කුරහන් යායයි මට අම්මා”, අත දරුවන් ඇති වූ කල දැනෙයි අම්ම කමේ රෙඟ්, ශාන්ති නිවනට වැඩපන් නුඹ මයෙ කිරි අම්මේ. වැනි සීපද රාශියක් ම මානෑවයෝ මේ කෘතිය තුළ විවරණය කරති. මාතෘත්වය මෙන්ම පීතෘත්වය ද ජන කවියාගේ අපූර්ව සංකල්පයකි. මව් සෙනෙහසට නොදෙවෙනි පිය සෙනෙහස ද ගැමියා දකින්නේ මහත් වූ මානව භක්තියෙනි.

සරු කොට ගොවිතැන් කුස හැකිළුණු මුත්
    අපෙ බඩ කට පුරවා සැනසෙයි
දැරු දුක් කරදර මහමෙර වූ මුත්
    අපගේ සතුටට හද හිනැහෙයි
දරු පෙම ළමැදේ සිරකර ඇතිමුත්
    දෑස පුරා සෙනෙහස උතුරයි
හිරු සඳු ඇතිතෙක් අප්පච්චීගේ
    දහදිය මට ලොව්තුරු සුවඳය


දාරක ස්නේහය ආත්මීය සබඳතාවක් ලෙස පිළිගන්නට ගැමියෝ මැලි නොවූහ. එමෙන් ම එවන් දරුවන් තුළ ගොඩනැඟෙන සෙනෙහස ද මොනතරම් අරුමයක් දැයි මානෑවයන් විවරණය කරන මේ සීපදයෙන් පෙනේ. මෙය පිය සෙනෙහස දිගහැරෙන ජන කවි සංකල්පනාවකි. ගොවිතැන් කොට කුස හැකිළී ගියේ දරුවන්ගේ කුසගිනි නිවන්නට බවත්, මහමෙර තරම් දුක් කන්දරා දරුවන් වෙනුවෙන් ඉවසූ බවත්, මහමෙර වැනි දරු සෙනෙහස ප්‍රදර්ශන නොකරමින් හදවතේ රුවා දරුවන් හැදූ අප්පච්චීගේ දහඩිය බිඳක ඇති ලොව්තුරු මිහිර විඳින්නට දරුවකුට හැකි වන්නේ නම් ඒ උදාර මනුෂ්‍යත්වයේ අග්‍ර ඵලයක් ම වෙයි.
පැලකින් ගලා ගිය මේ සීපදයෙන් පුතකු තුළ ගොඩ නැඟුණු දාරකාදරය යථාවිධව සොයා බලන්නට මානෑවයන් අපට ආරාධනය කරන්නේ මේ අදහසින් අබැටක් පමණක් හෝ වත්මනුන්ගේ දෙසවන් තුළට කාන්දු කිරීමෙහි අටියෙනි.
දියණියක විවාහ කර දිම ගැන බොහෝ දෙමාපියන් සතුටට පත් වන මුත්, පිටතට නොපෙන්වන දුක් ගින්දර ගොඩකින් ද දෙමාපියන් තැවෙන්නේ තම තුරුලෙන් වෙන්ව යාම නිසා ය. පිට ගමකට පතිකුලයට ගිය දියණියකට දෙමහල්ලන් දුන් අපූර්ව ඔවදනක් මානෑවයන්ට හමු වෙයි.

ඉහේ මලක් අපෙ පීදුණ මුත්
    උඹ පිටගං ගාටපු මගුල් දොහේ
ඇහේ දොවා නෙත් බින්දන කඳුළැලි
    කොපුල්වාන් ඇළ පුරා වැහේ
එහේ පැලේ ඉඳ නැඳිමයිලන් රැක
    සැමදා සනහා උඹේ වගේ
කොහේ ගියත් උඹ රැහේ බබුළුවන
    පහනක් වීයන් දොළොස් මහේ


මේ ගැමි දෙමහල්ලන් දියණිය පිට ගමකට විවාහ කර දුන්න ද ඇය නැති නිවස පාළු නිවසක් බවට පත් ව තිබෙයි. කඳුළු අතරින් දෙන අවවාදය මානෑවයන්ගේ අවධානයට යොමු වන්නේ නූතනයන්ට ද ආදර්ශ සලසමිනි. “කොහේ ගියත් උඹ රැහේ බබුළුවන පහනක් වීයන් දොළොස් මහේ” යනුවෙන් කරන ආමන්ත්‍රණය තුළ ගැබ් වන අදහස් ගොන්න මොන තරම්දැයි මේ පර්යේෂකයා කදිමට විවරණය කරයි.
විවාහයකදී පෙර විපරම ගැමියෝ ද නොඅඩුව සිදු කළහ. එපමණක් නොව ගැමි තරුණ තරුණියන්ට ඊට අවශ්‍ය උපදෙස් ද සම්පාදනය කළහ. නිරවුල් පවුල් සංස්ථාවක පැවැත්ම ඔවුහු හැම විටෙක ම ප්‍රාර්ථනා කළහ. එබැවින් “හොටු ගෑනිත් එකයි පුතේ කැහි ගෑනිත් එකයි පුතේ” යනුවෙන් කරන අවවාදය කෝඩුකාර තරුණයකුට ගැමි පියකුගෙන් ලැබුණු දායාදයක් වැන්න. මෙවැනි වටිනා ජන උරුමයන් මෙවන් පර්යේෂකයකු නොවන්නට කාලයත් සමඟ වියැකී යන්නට ඉඩ තිබුණි.
කේ.බී.මානෑව මේ කෘතියට ඇතුළත් කර ඇති සීපද සමූහය සැබැවින්ම අපේ අතීත උරුමය ආරක්ෂා කරන්නට ගත් පරිශ්‍රමයකි. සීපද ඒකරාශී කළා පමණක් නොව අභාවයට යන ගැමි වහර භාවිත කරමින් කෙරුණු විමර්ශනය ඉතාම වටී.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger