BREAKING NEWS

රටතොට

Friday, February 20, 2015

වික්ටර් හෙවත් ජයග්‍රාහකයා ...

වික්ටර් රත්නායක නම් වූ අග්‍රේසරයා ගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 18 වැනිදා ය. පෙබරවාරි 18 වැනිදා යනු ඓතිහාසික වශයෙන් ද වැදගත් දිනයකි. සිංහලයේ අවසන් රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ සුද්දන් ගේ අත් අඩංගුවට පත් වූයේ ද පෙබරවාරි 18 වැනිදාක ය.

වික්ටර් යනු ශ්‍රී ලාංකික සිංහල සුභාවිත ගීතය පොදු ජන යුගයට අවතීර්ණ කළ විශිෂ්ටතමයා ය. ඔහු ගේ පූර්වගාමීන් විසින් සිංහල ගීතයට එතෙක් ඉටු කරන සේවය මැනවින් පිරිසිද එය වීස්තීරණ කළ වික්ටර් ඊට අනන්‍ය ශ්‍රී ලාංකික මුහුණුවර ලබා දෙන්නට සියලු වැර දැරුවේ ය. සංගීතයෙන් සහ ගායනයෙන් ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර සදානුස්මරණීය ය.
මහගම සේකර ගේ ප්‍රබුද්ධ කෘතියෙහි ද වික්ටර් නමින් චරිතයක් නිරූපිත ය. ඒ වික්ටර් යනු නිර්ධන පන්තියේ ජයග්‍රහණයකින් පසු, එය තහවුරු කිරීම පවරා ගත් පුද්ගලයා ය. වික්ටර් රත්නායක යනු ද, එවැන්නෙකි. ඔහුට පැවරුණේ සිංහල ගීතයේ අනන්‍යතාව තහවුරු කිරීම ය‍. ඔහු එකී යුග මෙහෙවර, නිසි ලෙස ඉටු කළේ ය.
1971 තරුණ අරගලයෙන් පසු, ඔහු ගැයූ
'උලලේනෝ, උලලේනෝ
මිලින මලක් මිස පිපුණු මලක් නැත
උල‍ලේනෝ '
ගීතයේ දේශපාලනික අර්ථය, ගුණදාස කපුගේ විසින් ගායනා කරන ලද, 'උලලේනෝ' ගීතයෙන් අකා මකා දැමුණු බව අප්‍රසිද්ධ රහසකි. එකී ගීතයෙන් 71 කැරැල්ල, ගුඪ, මූසල, අද්භූත සිදු වීමක් බවට පත් කෙරුණු අතර, එය 'සංසරයේ දුක' දිනා ගැනීමට සිදු කරන ලද අරගලයක් ලෙස අර්ථකථකය කෙරිණි.
මෙරට බොහෝ ඊනියා බුද්ධිමතුන්, බුදුන් වහන්සේ ගේ චරිතය ඇසුරෙන් ජීවිතය විග්‍රහ කිරීමට යත්න දරනු විනා, බෝසත් චරිත ඊට පාදක කර ගන්නා බවක් පෙනෙන්නට නැත. ඒ අනුව බුදුන් වහන්සේට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා ඉපදීම් තිබී ඇති බව වටහා ගත යුතු ය. අපට ඊට වඩා තිබිය හැකි ය. 71 කැරැල්ල සිදු වන්නේ එයින් එක් ආත්මයක ය. එහෙයින් අප පවසන්නේ කපුගේ විසින් ගායනා කරන ලද 'උලලේනෝ' ගීතය ජීවිතයේ යථාව ග්‍රහණය කර ගත් ගීතයක් නො වන බව ය. ඒ අර්ථයෙන් ගත් කල, වික්ටර් ගේ 'උලලේනෝ' ගීතය බුදු දහමේ ව්‍යවහාරික ගුණයට ද සමීප ය. එමෙන් ම දේශපාලනික ය.
කෙසේ වෙතත්, 1971න් පසු එළඹුණු 1972 වර්ෂයේදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූණු බව අපි දනිමු. එය 1971කැරැල්ලේ ද බලපෑමෙන් සිදු වූවකි. එනම් 1971 කැරැල්ලේ ජයග්‍රහණයකි. වික්ටර්ලා ගේ ආගමනයකි. වික්ටර් 1972 ජනරජය අළලා නිර්මාණය කළ 'අපි ඔක්කොම රජවරු' ගීතය ද ඒ අනුව දේශපාලනික ය.
අප ගේ අධ්‍යයනයට අනුව, 1972 යනු ලාංකික සමාජයේ දෙබෙදුමක් සටහන් කළ වර්ෂයකි. එනම් පූර්ව සහ පශ්චාත් වශයෙනි‍.
මේ දෙබෙදුම විග්‍රහ කළ හැකි ආකාරයේ ගීත කිහිපයක් යට දැක් වේ.
පූර්ව 1972 යුගය -
'උම්බෑ කිය කියා මරණ බයේ' - මිල්ටන් පෙරේර‍ා
'පින්සිදු වෙන්නේ අනේ බාල ළමුන්නේ' - සී.ටී. ප්‍රනාන්දු
'කියන්න රන්කද මොන හිතකින්වද' - රුක්මනී දේවි
ඉහත නිදර්ශනයෙන් පෙනී යන්නේ පූර්ව 1972 යුගය, අදෝනා, පීඩනය, දුක, කදුළ උරුම කරගත් යුගයක් ලෙස අඩුවැඩි වශයෙන් ගීතය තුළ නිරූපණය වී තිබෙන බව ය. මේ සදහා තවත් බොහෝ කරුණු උපුටා දැක්විය හැකි ය.
පශ්චාත් 1972 යුගය -
පශ්චාත් 1972 යුගයේදී දුක, ශෝකය, පීඩනය වෙනුවට සතුට, විනෝදය, නිදහස ගීතය තුළ අරක් ගෙන තිබෙන බව පෙන්‍ෙ.
'වලාකුළක් පලා අම්බරේ' - මිල්ටන් පෙරේරා
'පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ' - සි.ටී. ප්‍රනාන්දු
'අප එකම ලොවේ, එකම ලෙසේ ඉන්නේ' - රුක්මනී දේවි
මෙයින් ප්‍රකට වන්නේ මුල් යුගයේ ඉතා දුක්ඛිත හඩකින් ගීත ගැයූ ශිල්පීන්ම පසු යුගයේදී, සතුට දනවන ඛෙම්ටෝ (6/8) තාලයට ප්‍රමුඛ වශයෙන් අවතීර්ණ වී ඇති බවයි.
මෙය දේශපාලනික ය.
ඊට පිටිබල දුන් තවත් නිදර්ශනයකි මේ.
'එන්න මදනලේ' - තිලකසිරි ප්‍රනාන්දු
මේ ගීතයට පාදක වූ අත්දැකීම 1972 පශ්චාත් යුගයේදී පර්වර්තනයට ලක් වන්නේ මෙසේ ය.
'සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වී'-වික්ටර් රත්නායක
වික්ටර් ගේ ආගමනයෙන් පසු එය තවදුරටත් විස්තීර්ණ වන ආකාරය බැලුව මැනවි.
'සුළං රැල්ල ලෙස හමා එමී' - ෆිලිස්ක් ඇන්ටන්
මේ අනුව 1971 සහ 1972 දෙවර්ෂය මෙරට ජන මනසට සිදු කර තිබෙන බලපෑම පැහැදිලි ය.
වික්ටර් විසින් ගායනා කෙරෙන, 'පොඩි කුමාරිහාමියේ' ගීතය වූ කලි 1971න් පසු ඇරඹෙන පොදුජන යුගය සනිටුහන් කරන බව ද පෙනී යයි. එයින් සංකේතවත් වන්නේ රදළ වැඩවසම් සමාජයේ බිද වැටීමකි. ගීතයේ ප්‍රස්තුත ‍තේමාව, 1971 කැරැල්ලට දායක වූ මේජර් මල්ලිකා ගේ චරිතය ඡායාමාත්‍ර වශයෙන් නිරූපණය කර තිබෙන බව ද පෙනේ.
මෙකී තරුණ අරගලයෙන් පසු සිංහල සිනමාවේ හැඩකාර ප්‍රේමවන්තයා ගේ චරිතය, අමරසිරි කලංසූරිය නම් වූ පීඩිත තරුණයාට හිමි විණි. (මේ පිළිබද කදිම විග්‍රහයක් එරික් ඉලප්පාරච්චි සංග්‍රහ කර තිබේ.)
වික්ටර් රත්නායක ගායනා කරන, 'මියුරු කල්පනා' ගීතය යනු, ලෙයින්, යකඩින් මර්දනය කරන ලද තරුණ සමාජයේ ආත්ම ප්‍රකාශනය හෙවත් අමරසිරි කලංසූරිය පරපුරේ සදාතනික ප්‍රේම ගීතයයි.
මියුරු කල්පනා
නෙතක දැල් වුණා
අමයුරු රස හසකැන් මැද
නෙතක් හිනැහුණා
වරෙක නැළවුණා
වරෙක ළතැවුණා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැළවුණා
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්
පිනි බිදකින් මුතු අමුණමි
දිනිසුරු ගෙන් සීතළ දෙමි
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැන‍සේ නම්
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීත නිර්මාණය සහ ගායනය - වික්ටර් රත්නායක
-කුමාර ලියනගේ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger