BREAKING NEWS

රටතොට

Sunday, February 15, 2015

ඉතාම අසික්‌කිත, පාදඩ, ධනපතියො ටික එලවලා ක්‌ලැසික්‌ ධනපතියො ටික බලය අල්ලගත්ත...!!!

උපුල් ශාන්ත සන්නස්‌ගල මේ රටේ ජනප්‍රිය සිංහල ගුරුවරයෙක්‌ බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් ඉන් ඔබ්බට මාධ්‍යවේදියකු, කලාකරුවකු සහ ලේඛකයකු වන සන්නස්‌ගල ස්‌වාධීන මතධාරියකු ලෙස පසුගිය දශක දෙක තුළ පළ කළ මතවාද බොහෝ විට සමාජය තුළ විවාද සම්පන්න මාතෘකා බවට පත් විණි. පසුගිය මැතිවරණයේදී යහ පාලනය බලයට ගෙන ඒමට ක්‍රියාකාරී චරිතයක්‌ වූ සන්නස්‌ගල අපට වැදගත් චරිතයක්‌ වන්නේ ඒ නිසාම පමණක්‌ නොවේ.
දස දහස්‌ ගණන් දරුවන්ගේ දැස්‌ පාදන ගුරුවරයකු ලෙස ඔහු දරන අදහස්‌ සමාජයට බලපෑම් කරන්නා වූ බැවිනි. මේ පිළිබඳවත් තවත් බොහෝ කරුණු පිළිබඳවත් අපි ඔහු සමඟ පිළිසඳරක යෙදුනෙමු.
ඔබ මේ රටේ සිටින ජනප්‍රිය සිංහල ගුරුවරයෙක්‌. මේ රටේ සිටින ජනප්‍රියම සිංහල ගුරුවරයා ඔබ කියලත් සමහරු කියනවා. ඇත්තටම සිංහලකම කියන්නෙ මොකක්‌ද කියල ඇහුවොත් ඔබේ විග්‍රහය මොකක්‌ද...?

මම සිංහලකම කියල කියන්නෙ භාෂාවකට නොවෙයි. මම සිංහලකම කියල කියන්නෙ සංස්‌කෘතියකට. ලංකාවේ ලොකු ගැටලුවක්‌ තියෙනවා. ඒ සිංහලකම කියන සංස්‌කෘතිය අඳුනාගෙන නෑ. මම උදාහරණයක්‌ කියන්නම්. භාෂාවක්‌ ඇතුළෙ කොහොමද සංස්‌කෘතියක්‌ අඳුනගන්න පුළුවන් කියල. සද්ධර්මාලංකාරය කියවද්දී අපට හමුවෙනවා කාලි රාජ කියල කතා වස්‌තුවක්‌. මේ කතාවේ ඉන්නවා සුමනා කියන නව ඇමිදුවක්‌. නවඇමි දුව කියල කියන්නෙ කම්මල්කරුවාගේ බිරිඳට. දඩයම්කරුවෙක්‌ මේ කම්මලෙන් ලබාගන්න ආයුධයක කුලිය වෙනුවට ඇයට ලැබෙනවා ඌරු මස්‌ ටිකක්‌.
ඇය මේ මස්‌ ටික මධු මස, පෙණ මස, දුරු මිරිස්‌ මස, අඟුරු මස වෙන් වෙන්ව පස්‌ ආකාරයකට උයනවා. අඟුරු මස කියන්නෙ ඒ කාලේ "බාබි¨ කිව්" වලට. හැබැයි අද සමහරු හිතන්නෙ "බාබි කිව්" සුද්දන්ගෙන් ආ දෙයක්‌ කියල. මම සිංහලකම හොයාගෙන යන්න කැමැති ඔතනින්. ඒක අපේ ආහාර සංස්‌කෘතියේ කොටසක්‌ වගේම මට ඒක සිංහලකමේ කෑල්ලක්‌. අනික අපි ආහාර ගන්නකොට අපේ ආහාර සංස්‌කෘතියෙ කියල කියනවනෙ දකුණු අතින් කාපන්, අත්ලෙ ගාවගන්න එපා, සද්ද නගා කන්න එපා. බත්පතේ පැත්තකින් කන්න පටන් ගනින් කියල. හැබැයි සුද්දො හැන්දයි ගෑරුප්පුවයි ගහල පිඟාන මැදින්නෙ කන්න පටන් ගන්නෙ. ජපානෙ නම් නූඩ්ල්ස්‌ වගේ දෙයක්‌ කනකොට කන්නෙ සද්ද නගල. හැබැයි සිංහල ආහාර සංස්‌කෘතිය තුළ නම් සද්ද නගල කන සිරිතක්‌ නෑ. ඉතින් මේ සිංහලකම තියෙන්නෙ එහෙනම් භාෂාවේ සංස්‌කෘතිය ඇතුළෙනෙ. දැන් සමහරු හිතනවා සිංහල භාෂාව උගන්වනවා කියන්නෙ හැමදාම උක්‌ත ආඛ්‍යාත සම්බන්ධය, කර්තෘකාරක, කර්මකාරක, හෝඩිය උගන්වන එක කියලා. ඒත් මම උගන්වද්දී හැමදාම භාෂාව කියන එක ගැටගැහුවෙ ඒ භාෂාවෙ සංස්‌කෘතියත් එක්‌ක. ඒ සංස්‌කෘතිය සමග ගැටගහද්දි බටහිර සංස්‌කෘතියට ආසියානු සංස්‌කෘතිය යන මේ දෙක තමයි සංසන්දනය කළේ. මම සිංහලකම අල්ල ගන්නෙ එතනින්.

එතකොට සිංහල බෞද්ධ කියන අපේ රටේ තිබෙන ප්‍රබල මතවාදයට මොකද වෙන්නෙ. සිංහලකමයි සිංහල බෞද්ධ කියන මතවාදයයි ඔබේ දැක්‌ම අනුව ගැටෙනවද?
ගැටෙනවා. මට මතකයි විශ්වවිද්‍යාලයේදී මට මුලින්ම හමුවෙනවා මස්‌කෙළිය පැත්තෙ දෙමළ හාමුදුරුවෝ නමක්‌. ඒ හාමුදුරුවන්ට සිංහල බෑ. එතැනදී මම ආද්ධ්‍යාහාරයෙන් තේරුම් ගන්නවා සිංහල බෞද්ධයකුට අමතරව දෙමළ බෞද්ධයෙකුත් ඉන්නවා කියලා. ඒ දැනට තිස්‌ වසරකට කලින්. ඊට පස්‌සෙ මට සුනිල් ආරියරත්නගේ දෙමළ බෞද්ධයා කියන පොත කියවන්න ලැබෙනවා. මම එතැනදී මට තිබුණ ප්‍රායෝගික අධ්‍යයනය ශාස්‌ත්‍රීය අධ්‍යයනය තුළින් තහවුරු කරගන්නවා. බාරානාසියේදී මට බුරුම, සියම, ඇමරිකන් භික්‍ෂූන් වහන්සේලා හමුවෙනවා. මට කොරියාවේදී හමුවන පූගොඩ ඥනදාස හාමුදුරුවෝ කොරියානු බෞද්ධයො මට මුණගස්‌වනවා. වියට්‌නාමයේදී මම වියට්‌නාම් බෞද්ධයො මුණ ගැසෙනවා. කාම්බෝජයේ ගිය වෙලාවේ මට බුදු වෙච්ච ගැහැනු හමුවෙනවා. අපි ථේරවාදයේදී ගැහැනු බුදු වන බවක්‌ අහල නෑ. හැබැයි කාම්බෝජයේදී මමත් මහ අධිකරණ විනිසුරු සමන් වික්‍රමනායකත්, 1973 වසරේදී බුදුවෙච්ච ගැහැනියකගේ පන්සලකට යනවා. ඒ රටේ බුදුවරියො ඉන්නවා. මේ අද්දැකීම් එක්‌ක මා තුළ තියන බෞද්ධකම පටු නෑ කියල මම දන්නවා. අපේ ගෙදර තියෙන විශාල බුදු කාමරයේ එක එක විදියට අඹලා තියෙන එක එක රටවල බුදු පිළිම තියෙනවා. මම මේ සියලු බුදුවරුන්ට වඳිනවා. ඒ නිසා මම බෞද්ධකම කියන්නෙ සිංහල සැමට අයිති දෙයක්‌ නෙමෙයි. මට බුදුන් වහන්සේ කියන්නෙ සිංහල බෞද්ධයෙක්‌ නෙමෙයි. මට බුදුන් වහන්සේ කියන්නෙ විශ්වීය ආගමක්‌ දේශනා කළ මේ ලෝකෙ ජාති, ආගම්, කුල ඒ සියල්ල ප්‍රතික්‌ෂේප කළ විශ්වීය මිනිසෙක්‌. ඒ නිසාම මට සිංහල බෞද්ධයා කියන එකත් එක්‌ක ගැටුමක්‌ තියෙනවා තමයි.

නමුත් බුදුදහම අනාගතයෙ පවතින්නෙ රැකෙන්නෙ මේ සිංහල බෞද්ධ රට නිසා. නැත්නම් සිංහල බෞද්ධයා රැකුණොතින් පමණක්‌ කියා කියන මතය ඉතිහාසයේ සිට පැවත එන්නක්‌. එයත් බැහැර කරනවද?
ඒක අර්ධ සත්‍යයක්‌. අනාගතයේදී බුදුදහම රැකෙන්නෙ සිංහල අතින්ද, දෙමළ අතින්ද, ජපනා අතින්ද කියන එක තුළ නෙමෙයි සත්‍යය තියෙන්නෙ. අනාගතයේ ලෝකයේ බුදු දහම රකින්නෙ ප්‍රඥවන්තයෝ කියන එකයි මගේ අදහස. ඒ ප්‍රඥවන්තයා සිංහලද, දෙමළද ඉන්දියානුද කියල තර්කයක්‌ මම ගොඩනගන්නෙ නෑ. මම විශ්වාස කරන්නෙ බුදු දහම කියල කියන්නෙ ප්‍රඥවන්තයන්ගෙ ආගම මිසක්‌ වෙන කාගේවත් ජාතියක කුලයක ආගමක්‌ නෙමෙයි කියලයි.

ඔබ මේ රටේ අන්‍ය ජාතීන් වෙනුවෙන් හඬක්‌ නගන පුද්ගලයෙක්‌. ඔබ විශ්වාස කරනවද දෙමළ, මුස්‌ලිම්, බර්ගර් වූ පමණින් ඔවුන්ට මේ රටේ ජීවත් වීමේදී ප්‍රශ්නයක්‌ තියෙනවා කියලා....?
අපේ රටේ තියෙන ප්‍රශ්නය සිංහලද දෙමළ ද මුස්‌ලිම්ද කියන එකට වැඩිය අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට මේ මහ පොළොවෙ පිළිගැනීමක්‌ නැති ප්‍රශ්නයක්‌ තියෙනවා. ඌට උපන්නාම මේ රටේ පිළිගැනීමක්‌ ඕන. උදාහරණයක්‌ විදියට අපි හිතමු ගමක ඉපදුණ කොල්ලෙක්‌ පිළිගැනීමක්‌ නැතිවුණාම කොළඹට එනවා. එතන ඔහුට පිළිගැනීමක්‌ නැතිවුණාම පොලිසියට බැඳෙනවා. එතැනිනුත් ඒ පිළිගැනීම හදාගන්න බැරිවුණාම "ආර්ටිස්‌ට්‌" කෙනෙක්‌ වෙලා ඒ පිළිගැනීම ලබාගන්න බලනවා. මොකක්‌ද මේ හඹා යන්නෙ කියල ඇහුවොත් මොකක්‌ද උත්තරේ. හැම පුරවැසියෙකුටම ඕන පිළිගැනීමක්‌. දියුණු රටවල තියෙන ලක්‍ෂණය තමයි කෙනෙක්‌ උපන්නාම ඒ රටවල තියෙන සමාජ දේශපාලනය ඇතුළෙ ඒ පිළිගැනීම උපතින්ම ඔහුට ලැබෙනවා. පුද්ගලිකව මම ගත්තොත් මට පිළිගැනීමක්‌ හදාගන්න සියවස්‌ භාගයක්‌ ගතවෙලා තියෙනවා. දැන් මට අවුරුදු පනහයි. හැබැයි දිවයින ඉරිදා සංග්‍රහය කියන සිංහල බෞද්ධ පුවත්පතේ ප්‍රධාන පිටුවකට මේ වගේ සාකච්ඡාවක්‌ දෙන පළමු අවස්‌ථාව මේක. ඒ පිළිගැනීම ඇති කර ගන්න සිංහල බෞද්ධ වන මට වසර පනහක්‌ තිස්‌සෙ අරගලයක ඉන්න වෙලා තියෙනවා. පිළිගැනීම කියන එක මේ රටේ මිනිහෙකුට ඇති කරන්න කොච්චර අමාරුද කියල මම ඒකෙන් තහවුරු කරල තියෙනවා. එහෙම ඇතිකර ගත්තමත් සමහරු තාමත් අපේ කකුලෙන් අදිනවා. පුරවැසියෙක්‌ වන මට ඒ ප්‍රශ්නය තියෙනවා නම් සාමාන්‍ය කොල්ලන්ට කෙල්ලන්ට ඒ ප්‍රශ්ණය කොච්චර ඇද්ද? ඒක ජාතිය සම්බන්ධ ප්‍රශ්නයක්‌ නෙමෙයි. ඒකනෙ ඓශ්චර්යය කියන මේ රට අත්හැරල සිංහලද, දෙමළද, මුස්‌ලිම්ද බේදයක්‌ නැතිව වෙන රටවල පුරවැසිකම් ඉල්ලගෙන යන්නෙ.
හැබැයි විවෘත ආර්ථිකයත් එක්‌ක ආරම්භයේදී ගෙවල්වලින් පරණ යකඩ බඩු එකතු කරල පරණ පත්තර එකතු කරල පටන්ගෙන මේ රටේ ධනවත් ව්‍යාපාරිකයො වූ පිරිසකුත් ඉන්නවා. පිළිගැනීම කියන සාධකය ඉබේම ඔවුන් කරා ඇවිත් තියෙනවා?
එහෙම දියුණු වෙච්ච අය ඉන්නවා. මමත් කොළඹ ඇවිත් දෙහිවල බෞද්ධ බාලිකා උඩ තියෙන පොළේ ක්‍රෝටන් ගස්‌ වික්‌ක මිනිහෙක්‌. මමත් කොළඹට ඇවිත් ගෝල්ෆේස්‌ එකේ බණ්‌ඩාරනායක පිළිමෙ පිටිපස්‌සෙ නිදාගත්ත එකෙක්‌. හැබැයි පිළිගැනීමක්‌ හදාගන්න මේ ජීවිත කාලේ කොච්චර කාලයක්‌ ගතකරල තියෙනවද? අපේ රට කියන්නෙ කොල්ලන්ට කෙල්ලන්ට පිළිගැනීමක්‌ දෙන්නෙ නැති රටක්‌. පිළිගැනීමක්‌ හදාගත්ත දවසටත් උගේ කකුලෙන් අදිනවා. උගේ ජාතකේ හොයනවා. ඌව නැතිබංගස්‌ථාන කරනවා.
අපේ ආර්ථික ක්‍රමය නිවැරැදි වෙලා ආදායම් බෙදීයැමේ විෂමතාවය නැති වෙනව නම් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට එයම විසඳුමක්‌ වෙයිද?
නෑ. අපේ ඓතිහාස මුල, අපේ වර්ණය අපිට බලපෑම් කරනවාමයි. ඒක නවතින්නෙ නෑ. මම උදාහරණයක්‌ කියන්නම්. කෙන්යානු ක්‍රීඩකයකුයි ඇමරිකන් ක්‍රීඩකයකුයි මැරතන් එකක්‌ දුවනවා අපි ටීවී එකෙන් බලනවා. මේ දෙන්නම අපි අඳුනන්නෙ නැති වුණාට අපි පෞද්ගලිකව කැමැති කෙන්යාවෙ එකා දිනනවා දකින්නනෙ. ඇයි ඒ... වූ ටිකක්‌ අපි වගේ. මේක තමයි සංස්‌කෘතික ඥතිකම. නැත්නම් ඇත්තටම අපි අප්පුඩි ගහන්න ඕන දිනන එකාටනෙ. ඒත් අපි අප්පුඩි ගහන්නෙ සංස්‌කෘතික ඥතිකමටනෙ. ඔය සංස්‌කෘතික ඥතිකම හදන්න ආර්ථිකය හදල හරියන්නෙ නෑ. ඒක අපි හදන්න ඕන ඇඟෙන්. පොඩි කාලෙ ඉඳන් ඒක හදන්න ඕන. එහෙම රටවල් ලෝකෙ තියනවනෙ. ඔස්‌ටේ්‍රලියාවෙ මූ චීනාද, මූ ජපනාද, මූ ලාංකිකයාද, මූ මුස්‌ලිම් ද කියල නැතිව සංස්‌කෘතිකමය වශයෙන් එකට හැදෙනවා. එහෙම හැදුණාම උන් අප්පුඩි ගහන්නෙ වර්ණයට නෙමෙයි, ජයග්‍රාහකයාට.

ලෝකයට සිංහල ජාතිය කියල ජාතියක්‌ ඉන්නෙ මේ රටේ විතරයි. ඔවුන්ට ඔවුන්ගෙ සංස්‌කෘතිය ආරක්‍ෂා කර ගැනීමේ අයිතිය ඔය කාරණය තුළදී ගැටෙනවනේ?
අපි කාට කාටත් අපේ සංස්‌කෘතිය ආරක්‍ෂා කරගන්න ඕනකමක්‌ අයිතියක්‌ අරගල කිරීමක්‌ තියෙනවා සහ ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා. හැබැයි අපි අපේ සංස්‌කෘතිය ආරක්‍ෂා කරගැනීම සඳහා අනෙකාගේ සංස්‌කෘතියට පහර ගැසීම හෝ එය ආක්‍රමණය කිරීම වැරදියි. අපේ සංස්‌කෘතිය භාෂාව ප්‍රචාරය කිරීම සඳහා ඕනෑ තරම් මාධ්‍ය තියෙනවා. ඒ එකක්‌වත් අපි පාවිච්චි නොකර ඒවා පාවිච්චි කරන අයට අපි ගහන එක වැරදියි. ඔය භාෂා ප්‍රේමීන් කියලා කතා කරන අය කවුරුවත් අඩුම ගානේ අන්තර්ජාලයට නිවැරැදි සිංහල හෝඩියවත් දාන්න හදල තියෙනවද....? නෑ.
මැතිවරණවලදී දේශපාලන පක්‍ෂ වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් පසුව එම පක්‍ෂවලින් පිහිටුවන ආණ්‌ඩුවලින් විවිධ වරප්‍රසාද ගන්න බව අපි දැක්‌කා. ඔවුන් පසුව ජනතා අප්‍රසාදයට ලක්‌වෙනවත් අපි දැක්‌කා. ඔබ පසුගිය මැතිවරණයේදී යහපාලනය වෙනුවෙන් පෙනී සිට දැන් ආණ්‌ඩුවේ මාධ්‍යයක වැඩසටහන් ඉදිරිපත් කරනවා. කලින් දැක්‌ක සන්නස්‌ගල ඉදිරියටත් අපිට දකින්න පුළුවන් වෙයිද?
මීට අවුරුදු තිහකට කලින් මම කියල තියෙනවා මට ඕන දේ කියන්නයි ලියන්නයි දෙනවා නම් මම කැලෑ පත්තරේ හරි ගහනවා කියල. උදේ අයි. ටී. එන්. එකේ පත්තර කියවද්දී සිරස්‌තල තෝරන්නෙ මම. මීට කලින් රාවය, ලංකා, ඉරුදින, ජනරල මේ වැඩසටහනෙ කියවල නෑ. ඒත් මම මේ වැඩසටහනේදි පළමු වතාවට ඒවා කියවනවා. ජනාධිපතිගෙ මල්ලි පොළොන්නරුවෙ වැලි ගොඩදැමීම සම්බන්ධව ලංකා පුවත්පතේ සිරස්‌තලය නම් ගම් එක්‌ක මම කිව්වා. ගිය ආණ්‌ඩුවෙ ඔහොම කිව්වනම් මොකද වෙන්නෙ. පහුවදා ඒ කියූ කෙනා නෑ. ඒත් එහෙම කියපු මම අද ඉන්නවා. ඉතිං මම මේ වැඩසටහන ඇතුළෙ පාවිච්චි කරන්නෙ මගේ ස්‌වාධීන අයිතිය. නිදහස. මම එතැනදී කවුරුහරි බාධා කළොත් එදාට මම අයින් වෙනවා. ඒ බාධා කළ කෙනාගෙ නමත් කියල. ඒක මාධ්‍යවේදියෙක්‌ගෙ අයිතිය. ඒ අයිතිය මට ලැබෙනවා නම් මම ඕන නාලිකාවක වැඩ කරන එක ප්‍රශ්නයක්‌ නෑ.

පසුගිය ආණ්‌ඩුවෙන් කලාකරුවන් වෙනුවෙන් වියයුතු දේ සිදුවුණේ නෑ කියල යහපාලනය වෙනුවෙන් පෙනී සිටි කලාකරුවන් චෝදනා කළා. දැන් ඒ දේ මේ දින 100 තුළ සිදුවෙමින් තිබෙනවාද?
කවුරුහරි හිතනවා නම් අට වැනිදායින් පස්‌සෙ මේ අරගලය ඉවරයි කියල ඒක බොරුවක්‌. මේ සිද්ධ වුණේ නිර්ධන පන්තියයි, ගොවියොයි කම්කරුවොයි එකතු වෙලා ලංකාවෙ බලය අල්ලපු එක නෙවෙයිනෙ. මේ සිද්ධ වුණේ ඉතාම අසික්‌කිත, පාදඩ, ධනපතියො ටික එලවලා ක්‌ලැසික්‌ ධනපතියො ටික බලය අල්ලගත්ත එකනෙ. එතැනදී අර අරගලයෙ හිටපු සිවිල් සමාජ පුරවැසියන්ට සහ කලාකරුවන්ට තිබුණා අඩුම ගානේ මේ දවස්‌ සියය ඇතුළත අරගලයෙ ඉන්න පදවි තානාන්තර ගන්නෙ නැතිව. එතැනදී මම වගේ චරිත තීරණය කරනවා මේ දවස්‌ සියය ඇතුළත අරගලයෙ ඉන්න. මේ නිදහස්‌ අදහස්‌ ප්‍රකාශ කිරීමත් ඒ අරගලයෙ කොටසක්‌.
ඔබ පසුගිය ජනාධිපතිවරණයේදී පෙනී සිටියේ රනිල් විකමසිංහ  වෙනුවෙන්ද? පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන්ද?
මම ගිය මැතිවරණයේදී වැඩකළේ මේ දෙන්නම වෙනුවෙන් නෙමෙයි. තිබුණ ෆැසිස්‌ට්‌වාදී පාලනය එළවගන්න තිබුණ ඕනකමට. පසුගිය තිස්‌ වසර තුළ මට වෙනමම බිමක දේශපාලනයක්‌ තිබුණා. ඒක මගෙත් එක්‌ක දේශපාලනය කළ අය දන්නවා. නමුත් ලබන මැතිවරණයේදී මම වැඩකරන්නෙ එක්‌සත් ජාතික පක්‍ෂයට.
මේ ප්‍රශ්නය පෞද්ගලික ප්‍රශ්නයක්‌ වුණත් ඔබ සමාජයට බලපාන පුද්ගලයෙක්‌ නිසා ඔබේ සමහර පෞද්ගලික කරුණු මේ සමාජයටත් බලපාන නිසා අහන්නෙ. ඔබේ උපාධිය සම්බන්ධ ප්‍රශ්නයක්‌ තියෙනවා නේද?
තියෙනවා. මම විශ්වවිද්‍යාලයට යන්නෙ 1984 වසරේ. හැබැයි තිබුණ භීෂණයත් එක්‌ක විශ්වවිද්‍යාල වහල කාලකණ්‌ණි කරපු නිසා මම විභාගයට වාඩිවෙන්නෙ 1991 වසරේ. ඒ අවුරුද්දෙ අවසන් වසරේ විභාගෙ මම කොපි කළා කියල මට චෝදනාවක්‌ කරල මගේ උපාධිය තහනම් කළා. ඒ වසර හතරකට. පස්‌සෙ 1996 කොළඹ විශ්වවිද්‍යාලයේදී මම ආයෙත් උපාධිය ලියන්නෙ. එතකොට මම කසාදත් බැඳල දරුවෝ දෙන්නෙක්‌ ඉන්න තාත්තා කෙනෙක්‌. ඊට පස්‌සෙ සමහරු යෝජනා කරනවා මිල මුදල් දීලා මට ආචාර්ය උපාධියක්‌ ගන්න. නමුත් මට පුදුම ආසාවක්‌ තිබුණා මහන්සි වෙලා ආයෙත් ඉගෙනගෙන ආචාර්ය උපාධියක්‌ ගන්න. ඒ වෙනුවෙන් කැලණි විශ්වවිද්‍යාලයේ මම ශාස්‌ත්‍රපති උපාධිය වෙනුවෙන් ලියාපදිංචි වෙනවා. ඒ විචාර කලාව වෙනුවෙන් ශාස්‌ත්‍රපති උපාධියකට. දැන් ඒකෙන් සමත් වෙලා ලබන මාසෙදී මම උපාධිය ගන්නවා. ඊට පස්‌සෙ බොහෝ විට මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මම ලියාපදිංචි වෙන්න ඉන්නෙ.

සාකච්ඡා කළේ - තිස්‌ස ගුණතිලක
උපුටා ගැනීම - දිවයින

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger