BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, March 4, 2015

‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති

පසුගිය රජය ඖෂධ සමාගම් හාරසියයකින් පමණ රුපියල් ලක්ෂ විසිපහ බැගින් මුදල් ලබා ගනිමින් ජාතික ඖෂධ පනත ගෙන ඒම වැළැක්වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියි.
තමා පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේ මෙම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒම සඳහා කටයුතු කළ බව පැවසූ ජනාධිපතිවරයා හිටපු රජයේ ප්‍රධානීන් එය වැළැක්වූ බවයි කියා සිටියේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම හෙළිදරව්ව කළේ ජාතික ඖෂධ අධිකාරි නියාමන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය (04) පාර්ලිමේන්තුවේදී ආරම්භ කරමින්.


පළමු අවස්ථාව

ජනාධිපති ලෙස පත්වීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමෙන්තුව ඇමතු පළමු අවස්ථාව මෙය වන අතර පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් විවාදයක් අරඹමින් ජනාධිපතිවරයෙක් පාර්ලිමෙන්තුවේදී කතා කළ පළමු අවස්ථාවද මෙයයි.
තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ව සිටියදී 2011 දෙසැම්බර් වන විට පනතේ කටයුතු අවසන් කරන්න හැකියාවක් ලැබුණු බව පැවසූ ජනාධිපතිවරයා නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අතට ගිය මෙම පනත ඉන් පසු අතුරුදහන් වූ බවයි ප්‍රකාශ කළේ.
" එදා පනත අතුරුදහන් කිරීම සදහා එක ඖෂධ සමාගමකින් රුපියල් ලක්ෂ 25 ගණනේ සමාගම් 400කින් පමණ මුදල් එකතු කළ බව මට දැනගන්නට ලැබුණා, මම දන්නේ නැහැ ඒ මුදල කොහාටද ගියේ කියලා" ජනාධිපතිවරයා පැවසීය.
පසුගිය රජය ඖෂධ සංස්ථාවට පත්කර සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා බව පැවසූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා, තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එහි දුෂණ වංචා ගැන පෙන්වා දෙද්දී හිටපු ජනාධිපතිවරයා ඒ ගැන උනන්දුවක් නොදැක්වූ බවයි ප්‍රකාශ කළේ.
මේ පනත් කෙටුම්පත මඟින් නිදහස් සෞඛ්‍යය සේවයට හා ජනතාවට ප්‍රතිලාභ රාශියක් ලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා පනතේ අඩුපාඩු ඇත්නම් ඒවා සාකච්ඡා කර සංශෝධනය කර ගත යුතු බවයි පෙන්වා දුන්නේ.

ජාත්‍යන්තර කීර්තියක්

මේ අතර විපක්ෂයේ සහයෝගය පනතට ලබා දෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් විශාල කීර්තියක් හිමි වෙන බවයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ගෙන ඒමෙන් පසු එක් එක් අයට අවශ්‍ය පරිදි ඖෂධ මිල තීරණය කළ නොහැකි බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න විවාදයට එක් වෙමින් පැවසුවේ.
මහාචාර්ය සේනක බිබිලේ හා එස්.ඒ. වික්‍රමසිංහ ඔවුන්ගේ ප්‍රතිපත්තිය මගින් ඉදිරිපත් කළ බොහෝ දේ ඖෂධ පනතට ඇතුළත් කර තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger