මෙහි ඉදිකිරීම පිළිබඳ පුරාවෘත්තය ඉතා රසවත් එකකි. එසේම මෙම දෙවොල ඉදිකර තිබෙන්නේ තුන්වන වික්‍රමබාහු රජතුමාගේ අගමෙහෙසිය වූ චිරප්‍රසිද්ධ හෙණකඳ බිසෝබණ්‌ඩාර දේවියට අයත් වූ උයනකය. පසු කලෙක දේවිය මෙම දෙවොල ඉදි කිරීම සඳහා තමන් සතුවූ උයන පරිත්‍යාග කර ඇත.
ඇම්බැක්‌ක දෙවොල කතරගම දෙවියන් උදෙසා ඉදි වූයේ දාහතර හා පහළොස්‌වන සියවස්‌වලදී බවට ප්‍රකට මතයක් ඇත. මෙම දේවාලය අද ලී කැටයම් නිසා ජාත්‍යන්තර ලෙසින් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර බොහෝ විදෙස් සංචාරකයන් මෙහි ඇදෙන්නේ එහි ඇති අනගි ලී කැටයම් නැරඹීම පිණිසය. ඇම්බැක්‌ක දේවාලයේ ලී කැටයම්වලට නුවර යුගයේ විශේෂ අනන්‍යතාවක් ඇති අතර එම කැටයම් විශාල සංඛ්‍යාවක් අපේ පැරණි සම්ප්‍රදායන්ට අයත් ඒවා ලෙසින් සැලකේ.
ඇම්බැක්‌ක දේවාලයේ උපත පිළිබඳව ඇති පුරාවෘත්තය ඉතා රසවත් එකකි. අදින් වසර බොහෝ ගණනකට පෙර ඇම්බැක්‌ක ගමට යාව පිහිටි රංගම නමැති ගමේ ඉතාමත් ප්‍රසිද්ධ බෙර වාදකයකු සිටි අතර ඔහුට ගමේ උදවිය කීවේ රංගම පනික්‌කියා කියාය. ඉතාමත් ශූර බෙර වාදකයකු වූ ඔහුට දැඩි ලෙස අපල කාලයක් උදා වී මුළු සර්වාංගය පුරාම කුෂ්ඨරෝගයක් ඇති විය. දැකීමට අප්‍රිය පිළිකුල් සහගත මෙම රෝගය නිසා රංගම පනික්‌කියා ඉතාමත් අසරණ විය.
දිනක් තමාගේ හිතවතුන් සමග මේ රෝගය පිළිබඳ කතාකරමින් සිටින විට තවත් අයෙක් කීවේ රුහුණු කතරගම කදිර දෙවිඳුන්ට බාරයක් වන ලෙසයි. පහුවදාම හොඳට පේවී කතරගම දෙවියන්ට බාරහාර වූ පනික්‌කියා කියා සිටියේ දෙවියන් තමන් සුවපත් කළහොත් කතරගමට පයින්ම ගොස් ඇසළ පෙරහැරේ තේවාව කරන බවයි. කෙම්මුර කීපයක් ගෙවුනි. පුදුමයකි රංගම පනික්‌කියා පුදුමයට පත් කරවමින් ඇඟේ තිබූ කුෂ්ඨරෝගය සහමුළින් සුව විය.
බාර වූ ලෙසින්ම රංගම පනික්‌කියා කතරගම ගොස් පෙරහැරේ බෙර වාදනය කරමින් දෙවියන්ට පූජෝපහාර දැක්‌වීය. මෙසේ රාජකාරියේ යෙදෙන අතර ඔහු මහලු වියට පත්විය. අතපයද වාරු මදි විය. දිනක් දේවාල භූමියේ ගසක් යට වැතිර මෙසේ සිතන්නට විය. මම දැන් හුඟක් වයස්‌ගතයි. අනේ මට ලබන පෙරහැරේ බෙර වාදනය කරන්නට ඇහැක්‌වේද? මම මළොත්? අනේ දෙවියනේ මට තවත් කාලයක් මේ තේවාව කරන්ඩ වාරු ලබාදෙන්ඩ" මෙසේ සිතමින් ගස් සෙවණේ හාන්සි වී සිටියදීම බෙර වයන්නාට නින්ද ගියේය.
රංගම පනික්‌කියා මද නින්දේ සිටියදී සුදු සලු පිළියෙන් සැරසුන කතරගම දෙවිඳු හීනෙන් පෙනී පනික්‌කියාට මෙසේ කීය. "පින්වත ඔබ බිය වන්න එපා ගෙදර යන්න. ඔබට දින කීපයකින් යම් කිසි රුකක් (ගසක්) ලකුණක් පෙන්නාවි එතැන මගේ අනුහස් පවතී. ඉන් පසු ඔබ දුර ගෙවා මෙහි නොඑන්න ඔබේ තේවාව එහි කරන්න." මේ හීනෙන් ඇසුව රංගම පනික්‌කියා දෑස් පිසදමා බැලුවත් එහි දෙවියන් පෙනෙන්නට නැත. තේවාව අහවර කර ඔහු ගම රට බලා ආවේය.
රංගම පනික්‌කියා ගමට විත් දින කීපයක් ගතවිය. නමුත් කිසි වෙනසක් දක්‌නට නැත. එසේ සිටින අතර දිනක් ඇම්බැක්‌කේ උයන්වත්ත බලාගන්නා උයන් පල්ලා දුර ඇදීගිය කදුරු අත්තක් කපා දැමීම සඳහා අත්තට පිහිපාර කීපයක් ගැසීය. පුදුමයකි. ඒ පිහිපාර වැදුන තැනින් බඹ හතක් උසට ලේ දහරක් විද්දේය. මෙය ඇසූ රංගම පනික්‌කියා එතැනට දුවගොස් තමා දුටු සීනේ විස්‌තර කී අතර උයන්පල්ලා වහා ගෙදරට දුව ගොස් ඉදී තිබුණ බත් හා වෑංජන රඹ පතක බෙදා ගෙනවිත් පිළිගැන්වීය. එදාසිට උදේ සවස රංගම පනික්‌කියා එම කදුරු ගස අසල බෙර වයා තේවාව ඉටු කළේය.
පසුව තුන්වන වික්‍රමබාහු රජතුමාගේ අණින් මෙහි ඇම්බැක්‌ක කදිර දේවාලය බිහි විය. රජතුමා තමාගේ ගමන් බිමන් සඳහා පාවිච්චි කළ ඇත්දළ කැටයමින් යුත් දෝලාවද මෙම දේවාලයට පූජා කළ අතර එය පෙරහැර දිනට පෙරහැරේ රැගෙන යන බව පැවසේ. එසේම කන්ද උඩරට පිහිටි මෙම කතරගම දේවාලයට නින්දගම්ද පූජා කළ රජතුමා තේවාකරුවන්ද පත් කළේය.
දේවාලය සඳහා රාජකාරි හැටහතක් සිදු කරන අතර ඊට අයත් ගම්වර දහයකි. කංකානි ගෙදර, වීදියෙ ගෙදර, මුල්ගම්පලගේ, ගල්ලෑල්ලෙගෙදර, මනන්දිවෙල, සියඹලාගොඩ, රන්ගම, තුන්බක්‌කේ, දොඩන්දෙණිය, තලවතුර ඒ ගම්වරයන්ය. මෙහි බස්‌නායක නිලමේවරයකු රාජකාරි වශයෙන් පත්වන අතර පාලනය සඳහා විදානේවරයකුත් වන්නකුරාළ කෙනෙකුත් පත් කර ඇත. මුල් අවධියේ සිටම දේවාලයට ලැබෙන වී අස්‌වනු පංගු රැස්‌කර ගබඩා කිරීම සඳහා පැරණි ක්‍රමයට ටැම්පිට ඉදි කළ වී අටු දෙකක් ඇත.
ඇම්බැක්‌ක දේවාලය හා සම්බන්ධ තවත් නිර්මාණ කීපයක් අපට දැකගන්නට ඇත. ඇම්බැක්‌ක රිට්‌ටාගෙය, සිංහාසන මණ්‌ඩපය යන අගනා නිර්මාණ දේවාල භූමියේ පිටත පිහිටා ඇත. සෙල්මුවා වාහල්කඩක්, මහදේවාලය හා මඟුල් මඩුවත් පල්ලේ දේවාලය හා මුළුතැන්ගේ ඇතුළු වී අටුව හා බුදු මඳුර දේවාල මළුවේම ඒකාබද්ධ ලෙස පිහිටා ඇත. මහදේවාල ගෘහය කොටස් පහකින් සමන් විත වන අතර හේවිසි මඩුව හෙවත් දිග්ගෙයක්, සඳුන් කුඩබත්, මැද දිග්ගේ හෙවත් අන්තරාලයත්, පිරිත් මඩුවත්, දේව විමානයත් ඊට අයත් වේ.
මෙම දිග්ගේ වහල රඳවා ඇත්තේ ගම්මාලු නමැති දැව වර්ගයේ කණු උඩය. මේ කණු හැම එකකම විසිතුරු ලී කැටයම් දක්‌නා ලැබේ. කණුවල සහ අනෙකුත් බාල්ක තලාඳ ආදියේ ඇති මුළු කැටයම් 514 ක් බව සඳහන්වේ. ලාංකීය ලී කැටයම්කරුවන්ගේ විශ්මිත නිර්මාණ රාශියක් මෙහිදී දැක ගැනීමට හැකිවන අතර අද තරම් උපකරණ සුලබ නැති යුගයක මෙතරම් සූක්‍ෂම නිර්මාණ අපේ කලාකරුවන් විසින් නිර්මාණය කිරීම පිළිබඳව ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුය. අද බොහෝ නව නිර්මාණයන්ට මෙම ඇම්බැක්‌ක ලී කැටයම්. උපයෝගී කරගෙන ඇති අයුරු අපි දකිමු. රංගම පනික්‌කියාගේ බාරය තුළින් බිහි වූ ඇම්බැක්‌ක දෙවොල අපේ රටට කොතරම් ගෞරවයක් ලබාදී ඇද්ද යන්න පිළිබඳව අපේ විමසීමට ලක් කළ යුතු අතර මෙවැනි අනගි දේශීය උරුමයක් ආරක්‍ෂා කර ගැනීම මුළු ජාතියේම වගකීමක් බැව් සඳහන් කළ යුතුය.
සෙංකඩගල නගරවරයෙහි සම්භවය හා තදාශි‍්‍රත තොරතුරු සපයන අතිශයින් රසවත් සාහිත්‍ය ප්‍රවාහයක් නම් ජනප්‍රවාදයන්ය. මෙවැනි ප්‍රවාදයකට කැටිවූ කරුණු ඇතැම් විට ඓතිහාසිකවද සනාථ කළ හැකි අවස්ථා ඇත. ක්‍රි.ව. 1360 බඳු වකවානුවකදී ගම්පොල අග්‍ර රාජධානිය කර ගනිමින් ආධිපත්‍යය හෙබවූ තෙවැනි වික්‍රමබාහු රජු හට, අභිනව රාජකීය පුරවරයක් ඉදිකර ගැනීම රිසි විය.
එතුමා පුරාණ වාස්තු විද්‍යාව හා භූ®මි පරික්ෂාව පිළිබඳ තත්වඥයන් කැඳවා සිය අභිරුචිය විස්තර කළේය. ඔවුහු එබඳු යෝග්‍ය ස්ථානයක් සොයා යන විට මුගටි ගැරඩි සටනක් සිදුව, මුගටියා පැරද පලා යන සැටි දුටුවහ. ඒ ප්‍රවෘත්තිය ඔවුන් විසින් රජුට දන්වන ලදුව, ඒ නිමිතිකර, එකී ජයග්‍රාහී ස්ථානයේ සෙංකඩගල නගර නිර්මාණය සිදුවී යැයි සැළකේ.
වික්‍රමබාහු රජුගේ බිසොවක වු හෙණකඳ බිසෝබණ්ඩාර නම් වු අද්භූත චරිතයක් හිමි දේවිය විසින් මුල්ගල තබන ලද බැවින් “ හෙණකඳ “ යන්න ශබ්දධර්මීය වශයෙන් වෙනස් වී ගොස් “සෙංකඩ “ නම් වීය යනාදී වශයෙන් වූ ප්‍රවාදයක් ඇත.
එකී හෙණකඳ නම් බිසොව උඩුනුවර “මාත්ගමුව“ නම් ගමේදී බෙලි ගෙඩියකින් උපන් බවත්, ඈට අයත් මල්වත්තක් ඇම්බැක්කේ තිබුණු බවත් කියවේ. ඇම්බැක්කේ දේවාලයද වික්‍රමබාහු රජු විසින් හෝ එම දේවිය විසින් කරවන ලද බව පැවසේ. ඒ ක්‍රි. ව. 1371 වන වකවානුවකදීය. මේ පිළිබඳ වැඩි විස්තර “ඇම්බැක්කේ වර්ණනාව නම් ග්‍රන්ථයේ පැනෙයි.
හෙණකඳ බිසව ඇම්බැක්ක දෙවොල් බිමේ දෝලාවෙන් ගිය බැවින් දේව කෝපයෙන් දෝලාදණ්ඩ බිඳී ගිය බවත් ඈ විසින් දේව දෝෂය මහ හරවා ගනු පිණිස දෙවොලට ප්‍රාකාරයක් බඳවන ලද බවත් ප්‍රවාදානුගතය. උඩුනුවර වරකාගොඩ පිහිටි සින්දුරම් කන්ද ඇගේ වාසභවනය වීලු. ඇගේ මරණය සිදුවූ ආකාරයද අභිරහසකි. එක් ප්‍රවාදයකට අනුව පුස්පිටිය නම් ගමේදී කඳකුමරා විසින් ඇගේ ගෙල මිරිකනු ලැබ මරා ඔහුගේ සහායිකාව කරගත්තේලු. තව ප්‍රවාදයකට අනුව පුසුල් පිටිය විහාරය වැඳීමට පැමිණි ඇය එහිදී රෝගයකින් මළ අතර කහට ලී දෙණක බහා ගඟේ පා කරනු ලැබූ ඇගේ දේහය ගම්පල කහටපිටියට පාවී ආවේලු .මේ බිසව ආදාහනය කළ තැනට ඇම්බැක්ක, ලංකාතිලක , වේගරිය, වල්වාසගොඩ, යන දේවාල සතරින් වාර්ෂිකව දිය කැපීම සඳහා පෙරහැර පැමිණීම චාරිත්‍රයක් වී ඇතැයි කියනු ලැබේ.
නගරයේ උපත පිළිබඳ ඉහත දැක්වූ මතයෙහිම, අතුරු මුහුණුවරයන්ද ඇත්තේය. එනම් වික්‍රමබාහු රජුට සෙංකණ්ඩ නමින් බිසවක්ද වීය යනු ඒ අතර එකකි. වෙන්කන්ථම් යනු ශිවදෙවි සඳහා වූ නාමයක් බැවිනුත් ශිව කෝවිලක්ද මෙහි පිහිටි බැවිනුත් එනම් විය යනු තවත් අදහසකි. සෙංකඩගල නම් වූ රත් පැහැති පාෂාණයක් නගරය අසල පිහිටි බැවින් ඒ නම් වීය යනු තවත් අදහසකි. පළමු පුරාවෘත්තය, හෙන්රි පාකර් සිය Village Folk Tales of Ceylon නමින් සංග්‍රහ වූ ජනකථා මාලාවේ දෙවැනි වෙළුමෙහි වාර්තා කරයි.
මේ සිද්ධියත් සමග සෙංකඩගල නගරය ශුද්ධ ස්ථානයක් බවට පත්වූ ආකාරය විස්තර වන පුවතක්ද දුම්බර විත්ති පොතේ එයි. ප්‍රවෘත්තියට අනුව පේරාදෙණියේ රජ කළ වික්‍රමබාහු රජුගේ දේවිය අස්ගිර දේවිය වෙනුවෙන් ඈ ආදාහනය කළ ස්ථානයෙහි අස්ගිරි නම් විහාරයක්ද පිහිටුවා සෙංකන්ඩ ශෛල බ්‍රාහ්මණයා වාසය කළ ස්ථානය නුදුරෙන් පළමුව නාථ දේවාලයද, පසුව රාජකීය නිවාස ස්ථානයද ඉදිකළ බව සඳහන් වේ.
මහනුවර නගරයේ වත්මන් මතුපිට පෙනුමට හාත්පසින් වෙනස් තත්වයක් පූර්ව සමයෙහි වී යැයි, ඒ ආශි‍්‍රත ප්‍රවාද කථා විමංසනය කරන විට පෙනේ.
සමස්ත නගරයේ පර්යන්තය විශාල පහත් බිමක ස්වරූපය ගැනුණි. ඒ පහත් බිම පෙර විශාල වැවක් වශයෙන් තිබූ බවත් මුඛ පරම්පරාවේ සඳහන් වේ. ඒ අනුව වර්තමානයේ ඇති පුෂ්පදාන මාවත අසල පුල්ලෙයාර් කෝවිල පිහිටි ස්ථානය ඒ පුරාණ වැවේ එක් කෙළවරකි. එතැන ස්ත්‍රී පුරුෂ බොහෝ දෙනෙක් ස්නානය කරන තොටුපලක් විය. රෙදි අපුල්ලන ගල් පොත්තක්ද එතැන තිබිණි. ඊට උඩු පැත්තෙන් සුව පහසු රුක් සෙවණක විසූ තව්සකු හට දිනක් සිහිනයක් පෙනිණ.
එනම් කිසියම් අද්භූත කෙනෙක් පෙනී සිටිමින් සිය හිස මත රෙදි ඇපිල්ලීම වහා නවතා දමන මෙන් තව්සාගෙන් ඉල්ලා ඇත.
පසුදා උදෑසන කිසියම් ගුප්ත ඉගියක් අනුව ක්‍රියාත්මක වු තව්සා වහා ගොස් මිනිසුන් රෙදි අපුල්ලන ගෙල්පොත්ත ඔසවා බැලීය. ඔහු පුදුමයට පත්කරමින් එතැන පුල්ලෙයාර් හෙවත් ගණදෙවියන්ගේ ප්‍රතිමාවක් වූ බව කියනු ලැබේ. වත්මන් ගණදෙවි කෝවිලේ උපතට තුඩුදුන් සිද්ධියද එය බව කියැවේ.
මහනුවර වීදි පද්ධතියද අද වහරන අන්දමට වඩා ස්ථානීය වශයෙන් හා නාමික වශයෙන්ද වෙනස් වූ බව සිතිය හැකිය. අද ඇති ත්‍රිකුණාමලය වීදියේ එක් කොටසක පෙර කියූ වැවේ රොන් මඩ හා ජලය රැඳී පැවති නිසාදෝ බොරවැව වීදිය හෙවත් බොරවේ වීදිය නම් විය. වත්මන් බ්‍රවුන්රිග් සදියේ කොටසක් දස්කර වීදිය නම් වූ බව පැවසේ. එහි කෙත් පාළු කරන පක්ෂීන් පළවා හැරීම පිණිස නිල කළ මිනිසුන් පදිංචිව සිටියහයි අනුමාන කළ හැකිය. තවත් එබඳු පැරණි වීදි අතර වර්තමානයේදී තවදුරත් භාවිත වන නම් මෙන්ම අභාවිත නම්ද ඇත. උඩුනුවර වීදිය (බ්‍රවුන්රිග් වීදියේ කොටසකි) යටිනුවර, වීදිය, කොටුගොඩැල්ල වීදිය, කවිකාර වීදිය (රාජකීය කවි මඩුවේ ගාන්ධර්වයන් පදිංචිව සිටි කොටස,) සවර්ණ කල්‍යාණ වීදිය (වත්මන් රජවීදිය) වෛකුණ්ඨ වීදිය (විෂ්ණු දේවාලයට පැමිණීමට ඉදිකර තිබු වීදිය) පල්දෙණියේ වීදිය (වත්මන් කොළඹ වීදියේ කොටසක්) රිදී වීදිය (වත්මන් කොළඹ වීදියේ තව කොටසක්) දළදා වීදිය (වත්මන් වෝඩ් වීදිය) කන්දෙ වීදිය, මහ දේවාල වීදිය වර්තමානයේ අවිද්‍යාමානය ) අලුත් වීදිය, (අද අවිද්‍යාමානය) දේව වීදිය (මේ දෙපස පූජනීය ගොඩනැගිලි තිබෙන්නට ඇත) හස්ති වීදිය (දළදා පෙරහැරට කැඳවන හස්තීන් ගාල්කර සිටි වීදිය විය හැකිය)
මහනුවර නගරයේ ඉතිහාසයට සම්බන්ධ ප්‍රවාද අතර ඇතැම් ප්‍රදේශ හා පුද්ගලයන් පිළිබඳ ගෙතුණු ඒවාද ඇත. “ මහනුවර රජකළ පළමුවන රාජසිංහ රජු වරක් ගැමියෙකුගේ වෙස්ගෙන මාරස්සන නම් ගමෙහි තරුණියක සමඟ හාදවී ගමේ බලවතුන් සමඟ සටන් කර ඈ පැහැරගෙන ආ බවත් අවනඩුව රජුවෙත සැළකර සිටීමට පැමිණි ගැමියන් ත්‍රාසයට පත් කරමින් රජු ඒ තරුණියට බිසෝ පළඳනා පළඳවා ඈ හා අසුන්ගෙන සිටි බවත් එක් ප්‍රවාදයකින් කියවේ. තවත් ඉතා ප්‍රකට ප්‍රවාද දෙකකට අනුව වර්තමානයේ දෙයියන්නෙ වෙල නමින් වහරේ ඇති පෙදෙස පෙර රජුට අයත් වූ වෙල්යායක් බවත් එහිදී රජු හා ගෙවිලියක අතර කවි සංවාදයක් කෙරුණු බවත් සඳහන් වේ. එසේම, මහනුවර බහිරවකන්ද එනමින් ප්‍රකටව ඇත්තේ පුරාතනයෙහි එම ස්ථානයෙහිදී වාර්ෂිකව කන්‍යාවන් බිලිගන්නා බහිරවයෙකු සිටි නිසා බවට ජනප්‍රවාදයක් ඇත. එකී බහිරවයා ව්‍යාජ ලෙස වෙස් වලාගත් මිනිසෙකු බව හෙළිවූයේ එවකට සිටි දුනුවිල නම් නිලමේගේ පෙම්වතිය වූ වැලිගල මැණිකේ නම් කන්‍යාවිය බිලිපුදට තේරීමෙන් පසුවය. දුනුවිල නිළමේ රහසින් ගොස් බහිරවයා මැරූ විට සත්‍ය හෙළිවූ බව පැවසේ. ඇතැම් මුලාශ්‍රයක මේ පෙම්වතුන් දෙදෙනා වූකලී කිරි ඇල්ලේ නම් කුමරෙකු හා නුවර වැවේ කුමරියයි. තවත් සමහරක, නම් ගම් නොදක්වන ලද තරුණියක හා තරුණයෙකු ගැන පුවතක් සේ සඳහන් වේ.
දළදා වහන්සේ වටාවූ ප්‍රවාද
මීළඟට සෙංකඩගල පුරයෙහි වැඩ වෙසෙන අතිශය වන්දනීය වස්තුවක් වන දළදා වහන්සේ සම්බන්ධව දීර්ඝ කාලවකවානුවක් පුරා ප්‍රබන්ධය වූ සාහිත්‍යාවලිය පිළිබඳ කිසියම් කථාබහක යෙදීම වැදගත් යයි සිතේ. දළදා වහන්සේ වටාගෙතුණු ප්‍රවාද පක්ෂයෙහිලා ගිණිය හැකි වෘත්තාන්ත කිහිපයක්ද වෙයි.
ශ්‍රීමත් දංෂ්ට්‍රා ධාතුන් වහන්සේ යම් රජෙකුට අයත් නම් ඔහුම අගරජු වශයෙන් පිළිගැනීමේ පැරණි සිරිත අනුව දළදා වහන්සේ හිමිකරගත් 1 වන විමලධර්මසූරිය රජ තෙමේද (1592 -1604 ) අවසාන සිංහල රාජධානිය වූ සෙංකඩගල පුරයට දළදා වහන්සේ වැඩමවා එහි දර්ශනීය මන්දිරයක් තනවා වඩා හිදුවා පීය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් අටසිය සූ පනස් (854) වැනි වර්ෂයෙහි ලක්දිව කිත්සිරි මෙවන් රජ කල ගුහසීව රජුගේ දියණිය හා බෑණනුවන් වූ හේමමාලා දන්ත කුමාර යන දෙදෙනා විසින් ලක්දිවට වැඩමකරන ලද ශි‍්‍රමත් දන්තධාතුන් වහන්සේ එකල අගනුවර වු අනුරාධපුරයෙහි දැකුම්කලු දළදා මැදුරක් කරවා එහි වඩා හිඳුවන ලදහ.
එයින් පසු අගනුවර වෙනස් වීම අනුව II පොළොන්නරුවේ III දඹදෙණිය , IV කුරුණෑගල, V යාපහුව,VI ජයවර්ධනපුරය ආදී රාජාධානිවල වඩා හිඳුවන ලද්දේය.
හිරිපිටියේ රාළගේ සිහිනය
අවසාන වශයෙන් දළදා වහන්සේ වැඩ සිටි ජයවර්ධනපුර රාජධානියේ හවෙනි පැරකුම්බා රජහුගේ කාලයෙහි සිංහල රාජ්‍යයට පැමිණෙන උවදුරු දුටු කිසියම් දෙවියෙකු විසින් “කෝට්ටේ කලාලේ නොහිටුවා දත මැදගෙන පලයන් රාළේ “ යන්න හිරිපිටියේ රාළට හීනෙන් කියන ලද්දේය .” කෝට්ටේ නොසිට දළදාව රැගෙන යායුතු බව කියුයේයැ”යි තේරුම්ගත් හිරිපිටියේ රාළ එදිනම දළදා වහන්සේත් රැගෙන පලාගොස් එය දෙල්ගමු වෙහෙරේ සුරක්ෂිත කොට වඩා හිඳුවීය.
දළදාව කෝට්ටේ සිට රැගෙන ආ හිරිපිටියේ රාළ දෙල්ගමු වෙහෙරේ කුරහන් ගලක් යට එය සඟවන ලද බවට ප්‍රවාදයක් පවතී. ඒ සමයෙහි දැතිගම අඹුලෙන වාසය කළාවූ රජ බිසවක් හා හොලොම්බුවේ ස්ත්‍රී පුරයේ සිටි, රාජපි‍්‍රය තවත් බිසවක් දළදා හිමි වැඳීමට පූජා ද්‍රව්‍යයන් සොයමින් සිටියහ. කොණ්ඩල ගම් මැද්දේ මහගෙදර නම් ගම් ප්‍රධානියාගේ කුඹුරක පිහිටි කලුගලක් පලුතුනකට පැලී ගොස් එතැන අපූරු නෙළුම් මල් කීපයක් මේ දිනවලම පිපී තිබිණි.
ඒ බිසෝවරුන් ඒ මල් ගෙන දෙල්ගමු වෙහෙරට ගොස් දළදා පිදූ බවත් එතැන් සිට ඒ ගම නෙළුම්දෙණිය වූ බවත් ජනප්‍රවාදයේ එයි. නෙළුම්දෙණිය කොළඹ නුවර පාරේ 41 /42 සැතපුම් කණු අතර පිහිටා ඇත. දළදාව සෙංකඩගල රාජධානියේ වඩා හිඳුවීම පිණිස දළදා මන්දිරයක් තනන වකවානුවෙහිදී විමලධර්මසූරිය රජුද සම්බන්ධ කොට පැන නැගුණු ජනප්‍රවාදයක් පවතී. එනම් දළදා මන්දිරයේ පියස්සෙහි හෝ උඩු වියනෙහි සිතුවම් අඳිමින් සිටි සිත්තරාට බුලත් සපා කෙළ ගැසීම පිණිස පඩික්කම අවශ්‍ය වී එය තමාට ලංකරන ලෙස ගෝලයාට හඬගසා ඇත. සිත්තරාගේ මුව සමීපයට එකෙණෙහි පඩික්කම ලංවිය . කෙළ ගැසූ පසු යළි පහත් විය. ඒ විගස බිම බැලූ සිත්තරාට දැකගත හැකි වූයේ පඩික්කම තමා වෙත ලංකරන ලද්දේ රජු විසින් බවය. භයභ්‍රාන්ත වූ ඔහු පලංචියෙන් බිමට බැස සමාව ඉල්ලා රජු අබියස වැඳවැටුනු නමුත්, රජු ඉතා සාවධානව හා කාරුණිකව සිත්තරා අස්වැසූ බව ඒ ප්‍රවාදයේ කියවේ.
දළදා සාහිත්‍යාවලිය
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ භක්ති මුඛයෙන් හා සාදර පෙරදැරිව, වරින්වර විවිධ යුගවලදී නොයෙක් ප්‍රකට හා අප්‍රකට ලේඛකයන් විසින් ගද්‍ය හා පද්‍ය භක්ති සාහිත්‍යයක් ප්‍රබන්ධය කරනු ලැබ තිබේ. කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ්‍ය සමයේ ලියැවුණු සිංහල දළදා වංශය මේ කෘති අති පූර්වතම වෙයි. අනතුරුව මේ සිංහල දළදා වංශයද ආශ්‍රය කොට ගෙන ලීලාවතී රැජිනගේ රාජ්‍ය සමයෙහිදී ධර්මකීර්ති සඟරාජගුරු මහා ස්වාමීන් ලියූ පාලි දාඨාවංශය අපට හමුවේ. මේ කෘතීන්ගේ අරමුණ වී ඇත්තේ දන්ත ධාතුන් වහන්සේ සමඟ බද්ධ වූ සම්ප්‍රදායය සහ ඉතිහාස ප්‍රවෘත්තිය මෙන්ම උන්වහන්සේ විෂයෙහි බලපවත්වන්නා වූ චාරිත්‍රවාරිත්‍ර පුද පිළිවෙත් වර්ණනා කිරීමයි.
දළදා වහන්සේ වටා පබැඳුනු මේ භක්ති සාහිත්‍යය අතර, පද්‍ය නිර්මාණ බහුල යැයි කිව හැකිය. වඩා පූර්වතම වූ දළදා ගද්‍ය ආඛ්‍යාන වලින් කෙරුනේ. දළදාව පිළිබඳ වංශ පරම්පරාව හා ඉතිහාස පටිපාටිය වාර්තා කිරීම විය යුතුය. දාඨා වංශය,දළදා වංශය වැනි ගද්‍ය කෘති අතර ජන සම්ප්‍රදාය තුළින් පහළ වූ දළදා පූජාවලිය හා දළදා විත්ති යන කෘති මෙබඳු ගද්‍ය ආඛ්‍යානයන්ය. දළදා පූජාවලිය කුරුණෑගල සතරවන පැරකුම්බා සමයේ ලියැවුණකි. මේ කෘතිය පාලි දාඨා වංශයේ සමීප පරිවර්තනයෙකැයි හැෙග්. දාඨා වංශයේ එන වර්ණනාත්මක ගාථා පාඨ වඩා විස්තාරණය කළ ආකාරයෙන් රචිත සිංහල විස්තර වර්ණනාවකින් එය සමන්විතය.
ධර්මරත්න තෙන්නකෝන්
ආචාර්ය සාලිය කුලරත්න,
අංශාධිපති සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment