ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කාරයන් සමඟ සමීප සබඳතා පවත්වමින් සිටි වෙලේ සුදා විශාල තොග පිටින් හෙරොයින් ශ්‍රී ලංකාවට එවන්නට පටන් ගත්තේය.
මුහුදු මාර්ගයෙන් මෙන්ම කන්ටේනර්වල සූක්ෂ්මව අසුරා එවූ හෙරොයින් ප්‍රමාණය කොතෙක් දැයි ගණනය කළ නොහැක. රහස් පොලිසිය කළ විමර්ශනවලින් කියෑවුණේ වෙලේ සුදා පසුගිය වසර තුනක් වැනි කාලසීමාවේදී ශ්‍රී ලංකාවට එවූ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000 ද ඉක්මවන බවයි.
ගම්පොල විදානලාගේ දොන් වසන්ත කුමාර නොහොත් වෙලේ සුදා මේ වන විට සිටින්නේ හතර වැනි තට්ටුවේය. එහෙමත් නැත්නම් රහස් පොලිසිය භාරයේය. ශ්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරමේ 60% කටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙහෙයවූයේ වෙලේ සුදාය. කොටින්ම හෙරොයින් ජාවාරමේ සුක්කානම තිබුණේ ඔහු අතේය.
වෙලේ සුදා කිසිදිනක අත්අඩංගුවට ගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනකු විශ්වාස කළහ. ඊට හේතු වුණේ ඔහු පාකිස්තානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, සිංගප්පූරුව, ඩුබායි වැනි රටවල සැරිසරමින් ජාත්‍යන්තර හෙරොයින් ජාලයට සම්බන්ධ වී සිටීම නිසාය.
එහෙත් ඒ අභියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරගෙන තිබුණේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ද සහාය ලබාගත් රහස් පොලිසිය මාස 3 කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක කළ මෙහෙයුම අවසානයේදී සාර්ථක වුණේය. රටටම මහා පිළිලයක් වී සිටි මහා අපරාධකාරයා පාකිස්තානයේදී අත්අඩංගුවට ගැනීමට ලැබුණේය.
වෙලේ සුදා හතරවැනි තට්ටුවට රැගෙන ගිය පුවත සැළවීමත් සමඟම බොහෝ දළකාරයන්ගේ ඉහ මොළ රත් වී ඇති බව නිසැකය.
සුදුවතින් සැරසී මුළු රටම මුළාකරගෙන සිටින දේශපාලනඥයන් කීපදෙනකුගේම පැටිකිරිය හෙළිවෙමින් තිබේ. මුදලට මෙන්ම විවිධ වරදාන වරප්‍රසාදවලට නිල ඇඳුම පාවා දෙමින් වෙලේ සුදා සමඟ සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් ගැන ද වෙලේ සුදා තොරතුරු හෙළිකර ඇතැයි කියෑවේ.
වෙලේ සුදා ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කාරයා නොවුණ ද ඔහු ඊට විශාල දායකත්වයක් ලබා දුන්නේය. පසුගිය කාලසීමාවේ විවිධ ප්‍රදේශවලදී තොගපිටින් අත්අඩංගුවට ගත් හෙරොයින් වලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආවේ වෙලේ සුදා හරහාය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මහා පරිමාණ හෙරොයින් ජාවාරමෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකට වෙලේ සුදා දායක වන බව හෙළි වූයේ පසුගිය දිනවල අල්ලාගත් හෙරොයින් ජාවාරම්කාරයන්ගෙන් ප්‍රශ්න කිරීමේදීය.
සුළු පරිමාණ ජාවාරම්කාරයන් ලුහුබැඳීමට වඩා මහා පරිමාණ ව්‍යාපාරිකයන් අල්ලා ගැනීම හරහා හෙරොයින් ජාවාරමට වැට බැඳිය හැකි බව පොලිසිය තේරුම් ගෙන සිටියේය.
වෙලේ සුදා පසුපස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පන්නන්නට පටන් ගත්තේ එතැන් සිටය. වෙලේ සුදා ඉතාම කෙටි කාලයක් තුළ හෙරොයින් ජාවාරමේ හිනි පෙත්තටම ගමන් කළ පුද්ගලයෙකි.
1977 වර්ෂයේදී උපත ලැබූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා අධ්‍යාපනය ලැබුවේ දෙහිවල ප්‍රදේශයේ පාසලකය. ඉගෙනීමේ හැකියාවක් නොතිබුණ ද මල්ලවපොර ක්‍රීඩාවට ඔහු කුඩා කල සිටම හපන්කම් දැක්වුවේය.
සමන්තගේ පියා ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රැකියාව ලෙස කළේ හොර අරක්කු පෙරීමය. සමන්තගේ වැඩිමහල් සොහොයුරාට ගමේ කවුරුත් කීවේ සුදා කියාය. ඔහු ද පියාගේ හොර අරක්කු ජාවාරමට සම්බන්ධ වී සිටියේය.
සමන්ත කුමාර පාසලේ සම වයසේ සිටි ශිෂ්‍යයන් සියලු දෙනාම තම අණසකට ගෙන සිටියේය. මල්ලවපොර ශූරයකු නිසා කිසිවකුත් ඔහුට එරෙහිව වචනයක් හෝ කීමට ඉදිරිපත් වුණේ නැත.
අධ්‍යාපන කටයුතුවලට දුර්වලයකු වුවද සමන්ත කුමාර විභාගවලින් ඉහළින් සමත් වුණේය. විභාගයට පෙනී සිටින සෑම අවස්ථාවකදීම අනෙක් ශිෂ්‍යයන් ඔහුට උදව් කළ යුතු විය. එසේ නොකළ හොත් ඒ ශිෂයාට සිදුවන්නේ විභාගයෙන් පසුව බඩ කට පුරා පහර කන්නටය.
කෙසේ වෙතත් සමන්ත කුමාර අධ්‍යාපනය ලැබුවේ නවයේ පංතිය දක්වා පමණි. ඉගෙනීමේ කටයුතු පසෙක තැබූ ඔහු පියාගේ අඩි පාරේ යමින් හොර අරක්කු ජාවාරමට අත ගැසුවේය.
කෙටි කාලයකදී ඔහු පියා අභිබවා ගියේය. සමන්තට ද "සුදා " යනුවෙන් ආමන්ත්‍රණය කරන්නට බඩෝවිට ප්‍රදේශයේ මත්පැන් ලෝලීන් පුරුදුව සිටියහ. සමන්ත කුමාරගේ හොර අරක්කු තිප්පොල තිබුණේ බඩෝවිට කුඹුරු ආශ්රිත ප්රදේශයකය. කුඹුරු ආශ්රිත ප්‍රදේශයක අරක්කු විකිණූ නිසා ඔහු අවසානයේ වෙලේ සුදා ලෙස කුප්‍රකට වුණේය.
මොන තරම් වෙහෙස මහන්සි වුවද කසිප්පු ජාවාරමෙන් ලොකු ලාභයක් ලබාගැනීමට සුදාට අවස්ථාව ලැබුණේ නැත. ඒ වන විට හෙරොයින් ජාවාරම ගල්aකිස්ස බඩෝවිට ප්‍රදේශය පුරා ඉතාම බරපතළ අන්දමින් ව්‍යාප්ත වෙමින් තිබුණේය.
හෙරොයින් ජාවාරම ඉතාම කෙටි කාලයකදී කෝටිපතියකු කරවන බව සුදා හොඳින් දැන සිටියේය. කසිප්පු ජාවාරමට පයින් ගැසූ වෙලේ සුදා හෙරොයින් ව්‍යාපාරයට අත ගසන්නේ කෙටි කාලයකදී කෝටිපතියකු වීමට සිහින දකිමින්ය.
මේ සිහිනය සැබෑකර ගන්නට ඔහුට එතරම් කාලයක් ගත වුණේ නැත. වසරක් වැනි කාලයකදී වෙලේ සුදා තම හෙරොයින් ජාවාරම ගල්කිස්ස ප්‍රදේශය පුරාම ව්‍යාප්ත කර ගත්තේය. ඉන් නොනැවතුණු මොහු දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පාණදුර ප්‍රදේශ පුරා හෙරොයින් බෙදාහැරීමේ ජාවාරම ජයටම කරගෙන ගියේය.
2011 වර්ෂය වන විට වෙලේ සුදා ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටියේය. ඒ වන විට ඔහු උපයාගෙන තිබූ ධනස්කන්ධය කෝටි ගණනකි.
මේ කාල වකවානුවá පාතාල ලෝකයට සහ හෙරොයින් ජාවාරම්කාරයන්ට එතරම් ගුණදායක එකක් වුණේ නැත. පාතාල ප්‍රබලයන් එකා දෙන්නා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වෙමින් සිටියේය.
හෙරොයින් ජාවාරම්කාරයන් සුදු වෑන්වලින් පැහැරගෙන ගිය අවස්ථා රාශියක් අසන්නට ලැබුණේය. ඒ වන විට වෙලේ සුදා ද දැඩි ලෙස කම්පනයට පත්ව සිටියේය.
ලංකාවෙ හිටියොත් කොයි වෙලාවක හරි මැරුම් කන්න වෙන්නෙ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට රටින් පැනගන්න ඕනෙ." වෙලේ සුදා තම ආදර බිරිඳ වූ සුදර්ශනීට කීවේ එන පොට හොඳ නැති බව තේරුම් ගෙනය.
රටින් පලා යන ක්‍රමයක් ගැන ඔහු සොයන්නට වුණේය. සමන්ත කුමාර යන නමින් විදේශගත වීම අනතුරුදායක බව ඔහු දැන සිටියේය. වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමට උදව් උපකාර කරමින් ඔහු සමීපව ඇසුරු කළ දෙමළ ජාතිකයකු විය. ඔහු නමින් නාගලිංගම්ය. පදිංචිව සිටියේ මාලිගාවත්තේය. නාගලිංගම්ගේ උදව් උපකාර ඇතිව රටින් පලායන්නට වෙලේ සුදා සැලසුම් කළේය.
නාගලිංගම් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළේ කෙසේ හෝ තම කල්‍යාණ මිතුරාගේ ජීවිතය බේරා ගන්නා අටියෙන්ය. ඒ වන විට වෙලේ සුදා තිදරු පියකුව සිටියේය. දරුවන් සහ බිරිඳ ලංකාවේ තනිකර යැමට ඔහුගේ හිත ඉඩ දුන්නේ නැත.
"මට මුන්ව දාල යන්න බැහැ. අනික තනියම යනකොට එයාර්පෝට් එකේදි සැක හිතනවා. අපේ ෆැමිලි එකටම යන්න ලෑස්ති කරන්න."
වෙලේ සුදා නාගලිංගම්ට කීවේය. කොල්ලුපිටියේ පිහිටි ට්‍රැවල් ඒජන්සියක් මාර්ගයෙන් වෙලේ සුදා සහ පවුලේ සාමාජිකයන් ඉන්දියාවට යෑවීමට අවශ්‍ය කටයුතු නාගලිංගම් ඉතා කෙටි කාලයක් තුළදී සම්පාදනය කළේය.
2011 වර්ෂයේ අගෝස්තු මාසයේදී වෙලේ සුදා තම බිරිඳ සහ දරුවන් සමඟ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙනය.
චෙන්නායි පල්ලවාඩික්කම් ප්‍රදේශයේ නිවසක් වෙලේ සුදාගේ නවාතැන්පළ විය. මේ නිවසේ හිමිකරු වුණේ ක්රිෂ්ණරාඡ් නමැති දෙමළ ජාතිකයෙකි. ඔහු කලක් කිලිනොච්චිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකාව අතහැර චෙන්නායි පදිංචියට ගොස් ඇත්තේ වසර කීපයකට උඩදීය.
ක්රිෂ්ණරාඡ්, නාගලිංගම්ගේ ගජ මිතුරෙකි. වෙලේ සුදා සහ පවුලේ සාමාජිකයන්ට ක්රිෂ්ණරාඡ් නවාතැන් දෙන්නේ නාගලිංගම්ගේ ඉල්ලීම මතය.
අපට හැමදාම මෙහෙ ඉන්න බැහැ. දරුවන්ට ඉස්කෝලෙ යන්න ඕනෙ. ලංකාවෙ ව්‍යාපාර බලා කියා ගන්නෙ කවුද?
සුදර්ශනී තම සැමියා වූ වෙලේ සුදා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළේය.
"ඔයා දරුවොත් එක්ක ආපහු ලංකාවට යන්න. මම මෙහෙ ඉඳගෙන බිස්නස් එක කරන්නම්. ඔයාට තියෙන්නෙ ලංකාවෙ වැඩ ටික බලාගන්න.
වෙලේ සුදාගේ උපදෙස් මත සුදර්ශනී දරුවන් තිදෙනා ද කැටිව ආපසු ශ්‍රී ලංකාවට ආවාය. ඒ වන විට වෙලේ සුදා ජාත්‍යන්තර හෙරොයින් ජාවාරමේ ප්‍රධානීන් කීපදෙනකු සමඟම සම්බන්ධ වී සිටියේය. හෙරොයින් ජාවාරම ඉතාම පහසුවෙන් කරගෙන යැමට අවශ්‍ය පරිසරය ද ඔහු ඒ වන විට ගොඩනඟාගෙන සිටියේය.
2012 වර්ෂයේ මුල් කාර්තුව වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ජයන්ත කුලතිලකය. වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමට විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ක්‍රියාත්මක කළහ.
වෙලේ සුදා සමඟ සම්බන්ධතා පවත්වන පුද්ගලයන් තිදෙනකුගේ දුරකථන අංක රහස් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබුණේය.
එම පුද්ගලයන් පිළිබඳව පොලිසිය රහසිගතව තොරතුරු සොයන්නට වූහ. මහා පරිමාණ ජාවාරම්කාරයන්ගේ දේපළ රජය වෙත පවරා ගැනීම සඳහා නීති රීති සම්පාදනය වෙමින් පැවතිණි.
මුදල් විශෝධන පනත යටතේ වෙලේ සුදාගේ දේපළ ද රාජසන්තක කිරීමට කටයුතු කරමින් සිටියේය. එහෙත් ඔහු සතු දේපළ කිසිවක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබුණේ නැත.
රහස් පොලිස් කණ්ඩායම මේ පිළිබඳ තොරතුරු සොයන්නට වූහ. රහසිගත දුරකථන අංකවලින් එකක හිමිකරු, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින නාගලිංගම් නමැති අයකුගේ බව රහස් පොලිසිය හඳුනා ගත්තේය.
පොලිස් නිලධාරීන් නාගලිංගම්ගේ නිවස වැටලූහ. මාලිගාවත්තේ පිහිටි සුවිසල් නිවස වටලන විට නාගලිංගම් එහි සිටියේ නැත.
උපාය මාර්ගයෙන් නාගලිංගම් පොලිස් නිලධාරීන් භාරයට ගත්තේය.
"තමුසෙ වෙලේ සුදාව අඳුනනවද? පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන්නට වූහ.
"අනේ සර් මම ඔය මිනිහව අඳුනන්නෙ නැහැ. මම මේ පොඩි බිස්නස් ටිකක් කරගෙන ඉන්නෙ.
නාගලිංගම්ගේ ප්‍රකාශයන් රහස් පොලිස් නිලධාරීන් පිළිගත්තේ නැත. අවසානයේ ඔහුගේ නිවස පොලිස් නිලධාරීන් පරීක්ෂා කළේය. සැකකටයුතු කිසිවක් එහි තිබුණේ නැත.
කොල්ලුපිටියේ පිහිටි ට්‍රැවල් ඒජන්සියක බිල්පතක් පමණක් පොලිස් නිලධාරීන් සොයා ගත්තේය. බිල්පත නිකුත් කළ ට්‍රැවල් ඒජන්සිය සොයා ගිය පොලිස් නිලධාරීන් එහි හිමිකරුගෙන් ප්‍රශ්න කළේය.
ඔය නාගලිංගම් අපි හොඳට අඳුනනවා. මීට සති කීපයකට උඩදී එයා සිංහල ෆැමිලි එකක් පිටරට ඇරියා. අපේ ඒජන්සිය හරහා තමයි ඒ අය ගියේ.
නාගලිංගම් විදේශගත කළ පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු ඒජන්සිය මාර්ගයෙන් ලබාගත් රහස් පොලිසිය එය ගුවන්තොටුපළෙන් පරීක්ෂා කළේය.
එහිදී හෙළිදරව් වූයේ නාගලිංගම් පිටරට යවා ඇත්තේ වෙලේ සුදා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් බවයි. ඔවුන් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර යොදා ගෙන පිටරට ගිය බවද හෙළිදරව් වුණේය.
රහස් පොලිස් කණ්ඩායම වෙලේ සුදාගේ සහ බිරිඳගේ තොරතුරු ගුවන්තොටුපළ ආරක්ෂක අංශ වෙත භාරදී කිසියම් තොරතුරක් ලැබෙන තුරු බලා සිටියහ.
ව්‍යාජ නමක් යොදාගෙන ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එමින් සිටි වෙලේ සුදාගේ බිරිඳ සුදර්ශනී පොලිසියට කොටුවන්නේ මේ අතරතුරදීය.
මගේ මනුස්සයා කොහේ ඉන්නවද දන්නැහැ. මම රට ගියේ ඇඳුම් පැළඳුම් ටිකක් ගේන්න. සුදාගේ බිරිඳ රහස් පොලිස් නිලධාරීන් ඉදිරියේ ගජබින්න ඇදබෑවාය. සුදර්ශනීට පොලිස් නිලධාරීන්ගේ කනින් රිංගීම පහසු කටයුත්තක් වුණේ නැත
"අනේ සර්.. මගේ මිනිහා හම්බකරපු දෙයක් නැහැ. මායි දරුවො තුන්දෙනයි ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන්. මිනිහා අපි ගැන බලන්නෙ නැහැ. සුදර්ශනී හඬා වැළපෙමින් කියන්නට වූවාය. එහෙත් පොලිස් නිලධාරීන් ඉතාම සූක්ෂ්ම ලෙස ප්‍රශ්න කරද්දී වෙලේ සුදාට අයත් කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ පිහිටි රුපියල් කෝටි තුනකට අධික වටිනාකමෙන් යුත් නිවසක් සොයාගැනීමට හැකි විය.
තවදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත කොල්ලුපිටිය බගතලේ පාරේ පිහිටි සුපිරි මහල් නිවාස දෙකක් ද රහස් පොලිසිය සොයා ගත්තේය.
වෙලේ සුදාගේ එක් දියණියක් අධ්‍යාපනය ලැබුවේ ජාත්‍යන්තර පාසලකය. ඒ පාසලේ ගුරුවරියකගෙන් වැදගත් තොරතුරක් සොයා ගන්නට රහස් පොලිසියට හැකි විය.
"මගේ පංතියෙ ඉන්න ළමයින්ගෙන් මම දවසක් ඇහුවා ඔයගොල්ලන්ගෙන් වැඩිම පොහොසත් කෙනා කවුද කියලා. ඒ අය තමන්ගේ පොහොසත්කම් ගැන කියනවා.
එක ගෑනු ළමයෙක් කිව්වා එයාගෙ තාත්තට සුපිරි මහල් නිවාසයක් තියනවා කියලා." ගුරුවරිය පොලිසියට කියා තිබුණේ වෙලේ සුදාගේ දියණිය ගැනය. ඇය වෙලේ සුදාගේ දියණිය බව ගුරුවරිය දැන සිටියේ නැත.
මේ තොරතුරු ඔස්සේ පරීක්ෂණ කළ රහස් පොලිස් නිලධාරීන් තවත් සුපිරි මහල් නිවසක් සිය භාරයට ගත්තේය.
මේ අතර වෙලේ සුදාගේ රියෑදුරු පිළිබඳව ද පොලිසිය වෙත තොරතුරු ලැබී තිබුණේය. පොලිස් නිලධාරීන් රියෑදුරු ලුහුබඳින්නට වූහ. අවසානයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී වෙලේ සුදාගේ රියෑදුරු රහස් පොලිසියට කොටු විය.
වෙලේ සුදාගේ නෝනා හැමදාම මාත් එක්ක වාහනේ නුගේගොඩ පැත්තට යනවා. යනකොට ලොකු බෑග් එකක් අරගෙන යනවා. හැබැයි ආපහු එන්නෙ හිස් අතින්.
රියෑදුරු ලබාදුන් තොරතුරු මත සුදර්ශනී මෝටර් රථයෙන් බැසගන්නා ප්‍රදේශය රහස් පොලිස් නිලධාරීන් පරීක්ෂා කළහ. ඒ අවට පිහිටි බැංකු කීපයක් පරීක්ෂා කළ රහස් පොලිස් කණ්ඩායම තම ඉලක්කය සපුරා ගත්තේය.
එක්තරා රජයේ බැංකුවක සුදර්ශනී පවත්වාගෙන ගිය රහස්‍ය සේප්පුවක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වූහ. බැංකු නිලධාරීන්ගේ ද සහාය ඇතිව රහස්‍ය සේප්පුව විවෘත කළේය. එහි රුපියල් එක්කෝටි අසූදෙලක්ෂයක මුදලක් සහ රත්රන් කිලෝග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් තැන්පත් කර තිබී පොලිසිය සොයා ගත්තේය. ඊට අමතරව කොළඹ නගරයේ පිහිටි ඉඩම් ඔප්පු දෙකක් ද සොයා ගත්තේය. මෙයින් නොනැවතුණු රහස් පොලිස් කණ්ඩායම පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහ මාදිවෙල පිහිටි තවත් නිවසක් සොයාගත්තේය. මේ සියලු දේපළ වෙලේ සුදා විසින් මිලදී ගත් ඒවා බව හඳුනා ගැනීමට රහස් පොලිසියට හැකි විය.
මේ අතර වෙලේ සුදාගේ බිරිඳ සුදර්ශනීගේ නමට ලියාපදිංචි කර තිබූ ව්‍යාපාර දෙකක් ද පොලිසිය සොයා ගත්තේය. ඔවුන් ඒ ව්‍යාපාර ලියාපදිංචි කර තිබුණේ හෙරොයින් ජාවාරම හරහා ලැබෙන අති විශාල ධනස්කන්ධය නීත්‍යනුකූල මුදල් බවට පරිවර්තනය කර ගැනීම සඳහාය.
වෙලේ සුදාට අයත්ව තිබී සොයා ගත් දේපළවල වටිනාකම රුපියල් කෝටි විස්සකට අධික විය. ඒ සියලු දේපළ මුදල් විශුද්ධි පනත යටතේ රාජසන්තක කෙරිණි.
ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කාරයන් සමඟ සමීප සබඳතා පවත්වමින් සිටි වෙලේ සුදා විශාල තොග පිටින් හෙරොයින් ශ්‍රී ලංකාවට එවන්නට පටන් ගත්තේය.
මුහුදු මාර්ගයෙන් මෙන්ම කන්ටේනර්වල සූක්ෂ්මව අසුරා එවූ හෙරොයින් ප්‍රමාණය කොතෙක් දැයි ගණනය කළ නොහැක. රහස් පොලිසිය කළ විමර්ශනවලින් කියෑවුණේ වෙලේ සුදා පසුගිය වසර තුනක් වැනි කාලසීමාවේදී ශ්‍රී ලංකාවට එවූ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000 ද ඉක්මවන බවයි.
පාකිස්තානයෙන් රුපියල් ලක්ෂ 4 ක් වැනි අඩු මිලකට ලබා ගන්නා හෙරොයින් කිලෝග්රෑමය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත එද්දී රුපියල් කෝටියකට ආසන්න වෙයි. වෙලේ සුදා ඉතාම කෙටි කාලයකදී මහා ධන කුවේරයකු බවට පත්වන්නේය. එහෙත් පසුගිය කාලවකවානුව ඔහුට එතරම් සුබ වුණේ නැත.
වෙලේ සුදා ශ්‍රී ලංකාවට එවා තිබූ හෙරොයින් තොග රැසක් පොලිස් අත්අඩංගුවට පත් වුණේය. පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කැලණිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 100 කට ආසන්න ප්‍රමාණයක් අල්ලා ගත්තේය.
පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ද කඩුවෙල ප්‍රදේශයෙන් තවත් හෙරොයින් තොගයක් සොයා ගත්තේය. ශ්‍රී ලංකා රේගුව ද හෙරොයින් තොගයක් කන්ටේනරයක සඟවා තිබියදී සොයා ගත්තේය.
මේ සියලුම හෙරොයින් තොග පිටුපස සිටියේ වෙලේ සුදාය. රහස් පොලිසිය වෙලේ සුදා කොටුකර ගැනීමට ජාත්‍යන්තර මෙහෙයුමක් ආරම්භ කරන්නේ ඉන් පසුවය.
වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය. ඉන් නොනැවතී රතු නිවේදනයක් නිකුත් කර ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට ද පියවර ගත්තේය. මේ අතර වෙලේ සුදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන පකිස්තානයේ සිට වෙනත් රටකට යැමට උත්සාහ ගනිද්දී එරට පොලිසියට කොටුවන්නේය.
ජාත්‍යන්තර ජාවාරම්කරු කොටුකර ගැනීම පිළිබඳව පාකිස්තාන පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන්නේය. ඒ අනුව පකිස්තානය බලා ගිය රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වෙලේ සුදා සිය භාරයට ගෙන මෙරටට ගෙනැවිත් ඇත.
වසර ගණනක් තිස්සේ තමන් සිදු කළ මහා පරිමාණ හෙරොයින් ජාවාරම පිළිබඳව වෙලේ සුදා තොරතුරු වමාරමින් සිටියි. කොළඹ එක්තරා තරුණ දේශපාලනඥයකු ද තම ජාවාරමට සම්බන්ධ වී සිටින බව වෙලේ සුදා හෙළි කර තිබේ.
තම බිරිඳ විසින් මේ දේශපාලනඥයා වෙත රුපියල් කෝටි ගණනින් මුදල් දුන් ආකාරය ද හෙළිවෙමින් තිබෙයි.
රටේ තරුණ පරපුර විනාශ කර දමා රටටම මහා පිළිලයක්ව සිටින වෙලේ සුදා හෙට දිනයේ බන්ධනාගාරය වෙත යනු ඇත. බන්ධනාගාරයේ සිට ඔහු වෙනදාටත් වඩා හොඳින් හෙරොයින් ජාවාරම කරනු ඇත.
ජාත්‍යන්තර හෙරොයින් ජාලයට සම්බන්ධ වී සිටින වෙලේ සුදාගේ ව්‍යාපාර නතර කළ හැකිද? එසේනම් කළ යුත්තේ කුමක්ද මෙවැනි අපරාධකාරයන් මුළු මහත් සමාජයෙන්ම අතුගා දැමීම කළ යුතු නොවන්නේද?
හේමන්ත රන්දුණු
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment