BREAKING NEWS

රටතොට

Thursday, February 19, 2015

නින්දෙන් ඇහැරුණු ජෙප්පන් ගෙන් ප්‍රකාශයක්....!!!

දෙමල ජාතික සන්ධානය ජාතිවාදය අවුස්මින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අන්තර්ජාතික යුධ අපරාධ පරීක්‍ෂණයක් අවශ්‍ය බවට වූ යෝජනාවක් උතුරු පළාත් සභාවේ සම්මත කිරීම ගැන තම ස්ථාවරය පැහැදිලි කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

උතුරු පළාත් සභාවේ යෝජනාව නැවත ජාතිවාදී අඳුරු ගුහා තුළට කැඳවීමකි.පසුගියදා උතුරු පළාත් සභාව විසින් දේශීය යාන්ත‍‍්‍රණයක් වෙනුවට ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් සම්මත කරන ලදී. එම ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව එළඹෙන මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කරන ලෙසද එය යෝජනාව ඉල්ලා සිටී. මෙම යෝජනා සම්මතය විසින් කිසිදු නෛතික බැඳීමක් ඇති නොකරන නමුදු එම ඉදිරිපත් කිරීම විසින් පෙන්වා දෙන්නා වූ දේශපාලන කරුණු කිහිපයක් වෙත ජනතා විමුක්ති පෙරමුණේ අවධානය යොමු වී තිබේ.

පසුගිය ජනවාරි 08වැනි දින පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ වසර 09ක ඒකාධිපති පවුල් පාලනය අවසන් විය. එය මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සමස්ත ජනතාවගේ ජයග‍්‍රහණයකි. එම වෙනස වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර මතභේදයක් පැවතියේ නැත. මෙතෙක් මැතිවරණවලදී වෙන්වී කටයුතු කිරීමේ මානසිකත්වයෙන් ඡුන්දය පාවිච්චි කළ ජනතාවද ලාංකීය ජාතිය ලෙස එක්ව කටයුතු කිරීමේ අභිලාෂය වෙනුවෙන් ඡුන්දය පාව්ච්චිකර ඇත. මෙවැනි යෝජනා මගින් ජනතාව විසින් දක්වා ඇති එම අභිලාෂය පවා ඈත් කරන වෑයමක් පෙන්නුම් කරන අතර සිදුවිය යුත්තේ වෙන්ව සිතන මානසිකත්වය වෙනුවට එක්ව කටයුතු කරන මානසිකත්වයට ජනතාව මෙන්ම සියලූ දේශපාලනඥයන්ද කි‍‍්‍රයා කිරීමයි.

ජනාධිපතිවරණයෙන් පසු උතුරේ යුද හමුදා කඳවුරුවලට ගල් ගසන්නට පටන් ගෙන ඇතැයි කටකතා පැතිරවීමෙන් දකුණේ ජාතිවාදය පැතිරවීමට උත්සාහ ගෙන තිබිණි. දැන් උතුරු පළාත් සභාවද ඉන් මාසයක් ගතවෙද්දී හදිසියේම ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලීමේ යෝජනාවක් සම්මත කරයි. මෙම යෝජනාවද ජාතික සමගියට එරෙහි ජාතිවාදයේම තවත් දිගුවක් පමණි. ජනතාව ජාතික සමගියේ දිශාවට අත දිගු කරද්දී ජාතිවාදීහු රට තුළ නිර්මාණය වී ඇති අලූත් දේශපාලන තත්වය තේරුම් නොගෙන හෝ හිතාමතාම නැවතත් ජාතිවාදී අඳුරු ගුහා තුළට ඇදෙති. ජනතාව ඒ වෙත කැඳවති.

මේ සියලූ තත්වයන් සලකා බලමින් ජනතා විමුක්ති පෙරමුණ උතුරු පළාත් සභාව විසින් සම්මත කරන ලද යෝජනාව දැඩිව හෙළා දකියි. එසේම විවිධ මුහුණවරින් මතුවෙමින් ඇති ජාතිවාදී ප‍‍්‍රවණතා නිවැරදිව හඳුනා ගන්නා ලෙසත් ජාතික සමගියේ දිශාවට අත්වැල් බැද ගන්නා ලෙසත් ලාංකේය සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතිකත්වයන්ට අයත් ජනතාවගෙන් අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger