එය කාලය විසින් නිශ්චල ඡායාරූපයක් බවට පත්කොට තිබූ මතකයකි. වසර ගණනාවක් පුරා යටි සිතේ තිබුණා යැයි අනුමාන කළ හැකි වූ එය හදිසියේ යළිත් මතු කළේ ද කාලය විසිනි.
ඉක්බිති එහි දුලි ගසාදා පිසදමා පෙනෙන මානයක රඳවා නොගෙන ඉන්නට මට නොහැකි ය. නොඑසේ නම් මා කොහේදෝ නොපෙනෙන සේ මුල්ලක සඟවා තිබු මෙය දැන් ඇස්මානයෙහි තබාගන්නට සිදුව තිබේ. ඒ කාලයා ම විසින් මට ද නො දැනී එය මගෙන් ඈත් කර ගන්නා තෙක් ය.
ඒ ඡායාරූපයෙහි වන්නේ සුදු ගවොමක් හැඳි, සුදු සපත්තු යුවළක් සහ නිල් පැහැති ටයි පටියක් පැළඳ ගත් යුවතියකි. එය දුර රූපයක් ලෙස බලන කල පිටු පසින් පාසල් ගොඩනැගිල්ලකුත්, මලින් බබළන විශාල අරලිය ගසකුත්, පාමුල බිම විසිර ඇති පරවී ගිය මලුත් දැකිය හැකි ය.
එය ම සමීප රූපයක් කොට ගත් කල ඒ පාසල් යුවතිය ගේ දෙතොළතර මන්දස්මිතය දසන් දැක්වෙන පේ‍්‍රමනීය හසරැල්ලකට පරිවර්තනය වන අයුරුත්, ඇගේ දෑස ද ඒ හා ඒකාත්මික වන අයුරුත් පෙනේ. දැන් මා අබියස වන්නේ ඒ මතක පෙළ ගතවූ කාලයෙහි වර්තමාන රූපාන්තරණයයි.
ඈ ගැබිණියකි... පෙනුමින් නම් පස් මසක් පමණ වී ඇතැයි සිතේ... ඈ සිනාසෙයි... අර මනස් ඡායාරූපයේ සිනහවට මේ සිනහව වෙනස් වේ ද? මම ඇගේ දෑස් හා එක්වීමි. එය එකළ මෙන් මා හා ගනුදෙනු කරන්නී ද, එදා අරලිය සෙවණේ දී මා ඈ හා කතා කරමින් සිටින විට ඇගේ සසල කළු ඉංගිරියාව විශාල වනු ද, දීප්තිමත් වනු ද දැක තිබුණා මට මතක ය. යම් පමණකට එවැනි ලකුණක් දැනුදු මම දකිමි.
“හපෝ... අවුරුදු පහකට විතර පස්සේ දැක්කේ... - කොහොමද දැන්...”
වැඩි වේලාවක් අප එකට සිටියේ නැත. ආගිය තොරතුරු කිසිවක් කතා කොට වෙන්ව ගියෙමු. කෙසේ වෙතත්... ඈ නොපෙනී ගියේ සිත සිනමා කැමරාවක සේ අවුරුදු පහකට එපිට මෑත අතීතයේ දුර රූප ද, මධ්‍ය සමීප රූප, සමීප රූප හා අති සමීප රූප සමඟ දෝලනය වන්නට සලස්වා ය.
සංස්කාරණය නොවූ ඒ රූප රාමුවල අනවශ්‍ය කොටස් කපා දැමිය යුතු වන්නේ කොයි කොයි තැනින් ද... ඒවා පිරිද්දිය යුතු වන්නේ කිනම් තැන් වලින් ද?.... ඒවාට එකින් එක ගැලපිය හැකි ඒකමිතියක් තිබේ ද? කෙසේ කළත් එය නිශ්චිත කූට ප‍්‍රාප්තියකින් අවසන් වන කතාවක් වේ ද? දැන් ඔබ සිතනු ඇත්තේ මා අතීත පේ‍්‍රම කතාවෙක ආවර්ජනයෙන් ආතුර වී ඇතැයි යන්න විය හැකි ය.
එහෙත් ....
එය එසේ වන්නේ ඒක පාර්ශවීය ව පමණි... සරල ව කියන්නේ නම් මගේ පැත්තෙන් පමණි... ඒසේ නම් ඇගේ පැත්තතෙන්...?
ඈ මට ආදරය කළා යැයි කිසි විට වචනයෙන් පවසා නැත. එවැනි හැඟීමක් වසර ගණනාවක් පුරා ඈට දනවන්නට උත්සාහ කළේ මම ය. මා ගැන ඇගේ සිතිවිල්ල කුමක් වුවත්, ඈ ගැන මගේ සිතිවිල්ල වී තිබුණේ නම් එය ම ය. .... ආදරය ම ය... සමාවෙන්න... මේ තොරතුරු කියන රටාව ඔබට අමු විය හැකි ය... ඒ, කිවයුත්ත නොකියා කීමටත්, නොකියා සඟවා ගන්නා දේ තුළින් කිවයුත්ත එළියට ඒමට සැලැස්වීමටත් මා නොදන්නා නිසා ය.
අප එකල යහළුවන් ය. එහෙත් මා ඇගෙන් අයැදියේ පේ‍්‍රමයයි. විනීතව ද සිත නොරිදෙන සේ ද ඈ එය ප‍්‍රතික්ෂේප කළා ය. මා කවි යැයි සිතා මොන මොනවාදෝ පත්තර වලට ලියන තරමක පිස්සකු වූයේ ය. ඊට හේතුවක් ද විය. මගේ ස්නේහ ඇරයුම ඈ අතින් නිශ්ප‍්‍රභා වුවත් අප හමුවූ කාලය ද, කතා බස් කරන විට ද ඇගේ හැසිරීම තුළ වූ කිසියම් සුවිශේෂ ලකුණක් මා දැක තිබිණි.
උසස් පෙළින් පසු උදා වූ සංක‍්‍රාන්තියේ සිට වසර කිහිපයක් දක්වා අප එකිනෙකා හමුවූයේ නැත. එසේ ම ඈ කොහේ සිටිනු දැයි නොදැන සිටියෙමි. ඒ වන විට කාන්තා පුවත්පතක කර්තෘ මාණ්ඩලිකයකු වූ මගේ යටි සිතෙහි ඈ සිටියා විය හැකි වුවද, ඒ පිළිබඳ පැවැති සුවිශේෂතා ශුන්‍ය වී යන සේ ම, ඊට වඩා විශාල “ජීවිතය” හා එහි ගමන් මග පිළිබඳ සැලකිල්ලක් දැක්වීම අනිවාර්යය තැනෙක ය මා සිටියේ... අහම්බයකින් මගේ මිතුරෙකු අතින් ඇගේ නවක තොරතුරු හා කාර්යාලයීය දුරකථන අංකය ලැබුණේ ඒ අතර ය.
“හෙලෝ... මට නදීරා සංජීවනි බක්මීවැවට කතා කරන්න පුළුවන්ද?”
“චුට්ටක් ලයින් එකේ ඉන්න”
(දුරකථන සංගීත ඛණ්ඩයක හඬ...)
“හෙලෝ...”
“ඔය නදීර ද කථා කරන්නේ...”
“ඔව් කවුද කථා කරන්නේ...”
“ඇයි මගෙ කටහඬ අඳුරන්න බැරිද?”
“ම්... එච්චර මතකයක් නං නෑ... කියන්නකො කව්ද කියලා...”
“මං විශ්ව...”
පාසලින් පසු පළමු වතාවට යළිත් අපි උනුන එලෙස හඳුනා ගතිමු... එයින් ඈ විශ්මයට පත් වූවා ය.
“මෙච්චර දවසක් මීට් වුනේ නැති වුනාට දැං අපි දෙන්නා ඉන්නේ හරි ළඟනෙ...”
නදීරා එසේ කීවේ හැකි ඉක්මණින් හමු වන්නට දැඩි නොඉවසිල්ලක් ඇත්තාක් මෙනි.
මගේ කාර්යාලය ඇත්තේ නුගේගොඩ ය. ඇගේ කාර්යාලය වොක්ෂෝල් වීදියේලු. ඉතින් කෑගල්ලේ සිටි අප දෙදෙනා ම දැන් කොළඹ ය. එදා වගේ ම ළඟ පාත ය. ඈ මුනගැසෙන්නට මසිතට ඇත්තේ පුදුමාකාර ලහියකි.
අපි මුනගැහෙමුද... මට ඉවසිල්ලක් නෑ... මට ඔයා දකින්න ඕන. මේ කෙහෙල්මල් කොළඹ මගේ ම කියලා කෙනෙක් නැතුව මං හිටියෙ මොන තරං පාළුවෙන් ද...? උන් හිටිතැන් ගැන පවා නොසිතා මට කියාගෙන යන්නට සිතුන ද මැඩ ගතිමි. දිගින් දිගටම මෙසේ දුරකථනයෙන් අමතා ඊට සුදුසු පරිසරයක් සකස් කරගත යුතුය.
වැඩිමනත් අටුවා ඇවැසි නොවී ය. එදින ම සවස් භාගයේ ඈ යළි මා ඇමතුවා ය. එවර ඇගේ නවාතැනේ අංකය ද කී අතර දැඩි හුදෙකලාවක් දැනෙන බැවින් රාති‍්‍රයේ මා සමග දුරකථනයෙන් දිගු වේලාවක් දොඩමළු වන්නට ඇත්නම් එය සතුටක් බව ද පැවසුවා ය.
අප කෙතරම් ළං වූයේ ද... එහෙත් මා ඈට පෙම් කරන බැව් සෘජුව කීවේ නැත. නමුදු මගේ කතා බහෙන් ඈට එය පසක් වන්න ඇත. නිසැකය... ඈ මගේ උපන් දිනය අසා සුබ පැතුමක් ද තිළිණයක් ද තැපෑලෙන් එවා තිබුනේ එබැවින් විය යුතු ය.
තවමත් අප මුනගැසුනේ නැත. හෘදයාංගම සල්ලාපයන් තුළින් තව තවත් ළං වෙමින් සිටියෙමු. කිසියම් හේතුවකින් ඈට අමතන්නට මට නොහැකි වූයේ නම්, ඈ මට ඇමතූ මොහොතක මා එතැන නොසිටියේ නම් (එවකට ජංගම දුරකථනයක් මා භාවිතා කළේ නැත.) මහත් දුකින් හා පාළුවෙන් හිත රිදුම් දුන් වග පවසන්නී ය. මට ඈ නැතුවම බැරි විය... මේ තරම් ළතෙත් බවකින් හිත ගත ගිනි ගනිද්දී ඉවසා සිටිය හැකි ද?
දැන් පස්මහ බැලුම් අහවරය... මම පියවරක් ඉදිරියට තැබීමි.
“මෙච්චර දවසක් ෆෝන් කළාට මම ඔයාව දැක්කේ නෑනෙ... මට ඔයාව දකින්න ඕන...”
මම සෘජු වීමි. නොවළහා මා සිතැඟි කීමි. “මටත් එහෙමමයි...”
ඈ කීවේ එවැන්නක් පිළිබඳ තබා ඇඟිලි ගැන ගැන සිටියාක් මෙනි.
“හැබැයි තව කල් බලන්න බෑ... ඉක්මණින්... ඉක්මණින් ම අපි මීට් වෙමු.
“මං කොහෙටද එන්න ඕන... ඔයාගේ බෝඩිමට එන්නද... අද දැං...”
නොඉවසිල්ල වේගවත් වූ තැන මම ඉක්මන් වීමි.
“නෑ... එහාට එන එක හරි නෑ... මං කියන්ඩද... ඔයා එනවද සලාකා එක ළඟ හෝල්ට් එකට... පහයි කාලට විතර...”
“හරි... O.K.”
.”
මම නොවලහා සූදානම් වීම්. සලාකා එක ළඟට ගොස් ඈ හමු වූ විගස කොහේ හෝ නිදහස් තැනකට ඈ කැඳවාගෙන යා යුතුය. ඉන්පසු ඈ කැමති කෑමක්, බීමක් ඇනවුම් කොට රිසි සේ දොඩමළු විය යුතුය. මින් මතු දිගින් දිගටම අප හමුවනු ඇත.
විවාහයක් දක්වා මෝරා යන ගමනකට අද මම පියවර තබමි. කියන්න කොතෙක් දේ තිබේ ද... එකල සිතින් ඈට මා නිබඳ පෙම් කළ වග..., එදා එය කී සැනින් මගේ සිත නොරිදා ප‍්‍රතික්ෂේප කළේ ඇයි දැයි ඈ ඇසිය හැකිය. ඇගේ දෑසෙහි කළු ඉංගිරියා දීප්තිමත් වී, ඒවා මා හා කතා කරන අයුරු නිහඬව බලා සිටිය හැකිය. නදීරා බක්මී වැව... විශ්ව ජීවන්ත ජයතිලක එක වහලක් යට අනාගතය පිළිබඳ අද සිට දොඩමළු වනු ඇත.
“අනේ විශ්ව මහත්තයා...”
මගේ කල්පිතය බිඳුණි. කාලය දීපය දේශය ගැන සිතා සැලසුම් කළ ගමන කල් දැමිය යුතුය. නවාතැන් හිමිකාරිය ගේ විලාපයට ප‍්‍රතිචාර නොදක්වා සිටිය නොහැකි වූ මට මොහොතකට පෙර ඇගේ සැමියා හදිසි අනතුරකට ලක්ව බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කෙරුනැයි ආරංචි වූ සැනින් සියල්ල නොසලකා ඔහු බලන්න ගියෙමි. සිත යන්තම් හෝ අස්වැසුණේ, කොතරම් ප‍්‍රශ්න කන්දරාවක සිටියත් මට පැමිණීමට නොහැකි බව දුරකථනයෙන් නදීරාට කීමට ලැබීම නිසා පමණි.
එහෙත් දෙවැනි හා තෙවැනි වතාවටත් එසේ වූයේ නම්... අපේ මුණගැසීම තුන් වරක්ම ලොස් වූයේ නම්... අවාසනාවන්ත ලෙස ද, දුක්බර ලෙස ද, ශුන්‍ය ලෙස ද එලෙසින් ම සිදු විය. දෙවැනි වතාවේ නදීරාට පැමිණිය නොහැකි හේතුවක් යෙදිණි. තුන්වැනි වතාවේ මට කාර්යාලයේ හදිසි කටයුත්තක් යෙදිණි.
මඟ හැරීම යනු ජීවිතය ද...? ජීවිතය යනු මඟහැරීම ද...? දැඩි අපේක්ෂාව හා එය ඉටු නොවීම තුළ ජීවත් වීම කෙතරම් අසීරු ද?
තවත් විස්සෝප වනු කුමට... මා කල් යල් බලනවා වැඩිය... සැලැසුම් කරනවා ද වැඩිය... පොළොවේ සිටි මිනිසා සඳ පවා තරණය කළෙහිය. එසේ නම් අප අතර ඇත්තේ සැතැපුම් කිහිපයක පමණ කෙටි දුරකි. මම සියල්ල දනිමි.
ඈ සියල් තතු කියා තිබු බැවින් වැඩිදුර සිතනු නොයුතු විය. මම ක්ෂණික වීම්. එය සඳුදා දිනයකි. එදා මා කොළඹ එන්නේ කෑගල්ලේ සිට ය. ඈ එන්නේ ද එහි සිට ය. ඇත්තේ පුංචි වෙනසක් පමණි. මා එන්නේ හිමිදිරියේ ය. ඈ එන්නේ මඳක් පමාවී ය... කළ යුත්ත සුළු ය... මම ද පමා වීම්. අවසානයේ කෑගලු නගරයේ කොළඹ බස් නැවතුමේ වැටට කය වාරු කළෙමි.
මම දෑස් දල්වා හිඳියෙමි... ඈ දැන් දැන් එතැයි සිතුවෙමි. හමුවනු නොහී වැලැකී ගිය කලින් කලින් වතාවල මෙන් මා පැමිණෙන බැව් කළින් දැන්වූයේ නැත. නොදන්වා ආ මා දැකීමෙන් ක්ෂණිකව ඈ තුළට හට ගන්නා විස්මය ද, සතුට ද ඇගේ මුහුණෙහි සටහන් වනු ඇත.
ඈ ආවා ය... කල්පන්තයක් වූ මිනිත්තු විස්සක ඇවෑමෙන් ඈ ආවා ය. කිසියම් දැවිල්ලක් වැනි උණුසුමක් මගේ සිරුර පුරා ගමන් කරනු දැණිනි. එක්වරම මා දුටු ඇගේ දෙනෙත් විශාල විය... ඈ ගල් ගැසුනාක් මෙන් විය... ඈ මා සමීපයට ආවා ය. ඈ ඇගේ සුසුම් පවා මට දැනෙන පමණට සමීපයට ආවා ය.
“කොච්චර කාලෙකට පස්සෙද...?”
ඇගේ දෙතොලතරින් සිහින්ව කියවිණි. ඇගේ හුස්මක් මගේ මුහුණ මත ගෑවී නොගෑවී නික්මිණ. වේගයෙන් උස්පහත් වන ළැම ඈ ඉක්මණින් හුස්ම ගන්නා බැව් කියා පෑවා ය. ඇගේ අතින් අල්ලාගෙන බස් රථයට නංවා ගන්නට මට සිතිණ.
“අපි නගිමු... මේකේ සීට් තියෙනවා...”
මම කීමි.
“අපෝ බෑ...” ඈ බියපත් වූ බවක් පෑවා ය.
“ඇයි...?”
“අපේ අයියා ඉන්නවා මෙතන...”
“අයියා...”
පුදුමයකි... ඈට වැඩිමහල් සොහොයුරෙකු තබා බාල මල්ලි කෙනෙකුවත් නැති බව මා දන්නේ කලක සිට ය.
“ඔයාට කොහෙන්ද අයියා කෙනෙක්... ඔයාට අයියෙක් නෑ...”
“අපේ බාප්ප කෙනෙකු ගේ පුතෙක්...”
“ඒකට මොකද... අපි නැගල වාඩි වෙමු... අඳුරන අය විදියට...”
“බෑ... ඒ අයියත් මාත් එක්ක කොළඹ යන්න එනවා...”
මට වැඩියමක් කියන්නට ලැබුණේ නැත. ඒ සමඟම බස් නැවතුමට එහායින් අප දෙස බලා සිටි, පිළිවෙළට ඇඳ පැලැඳ, හිස පීරා සිටි තරමක් කළු පැහැති තරුණයෙක් ඉක්මන් අඩි තබමින් අප දෙසට එන්නට විය.
“මට දුකයි හරියට... මෙච්චර කාලෙකින් හම්බ වෙලාවත් හරියට වචනයක්වත් කතා නොකර යන්න වීම ගැන... මට සමාවෙන්න.”
තම දෙකොපුල් රත්පැහැගැන්වී තිබූ ඒ අවස්ථාවේ ඈ ආයාසයෙන් මෙන් කීවා ය. ඒ හඬෙහි වූයේ හැඬුමකට ආසන්න බවකි. සිත ඇතුළතින් එන සිහින් රිදුමකින් නැගෙන දුක්බර බවෙක ඉකියක් වැනි එයට වෙනත් කිසිවක් පවසන්නට මට ඉඩ නොලැබිණ. අර තරුණයා සමීපයට ආවේය.
“මේකෙ නෙවෙයි... අපි ඉන්ටර්සිටියක යං...”
කිසියම් ප‍්‍රශ්නකාරී මෙන් ම තරහකාරී බවක් කියාපාන බැල්මක් මගේ හිසේ සිට පාදාන්තය දක්වා හෙළමින් ඔහු නදීරාට පැවැසීය. ඒ හඬෙහි වූයේ දැඩි බවකි. විධානයක බරකි.
“බෑ... අපි නෝමලි යං...”
ඈ ඔහුගේ තීරණයට නොඑකඟව, තව විනාඩි දහයකින් පිටත්වීමට නියමිත බසය දෙසට හැරුනා ය. ඈ අනුව ඔහු ද ගමන් කළේ ය. මා දැන් කුමක් කළ යුතු ද? කිසිවක් සිතාගනු නොහී ඉක්බිති, ආපසු හැරී පදික වේදිකාව දිග ඔහේ යන්නට වීමි... බාප්පෙකුගේ පුතෙකුට ඕනෑවට වඩා බියවූ ඈ ප‍්‍රහේලිකාවකි, වේදනාවකි, පටලැවිල්ලකි,
“පොඩ්ඩක්... පොඩ්ඩක්”
වේගයෙන් ගමන් කරමින් සිටි මා හට පිටු පසින් පැමිණි කිසිවෙකු පිටට තට්ටු කළේ ය. හැරී බැලුවෙමි. ඒ නදීරා සමඟ සිටි තරුණයා ය.
“මචං උඹ කවුද...? මට කතා කරන්න ඕන... ඉක්මණින්... බස් එක යන්න තව විනාඩි දෙක තුනයි තියෙන්නේ.”
කුමක් කියමි දැයි සිතන්නට පෙර ඔහු තවත් ප‍්‍රශ්නාවලියක් ඇසුවේ එක පිට එකය.
“මචං... උඹ කව්ද...? උඹ කොහොමද නදීරව දන්නේ... උඹත් එක්ක එයාගේ එෆෙයා එකක් තියෙනවද?”
“නෑ... එහෙම නෑ...”
මා එසේ කියද්දී, බොහෝ තරුණ පේ‍්‍රම පටලැවිලි තුළ අසා පුරුදු ප‍්‍රකාශයක් ඔහු ඉදිරිපත් කළේය.
“මචං... උඹත් කොල්ලෙක්... මාත් කොල්ලෙක්... අපිට ඕන දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන්... ඇත්ත කියපං මචං... මමයි එයාව මැරි කරන්න ඉන්නේ...”
එහෙම එකක් නෑ... එයා මගේ ඉස්කෝලෙ යාළුවෙක් එච්චර... සීරියස් ගන්ඩ එපා...”
මම ඇත්ත සැඟවූයෙමි. එය තදින් සිතා මතා කළ දෙයක් නොවේ. නිරායාසයෙන් වුවකි. සිදුවීම එසේ නිම වුණත් මම කාර්යාලයට නොගියෙමි. සිත සන්සුන් කර ගැනීමට කළ අසාර්ථක උත්සාහයන් බොහෝ ගණනක් පසුකොට නවාතැන කරා ගියෙමි.
“අද ඔයා ඔෆීස් ගියේ නැද්ද? දොළහෙන් පස්සේ පස් වතාවක් ම ඔයාට එහාට කෝල් කළා කියලා, ඔයා ආවද අහලා ගර්ල් කෙනෙක් මෙහාට දෙපාරක් කෝල් කළා...”
නවාතැන් හිමිකාරිය කී දෙයින් ඒ කතා කොට ඇත්තේ නදීරා ම බැව් සිතාගන්නට අසීරු නොවී ය. වෙස් මුහුණ බඳිමින් ඈ කළ රංගනයට සමාව යදින්නට කතා කළා විය යුතුය.
මා ඈ මුණ ගැසෙන්නට පෙර කතා කළ එක් වතාවකදී විවාහයක් තීන්දු වී ඇති දැයි පැහැදිලිව ම ඇසූ වෙලෙහි ඈ කිව්වේ එසේ නොමැති බැව් නොවේ ද?
වැඩිමනත් සිතන්නට ඉඩ නොදී යළිත් ටෙලිෆෝනය නාද විය. එහා කෙළවර සිටින්නී නදී ය.
“ඔයා මාත් එක්ක තරහද විශ්ව?”
දන්නා සියලු පරුෂ වචනයන්ගෙන් බැණ වැදීමට සිත් වුණි ද මම හැකිතාක් නිහඬ වීම්.
“දැං රෑට කාල ද ඉන්නේ විශ්ව...?”
“නෑ... මං කන්නේ නෑ... මට කන්ඩ ඕන නෑ...”
“ඔයා කථා කරන්නේ කේන්තියෙන්... ඔයා සාධාරණයි...”
“බඳින්ඩ එකෙක් ඉන්නවද කියලා සිංහලෙන් අහද්දී ඇයි නෑ කිවේ...?”
“මට සමාවෙන්න.. ඒක කියන්ඩ මට හිත දුන්නෙ නෑ...”
අනුන්ගේ ටෙලිෆෝනයක් නොවන්ට, ඒ මොහොතේ මා එය පොළවේ ගසා කුඩු පට්ටම් කරන්නට ඉඩ තිබිණි. ඒ නිසා ම ටෙලිෆෝනය මත මා හෙළුෑ රිසිවරය කෙතරම් කෑ දුන්න ද මා එසවූයේ නැත. තවත් තැවී කුමට...
මම අයාසයෙන් හිත හදා ගනිමි... කිසිවක් සිදු නොවූ සේ හිඳිමි. එසේ සිත එකඟ කරගන්නට දැරූ උත්සාහයෙන් ජයගෙන සිටියෙමි. ඈ ගැබිණියක ලෙස ළඟදී දරුවකු බිහි කරන්නට සූදානම් අම්මා කෙනෙකු ලෙස වසර පහක ඇවෑමෙන් ඒ අතරෙහි ඈ යළි හමුවිය.
දැන් ඈ ගැන සුවිශේෂී හැඟීමක් හෝ දනවන ශේෂයක් හිත් කොණක පවා නැතත් ඈ අවසන් වරට ටෙලිෆෝනයෙන් කී වදන් යළිත් මතකයට නැගෙන්නේ ඇයි? කාලය විසින් ඒ වචන මකා දමන්නේ කවදා ද?
“මට ඒක කියන්න හිත දුන්නේ නෑ...”
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment