BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, January 27, 2015

චීන මකරා ලංකාවේ දෙමුහුන් වූ අයුරු...!!!

 දැන් බක්කර රස්සාව කරන්න ගාල්ල - මාතර අය යාපනයේ ගියා වගෙයි තමයි අපි චීනයේ ඉඳලා ලංකාවට ආවේ. ඒ සිරිමාවොගෙ කාලෙ නෙවෙයි. මිනිස්සු වරදවා වටහා ගන්න තැන එතන. අපි ආවේ ජේ. ආර්. ජනාධිපතිතුමාගෙ කාලයේදී. ඒ කාලේ ගුවන් ගමන් මාසයකට 2යි චීනයට තිබුණේ. ඒකත් ඉන්දියාවේ ඉඳලා නතර වෙවී ගිය ගමනක්. මම චීනයේදි කළෙ කෝකි රස්සාව. ලංකාවට ඇවිත් අපි 4 දෙනෙක් චයිනිස් රෙස්ටොරන්ට් එකක් දැම්මා.


විචිත්‍ර වර්ණ සැටින් ගවුමකින් සැරසුණ චීන කාන්තාව අප පිළිගත්තාය. ඉන්පසුව ඇය පබළු තීරය හරහා අපට පිටුපා අප රැගෙන යද්දී ඇගේ හිසේ පැලඳි ජේඩ් ආභරණ කට්ටලය මම දුටුවෙමි. මුවඟ සිනාව සඟවා සිටියත් ඇය තද ගති පැවතුම් ඇත්තියක නොවෙයි කියා මම උපකල්පනය කළෙමි. අත්‍යාලංකාර මායාමය වේදිකාවක් හරහා වැටී තිබූ මාර්ගය ඉන් පසුව වෙන් වූයේ කුඩා ප්‍රමාණයේ ගිමන්හල්වලටය.

මා අසා ඇති ආකාරයට සාම්ප්‍රදායික චීන ඇඳුම දිගින් වැඩිය. එය නිමාවන්නේ රතු හෝ ළා කහ පැහැති සේද රෙද්දෙනි. (සේද නොමැති තැනට සැටින් එක්කාසු වී ඇති ආකාරය!) ඇඳුමේ මල් සහ විලෝ ගස් පින්තාරු කර අලංකාර කරන්නේ මල් සහ විලෝ විලාසිනියන්ගේ සංකේත නිසාලු. (සෑම ගැහැනියකම පුර ළඳක් හෝ විලාසිනියක වේද?) මම සිතින් චිත්‍රයක් මවා ගතිමි. එවැනි ළඳුන් කීප දෙනෙක් දැන් අප අවට ගැවසෙති. සැබෑ ලෙසම ඔවුන් ඇඳ - පැලඳ සිටින ආකාරය අනුව විලෝ ගස් සහ මල් දිව්‍යමය වූ මඳ පවනේ සැලෙන්නා සේය. දෙනෙත් හැර බලන කල සැටින් ඇඳුමින් සැරැසී සිටි එකිය තුළ දුටුවේ ගොරහැ¾ඩි බවට අරුතක් සපයන ලද දුක් මුසු බවකි. ඇය චීන ආහාර දාමයක් පිළිබඳ ලියැවුණ කාඩ්පත් සමූහයක් අප ඉදිරියේ තැබුවාය. චීන ආහාර සමඟ කිසිදු සංහිඳියාවක් නොමැති මම ඒවා මගේ මිත්‍රයා දෙසට දිගු කළේ කළ හැකි කිසිවක් නොමැති නිසාය.

ආහාර යනු සංස්කෘතික හැඩ රටාවක් කියා මා ප්‍රථම පාඩම අසා දැනගත්තේ ගාන්ධිතුමන් විසින් රචිත සිය චරිතාපදානයේ ආහාර සමඟ මාගේ පර්යේෂණ කොටස කියැවීමෙනි. එය ප්‍රායෝගිකව අත්විඳින තැනකට රැගෙන ආවේ මා සමඟ සිටින මගේ ගරු කටයුතු මිත්‍ර ඉග්නියේෂ්ය. පට්ට නාගරිකයකු වන මා මිතුරා කොළඹ නගරයේ ඇති විවිධ රටවල ආහාර වට්ටෝරු ඇති භෝජනාගාරවලට මා රැගෙන ගියේ මගේ දුප්පත් පසුම්බිය පිළිබඳ අදහසක් ඇතිව නොවේ. ඒ ඔහුගේ හැටිය. නොඑසේ නම් එකම අදහසක්වත් නැති රීතිය එයයි.

අපි ආහාර ඇණවුම් කළෙමු. ප්‍රථමව "සුප්ය". දෙවැනිව හතුය. තෙවැනුව තෙම්පරාදු කරන ලද උෟරු මස්ය. ඉන්පසු පැමිණියේ අප රුචි අරුචිකම් මත ඇණවුම් කිරීමය. මම තවත් තෙම්පරාදු කරන ලද උෟරු මස් ඉල්ලා සිටි අතර මිතුරා ඉල්ලා සිටියේ තම්බන ලද මාළුය. ඉන්පසුව අප ඇණවුම්වලින් හරි අඩක් හෝමාරු කර ගතිමු. ආහාරවල ඇත්තේ අමුතු සුවඳකි. අමුතු රසයකි. පිළිගැන්වීමේ සිට අනුභවය දක්වා සිරිත්, විරිත්ද අමුතුය. අපි අමුතු පන්නයේ සැර බීම වඩියක්ද ඇණවුම් කළෙමු. ඒ මඳ උණු වතුරේ දිය කළ බ්ලැක් ලේබල්ය. චීන කාන්තාව කාරුණිකව අපට සත්කාර කළ අතර අත දිග හැර විය පැහැදම් කරන මිතුරා මුල්කර ගෙන චීනයට ආවේණික ආහාර දාමයන් තවත් ඇතැයි පවසා, ඒවාද ඇණවුම් කිරීමට අවසර ඉල්ලා සිටියේය. එලෙස පැමිණියේ බෝංචි සමඟ කැබලි රතු මිරිස් එක්කාසු කර සකසා ගත් වෑංජනයක් බඳු ආහාරයකි. ඉන්පසුව පැමිණියේ දිය ලුණු සහ ගොරකා මිශ්‍රණයක ගිල්ල වූ කංකුන් වෑංජනයකි. අප කුස පුරා ආහාර ගත්තේ කොරෝනා බීම බෝතල් කීපයක්ද හිස් කරමිනි.

ආහාර දාමය පිළිබඳ මා සිටින්නේ සතුටින් වග දැනගත් මා මිතුරු තෙමේ චීන ආහාර වර්ග පිළිබඳවත් ලංකාවට පැමිණි චීන ජාතිකයන් අගනුවරට තදාසන්න උප නගරයන්වල චීන අවන්හල් සහ බොජුන්හල් ආරම්භ කළ ආකාරය පිළිබඳවත් පැහැදිලි කිරීමක් කළේය. ඔහුගේ අදහස්වලට අනුගත වුවහොත් 80 දශකයේ මුල් භාගයේ මෙරට චීන අවන්හල් තිබී ඇත්තේ දෙකක් පමණය. චීනය සමඟ කොතෙක් වෙළෙඳ ගනු - දෙනු සිදු කළත් එවකට පෙරාතුව පැවැති සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව චීන අවන්හල් මෙරටදී විවෘත කරනවාට මනාපයක් දක්වා නැත. එයට දැඩි විරුද්ධතාවක් දක්වා තිබෙන්නේ එවකට පැවැති සභා ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා. ඔහු පවසා ඇත්තේ අවන්හල්, බොජුන්හල් සමඟ අනුයාංගික චීන දෑ ද මෙරටට පැමිණිය හැකි යැයි කියාය. තමා කුඩාවකු අවධියේදී තම මවද කැටුව එවැනි එක ප්‍රථම අවන්හලකට වැදී ආහාර ගත් අතීතයත් එදවස සහ අද අතර චීන අවන්හල්වල කෑම වට්ටෝරු වෙනස් වූ ආකාරය පිළිබඳවත් ඔහු ඛේට ග්‍රන්ථි අධිකව ක්‍රියාත්මක වන ආකාරයේ පැහැදිලි කිරීමක් කළේය. අවසන් වශයෙන් ඔහු පවසා සිටියේ අවශ්‍ය නම් නිවැරැදි චීන ආහාර සහ අද චීන යැයි පවසා සැලෝලයිඩ්කරණය කර විකුණනු ලබන ආහාර අතර වෙනස පහදා දීමට මෙරටට පැමිණ චීන ආහාර ව්‍යාපාරයක් ලෙස කළ පැරණි චීන ජාතිකයකු මුණගැස්සවිය හැකි බවයි. ඒ සඳහා අපි එකෙණෙහිම ගමන් ආරම්භ කළෙමු.

මා අපේක්‍ෂා කළේ හීන් උසැති සිරුරක් ඇති චීන ජාතිකයකුහමු වීමය. නමුත් හමු වුණේ තරමක් තරබාරු කලක් කළුවන්ව පැවැති හිස කෙස් මේ වන විට තඹවන්ව ඇති චීන ජාතිකයෙකි. ඔහු කදිමට සිංහලද උච්චාරණය කළා. හමුවීම යන්න දෙදෙනෙක් අතර ඇති වන කෙටි පිළිසඳරක් නම් එහි සොඳුරු බව රැඳී පවතින්නේ කෙටි කාලයක් සහ ඉන් පසුව ඇති කරනු ලබන දුක්මුසු හැඟීම මත බව සිතූ මම චීන ජාතිකයාගෙන් අසා සිටීමට බලාපොරොත්තු වූ සියල්ල ඇසීමට තීරණය කළෙමි.
අර්ධ පාරගම්‍ය රෙදි කඩක් වැනි සරමක් ඇඳ සිටි චීන ජාතිකයා මා ඇසූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ගොනු කරන්නට වුණේය.

දැන් බක්කර රස්සාව කරන්න ගාල්ල - මාතර අය යාපනයේ ගියා වගෙයි තමයි අපි චීනයේ ඉඳලා ලංකාවට ආවේ. ඒ සිරිමාවොගෙ කාලෙ නෙවෙයි. මිනිස්සු වරදවා වටහා ගන්න තැන එතන. අපි ආවේ ජේ. ආර්. ජනාධිපතිතුමාගෙ කාලයේදී. ඒ කාලේ ගුවන් ගමන් මාසයකට 2යි චීනයට තිබුණේ. ඒකත් ඉන්දියාවේ ඉඳලා නතර වෙවී ගිය ගමනක්. මම චීනයේදි කළෙ කෝකි රස්සාව. ලංකාවට ඇවිත් අපි 4 දෙනෙක් චයිනිස් රෙස්ටොරන්ට් එකක් දැම්මා. ඒ කාලෙ අපි රෙස්ටොරන්ට් කියලා කිව්වේ නැහැ, කිව්වේ බොජුන්හල් කියලා. ඒ කියන්නේ චීන බොජුන් හල්. බොජුන් හල් අවන්හල් වර්ග කරලා මහ නගර සභාව ලයිසන් දෙන්න ගත්තේ අපි පාවිච්චි කරපු නම හින්දා.

ඒ කාලේ අපි ඇත්තටම චීනයෙන් ගෙන්වන්න ඕනෑ දේවල් මාසයකට දෙපාරක් ගෙන්න ගත්තා. ඒ කියන්නෙ අපි මෙහේ විකුණුවේ චීන සාම්ප්‍රදායික ආහාරනේ. ඒවා සකස් කරන්න එක එක ජාතියේ විනාකිරි වර්ග, සෝස් වර්ග, එතකොට හතු වර්ග ඕනෑ වුණා. දැන් ලංකාවේ ඉන්න ගම් උෟරාගෙන් නියම රස තියෙන චීන ක්‍රමයේ උෟරු මස් වෑංජනයක් උයන්න අමාරුයි. ඒකට චීනයෙන් ප්‍රමිතියට හදපු උෟරු මස් ගෙන්වන්න ඕනෑ. මාළු වුණත් එහෙමයි. මාළු ජාති ගොඩක් චීන ආහාරවලට එක්වෙන්නේ අමුවෙන් හරි තම්බලා හරි. සැර මාළු ජාති මොනවවත් ඒකට ගන්නේ නැහැ. මාළු තම්බන්න ඕන කරන අඩුම කුඩුම ඔක්කොම චීනයේ නිෂ්පාදනය කරන කුළුබඩු ජාති. චීන ක්‍රමයට බත් උයන එකත් දැන් ලංකාවේ තියෙන හාල් වර්ගවලින් කරන්න අමාරුයි. මොකද දැන් තියෙන්නේ තම්බලා ගත්ත හාල් වර්ග. අන්න ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න හින්ද තමයි අපි හැම දෙයක්ම චීනයෙන් ගෙන්න ගත්තේ. ඒකට ලොකු වියදමක් ගියා.
ඒ හින්ද චීන කෑම කිව්වම ටිකක් වියදම් කරල කන්න ඕන දෙයක් කියන අදහස සමාජයට ගියා. ඒ හින්ද අතේ මිටේ සල්ලි තියෙන අය තමයි අපේ බොජුන්හල්වලට ආවේ. දැන් වගේ මකරෙක්ද පත්තෑයෙක්ද කියල හොයන්න බැරි බෝඩ් ගහපු රෙස්ටුරන්ට් ඒ කාලේ නැහැ. පස්සෙ පස්සේ අපේ අයම චීන කෑම හදන්න එක එක මගඩි කරන්න ගත්ත. හැබැයි ඇත්තම කතාව ඒකට මුල් වුණේ අපේ අයම නෙවෙයි. දැන් මම කඩේ කරපු කාලේ අත් උදව්වට සිංහල කොල්ලෙක් ගත්ත. මනුස්සයා ඊට පස්සේ කළේ මම ගාව වැඩ කරපු චීන කොල්ලෙක් එක්ක එකතු වෙලා වෙන කඩයක් දා ගත්ත එක. එතැනදි චීන - ලංකා එකතුවක් වුණා. අපි ඇත්තටම චීන කෑම ලංකාවට ගෙනාවේ සල්ලි හොයනවා කියන එකම මුල්කරගෙන නෙවෙයි. ඒත් අපෙන් පස්සේ අය ව්‍යාපාර කළේ සල්ලිම හොයන්න.

ඒ අය වැඩි වියදමක් දරල චීනයෙන් මොනවවත් ගෙනාවේ නැහැ. ඒවට ආදේශක ලංකාවෙන්ම හොයා ගත්ත. එහෙම කළේ වැඩි මුදලක් හරි හම්බ කරන බලාපොරොත්තුවෙන්. හැබැයි ඒ අය චීන කෑම වට්ටෝරු විනාශ කළා වගේම ඒ අය ලංකාවෙන් ගන්න ආදේශකවලට හරි හමන් මිලක් ගෙව්වෙත් නැහැ.
මම උදාහරණයක් කියන්නම්. යොමි යැන් සුප් කියන්නේ චීනයේ සාම්ප්‍රදායික සුප් වර්ගයක්. බොහොම ප්‍රණීත අධික ශක්තියක් තියෙන සුප් වර්ග අතරින් මුලට ඉන්නේ මේ යොමි යැන්් සුප් එක. අද වෙද්දි දැල්ලෝ, උෟරු මස්, හරක් මස්, දැල්ලෝ, ඉස්සෝ මේ හැම මාදිලියකින්ම යොමි යැන් සුප් වෙළෙඳපොළට ඇවිත් තියෙනවා. සුප් කෝප්පයක් රු. 1,500, 2000යි. මේ සුප් එකට ගත්තේ චීනයේ තිබෙන ජින්සෙන්වලට සමාන ශාකයක අල වර්ග. දැන් ඒක චීනයෙන් ගෙන්වන්නේ නැහැ. ඒ වෙනුවට ගන්නේ මහ අරත්ත. හීන් අරත්තවල අල නැහැ. ඒ වුණාට මහ අරත්තවල අල තියෙනවා. මහ අරත්ත අලය අරගෙන තමයි අද අපි සාම්ප්‍රදායික සුප් එක හදන්නේ. හැබැයි අද මේක කවුරුවත් දන්නේ නැහැ. සුප් එකට දාන මස් වර්ගවලින් හරක් මස්, උෟරු මස්, මෘදු වෙන්න ඕන. දැන් ලංකාවේ මෘදු මස් නැහැනේ. තිබ්බොත් බලු මස් තමයි. පිටිකර, කකුල් කියන්නේ සතෙක්ගේ හයියම මස් කොටස. චීන ආහාරවලට ඒවා ගත්තේ නැහැ. ඒ වුණත් දැන් කරන්නේ එහෙම මස් අරගෙන තළල, තළල නරක් නොවන රසායන ද්‍රව්‍යයක පොඟවල දවසක් දෙකක් තියල අර සුප් එකට වත්කර ගන්න එක.

සුප් වර්ගවලට චීනයෙන් කිසිම සාම්ප්‍රදායික කුළුබඩු වර්ගයක් ගේන්නෙ නැහැ. යකිනාරම්, අහු, ගොරක, හීන්කොච්චි, දවුල් කුරුඳු වගේ දේවල් අරගෙන තමයි ඒ අදාළ රස වර්ග හදා ගත්තේ. අනික බිම්මල්. අපේ රටේ මස්රූම් (බිම්මල්) වර්ග 13ක් තියෙනවා. සීත කාලයට පවා හැදෙන ඒවා. ඒවා එක එක රස ජාතිවලින් සමන්විතයි. දැන් මස්රූම් චීනයෙන් ගේන්නේ නැහැ. මෙහේ ගෙවල්වල හැදෙන හතු ජාති එක එක ප්‍රමාණයෙන් අරගෙන මස්රූම් රස තියෙන එසන්ස් එකක් ඒකට පාවිච්චි කරනවා. විනාකිරි වර්ග, සෝස් වර්ගත් එහෙමයි. දැන් කටු ලොවිවලින් විනාකිරි හදනවා. ඒ වගේ දේවල් හොඳයි. ඒත් මම කියන්නේ ගන්න ආදායම් හැටියට දෙයක් ලංකාවටත් දෙන්න ඕන කියල.

අනෙක් ආහාර වර්ග වුණත් එහෙමයි. දැන් චීනය තමන්ගේ රටෙන් පිට ගිහින් කෑම ජාති විකුණන ව්‍යාපාරික ප්‍රජාව මුල් කරගෙන හැම රසයක්ම කෘත්‍රිවම නිෂ්පාදනය කරල විකුණනවා. ඒ කියන්නේ චීන හාල්වල රසය, සුවඳ. නූඩ්ල්ස් ගත්තොත් රස - සුවඳ. ඒවා හැම එකක්ම කෘත්‍රිම නිෂ්පාදන. ඇත්තම කතාව දැන් චයිනීස් කියල දෙයක් තියෙනවා. හැබැයි එතැන කෑම නැහැ. අඩුම ගාණෙ මමවත් අවුරුදු ගාණකින් චයිනීස් කෑම වේලක් කෑවේ නැහැ. තියෙන ඒවා වහ කියල දැන දැනත් කන්න බයයි.
මට පොඩි ඔක්කාර ගතියක් දැනුණා. භෝජන සංග්‍රහයකට සහ එහි සංස්කෘතික වටිනාකමට ඇති කැමැත්ත නොවන්න බඩේ කලබැගෑනිය මුවින් පිට වෙන්නත් ඉඩ තිබුණා.
කතාව - ප්‍රභාත් අත්තනායක

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger