අන්තර්ජාතික කීර්තියක් අප මවු බිමට ලබා දුන් මේ ශිල්පියා ගේ එක් නිර්මාණයක්වත් කොළඹ ජාතික කලාභවනෙහි හෝ ජාතික කෞතුකාගාරයේ හෝ ප්‍රදර්ශනයට තබා නොතිබීම ශෝචනීය කරුණකි.
මීට වසර 39කට ඉහත දී එනම් 1975 ඔක්තෝබර් මස 20 වැනි දින අප ගෙන් සදහට ම සමුගත් ඩැනී විමලසිරි ශූරීහු ප්‍රතිභා පූර්ණ විශිෂ්ට ගණයේ චිත්‍ර හා මූර්ති ශිල්පියෙකි.
ගාලු දිස්ති‍්‍රක්කයේ නාරිගම නමැති රමණීය ග්‍රාමයේ උපත ලැබූ හෙතෙම දොඩන්දූවේ පියරතන විදුහලින් මූලික අධ්‍යාපනය ලබා රජයේ කලායතනයට ඇතුළු වූයේ ය. ළමා කාලයේ සිට ම තමන් තුළ තිබූ කලා කුසලතාවන් වැඩි දුරටත් ප්‍රගුණ කිරීමෙන් අනතුරු ව අවුරුදු 05 ක පමණ කාලයක් දිවයිනේ ප්‍රකට ස්ථාන වන දෙගල්දොරුව, ඇම්බැක්ක, සීගිරිය ආදි ස්ථානවල ඇති චිත්‍ර අධ්‍යයනය කොට තමාට ම ආවේණික වූ චිත්‍ර ශෛලියක් ගොඩ නගා ගත් කලාකරුවකු වූ හේ, රත්ගම දේවපතිරාජ විදුහලේ චිත්‍ර කර්ම පිළිබඳ ආචාර්යවරයකු වශයෙන් ද, පසු ව කළුතර දිස්ති‍්‍රක්කයේ චිත්‍ර කර්ම උපදේශකවරයකු වශයෙන් ද සේවා කෙළේ ය.
1950 දශකයේ ප්‍රසිද්ධ පුවත්පත් සහ සඟා මගින් ඉදිරිපත් කළ කල්පනා - භාවනා - සකුන්තලා - තේරීගාථා - ගුත්තිල සිත්තම - සිංහල වංශ චිත්‍ර කථාව ආදි භාවාත්මක චිත්‍ර සහ අරුන්දති ගේ සරුංගලය සහ නෙළුම් මල් - කුමාරිහාමි යන ළමා චිත්‍ර පොත් දෙක දැනුදු කලාකාමීන් ගේ මතකයේ සටහන් වී ඇති බව නොඅනුමාන ය.
ඩැනී විමලසිරි ශිල්පියා අතින් නිර්මාණය වූ ශ්‍රේෂ්ඨතම කලාකෘතිය වීදාගම හිමිපාණන්ගේ ‘ලෝවැඩ සඟාව‘ චිත්රාවලිය යි. මේ කාර්යයයේ දී බෞද්ධ දර්ශනයේ ගැබ් වී ඇති සියුම් ධර්මතාවන් සූක්ෂ්ම අන්දමින් හා චිත්තාකර්ෂණීය ලෙසින් චිත්‍රයට නඟාලීම ඔහු ගේ ප්‍රතිභාපූර්ණ භාවය හා නිර්මාණ කුසලතාව මැනැවින් පිළිබිඹු කරයි.
1957 මාර්තු මස 20 වන දා කොළඹ කලාභවනේ පැවැත්වූ මෙකී සිත්තම් දැක්ම විවෘත කරමින් එවකට අගමැති ධූරය දැරූ දිවංගත ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා මෙසේ පැවැසීය.
“අපේ සංස්කෘතික කටයුතු දියුණු කිරීම පිණිස අප තරුණ කලාකාමි මහත්වරු චිත්‍ර කලාවේ අලුත් අලුත් මාර්ග සොයා ගැනීම සුබ නිමිත්තක්. මේ කාලයේ මෙබඳු කලාකරුවන් ඇති වීම සතුටට කරුණක්.”
මේ චිත්‍ර ප්‍රදර්ශනය නැරැඹීමෙන් පසු ව එවක සිටි කලා විචාරකයන් ගේ සුබවාදි මත පුවත්පත්වල පළ විය. කොටහේනේ ප්රඥ්ඥකිත්ති හිමිපාණන් දක්වා තිබූ අදහස්වලින් එක් කොටසක් පහත දැක්වේ.
“විමලසිරි මහතා ගේ කාර්යය දුෂ්කර වූවකි. භාෂාවකින් භාෂාවකට පරිවර්තනය කිරීමට වඩා කලාවකින් කලාවකට භාව සංකල්පනා නඟාලීම අපහසුයි.”
ලෝවැඩ සඟා චිත්‍ර පිළිබඳව ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙකු වූ මංජු ශී‍්‍ර මහතා මෙසේ අදහස් දක්වා ඇත.
“මස් ලේ නැති ඇට බලු ලෙවකන්නේ - කුස් පිරුමක් පලයක් නොලබන්නේ” යන කව රූප ගන්වන මේ ශිල්පියා ගේ ඇසට බල්ලකු කටුවක් ලෙව කනු දකිනු වෙනුවට ආලයෙන් මත් වී ඔවුනොවුන් වැලැඳගත් ඇටකටු ජෝඩුවක් පෙනී යයි.
මේ චිත්‍ර පිළිබඳ ව සමාලෝචනය කිරීමේ දී භෞතික අදහස් ශ්‍රේෂ්ඨත්වය කරා ගිය යුගයක යටපත් වූ ආධ්‍යාත්මික හැඟීම්වලට නව ජීවයක් දීමේ අදිටනින් කරන ලද්දක් යැයි සිතිය හැකි ය.
1958 වර්ෂයේ දී මොස්කව් නුවර පැවැත්වූ ලෝක තරුණ උලෙළට සම්බන්ධ අන්තර්ජාතික කලා ශිල්ප ප්‍රදර්ශනයට ඩැනී විමලසිරි ශිල්පියා ඉදිරිපත් කළ චිත්‍ර හය උසස් ඇගැයීමකට ලක් විය.
සෝවියට් සමූහාණ්ඩු රජය එයින් උසස් නිර්මාණ 04 ක් මිල දී ගෙන ලෙනින් ග්‍රෑන්ඩ්හි පිහිටි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.
අන්තර්ජාතික කීර්තියක් අප මවු බිමට ලබා දුන් මේ ශිල්පියා ගේ එක් නිර්මාණයක්වත් කොළඹ ජාතික කලාභවනෙහි හෝ ජාතික කෞතුකාගාරයේ හෝ ප්‍රදර්ශනයට තබා නොතිබීම ශෝචනීය කරුණකි.
එහෙත් කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වාගෙන යනු ලබන බොරැල්ල සර් බාරොන් ජයතිලක අනුස්මරණ පුස්තකාලයේ ලෝවැඩ සඟා චිත්‍ර කිහිපයක් හෝ ප්‍රදර්ශනය කොට තැබීම අතිශයින් ප්‍රශංසනීය කරුණකි.
මේ අන්තර්ජාතික කලා ප්‍රදර්ශනය සම්බන්ධ රුසියාවේ සම්භාවනීය කලා විචාරකයකු වූ ඇලෙක්සැන්ඩර් සොබොඩින්, ඩැනී විමලසිරි ශිල්පියා ඉදිරිපත් කළ නිර්මාණයක් ගැන මනා ඇගැයීමක් කර තිබේ. ඔහු ගේ අදහස් සෝවියට් ලේඛක සංගමය මගින් පළ කළ මාසික සඟාවක් වූ “සෝවියට් ලිට්රේචර්” නම් සංග්‍රහයේ 1958 දෙසැම්බර් කලාපයේ පළ වී ඇත. පහත දක්වා ඇත්තේ සොබොඩින් ගේ විවේචනයෙහි ලංකාව නියෝජනය කළ ඩැනී විමලසිරි ශිල්පියා පිළිබඳ ව සඳහන් වූ කරුණුවලින් කොටසකි.
“ලංකාවෙන් පැමිණි චිත්‍ර ශිල්පියකු වූ ඩැනී විමලසිරි ගේ කෘතීන් ද පෙරදිග හා අපරදිග ඉතා ම උතුම් සම්ප්රදායයක් බුද්ධිමත් ලෙස අනුගමනය කිරීම අතින් සැලැකිය යුතු තත්ත්වයක් ගනී. දිය සායමින් අඳින ලද විශිෂ්ට කෘතීන් වූ නියඟය - පෙම්වතිය - බෞද්ධ භික්ෂුව - පවුල යන චිත්‍ර දිවයිනේ ගොවි ජනතාව කෙරෙහි ඔහු තුළ වූ සැබෑ පේර්මය පිළිබඳ හැඟීම් කාන්තිමත් වී තිබේ. ප්‍රතිභාවයෙන් පරිපූර්ණ වූ මේ චිත්‍ර එහි කතුවරයා ගේ දැනුම පුබුදුවා පෙන්නුම් කරයි.”
මෙයට අමතරව ඔහු ගේ චිත්‍ර පිළිබඳ ව සෝවියට් දේශයේ ප්‍රධාන පුවත්පතක් වූ ප්රවුදා පත්‍රයේ මුල් පිටුවේ අනගි ඇගැයිමක් කර තිබිණි
“කවර රටක හෝ කවර ජාතියක හෝ කලාකරුවෝ දුර්ලභ වෙති. එවන් කලාකරුවන් මිය ගිය ද ඔවුන් ගේ කලා කෘති කෙරෙන් ඔවුහු ලෝකය සමග ජීවත් වෙති.”
ඉහත සඳහන් ව ඇත්තේ කලාකාමී ප්‍රභාත් මානවසිංහ මහතා 1990 - 10 - 25 දින දිවයින පත්‍රය මගින් ඩැනී විමලසිරි මහතා පිළිබඳ ව ලියන ලද ලිපියක කොටසකි.
නව පරපුරෙහි බොහෝ දෙනකු ඩැනී විමලසිරි යනු කවරකුදැයි නොදන්නවා විය හැකි ය. ඔහු දේශයේ චිත්‍ර කලාව ගතානුගතිකත්වයෙන් නව මඟකට යොමු කළ නිර්මාණශීලි කුසලතා පූර්ණ අග්‍රගණ්‍ය කලාකරුවෙකි. ලෝවැඩ සඟාවේ කවි සියල්ල නව ආරකට අඳින ලද චිත්‍ර මඟින් මේ චිත්‍ර ශිල්පියා චිත්‍රයට කළ හැකි විස්කම් කොතෙක් දැයි මුළු විශ්වයට ම ප්‍රදර්ශනය කර ඇත.
ගෝපිත පීරීස් හිඹුටාන
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment