BREAKING NEWS

රටතොට

Thursday, January 1, 2015

රටට ආදරය කරන්නන් අවශ්‍ය වී ඇති යුගයක්‌ උදාවී ඇත..!!!

කුඩු ව්‍යාපාර, එතනෝල් ගෙන්වීම, අරක්‌කු තැබෑරුම්, සූදු ව්‍යාපාර ආදිය සඳහාද මැති ඇමැතීන්ගේ නම් ඈඳීම නිසා එම පදවි දරන පුද්ගලයන් ජනතාව අතර හෑල්ලුවට ලක්‌වී ඇත.

කලකට පෙර රට පුරා "උපහාර" උළෙලවල් පැවැත්වූ සැටි ජනතාවට මතක ඇත. ඒ සඳහා වියදම් දැරීමට හා වෙනත් සේවා සැපයීමට ජනතාවට හා ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ට සිදුවිය. එය කන්දොස්‌ කිරියාවක තත්ත්වයට පත්වෙමින් තිබියදී පිරිසක්‌ බස්‌ නැවතුමක කාලාන්තරයක්‌ තිස්‌සේ නාට්‌ටාමිකම් කළ "ජොනී" සහෝදරයාට "ජොනී" උපහාර උළෙලක්‌ පැවැත්වීමෙන් පසු උපහාර පිදීම් නැවතිණි.

නිලතල ගරුත්වය බාල්දු වීම

එක්‌තරා කුලයකට අයත් පුද්ගලයකුට රන් ඔටුන්නක්‌ ලැබුණ බවත් ඔහු එය හරක්‌ මස්‌ දැමීමට භාවිත කළ බවත් ජන කතාවක සඳහන් වේ. එසේ වූයේ එම ඔටුන්න ඔහුට හිසේ පැළඳීමට වත් බැරි, වෙනත් දෙයකට යොදා ගැනීමටත් බැරි තම කුලයේ දේපළක්‌ ලෙස භාවිත කිරීමටත් බැරි හේතුව නිසායි.

අප රටේ ඇතැම් පුද්ගලයන්ට ලැබෙන තනතුරු ඔවුන්ට දිරවන්නේ නැත්තේද එසේය. ඇතමුන්ට සුදුසුකම්වලට වඩා වෙනත් හේතූන් නිසා ලැබෙන එවැනි නිලතල ඇතැම් විට සමාජයට මෙන්ම ඔහුටද වදයක්‌ වී ඇති සැටි පිටතින් සිට බලන්නකුට පෙනේ. එවන් ඇතැම් බලධාරීන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් පුවත්පත්වල පළවේ.

මැති ඇමැති පදවි මෙන්ම අගමැති ජනපති පදවි දක්‌වා බොහෝ තානාන්තර පිළිබඳව එවන් තත්ත්වයක්‌ ඇතිවී ඇත්දැයි ඇතැමුන් සැක පළකරති.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සිට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් දක්‌වා වන දේශපාලකයන්ගේ කටයුතු මේ වන විට ජනතාවගේ දැඩි කතාබහට හා විවේචනයට පත්ව තිබීම නොරහසකි. දශක කිහිපයකට පෙර ඇතැම් මැති ඇමැතිවරයකු විසින් කළ නොපනත්කම් වර්තමානයේ ඇතැම් ප්‍රාදේශීය සභා සභාපති, උප සභාපති හෝ සභිකයන් ගෙන් සිදුවෙමින් පවතී. රජයේ දේපළ කොල්ලකෑමේ සිට අල්ලස්‌ ගැනීම් හා මැරකම් ඇතැමුන්ගෙන් සිදුවන සැටි රහසක්‌ නොවේ. ඔවුන්ගෙන් මෙරට ජනතාවට පමණක්‌ නොව විදේශිකයන්ටද විවිධ අඩන්තේට්‌ටම් සිදුවේ. මෙනිසා එම තනතුරු හෑල්ලු වනවා පමණක්‌ නොව ජනතාව විසින් එම තනතුරු දරන්නන්ගේ සේවය අනවශ්‍ය යෑයි සිතන තරමට කරුණු යෙදෙමින් පවතී. එහෙත් කලකට පෙර ගම් සභා පැවති සමයේදී කිසිදු වැටුපක්‌ නොලබා සේවය කළ ගමේ මැම්බර් මහතාගේ සේවය ප්‍රශංසනීය ලෙස අද ද පැරණියන් අගය කරන බව සඳහන් කළ යුතුය.

ඇතැම් දේශපාලනඥයන් රාජ්‍ය දේපල තමා හෝ තම ඥතීන්ගේ පරිහරණයට යොදාගෙන ඇත. ඇතැමුන් දේශපාලන බලය මැරකම් සඳහා යොදා ගෙන ඇත. මේ අනුව ප්‍රාදේශීය සභාවේ සිට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පදවි දක්‌වා ඇතමුන්ගේ නම් මෙවන් අකටයුතුකම් සඳහා සඳහන් වන අතර ඇතැමුන්ට අධිකරණය වෙත යැමටද සිදුවීමෙන් ඔවුන්ගේ ගරු පදවිවල ගරුත්වය කෙළෙසී ඇත.

පුද්ගලයා නිසා තනතුර බැබළීම වෙනුවට පුද්ගලයන් තනතුරෙන් බැබළීමට යැම හා මැතිවරණ සඳහා ගිය අධික වියදම් පියවා ගැනීමට වෙහෙසීම හේතුවෙන් එම තනතුරු හෑල්ලුවට පත්වී ඇත. කුඩු ව්‍යාපාර, එතනෝල් ගෙන්වීම, අරක්‌කු තැබෑරුම්, සූදු ව්‍යාපාර ආදිය සඳහාද මැති ඇමැතීන්ගේ නම් ඈඳීම නිසා එම පදවි දරන පුද්ගලයන් ජනතාව අතර හෑල්ලුවට ලක්‌වී ඇත.

කලකට පෙර රට පුරා "උපහාර" උළෙලවල් පැවැත්වූ සැටි ජනතාවට මතක ඇත. ඒ සඳහා වියදම් දැරීමට හා වෙනත් සේවා සැපයීමට ජනතාවට හා ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ට සිදුවිය. එය කන්දොස්‌ කිරියාවක තත්ත්වයට පත්වෙමින් තිබියදී පිරිසක්‌ බස්‌ නැවතුමක කාලාන්තරයක්‌ තිස්‌සේ නාට්‌ටාමිකම් කළ "ජොනී" සහෝදරයාට "ජොනී" උපහාර උළෙලක්‌ පැවැත්වීමෙන් පසු උපහාර පිදීම් නැවතිණි.

මේ වන විට බොහෝ දේශපාලකයන්ට "සංකල්ප" හා "පදනම්" බිහිකිරීමේ උණක්‌ සෑදී ඇතැයි කියෑවේ. ප්‍රජා මණ්‌ඩලයක්‌ සඳහා හට්‌ටි මුට්‌ටි ප්‍රදානය කිරීමද මේ දේශපාලකයන්ට සංකල්පයකි. ඒ හැර විවිධ පදනම් මගින් ජනතාවට විවිධ සේවා සැපයීමට ඉදිරිපත්ව ඇතැයි කියෑවේ. ඒ පදනම් සඳහා විවිධ ක්‍රමවලින් මුදල් එකතු කරන බව පෙනේ. ඇතැම් පදනම් සඳහා විදේශයන්ගෙන් ආධාර ලැබෙන බවක්‌ද කියෑවේ. මේ මුදල් බොහොමයක්‌ ඔවුන්ගේ පෞද්ගලික වුවමනාවන් සඳහා යෙදවෙන බවට කට කතා පැතිරේ.

අද වන විට ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව ජනතාව අතර දැඩි කතාබහක්‌ ඇතිවී තිබේ. විධායක ජනාධිපති ක්‍රමය තිස්‌ අවුරුද්දක්‌ පුරා පැවති යුද්ධය නිම කිරීම සඳහා බලපාන ලද බව කියෑවේ. එය එක්‌ අතකින් සත්‍යයකි. එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමේදී ගන්නා ලද දැඩි තීරණ පාර්ලිමේන්තු සාකච්ඡා ක්‍රමය මගින් ගැනීමට සිදුවූවා නම් එය එතරම් සාර්ථක පියවරක්‌ නොවනු ඇත. විවේචන කෙසේ වෙතත් විධායක ජනාධිපති ධුරය තිබියදී අගමැති බලවත් වූ අවස්‌ථාද නැතුවා නොවේ.

අද වන විට ලංකාවේ ඇමැතිවරු සියයකට අධික ප්‍රමාණයක්‌ ඇත. පළාත් සභා ගත්විට එම ප්‍රමාණය තවත් වැඩි වේ. එහෙත් ඒ ඒ අමාත්‍යාංශවල රාජකාරි හරිහැටි ඉටු වෙනවාද යන්න ප්‍රශ්නයකි. පොල්, සීනි සඳහාද ඇමැතිවරුන් ඇත. අධ්‍යාපන ඇමැතිවරු පළාත් සභා ඇතුළුව ඉතා විශාල ප්‍රමාණයක්‌ ඇත. එහෙත් අධ්‍යාපන ගැටලු මෝදු වෙමින් පවතී. පාසලකවත් හරිහැටි විභාගයක්‌ පැවැත්වීමට නොහැකි වී ඇත. මේ අයුරින් ඇමැති කටයුතු පිළිබඳව මහජන විශ්වාසය පලුදු වී ඇත.

හමුදාව හැරුණු විට විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සඳහා ජනරාල්වරු රාශියක්‌ පත්වී ඇත. ජනතාව සිතන්නේ මේ ජනරාල් පදවි හුදෙක්‌ අධික වරප්‍රසාද පඩි ක්‍රම ආදිය සකස්‌ කර ගැනීම සඳහා සකස්‌ වී ඇති බවය.

පනස්‌ හයේ ආණ්‌ඩු පෙරළියත් සමග පාර්ලිමේන්තුව බැලීමට ආ සාමාන්‍ය ජනතාව පාර්ලිමේන්තුවේ ආසනවල පවා වඩිවී සිටි සැටි අපට තවමත් මතකය. එකල එම්. එස්‌. තේමිස්‌, ටී.බී. තෙන්නකෝන්, පතිරාජ තෙන්නකෝන්, සෝමවීර චන්ද්‍රසිරි, විඡේරත්න බණ්‌ඩා වැනි සාමාන්‍ය ගැමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වූහ. එසේ සාමාන්‍ය මිනිසුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ඒමට වත්මන් තත්ත්වය යටතේ නොහැක. එහෙයින් ගස්‌මරුවන්, වැලි අදින්නන්, තැබෑරුම්කාරයන්, කුඩු ව්‍යාපාරිකයන්, කැසිනෝ කප්පිත්තන් වැනි මදාවි නූගතුන්, සල්ලිකාරයන්ට පාර්ලිමේන්තුවට ඒමට හැකිවීම නිසා එහි තත්ත්වයේ යම්කිසි බාල්දු වීමක්‌ ඇතිවී තිබේ. අද අපගේ අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගන්නේ ඔවුන්ය. පාර්ලිමේන්තුව හා සත්තුවත්ත නැරඹීමට එන පාසල් සිසුන් ඒ දෙක පටලවා ගන්නා සැටි හාස්‍යයෙන් යුතුව ප්‍රකාශ වන්නේ ද දේශපාලකයන්ගෙනි.

තවදුරටත් අර්බුදයකට ලක්‌වන දෙයක්‌ වන්නේ අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවයි. එය කලකට පෙර සඟරාවක්‌ ලෙස හැඳින්වූයේ ඊට වරින් වර සංශෝධන එකතු කිරීම නිසාය. රටට ගැලපෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ තවම බිහිවී නැත. ඇතැමුන් එය සරදමට ලක්‌කරන අතර ඇතැමුන් එහි විධි විධාන නොතකා කටයුතු කරන බවක්‌ද පෙනේ. ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කරන බවටද මෙරට හෝ පිටරටදී රට දෙකඩ කිරීම පිළිබඳ කටයුතු නොකරන බවටද දිවුරුම් දී ඇති ඇතැම් මන්ත්‍රීවරු එය නොතකා කටයුතු කරති. එහෙත් ඔවුන්ට ව්‍යවස්‌ථාවේ සඳහන් පරිදි කිසිදු දඬුවමක්‌ද ලැබී නැත. මේ වන විට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 19 වැනි වතාවක්‌ සංශෝධනය වී ඇත. එහෙත් එය තවමත් සියලු දෙනාගේම පිළිගැනීමට ලක්‌වී නොමැති වීම එය බාල්දු වීමක්‌ නොවන්නේද?

එදා ගුරුවරයා සිය සේවය සැපයුවේ මුදල් බලාගෙන නොවේ. එම උත්තරීතර භාවය පිකටිං කිරීම, වර්ජන කිරීම, පෙළපාලි යැම වැනි කරුණු වලින් බාල්දු වී ඇත. විදුහල්පතිවරුන් කිහිප දෙනකුම අල්ලස්‌වලට හසුවී ඇත. ඇතැම් ගුරුවරයකුගේ ප්‍රථම කාර්යය අමතර පන්ති පවත්වා යමක්‌ උපයා ගැනීමය. ඇතමුන් දේශපාලන බලය මගින් උත්තරීතර ගුරු පදවිය කෙළෙසා තිබීම කනගාටුවකි.

දෙවිවරු වන් ඉසිවර වෙදවරු සිටින මේ රටේ ඇතැම් වෛද්‍යවරුන්ගේ හැසිරීමද කනගාටුදායකය. සිය ලේ පවා රෝගීන්ට දෙමින් සේවාවේ උසස්‌ බව හුවා දක්‌වන වෛද්‍යවරුන් ද නැතුවා නොවේ. එහෙත් තමා උගත් දෙයින් අසරණ රෝගීන්ගේ සේසත කඩා ගන්නා වෛද්‍යවරුද අතරින් පතර සිටීම සේවාව බාල්දු වීමට හේතුවී ඇත. එය සමාන කළ හැක්‌කේ උසාවියේ ගිනි අය කරන ඇතැම් නීතිවේදියකුගේ සේවයට හෝ අනුන්ගේ ගීත රුපියල් තිස්‌ හතළිස්‌ දහස්‌ ගණන් අය කරමින් ගයන ස්‌ටාර් කෙනකුට හෝ පමණි.

තමා දරන පදවියේ ගරුත්වය ආරක්‍ෂා වන ලෙස කටයුතු කිරීම රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ යුතුකමකි. එය රටේ ජනතාව වෙනුවෙන් හා සිය ආයතනය වෙනුවෙන් සාධාරණව ඉටුකළ යුත්තකි.

ඉන්දියාව ගැන කරුණු දක්‌වන ආචාර්ය "රොමිලා තාපර්" කියන්නේ යුරෝපීයයන් බොහෝ දෙනකු ඉන්දියාව සම්බන්ධයෙන් මවා ගන්නේ මහා රාජාවරුන් නයි නටවන්නන් හා කඹ විඡ්ජාව පිළිබඳ දර්ශනයෙනි" යනුවෙනි. එහෙත් එම රටේ දුම්රියක්‌ පීලි පැන්නොත් අදාළ දුම්රිය ඇමැතිවරයා ඉල්ලා අස්‌වේ. චීනයේ ළදරු කිරිපිටිවල වස මුසුවීම සම්බන්ධව වගකිව යුතු නිලධාරීන් දෙදෙනකුට මරණ දඬුවම දුනි. මුසෝලිනී මරා දමන ලද්දේ හිසට වෙඩි උණ්‌ඩ 21 ක්‌ යෑවීමෙනි. එහෙත් එරට මිනිසුන් දුක්‌වූයේ එපමණ අඩු උණ්‌ඩ සංඛ්‍යාවකින් ඔහු මරාදැමීම ගැන පමණි.

අද රටට ආදරය කරන්නන් අවශ්‍ය වී ඇති යුගයක්‌ උදාවී ඇත. ඔවුන් සිය මවුබිමේ උන්නතිය උදෙසා මෙන්ම තම ආත්ම තෘප්තිය උදෙසාද රටට අවංක සේවයක්‌ ඉටු කිරීමට සූදානම් විය යුතුය. ලොව කෝටි ගණන් මිනිසුන් ජීවත්ව සිට මියගොස්‌ ඇතත් අද පවා ඔවුන්ගෙන් ජනතාව සිහිකරන්නේ අතලොස්‌සක්‌ දෙනා බව සිහිකළ යුතු වේ.

හි. ලි. ඔස්‌ටින් සිල්වා

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger