කරුණාකර විදේශ කාරර්‍යාංශය හා මුදල් ගැනීම නවත්වන්න...විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අක්‍රමිකතා සොයන්න සය පුද්ගල කමිටුවක්...
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුව තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සය පුද්ගල කමිටුවක් පත්කිරීමට රජය තීරණය කරයි. එක් එක් දේශපාලන පක්ෂවලට අයත් නීතිඥයන්ගෙන් සමන්විත මේ කමිටුව (19) පිහිට වූ බව විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැතිනී නීතීඥ තලතා අතුකෝරාල ප්‍රකාශ කරයි.
අදාළ කමිටු වාර්තාව ඉදිරි සති දෙකක කාලය ඇතුළත ලබාදිය යුතුවන අතර කිසියම් පුද්ගලයෙකු වංචා, දූෂණ සිදුකර තිබේ නම් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවද කියාසිටී.ඇමැතිවරිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
නව අමාත්‍යධූරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව තලතා අතුකෝරාල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර එහිදී සේවක සේවිකාවන් හමුවීමෙන් අනතුරුව මේ මාධ්‍ය හමුව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් තලතා අතුකෝරාල සඳහන් කළේ වත්මන් රජයේ දින සියයේ වැඩසටහනට අනුව විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් සහන රැසක් ලබාදීමට පියවර ගෙන තිබෙන බවත් විශ්‍රාම වැටුපක් ලබාදීම සහ අනේවාසික ගිණුම් හිමියන් වෙත ලබාදෙන පොළියට අමතරව අතිරේකව සියයට 2.5ක පොළියක් ලබාදීම ඒ අතර වන බවත්ය.
මේ අතර සඳහන් කළේ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන්හි කම්කරු සුබසාධන නිලධාරීන් වශයෙන් සේවය කරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සියලු දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙන්වා ගන්නා බවත් ඔවුන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවත්ය.
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන බව සඳහන් කළ ඇමැතිවරිය එය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකීමක් බවද මැදපෙරදිග මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සේවය කිරීම සඳහා පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලන බවද ප්‍රකාශ කළාය.
විදේශ රටවල රැකියාවක් සඳහා යාමට පෙර ඒ ඒ පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය සහ විදේශ රැකියාවක් කොට පැමිණි පසු තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව පෙන්වාදුන් තලතා අතුකෝරාල මෙහිදී කාන්තාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන බවද සඳහන් කළාය.
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක විජේරත්න, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, සාමාන්‍යාධිකාරී හරිස්චන්ද්‍ර බටගොඩ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
Post a Comment