BREAKING NEWS

රටතොට

Friday, February 20, 2015

දින සියයක ‍පොරොන්දු ඉටු නොකර මහ මැතිවරණයකට යාමට අයිතියක් නෑ - මාදුළුවාවේ සෝභිත හිමි

දින 100 ‍පොරොන්දු ඉටු නොකොට මහ මැතිවරණයකට යාමට නව රජයට කිසිදු අයිතියක් නැතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක්  (18) කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ දී පැවැත්විණි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි මෙසේ ද සඳහන් කළහ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා ප්‍රමුඛතම කාර්යභාරය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සිදු කළා. අපේ අරමුණ එපමණකින් පමණක් නතර වුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන  එකඟ වූ සියලුම ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ඉටු කරවාගැනීම අපේ අපේක්ෂාවයි. අපි තවදුරටත් ඒ වෙනුවෙන් කටයුතු කරනවා.
පසුගිය ජනාධිපතිවරණයේ දී මූලික කරුණු 3කට එකඟ වුණා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනුවට නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම හා 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි බලාත්මක කොට ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම එම කරුණු ප්‍රධාන එකඟතා තුනයි. පළමු දින 100 තුළ ඒවා ඉටු කිරීමට ජනතාවට ‍පොරොන්දු ලබා දුන්නා. දැන් ඒවා ඉටුකළ යුතුයි.

අපි සැම විටම කටයුතු කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් නොවේ. අපි කටයුතු කරන්නේ ජනතාව වෙනුවෙනුයි.

දින 100 අපේ යෝජනාවක් නොවේ. අපි මාස 6ක කාලයක් ගන්න කිව්වා. නමුත් ඒ අය දින 100න් එම කටයුතු සිදු කරන බව පැවසුවා. ඒ නිසා අපි ප්‍රකාශ කරන්නේ දින ගණන කීයක් වුවත් මහ මැතිවරණයකට යොමුවිය යුතු වන්නේ එම ‍පොරොන්දු ඉටුකිරීමෙන් අනතුරුව පමණක් බවයි.

මේ ආණ්ඩුවට තවත් කාලයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍යතාවක් නැහැ. ඒ නිසා ලබාදුන් ‍පොරොන්දු ඉටුකළ යුතුයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් වුණත් එහි කටයුතු සිදුවන ආකාරය ගැන සතුටු වෙන්නට බැහැ. එම කොමිසම ශක්තිමත් නැත්නම් ඊට වඩා බලයක් සහිත කොමිසමක් පිහිටුවිය යුතුයි.
ද්‍රවිඩ ජනතාව මේ ආණ්ඩුව සමග එකතු වී සිටිනවා. ඒක විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ වගේම ඔවුන් නිදහස් උත්සවයට සහභාගි වුණා. ඒකීය රටක් තුළ සියලු දෙනාටම ජීවත්විය හැකි වාතාවරණයක් ඇති කිරීම ආණ්ඩුවේ මූලික කාර්යභාරයක් වෙනවා.


රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය
අපි නව ආණ්ඩුව සමග වැටුප් වැඩිකිරීමකට එකඟ වුණා. 2006  ජනවාරි 01න් පසුව තවමත් මූලික වැටුප වැඩිකොට නැහැ. රුපියල් 11,730ක මූලික වැටුපකට විශ්‍රාම යන්න රාජ්‍ය සේවකයින්ට සිදුවෙලා.

ආණ්ඩුව සමහර කාරණාවල දී ප්‍රමාදයි. තවත් සමහර කාරණාවල දී අකාර්යක්ෂමයි. ජාතික විධායක සභාවට සිවිල් සංවිධානවලින් නියෝජිතයෝ පත් කරන බව ප්‍රකාශ කළා. නමුත් පත්කොට තිබෙන්නේ දේශපාලන පක්ෂ නියෝජිතයින් පමණයි. ආණ්ඩුව සිවිල් සමාජ කරදරයක් ලෙස සිතනවා නම් ඒක වැරදියි.

වංචා දූෂණ ගැන සෙවීමට තිබෙන්නේ දුර්වල යාන්ත්‍රණයක්. වාහන කිහිපයක් අතුරුදන්වීම ගැන ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන අධ්‍යක්ෂ අත්අඩංගුවට ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. ජනතාව බලා‍පොරොත්තු වූයේ කෝටි ගණනේ වංචා දූෂණ කළ අයට විරුද්ධව කටයුතු කිරීමයි.
වංචා දූෂණ විමර්ශන කොමිසමට තිබෙන්නේ වාහන 2ක් සහ නිලධාරීන් 150ක් පමණයි. ඒ සංඛ්‍යාව ප්‍රමාණවත් නැත්නම් එය ප්‍රමාණාත්මකව ඉහළ දැමිය යුතුයි.

එකඟ වුණු ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් යහපාලනය ඉදිරියට  ගෙන යාමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

අලුත් ක්‍රමයකට මහ මැතිවරණය පැවැත්විය යුතුයි. ඇමැතිවරයකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ඉදිරියට දමා හදිසි මහ මැතිවරණයකට යා යුතු නැහැ. ජනතාව හදිසි මහ මැතිවරණයක් ඉල්ලන්නේ නැහැ.

එහි දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ද නිදහස් හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ මෙලෙස පිළිතුරු ලබා දුන්හ.

ප්‍රශ්නය- සමානුපාතික ක්‍රමයට මහ මැතිවරණය පැවත්වුවහොත් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද?
මාදුළුවාවේ සෝභිත හිමි- අපි නව මැතිවරණ ක්‍රමයක් ලබාගත යුතුයි. ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. අපි දේශපාලන පක්ෂයක් නොවෙයි. වත්මන් ජනපතිතුමා බලයට පත්කිරීම සම්බන්ධව අපි විශාල වැඩ කොටසක් සිදු කළා. අප ජීවත් වන්නේ ජනතාව සමගයි. අපට දින 100  වැදගත් නැහැ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි වැදගත් වෙන්නේ. පක්ෂ මාරු කරන ගෙම්බන්ට විරුද්ධවත් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි.

ප්‍රශ්නය- උතුරු පළාත් සභාව උතුරට ස්වයං පාලනයක් ඉල්ලා සිටිනවා?
මාදුළුවාවේ සෝභිත හිමි- ඒක එක් පිරිසකගේ අදහසක් පමණයි. සමස්ත දෙමළ ජනතාවගේ අදහස නොවෙයි.

ප්‍රශ්නය- වරාය නගරය ඉදිකිරීම නතර කරන බව පැවසුවත් තවමත් ඒක ඉදිකරමින් තිබෙනවා..?

නීතිඥ රවි ජයවර්ධන - ඒ පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර විසඳාගත යුතුයි. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. රට තුළ වෙනම කොටසක් චීනයට ලබා දෙනවා. අපි ඒකට විරුද්ධයි. මේවා සංශෝධනය නොකොට ඉදිරියට කරගෙන ගියොත් අපට එම ප්‍රදේශයට යාමට වීසා ලබාගන්න සිදු වෙනවා. මේ අසාධාරණ කොන්දේසිවලට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.

ප්‍රශ්නය- දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කටයුතු සිදුවන ආකාරය ගැන තෘප්තිමත් ද?
නීතිඥ රවි ජයවර්ධන - ඔහු සම්බන්ධයෙන් ‘බි’ වාර්තාවක් ‍පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළයුතුව තිබුණා. නමුත් එහෙම සිදු කළේ නැහැ. එහෙම කටයුතු කරන්නේ ඇයිද කියන ප්‍රශ්නය අපටත් තිබෙනවා. මෙවැනි කරුණු සමග සෙල්ලම් කළයුතු නැහැ. පසුගිය ආණ්ඩුව වගේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකාරයකට මේ ‍පොලිසියත් නීතිය ක්‍රියාත්මක කරනවාද දන්නේ නැහැ.
ප්‍රශ්නය- හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  අගමැති අපේක්ෂකයා ලෙස යළිත් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ආරංචියි..?
සමන් රත්නප්‍රිය - ඒක සදාචාර විරෝධී තත්ත්වයක්. අවුරුදු 2ක් ඉතිරිව තිබියදීත් ජනතාව මහින්ද රාජපක්ෂ ප්‍රතික්‍ෂේප කළා. ඒ ජනවරම මහින්ද රාජපක්ෂ  පිළිගත යුතුයි. ඒ සඳහා කරන උත්සාහයත් යන එන මං නැතුව සිටින පිරිසකගේ වැඩක්බව කිව යුතුයි.

දෙනගම ධම්මික රණවීර

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger