BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, February 3, 2014

1948 පෙබරවාරි 04 දා පැවති ප්‍රථම නිදහස්‌ දින උත්සවය...

ප්‍රථම නිදහස්‌ උත්සවය අමතා
මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක අගමැතිතුමා ...


එදා කළ කතාව....



නිදහස්‌ ශ්‍රී ලංකාව දියුණු රටක්‌ ලෙස ඉදිරියට යා හැක්‌කේ සියලු ජාතීන් අතර සමගිය පැවතුනහොත් පමණක්‌ බව ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතා 1948 පෙබරවාරි 04 දා පැවති ප්‍රථම නිදහස්‌ දින උත්සවය වෙනුවෙන් ගුවන් විදුලිය ඔස්‌සේ ලක්‌ ජනතාව අමතමින් කියා සිටියේය.

හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලි ලත් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්‌ව පැවති අපගේ මාතෘ භූමිය දීන බවින් මිදී නිදහස්‌ රාජ්‍යයක්‌ බවට පත්වූයේ 1948 පෙබරවාරි 04 වනදායි. ඒ වසර 133 ක්‌ ඉහත කී අධිරාජ්‍යයේ යටත් විජිතයක්‌ව පැවතීමෙන් පසුය.

එදා උඩරට රාජධානිය, 1815 දී ඉංග්‍රීසි ජාතිකයන් හට ගිවිසුමකින් පවරා දුන් මාතෘ භූමිය 1948 පෙබරවාරි 04 දා නිදහස්‌ අසිරියෙන් යළි ආලෝකමත් විය. මව්බිමේ අසිරියත්, ශ්‍රී විභූතියත් නිදහසේ රැව් පිළිරැව් දෙමින් පැතිරෙන්නට වූයේ අභීත ජාතියක්‌ ලෙස ලෝකයා හමුවේ නැගී සිටීමේ අවස්‌ථාව උදාවූ නිසාමය. 1948 පෙබරවාරි 04 දා උදාවූ ඒ වාසනාවන්ත මොහොත ඉතිහාසයේ රන් අකුරෙන් ලියෑවුණු අමිල මතක සටහනක්‌ වූ බවට සැක නැත.

සිරිලකට නිදහස ලැබීමේ හේතුවෙන් එවකට හිරු නොබසින අධිරාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයාව සිටි ක්‌ලෙමන් ඇට්‌ලි සහ තවත් බොහෝ රටවල රාජ්‍ය නායකයන් ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මැතිතුමාට සුභාශිංසන පිරිනමන ලදී.

ප්‍රථම නිදහස්‌ උත්සවය ආරම්භ වූයේ මෙදින පෙරවරු 7.00 ට පමණ කොළඹදීය. ඒ ලංකාවේ පළමු අග්‍රාණ්‌ඩුකාරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මේසන් මුවර් දිව්රුම් දීමත් සමගය. නිදහස්‌ අසිරියෙන් මුළු සිරිලකම බැබලුණේ දිනූ නිදහස සැමරීමට රට පුරා නිවාඩු දිනයක්‌ බවට කළ ප්‍රකාශයෙනි.

නිදහස ලබාදීමත් සමග එතෙක්‌ අග්‍රාණ්‌ඩුකරුට පැවරී තිබූ ආරක්‌ෂක හා විදේශ කර්තව්‍යයන් නිදහස්‌ ලංකාවේ අග්‍රාමාත්‍යවරයාට පැවරීය.

සෑම තැනකම සිංහ කොඩි ළෙලදී සැණකෙළි සිරියක්‌ පැතිරෙද්දී සිරකරුවන් 2000 කට ආසන්න පිරිසකට නිදහස ලබාදීමට පියවර ගෙන තිබීමද විශේෂත්වයකි.

ඉන්පසුව නිදහස්‌ ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මැතිතුමා ගුවන් විදුලිය ඔස්‌සේ ඉතා ප්‍රතාපවත් අයුරින් ලක්‌ ජනතාව ඇමතුවේය.

"ආදරණීය රටවැසියනි, ලංකාවේ ඉතිහාසය පිළිබඳව අතිශය භාරදූර සිද්ධියක්‌ සම්බන්ධයෙන් අප උත්සව පවත්වන්නෙමු. අප රටේ දිගු ඉතිහාසයේ දේශපාලන නිදහස ලබාගැනීම වසර 2500 කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ අධ්‍යාත්මික නිදහස ලැබීමට පමණක්‌ දෙවැනි වන කාරණයකි. අනාදිමත් කලක පටන් අප දිවයින සතුව තිබූ ජන්ම අයිතිය වසර ගණනාවක විදේශ පාලනයෙන් පසු නැවත ලබාගෙන ඇත. නිදහස ර¹ පවතින්නේ මිනිසුන්ගේ වාසනාවන්තභාවය තුළය. එයින් දියුණු විය හැක්‌කේ මිනිසුන් අතර සමගිය පැවතුණොත් පමණි. යුද්ධයෙන් විනාශ වී තිබියදීත් වත්මන් ලෝකය මත ගැටුම් නිසා විනාශයට පත්වෙමින් සිටී.

කුදු මහත් සෑම ජාතියකම යුතුකම සාමයේ දේශන පැතිරවීම හොඳ හිත හා සමගි සම්පන්න බව ඇති කිරීමය. එය කළ යුත්තේ තමන්ගේ රට තුළ පමණක්‌ නොව තම තමන් අතරද එක්‌සත් බව සමගිය ඇති කර ගැනීමෙනි.

ලංකාවට නිදහස ලැබීම තවත් වඩාත් දැඩි සටනක මුලය. මේ නිසා අප ලබාගත් නිදහස වාසනාව ළඟා කිරීමෙන් අප රටට සෞභාග්‍ය උදා කිරීම හා ලෝක සාමය උදාකිරීමේ ආයුධයක්‌ කරගත යුතුය. ප්‍රීති උත්සව පවත්වා රටට නිදහස ලබාගැනීමේදී බොහෝ දෙනකු විසින් සිදු කරන ලද උතුම් සේවය අප මේ මොහොතේ කෘතඥ පූර්වකව සිහිපත් කරමු. ඔවුන් බොහෝ දෙනකු බැවින් නම් ප්‍රකාශ කළ නොහැක.

එම නාමයන් සදාකාලිකව අප සිත් තුළ නොමැකී පවතිනවා ඇත. පසුගිය කාලයේ අප හා බ්‍රිතාන්‍යයන් අතර තිබූ නොගැලපීම්, ලැබූ නිදහසත් සමග අවසන් වී තිබේ. සිය කැමැත්තෙන් මෙරට පිළිබඳව ස්‌වකීය බලය අත්හැරීමෙන් ඔවුන් විසින් වපුරන ලද බීජ අෙන්‍යාන්‍ය හා චිරස්‌ථායි වෘක්‌ෂයන් බවට වැඩෙන බව විශ්වාස කරමි.

මාගේ රට වැසියන්ගේ ඒකාග්‍ර හොඳ හිත සමග ලෝකයේ සෙසු ජාතීන් වෙත මම ජය හඬ නගමි. සියලු මිනිසුන්ට සාමයේ ඵල භුක්‌ති විඳිය හැකි අන්දමේ සාමකාමී සෞභාග්‍යය සම්පන්න ලොවක්‌ බිහිකිරීම සඳහා සියලු දෙනාගේ ශක්‌තිය යොදන්නැයි මම ආයාචනා කරමි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සාමය හා හොඳ හිත පිළිබඳව පාරම්පාරික චාරිත්‍ර ගරුකරන ලංකාව නිතර නිදහස සාමය ගරු කරනවා ඇත. මේ නිදහස්‌ සමය ලංකාවට අතිශය සෞභාග්‍ය සම්පන්න ලංකාවාසීන්ට ඉතාම වාසනාවන්ත එකක්‌ වේවා යන්න මාගේ ප්‍රාර්ථනයයි.

ලියා එව්වේ
සේනක ප්‍රියදර්ශන - කොස්‌ගොඩ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger