BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, December 1, 2014

ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද...?

මේ සියල්ල මැද, ඉදිරි ජනාධිපතිවරණය තුළ ඇති රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ අවකාශය ප‍්‍රගතිශීලීන්ට ඉතා වැදගත් වේ. එහි ඇති දෙපිල වන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර වාදය, යහ පාලනය, දූෂණය නැවැත්වීම, නීතියේ පාලනය වැනි ප‍්‍රගතිශීලී සටන් පාඨ පෙරදැරි කර ගත් මෛත‍්‍රී පාර්ශ්වය හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධය, පවුල් පාලනය, දූෂණය, අවනීතිය වැනි කාරණා ප‍්‍රවර්ධනය කරන මහින්ද රාජපක්ෂත්ය.
මෙහිදී මෛත‍්‍රීපාල විශ්වාස නො කිරීම වෙන ම කාරණයකි. එහෙත්, මහින්දට ඡන්දය දීම සඳහා මේ රටේ සැබැවින් සංවේදී කිසිදු පුරවැසියකුට හේතුවක් තිබේ ද...?

 
ඔහු දූෂණය නැති කරන බවක් නො කියනවා පමණක් නො ව, තමන් ළඟ දූෂිතයන්ගේ සොරකම් ගැන ලිපිගොනු ඇති බවත්, තමන් ඒවා අදින්නේ නැති බවත් කියයි. මේ රටක ජනාධිපතිවරයකුට කිව හැකි දෙයක් ද? ඔහු කියන්නේ තමන් සොරකම් කරන බව දන්නා මුත් තමන් ඒවාට එරෙහිව පියවර ගන්නේ නැති බව හා තමන්ට එරෙහිව යන්නට ආවොත් නම් තමන්ට ක‍්‍රියාමාර්ග ගන්නට සිදු වන බවයි. අපරාධයක් සිදු වන බව දැනගෙන එය වැළැක්වීම සඳහා තම බලතල පාවිච්චි නො කිරීම ද, ඒ ගැන තොරතුරු වසන් කිරීම ද නීතිය උල්ලංඝනය කිරීමකි.
මහින්ද පුන පුනා ඉල්ලා සිටින්නේ යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළාට තමන්ට කළ ගුණ සලකන්නැයි කියා ය.


අපි ඔහුට කළ ගුණ සැලකුවෙමු. යුද්ධය අවසන් කරන්නට ඔහුට ආර්ථික, සමාජ, දේශපාලන යටිතල පහසුකම් සැපයූ ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද...?


පසුගිය සමයේ අන්තර්ජාලයේ හා සමාජ වෙබ් අඩවිවල දැඩි ලෙස මෙම සමාජ ක‍්‍රමය විවේචනය කරමින් සිටි විශාල පිරිසක් දැන් සිය විවේචනයේ කේන්ද‍්‍රය බවට පත් කරගෙන සිටින්නේ විපක්ෂ පොදු අපේක්ෂකයා ය. මේ බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරා ම උග‍්‍ර රනිල් විරෝධියෝ ද වූ හ.

සාමාන්‍යයෙන් මොවුන් ගේ අදහස් ප‍්‍රචාරණය මෙවැනි එකකි. මේ සමාජ ක‍්‍රමය අන්ත දූෂිත ය. එය වෙනස් කළ යුතු ය. එය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ධනේශ්වර ප‍්‍රතිසංස්කරණ මිස සමාජවාදී අදහස් නො වේ. සමාජවාදියෝ ඔවුන්ගේ නිර්දය විවේචනයට ලක් වන පිරිසකි. එහෙත්, හදිසියේ ම ඔවුන්ට ධනේශ්වර ප‍්‍රතිසංස්කරණ ගැන ද විශ්වාසය නැති වී තිබෙන බවක් පෙනේ.
ඔවුන් ඊළඟට කියන කාරණයක් වන්නේ රනිල් ඒකාධිපතියකු බව, ඔහු පක්ෂය තුළ සජිත් වැනි නායකයන්ට මතු වන්නට නො දෙන බව, ඔහුව මාකට් කළ නො හැකි බව ආදියයි. මේ අතර ඔවුන්ගේ මාතෘකා වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, දූෂණය, මානව හිමිකම්, සංවර්ධන ගැටලූ ආදියයි.

ඔවුහු මහින්දට විකල්ප නායකයකු ලෙස කිසිවෙකු ප‍්‍රවර්ධනය කළේ නැත. රනිල්ට විරුද්ධව කලින් කලට සජිත්, කරු, චන්ද‍්‍රිකා, සෝභිත හිමි, සරත් ෆොන්සේකා, සරත් එන්. සිල්වා ආදීන් උඩ දමමින් සිටියත්, එසේ කළේ රනිල්ට කෙළවීම ම අරමුණ කරගෙන ය.

ඔවුන් මෛත‍්‍රීපාලට අකැමැති යයි කියන්නේ මෛත‍්‍රීපාල පසුගිය කාලයේ සිටියේ මහින්දගේ ආණ්ඩුවේ නිසා ය. ඔහු සමග එළියට එමින් සිටින්නේ ද සොරුන් පිරිසක් නිසා ය. හැබැයි, ඔවුහු මෛත‍්‍රීපාල දූෂිතයකු බව තවම නො කියති. අප නම් ඔහුගේ පිරිසිදුභාවය මනින්නේ සාපේක්ෂව පමණි. ඔවුන් මෛත‍්‍රීපාල සම්බන්ධයෙන් කියන්නේ ද ඔහුට මහින්ද පරදවන්නට බැරි බව ය. පණ මදි බව ය. කැඞී ආ කට්ටිය මදි බව ය. ගැම්මක් නැති බව ය.

ප‍්‍රගතිශීලීන්ගේ වේශ යෙන් පෙනී සිටිමින්, මෙම සමාජ ක‍්‍රමය දැඩි ලෙස විවේචනය කරමින් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියා මාර්ගවලට විරුද්ධ වෙන සුවිශේෂ බලවේගයක් මම නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒ අය අතරින් ප‍්‍රධාන ම බලවේගය වන්නේ ජවිපෙ හා එයින් කැඞී වෙන් වූ කණ්ඩායම් සමග සිටින පහළ මධ්‍යම පංතික කොටස් ය. ඔවුන් සමග කතා කර බැලූ කල දකින්නට ලැබෙන ප‍්‍රධාන ලක්ෂණයක් වන්නේ ඔවුන්ට මේ ක‍්‍රමය වෙනස් කරන්නට උවමනාවක් නැතිකමයි. එය ඉතා සංකීර්ණ තත්ත්වයකි. මෙම බලවේගය කැඞී විසිරී, සීසීකඩ ගොස්, අතිශය පෞද්ගලික උන්නතිකාමී, පාරිභෝජනවාදී ජීවිතවලට නතු වී තිබෙන මුත්, ඔවුන් වැඩි දෙනෙකු තවමත් ඉතා ව්‍යාජ ලෙස පක්ෂ හැදීම, විප්ලව කිරීම සඳහා පංති කිරීම ගැන කතා කරති. එහෙත් ඇත්තෙන් ම ඔවුන් කරන්නේ ගෙවල් හැදීම හා ළමයින් දොස්තරලා කරන්නට පංති යැවීම වැනි දේ ය. මේ සමාජ බලවේගය වනාහි නියම හොරට බුදියන්නෝ පිරිසකි. සැබැවින් නිදා ගත් එවුන් අවදි කළ හැකි මුත් හොරට බුදිය ගත් එවුන් අවදි කරන්නට බැරි ය.

මෙම සමාජ බලවේගය නියෝජනය කරන ජවිපෙ හා වෙනත් වාම පක්ෂ මෙම ජනාධිපතිවරණයේදී තෝරමින් සිටින උපායමාර්ගය මේ හොරට බුදියාගෙන සිටින බලවේගයේ උවමනාවයි. ඒ කියන්නේ ඔවුන් බලයට ගෙනා මහින්ද මහත්තයා (ඔවුන් කතා කරන විට කියන්නේ එසේ ය. මහත්තයා = සහෝදරයා?) බලයේ තබාගෙන සමාජවාදය ගැන මොකක් හෝ නරිවාදමක් දෙසීමයි.
මෙහිදී කිසියම් ඉදිරිගාමී බවක් පෙන්වන අතුරලියේ රතන හිමි හැර ජාතික හෙළ උරුමයද සිටින්නේ මේ හොරට බුදියන මධ්‍යම පංතිකයන්ගේ පිලේ ය. ඔවුන් ද සොයමින් සිටින්නේ පොදු අපේක්ෂකයා මගහැර කට්ටි පනින්නට මාර්ගයකි.


සත්‍ය වශයෙන් ම වර්තමානයේ පවතින දූෂිත ක‍්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන්නේ කාට ද යන්න ද ඇත්තෙන් ම ප‍්‍රශ්නයකි. පසුගිය දිනෙක ෆේස්බුක් ඔස්සේ මා දුටු වීඩියෝවක් මට සිහිපත් වෙයි. මෛත‍්‍රීපාලගේ කරණම ආසන්න දිනෙක කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එජාප නායකයකුට ආසන සංවිධායකකමක් දීම වෙනුවෙන් පැවැත්වුණු එම රථ පෙළපාලිය අතිශය ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ ය. එහි ඉදිරියෙන් ගමන් කළ මෝටර් සයිකල් රෙඞ් බුල් පන්නයේ ධාවනයක යෙදීමට උත්සාහ කළේ ය. පෙළපාලිකරුවන්ගේ රථ ගමන් කළේ තනිකර ම නීති විරෝධී අන්දමට ය. ආණ්ඩු වෙනසක් අවශ්‍ය ව සිටින ප‍්‍රධාන බලවේගය වන එක්සත් ජාතික පාක්ෂිකයෝ මෙවැනි පිරිසක් වෙති. ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ වත්මන් දූෂණ යාන්ත‍්‍රණයේ ධුරාවලිය තුළ තමන් ස්ථාපිත වී ක‍්‍රමය මේ අන්දමින් ම ගෙන යන්නට ය.

මේ වැඩි දෙනෙක් තමන් සතු කිසිවක් අතහැර සමාජය වෙනස් කිරීමට සූදානම් නැත. සමස්තයක් ලෙස රාජපක්ෂ පවුල් පාලනයේ දූෂණයට පිංපඩියකින් හෝ ගැට ගැසී සිටින ලංකාවේ දූෂිත ඡන්දදායක ප‍්‍රජාව තුළ ද ක‍්‍රමය වෙනස් කිරීම පිළිබඳ පැහැදිලි අදහසක් නැත. රාජපක්ෂ පාලනයේ ඍජු හා වක‍්‍ර පාලනයට නතු ජනමාධ්‍ය විසින් ඒ සඳහා අවශ්‍ය මුග්ධත්වය සමාජය තුළ ඇති කරනු ලැබේ.
මෙතැන තිබෙන්නේ බලය මාරු කිරීම පිළිබඳ උවමනාවක් පමණි. සරලව කීවොත්, මහින්දලා කෑවා ඇති, අරලියගහ මන්දිරයේ සිට ගොවි සංවිධානය දක්වා එයාගේ කට්ටිය නැටුවා ඇති යන කාරණයයි.

ඒ අතින් බැලූවා ම මෛත‍්‍රීපාල සත්‍ය වශයෙන් ම වෙනසක් කිරීමේ උවමනාවක් ඇති නායකයෙකු ලෙස සැලකිය හැකි ය. ඔහුට මේ රටේ නායකයා වන්නට ආසාවක් තිබීම ගැටලූවක් නො වේ. නිමල් සිරිපාල මෙන් තමන්ගේ තරගකරුවන් විපක්ෂයට පන්නා ඒ ඉඩට ආදේශ වීමට උත්සාහ කිරීම වෙනුවට, තමන් සතු සුවපහසු තත්ත්වය අතහැර වෙනසක් වෙනුවෙන් ඉදිරි පියවරක් තබන්නට ඔහුට ඇති ආත්ම ශක්තිය ගරු කළ යුත්තකි. එහි සුවිශේෂත්වය තිබෙන්නේ ඔහු ඉදිරියට එන්නේ සරත් ෆොන්සේකාගේ අභාව වාචක අත්දැකීමෙන් ද පසුව වීමයි.
අනෙක් පැත්තෙන් රනිල් වික‍්‍රමසිංහ ද මේ අවස්ථාවේ නායකත්වය බැබලවූ චරිතයක් ලෙස සැලකිය හැකි ය. ඔහු වැදගත් දේශපාලන චරිතයක් ලෙස භාර ගැනීමට මැලි බොහෝ දෙනෙක් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ උඩ දැමීමට උර දුන් අයයි. රනිල් ගැන ඔවුන් කියන්නේ රනිල් නව ලිබරල් ය කියා ය. රනිල් තව දුරටත් නව ලිබරල්වාදියකු ය කියා ය. මහින්දගේ ජාතිකවාදයෙන් තෙම්පරාදු කරන ලද චීන නව ලිබරල්වාදය ඔවුන්ට ගැටලූවක් නැත. ඔවුන්ගේ ඔලූවල තවමත් තිබෙන්නේ චීනය සමාජවාදී ය, එජාපය කොම්ප‍්‍රදෝරු ය වැනි ගතානුගතික අදහස් ය. මෙම බලවේගයේ මානසිකත්වයට අවශ්‍ය සන්නිවේදනය සපයන්නේ ආණ්ඩුවයි.


මේ සියල්ල මැද, ඉදිරි ජනාධිපතිවරණය තුළ ඇති රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ අවකාශය ප‍්‍රගතිශීලීන්ට ඉතා වැදගත් වේ. එහි ඇති දෙපිල වන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර වාදය, යහ පාලනය, දූෂණය නැවැත්වීම, නීතියේ පාලනය වැනි ප‍්‍රගතිශීලී සටන් පාඨ පෙරදැරි කර ගත් මෛත‍්‍රී පාර්ශ්වය හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධය, පවුල් පාලනය, දූෂණය, අවනීතිය වැනි කාරණා ප‍්‍රවර්ධනය කරන මහින්ද රාජපක්ෂත්ය.
මෙහිදී මෛත‍්‍රීපාල විශ්වාස නො කිරීම වෙන ම කාරණයකි. එහෙත්, මහින්දට ඡන්දය දීම සඳහා මේ රටේ සැබැවින් සංවේදී කිසිදු පුරවැසියකුට හේතුවක් තිබේ ද?

ඔහු දූෂණය නැති කරන බවක් නො කියනවා පමණක් නො ව, තමන් ළඟ දූෂිතයන්ගේ සොරකම් ගැන ලිපිගොනු ඇති බවත්, තමන් ඒවා අදින්නේ නැති බවත් කියයි. මේ රටක ජනාධිපතිවරයකුට කිව හැකි දෙයක් ද? ඔහු කියන්නේ තමන් සොරකම් කරන බව දන්නා මුත් තමන් ඒවාට එරෙහිව පියවර ගන්නේ නැති බව හා තමන්ට එරෙහිව යන්නට ආවොත් නම් තමන්ට ක‍්‍රියාමාර්ග ගන්නට සිදු වන බවයි. අපරාධයක් සිදු වන බව දැනගෙන එය වැළැක්වීම සඳහා තම බලතල පාවිච්චි නො කිරීම ද, ඒ ගැන තොරතුරු වසන් කිරීම ද නීතිය උල්ලංඝනය කිරීමකි.
මහින්ද පුන පුනා ඉල්ලා සිටින්නේ යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළාට තමන්ට කළ ගුණ සලකන්නැයි කියා ය.

අපි ඔහුට කළ ගුණ සැලකුවෙමු. යුද්ධය අවසන් කරන්නට ඔහුට ආර්ථික, සමාජ, දේශපාලන යටිතල පහසුකම් සැපයූ ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද?
එය කළ හැක්කේ අපේ දරුවන්ට වඩා හොඳ රටක් උරුම වන්නට ඉවහල් වන අන්දමින් සමාජ, ආර්ථික, දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමෙනි. ප‍්‍රජාතන්ත‍්‍ර වාදය, යහපාලනය, ජාතීන් අතර සංහිඳියාව, නීතියේ පාලනය ඇති කිරීමෙනි. එසේ කරන බවක් ඔහු පෙන්වා නැත. තවත් වසර හයකට ඔහුට රට භාර දුන්නොත් ඔහු මොනවා කරනු ඇද්ද?
හොරට බුදියාගෙන සිටින, මුග්ධභාවයේ ගිලී සිටින හා දැන දැන ම දූෂණයේ පැටලී සිටින ලංකාවේ ජනතාව යහපත් වෙනසක් වෙනුවෙන් අවදි කිරීම මේ මොහොතේ අප විසින් කළ යුතුව තිබෙන අත්‍යවශ්‍ය කාර්යයකි.


නොකෙරෙන වෙද කමට කෝඳුරු තෙල් සොයන මහත්තුරුන්ට අප කියන්නේ හඳපාන නැතත්, තරු එළියෙන් හෝ රට නිසිමගට ගැන්මට අප පෙළ ගැසිය යුතු බවයි.
විපක්ෂ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි. මෙය කළ නො හැකි ය.
අපි වඩා ප‍්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක‍්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපති වරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ. පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ.
අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක‍්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය. ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප‍්‍රායෝගික තැනකටයි. විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත. ජනාධිපති මුක්තිය ඉවත් කරන්න. ජනාධිපතිවරයාට දැරිය හැකි ඇමති තනතුරු සංඛ්‍යාව සීමා කරන්න. 17වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ක‍්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවන්න.18වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න. මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කරන්න. පැරණි කේවල මන්ත‍්‍රී ආසන ක‍්‍රමය හා සමානුපාතික නියෝජනයේ සම්මිශ‍්‍රණයක් ඇති කරන්න. ආරම්භයක් ලෙස දැනට තිබෙන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව ම මේ සඳහා යොදා ගත හැකි ය. සමානුපාතික නියෝජනය යටතේ තේරී පත් වන මන්ත‍්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නො හැකි ලෙස නීති පනවන්න.

විධායක ජනාධිපති ධුරයේ තිබෙන මූලික ගැටලූවක් වන්නේ ධුරයේ සිටින ජනාධිපතිවරයාට දෙවන වර තේරී පත් වීමක් සඳහා විධායක බලතල අසාධාරණ අන්දමින් භාවිත කරන්නට තිබෙන අවස්ථාවයි. එය වැළැක්විය නො හැකි ය. එහෙයින් විධායක ජනාධිපතිවරයා සමග තරග කරන සෙසු අපේක්ෂකයෝ ස්වාභාවිකව ම අසමාන තරගයකට මුහුණ දෙති. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී තත්ත්වයක් නො වේ.

එබැවින් විධායක ජනාධිපතිවරයකුට එක දිගට ධුරය දැරිය හැකි වාර ගණන එක් වරකට සීමා කළ යුතු ය. නැවත පත් විය හැකි වාර ගණන සීමා කළ යුතු නො වේ. එක දිගට පත් විය හැකි වාර ගණන පමණක් සීමා කිරීම ප‍්‍රමාණවත් ය. අනෙක් පැත්තෙන්, යහපාලනය, දූෂණයට වැට බැඳීම, නීතියේ පාලනය ඇති කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් මතු කර ගැනීමට ජනාධිපතිවරණය ඉතා හොඳ අවස්ථාවකි.

පොදු අපේක්ෂකයා දිනුවත්, නැතත්, කවර හෝ ආණ්ඩුවකට මෙම සමාජ, දේශපාලනික ප‍්‍රතිසංස් කරණ සිදු කිරීම සඳහා බල කරන මහජන බලවේගයක් මේ සමග නිර්මාණය කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. ඒ සඳහා මෙම මහජන බලවේගය අපරාජිතව, ශක්තිමත්ව පැවතීම අවශ්‍ය ය.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තිබෙන විවිධ අදහස් අතර සංවාදය ඉදිරියට යා යුුතු ය. විපක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් සංඛ්‍යාව කුමක් වුවත්, ඉහත කී කාරණා සම්බන්ධයෙන් ඔවුන් අතර සම්මුතියක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කිරීම වැදගත් ය.


එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන අරගලයන්ට එකඟ ආණ්ඩුවේ පක්ෂ සමග ද සම්මුතියකින් කටයුුතු කිරීම වැදගත් ය. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගැනීම ප‍්‍රගතිශීලී බලවේගවල සම්පූර්ණ පරාජයක් කර නොගැනීමට වග බලා ගැනීම වැදගත් ය. ඔහු ජය ගත්තත්, වෙනස් වීම සඳහා ඔහුට බල කෙරෙන සංදර්භයක් තුළ එය සිදු වන්නට වග බලා ගත යුතු ය.

අප කියන්නට අදහස් කරන්නේ අන් කිසිවක් නොව, කුමන ගැටලූ තිබුණත්, ලංකාවේ සමාජය අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය උපරිමයෙන් පාවිච්චි කිරීම අපගේ වගකීමක් බවයි.
 අජිත් පැරකුම් ජයසිංහ
 අපගේ  ස්තූතිය ' රාවය'ට හිමිවේ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger