Monday, December 22, 2014
රජරට යටවෙයි...!!!
දින කිහිපයක් තිස්සේ රට පුරා ප්‍රදේශ රැසකට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක පුද්ගලයන් 2,88,085කට වැඩි පිරිසක් විපතට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, මාතලේ, වවුනියාව, මන්නාරම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ජනතාව ගංවතුර හේතුවෙන් දැඩි පීඩාවට ලක්ව ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර පැවැසුවේ අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර
තර්ජනය නිසා නිවාස 22ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 185කට අර්ධ හානි සිදුව ඇති බවයි.
මහ වැව් හා මධ්‍යම ප්‍රමාණයේ වැව් පිටාර ගැලීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයන් 20,000කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇත.
ඊයේ (21දා) දහවල් වන විට අනුරාධපුර නගරයේ පාසල් 5ක්, විහාරස්ථාන 10ක් හා පූජා නගරය ආශි්‍රත නේවාසික කලාප සියල්ලම පාහේ ජලයෙන් යටවෙමින් පැවැතිණි.
තවද කුම්බිච්චන්කුලම පුරාණ වැවෙහි බැම්ම එක ස්ථානයකින් පුපුරා යෑමත් සමඟ උද්ගතව ඇති අවදානම් සහගත තත්ත්වය නිසා නව නගරයෙහි ව්‍යාපාරිකයන්ට ඉන් ඉවත්වන ලෙසද දැනුම් දී ඇත.
සුබසාධක කඳවුරු 26ක අවතැන් වූවන් රඳවා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් මහ ලේකම් මහින්ද සෙනවිරත්න කීය.
නොච්චියාගම, කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව, පලාගල, තලාව, රාජාංගණය, රඹෑව ආදී ප්‍රදේශ ජල ගැලීම්වලට මුහුණදී ඇති බව අනුරාධපුර ආපදා
කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ දේශප්‍රිය බණ්ඩාර කියයි.
මල්වතු ඔය, කලා ඔය, යාං ඔය පිටාර ගැලීම නිසා කොටුවූ පුද්ගලයන් බේරා ගැනීමට, නාවික හමුදාවේ බෝට්ටු යෙදවූ බවද ඒ දේශප්‍රිය බණ්ඩාර කීය.
අනුරාධපුර බන්ධනාගාරය, හරිස්චන්ද්‍ර උද්‍යානය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, කදිරේෂන් කෝවිල, ඉසුරුමුණිය පාර, රත්නමාලි විශ්‍රාම ශාලාව හා අනුරාධපුර පූජා නගරයේ පහත් බිම් සියල්ලමද ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි උඩමළුවට හා රුවන්වැලි, ථූපාරාමයට පිවිසීමට ඇති වෙස්සගිරිය පාර, කොහොඹගස් හන්දියද ජලයෙන් යටවී ඇතැයි උඩමළුව පොලිසිය කියයි.
මහවාහල්කඩ වැව හැර සෙසු සියලුම විශාල හා මධ්‍යම පරිමාණයේ වැව් මේ දිනවල වාන් දමන බව අනුරාධපුර නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්‍ෂ ලලිත් ද අල්විස් මහතා කීය.
අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්කයේ කුඩා වැව් 15ක් පමණ ඊයේ (21දා) දිනය වන විට කැඩී ගොස් ඇති බවත් තවත් කුඩා වැව් 350ක පමණ බැමි කපා වැඩි වතුර බැස යෑමට සලස්වා ඇති බවත් අනුරාධපුර නියෝජ්‍ය ගොවිජන සේවා කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න කීය.
මහකනදරාව වැව පිටාර ගැලීමෙන් කුඹුරු අක්කර 3,000ක් පමණද නාච්චාදුව වැව පිටාර ගැලීමෙන් කුඹුරු අක්කර 5,000ක් පමණද යාන් ඔය පිටාර ගැලීමෙන් තවත් කුඹුරු අක්කර දහස් ගණනක්ද ජලයෙන් යටවී ඇත.
ඓතිහාසික මිහින්තලා රජමහ විහාරයේ සේල චෛත්‍ය මළුවේ පිහිටි අෂ්ටඵල බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාවට ඉදිකර තිබූ ආරක්‍ෂක බැම්ම පෙරේදා (20දා) සවස ස්ථාන දෙකකින් කැඩී ඇති අතර ඉන් රන් වැටට හෝ බෝධීන් වහන්සේට කිසිදු හානියක් වී නැතැයි මිහින්තලා රජමහ විහාරයේ විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ පැවැසූහ.
අනුරාධපුර දිස්ත්‍රික්කයට උද්ගතව ඇති ගංවතුර තර්ජන නිසා තිසා වැව පහළ පදිංචි වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක ඇමැතිවරයාගේ නිවෙසේ බිම් මහල සම්පූර්ණයෙන්ම යටවී ඇති බවත් ඇමැතිවරයා ඇතුළු පිරිස උඩු මහලට කොටුවී ඇති බවත් වාර්තා විය.
අනුරාධපුර බන්ධනාගාර කඳවුරද මුළුමනින්ම ජලයෙන් යටවී ඇති අතර එහි රඳවා සිටි රැඳවියන් 1100කට ආසන්න පිරිසක් වාරියපොළ, මහර, ත්‍රිකුණාමලය,
පොළොන්නරුව හා වවුනියාව නගරවල පිහිටි සිර කඳවුරු වෙත මාරු කිරීමට බන්ධනාගාර අධිකාරි අනුර බණ්ඩාර (20දා) පියවර ගත්තේය.
ගල්ගමුව ප්‍රදේශයේ නිවාස 205ක් ජලයෙන් යටවී පුද්ගලයන් 826ක් අවතැන්වී ඇතැයි ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් පී.එම්.එස්.පී. පතිරාජ කීවාය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 3,902කට අයත් පුද්ගලයන් 15,077ක් පීඩාවට පත්ව ඇතැයි
පොළොන්නරුව දිසා ලේකම් නිමල් අබේසිරි කීය.
එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 හිම ජනතාව වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බවත් දිස්ත්‍රික්කය තුළ කඳවුරු 38ක් පිහිටුවා ඇති බවත් පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර කීය.
පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල යන ජලාශ වාන් දැමීමට පටන් ගෙන ඇති අතර සෝමාවතී පුද බිමද අඩි 4ක් පමණ ජලයෙන් යටවී එහි වන්දනාවේ ගිය බැතිමතුන් 250කට ආසන්න පිරිසක් යුද හමුදාව, පොලිසිය හා අපදා කළමනාකරණ ඒකකය එක්ව මුදාගෙන තිබේ.
පොළොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්‍යක්‍ෂ
ආර්.එම්.පී. කරුණාරත්න පැවැසුවේ මින්නේරිය ජලාශයේ උපරිම ජල ධාරිතාව අක්කර අඩි 1,10,000ක් වුවත් මේ වන විට එය 1,25,000ක් ඉක්මවා ඇති බවයි.
කවුඩුල්ල ජලාශය අවදානම් සහගත තත්ත්වයක පවතින බව කී ඒ කරුණාරත්න එහි ධාරිතාව අක්කර අඩි 1,04,000ක් වුවත් මේ වන විට එය අක්කර අඩි 1,35,000ක් වී ඇතැයි කීය.
මීගොල්ලෑව වැව, පතොක් වැව, කිරිමැටිදමන වැව ඇතුළු වැව් කිහිපයක් සහ අමුණු දහයක් පමණ කැඩී යෑම වළක්වා ගැනීම සඳහා වාන් කපා ජලය පිටකළ බව පොළොන්නරු දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස් එච්.සී. හර්ෂනී කුමාරිහාමි කීවාය.
වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 231ක් පුද්ගලයන් 899ක් ආපදාවට ලක්ව ඇතැයි වවුනියාව දිස්ත්‍රික් අපදා
කළමනාකරණ මධ්‍යස්ථාන සහකාර අධ්‍යක්‍ෂ ටී.එන්. සූරියරාජ් කියයි.
පාවක්කුලම ජලාශය වාන් දැමීම නිසා පෙරියඋයන්කුලම - වවුනියාව මාර්ගය යටවී ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.
එම දිස්ත්‍රික්කයේ නිවාස 11කට අර්ධ හානි සිදුව ඇති අතර 5ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 490ක් අවතැන්ව ඇති බවත් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 5ක අවතැන් වූවන් රඳවා සිටින බවත් මන්නාරම දිස්ත්‍රික් ආපදා
කළමනාකරණ මධ්‍යස්ථාන භාර සහකාර අධ්‍යක්‍ෂ එම්. රියාස් කියයි.
මන්නාරම මුසලි හා නානට්ටන් ප්‍රදේශයේ පහත් බිම්වල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසද දැනුම් දී ඇත.
දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන වර්ෂාව නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 729ක පුද්ගලයන් අවතැන්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
නවගත්තේගම, පුත්තලම, මුන්දලම, කරුවලගස්වැව, වනාතවිල්ලුව, කල්පිටිය ප්‍රදේශවලට එම තර්ජන එල්ල වී තිබේ.
රාජාංගණය ජලාශයේ වාන් ෙදාරටු 22ක් අඩි 6 බැගින් පෙරේදා (20දා) වන විට විවෘත කර තිබූ අතර එම ජලය කලාඔයට මුදා හැරීම හේතුවෙන් කලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබිණි.
මහවැලි ගඟ, තම්මැන්නා ඇළ සහ මිරිස්ගෝනියාව ඔය පිටාර ගැලීමෙන් පවුල් 96ක 386ක් අවතැන් වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ චමින්ද අමරවීර කීය.
පස් කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් නිවාස 9කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ අමරවීර කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ වන විට පුද්ගලයන් 1,600ක පිරිසක් ගංවතුර තත්ත්වයෙන් අවතැන්ව සිටී.
මේ වන විට තාවකාලික කඳවුරු 10ක පවුල් 85කට අදාළ පුද්ගලයන් රැඳී සිටින අතර නිවාස 30කට පූර්ණ හානි සිදුව තිබෙන බව එම දිස්ත්‍රික්කයේ ආපදා
කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
දිස්ත්‍රික් මට්ටමින්
1. දිස්ත්‍රික්ක 8ක පවුල් 78,527කට 2,88,085කට
2. අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මාතලේ, වවුනියාව, මන්නාරම, ත්‍රිකුණාමලය
3. නිවාස 22ක් සම්පූර්ණයෙන් විනාශයි 185කට අර්ධ හානි
අනුරාධපුර
4. අනුරාධපුර ප්‍රා. ලේකම් 13ක 20,000කට ආසන්න පිරිසක් විපතට
5. පාසල් 5ක්, විහාරස්ථාන 10ක් යටවේ
6. කුම්බිච්චන්කුලම වැවෙහි බැම්ම පුපුරා යෑමේ අවදානමක. නව නගරයේ ව්‍යාපාරිකයන් ඉවතට
7. නොච්චියාගම, කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණු වැව, තලාව, රාජාංගණය, රඹෑව ජලයෙන් යටවේ
8. මල්වතු ඔය,කලා ඔය, යාං ඔය පිටාර ගලයි
9. කුඩා වැව් 15ක් කැඩී යයි තවත් කුඩා වැව් 350ක් රැකගන්න ඒවායේ බැමි කපයි
10. මහකනදරාව පිටාර ගලා කුඹුරු අක්කර 3000ක් නාච්චාදුව පිටාර ගලා අක්කර 5000ක් යටවෙයි
11. තිසා වැව පහළ පදිංචි නි. ඇමැති ඒකනායකගේ නිවෙස යටවෙයි
12. අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් මාරු කරයි
පොළොන්නරුව
1. පවුල් 3,902ක 15,077ක් පීඩාවට
2. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ම පීඩාවට
3. පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල වාන් දමයි
4. සෝමාවතී පුදබිමත් යටවෙයි
5. මින්නේරිය, කවුඩුල්ල ජලාශ අවදානමේ
වවුනියාව
1. පවුල් 231ක 899 අවතැන්
2. පාවක්කුලම ජලාශය වාන් දමා පෙරිය උයන්කුලම, වවුනියාව මාර්ගය යටවේ
මන්නාරම
1. 490ක් පවුල් අවතැන්
2. මන්නාරම, මුසලි හා නානට්ටන් ප්‍රදේශවල පහත් බිම්වල ජීවත්වන ජනතාවට ඉවත්වන ලෙස දැනුම් දෙයි
පුත්තලම
1. පවුල් 729ක් අවතැන්
2. නවගත්තේගම, පුත්තලම, මුන්දලම, කරුවලගස්වැව, කල්පිටියට තර්ජන
3. රාජාංගණය ජලාශයේ ජලය කලා ඔයට
මාතලේ
1. මහවැලි ගඟ, තම්මැන්නා ඇළ, මිරිස්ගෝනියාව ඔය පිටාර ගලා පවුල් 96ක 386ක් අවතැන්
2. පස් කණ්ඩි කඩා වැටී නිවාස 9 කට අර්ධ හානි
ත්‍රිකුණාමලය
1. පුද්ගලයන් 1,600ක් අවතැන්
2. තාවකාලික කඳවුරු 10ක්
3. නිවාස 30 කට පූර්ණ හානි
මඩකලපුව
1. පුද්ගලයන් 64,984ක් අවතැන්
2. තාවකාලික කඳවුරු 49ක්
3. නිවාස 98 කට පූර්ණ හානි
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment