BREAKING NEWS

රටතොට

Saturday, February 14, 2015

අපරාධකරුවන් නිදැල්ලේ ඔබ අපට අත වැනීමේ අරුත කුමක්ද...? – විදෙස්ගත මාධ්‍යවේදීන්...!!!

ජනමාධ්‍ය මර්දනයේ  සිදුවීම් කිසිවක් ගැන යුක්තිය පසිඳලීමක් මෙතෙක් සිදු වී නැතැයි විදෙස් ගත මාධ්‍යවේදීන් පවසයි. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක  වෙත මාධ්‍යවේදීන් වෙනුවෙන් විවෘත ලිපියක් යවමින් සනත් බාලසූරිය  විසින් මේ බව සදහන් කර තිබේ.
සංදර්ශන පැවැත්වීම  වෙනුවට අවශ්‍ය වන්නේ පසුගිය සමයේ සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන් අරබයා යුක්තිය ඉෂ්ට කරවන, වගවීම සහතික කරවන ශක්තිමත් හා ප‍්‍රමාණවත් ක‍්‍රමවේදයක්, යාන්ත‍්‍රණයක් පිහිටුවීම බවත් මාධ්‍යවේදීන්ට ඒවා ගැන සොයා බලන්නට, කි‍්‍රයාත්මක වන්නට, වාර්තා කරන්නට සුදුසු අවකාශයක් නිර්මාණය කිරීම බවත් එම ලිපියෙන් අවධාරණය කර ඇත.

“ඔබ ආණ්ඩුවද මේ අතුරින් වඩා ජනප‍්‍රිය නම් කිහිපයක් මතුරමින් සිටිනවා විනා, ඒවා ගැන විධිමත්ව පරීක්ෂා කොට යුක්තිය ඉටුකිරීමටත්, වරදකරුවන් භුක්ති විඳින දණ්ඩ මුක්තිය අහෝසි කිරීමටත් විධිමත් කි‍්‍රයාපිළිවෙතකට සූදානමක්වත් තවම පෙන්වා නැත. ඊටත් වඩා මේ සිදුවීම් සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවන සෑහෙන පිරිසක් අද ඉන්නේ ඔබේ යහපාලන මල්වට්ටියට අත් දෙකම ගසාගෙනය. නැතිනම් එක අතක්, අඩු තරමින් සුළැඟිල්ලක්වත් ගසාගෙනය. තවත් සමහරු ඊට අතගැසීමට පිම්මේ දිව එමින් සිටිති. ඉදින් මේ සකලවිධ අපරාධකාරයන් මිනීමරුවන් දඬුවම් නොලබා නිදැල්ලේ, ඇතැම් විට අලූත් ආණ්ඩුව සෙවනේ සිටින භූමියකට ‘ජනමාධ්‍යවේදීන් වන අපට’ නැවත පැමිණෙන්නැ’යි අතවැනීමේ පවා ඇති අරුත කුමක්ද...?

ජනමාධ්‍යවේදීකම පමණක් සැලකුවත් අප කියන්නේ ජීවිත අවදානමක් ඇති යමකුට ආපසු පැමිණෙන්නට සැබෑවටම බලපානු ඇත්තේ සිද්ධීන් වශයෙන් මේ කීයකට එරෙහිව නඩු අහනවාද යන්නම නොවන බවයි.  රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමාකාරී නිර්ණායකයන් ලෙස ගන්නා ප‍්‍රධාන ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකු පිළිබඳ ඛේදාන්ත සමුච්චයක් තිබේ. ඉන් දෙක තුනක් ගැන සොයා බලා ‘අපි වගවීම සහතික කළාය’යි මුරගා, ජාත්‍යන්තර සමුළුවල අත්පොලසන් ලැබ, මහපොළොවේ යතාර්ථයන් අමතක කොට අතසෝදාගැනීම, සටකපට උපයෝගීතාවාදී සෙල්ලමක් මිස සන්දර්භය වෙනස්කිරීමට දක්වන ඇත්ත අභිලාෂයක් හෝ කැපවීමක් ලෙස අපට නම් නොපෙනේ”

යනුවෙන් සනත් බාලසූරිය  එම ලිපියේ සදහන්කර ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger