“මගේ පෞද්ගලික ජීවිතය ගැන නෙමේ, අපේ කලා ලෝකය හා මගේ ගීත ගායනය ගැන අපි කතා කරමු. මොකද මගේ මුළු ජීවිත කාලයෙන් වැඩිම කාලයක් ගත වී තියෙන්නේ ගීත සමඟයි. ජීවිතයම ගීතාවලියක් වගෙයි. ඒත් මා පිළිබඳ කතාවකදී ගාමිණි ෆොන්සේකා කිව්වා - ‘මං හිතන් නෑ මේ වගේ කෙනෙක් තව ඉන්නවයි කියලා.’ ඒ එක්කම ගාමිණි කිව්වා - ‘හිතන්න එපා කලාකරුවෝ රෝස මල් යහනා වල ඉන්නවා කියලත්’ කියා. ඒක ඇත්ත. මං අවුරුදු 80 ක ජීවිත කාලයෙන් අවුරුදු 64 ක් විතර ගීත ගයමින් ගත කළාට සැහැල්ලුවෙන් විනෝදයෙන් රෝසමල් යහනා මත ගෙවූ ජීවිතයක් මට නැහැ.
“දැන් මට අවුරුදු 80 ක්. මගේ මුනුපුරාටත් දැන් පුතෙක් ඉන්නවා. එයාගේ නම දිදුල. එයා හින්දා මම ‘මී ආච්චි’ කෙනෙක්නේ දැන්. පසුගිය දවස්වල අසනීප වෙලා හිටියා සෑහෙන්න බෙහෙත් බිව්වා, ආතරයිටිස් රෝගයට. මම බයිපාස් එකක් කරලා බෙහෙත් බිබීනේ උන්නේ. බේත් ජාති ගොඩයි.ඒ මොනවා වුණත් බෙල්ලෙන් උඩ කිසි අවුලක් නැහැ. මයික් එකක් දුන්නොත් ඕනෑම ගීතයක් ගයන්න පුළුවන්. රසික ප්‍රසාදය එදා මෙදා කිසි වෙනසක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතියකම රසික රසිකාවියෝ මගේ ගීත අහන්න ආසයි. බෙහෙත් ගන්න යන තැන්වලදී හමුවෙන හැමෝම කියන්නේ ‘අනේ ඉක්මනට සනීප වෙන්න. අපිට සින්දු අහන්න’ කියලයි. ඔවුන් කැමැති මගේ ගී මගේ හඬින්ම ගයනවා අහන්නයි. වෙන කවුරු මගේ සින්දු කිව්වත් ඔවුන් ඒවා අගේ කරන්නේ නැහැ. මං ගීත ගයනවා නම් ඔවුන් ඒකට කැමැතියි.”
. ඔබ තවමත් අලුත් ගීත ගායනා කරනවා ද...?
“ඔව්. අලුත් ගායකයින් කිහිප දෙනෙකු සමඟ යුග ගී කිහිපයක්ම කළා පසුගිය කාලේ. සරත් ද අල්විස් මියුසික් කරපු නව නිර්මාණයකුත් මෑතකදී ගායනා කළා. ඉදිරියේදී ගාමිණී පතිරණ මියුසික් කරන අලුත් ගීත කිහිපයකුත් ගයන්න තියෙනවා. ආරාධනා ලැබුණොත් නව නිර්මාණ ගී ගයන්න පුළුවන් හින්දා. මම මගේ දරු මුනුපුරු මිනිබිරියෝ ඔක්කොම එක්ක ගී ප්‍රසංගයක් පවත්වන්නත් හිතාගෙන ඉන්නේ.”
. අපට එම ගීත ප්‍රසංගය කවදා රසවිඳින්න ලැබේ ද...?
“ඒ දවස හරියටම කියන්න බැහැ දැන්ම. මොකද මගේ බාල පුතා ඇමෙරිකාවේ. මගේ එක පුතෙක් කටාර්වල. මගේ දුවගේ දරුවෝ තුන්දෙනෙක් ඕස්ට්‍රේලියාවේ. ඉතින් මේ අය ඔක්කොම එකතු කරගන්න තියෙන අමාරුව නිසා මගෙ මේ ආසාව කවදා ඉටුවෙයි ද කියන්න බැහැ. මගේ දරු මුනුපුරු මිනිබිරියන් ඔක්කොම සංගීතය ඉගෙන ගෙන තියෙනවා. කලාව හොඳටම පිහිටලා තියෙනවා ඔවුන් තුළ. මං වගේ නෙමෙයි, ඒ හැමෝම සංගීතය ඉගෙන ගෙන තියෙන හින්දා මට වඩා දක්ෂයි.”
. ඔබ එලෙස පැවසුවාට ඔබ දශක ගණනාවක් පුරා ගීත ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ සංගීතය හදාරා නොවේ නේද...?
“මෙහෙමයි. මං ගුවන් විදුලියෙන් ගීත 10 ක් විතර ගායනා කරපු ගමන්ම වාගේ චිත්‍රපට පසුබිම් ගී ගයන්න එකතු වුණානේ. එතැනින් පටන් ගත්තාට පස්සේ දිගටම මට අවුරුදු 10 ක් විතරම ඉන්දියාවේ ගීත පටිගත කිරීම්වලට සහභාගි වෙන්න සිදු වුණා. ඒ කාලේ ගීත පටිගත කෙරුණේ ඉන්දියාවෙනේ. ඒ නිසා සංගීතය ඉගෙන ගන්න අවස්ථාව නැති වුණා. සහජ හැකියාව තිබුණු හින්දා එදා මට මේ ගමන මේ විදිහට එන්න පුළුවන් වුණා. ඇවිත් රැඳී ඉන්නත් පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඉතින් නන්දා මාලිනීට, දීපිකා ප්‍රියදර්ශනීට වගේ මට මගේ කියලා දෙයක් හදාගන්න එක මඟ හැරුණා.”
. ඔබ ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත්තා නම්...?
එහෙම ඉගෙන ගත්තා නම් මං වෙනම පැත්තකට යන්න තිබුණා. කොහොම වුණත් මට ඒ කාලේ ඉගෙන ගන්න වෙලාවක් විවේකයක් තිබුණේ නැහැ වගේම ඉගෙන ගන්න කෙනෙක් උන්නෙත් නැහැ. මට ඉගැන්නුවා නම් ඉගැන්නුවේ සංගීත භාණ්ඩ මුකුත්ම නැතුව නිකම් පුටුවකට මේසයකට ගගහා තමයි.
. ඔබට එලෙස ඉගැන්වූවේ කවුරුන් ද...?
සුසිල් ප්‍රේමරත්න, තව සී. ටී. ප්‍රනාන්දුත් එහෙම තමයි ගී තනු එහෙම කියලා දුන්නේ. මෙහෙම කියන්නේ අහිතකින් නෙමේ. ඒ අපි ඒ කාලේ වැඩ කරපු හැටි තමයි. සුසිල් එක්තරා විදිහකට මට සංගීත ගුරුවරයකු වුණේ එහෙමයි. මට හැකියාව තිබුණා එහෙම කියා දුන්නාම තනු ග්‍රහණය කරගෙන හරියටම ස්වර ස්ථාන අනුව ගායනා කරන්න. එහෙම සුසිල් එක්ක ගායනා කළ ‘රන්වන් කරලින් පැසිලා’ - ‘රූ රැසේ අඳිනා ලෙසේ’ - ‘කළු කැලණි නදී’ ගීත වගේම සී. ටි. එක්ක ගැයූ ‘මල්බර හිමිදිරියේ’ - ‘ලෝ අඬ නින්දේ’ - ‘සැළලිහිණි කොවුල්’ වැනි ගීත අදත් රසිකයින් අතර ජනප්‍රිය වී තිබීම සතුටක්. හැබැයි ආර්. මුත්තුසාමි මාස්ටර් තමයි සින්දුවක් හරියට කියන විදිහ මට කියා දුන්නේ.
“හෙළ ගී රැජන” ලෙස ඔබව හැඳින්වීම ගැන ඔබේ හැඟීම කුමක් ද...?
අනේ මා දන්නේ නැහැ. එහෙම නම් කියනවා ඉතින්. රජ ගොල්ලො නම් ගොඩක් ඉන්නවානේ. ඒ වගේම රැජිනියොත් දැන්නම් ගොඩක් ඉන්නවා. හැබැයි ඔවුන්ට පැවැත්මක් නැහැ. මං මේ කියන්නේ ඔය රියැලිටි ෂෝ වලින් අපේ ගීත ගායනා කරලා එන ළමයි ගැනයි. අනේ ඉස්සර අපිට වගේ නෙමේ, මේ ළමයිට හෙලිකොප්ටර්වලින් පෙරහරවලින් ගෙනල්ලා ලක්ෂ ගණන් මුදල්, යාන වාහන ලබා දීලා සලකන්නේ.
එක වැඩ සටහනකින් තෝරන ළමයා රජවෙලා අනුන්ගේ සින්දු කිය කියා ඉන්නවා ඊළඟ වැඩ සටහනේ ළමයා රජ වෙනතුරු. ඊට පස්සේ මැකිලා නන්නත්තාර වෙලා යනවා. හැමදාම තෝර තෝර ඉන්නවා මිසක් ඔය රජ වෙන එක ළමයෙකුටවත් ස්ථිර පදිංචියක් අපේ ගීත ක්ෂේත්‍රයේ ලැබිලා නැහැ තාම. මේ අනුන්ගේ ඒවා කතා කරන්න මං කැමැති නැහැ. ඕන කෙනෙක් ආපුවා වේ. ඕන කෙනෙක් උන්නා වේ.
කාටවත් ඊර්ෂ්‍යාවට කියන කතා නෙමේ මේවා. මේ ඇත්ත අපි කිව්වේ නැත්නම් වෙන කවුරු කියන්න ද. අපි ඇති වෙන්න හිටියා. තාමත් ඉන්නවා. ඉතින් මං කියන්නේ ඔය අපේ සින්දු කියලා හරි එන ළමයි දැන ගන්න ඕනේ පවතින්න පුළුවන් විදිහේ හොඳ ගීත ගායනා කරන්න. නැත්නම් මේ ක්ෂේත්‍රයේ තාවකාලිකව රජවරු රැජිනියෝ වෙලා ඔවුන්ට වත් අපේ ගීත කලාවටවත් පලක් වෙන්නේ නැහැනේ.
ඔබේ ගීතත් වෙනත් ගායිකාවන් අනවසරයෙන් ගායනා කර තිබෙනවා නේද...?
අද කවුරු මොනවා කළත් මම ලස්සනට මගේ ගීත ගායනා කරලා තිබෙනවා. මගේ වැඩ කොටස මං ලස්සනට කරලා තියෙනවා. දැන් තියෙන්නේ මෙවැනි අසාධාරණයන්ට විරුද්ධව පියවර ගැනීමට බලතල තියෙන වගකිව යුත්තන්ගේ කාර්යයන්නේ ඔවුන් ඒවා බලා ගත්තාවේ. අපිට ඔවැනි අයුරු සලකන්න ඔවුන් කැමැති නම් කරපුවාවේ. මං කිසිම උසාවියකට මගේ සින්දුවක් වෙනුවෙන් මේ වනතුරු ගිහිල්ලා නැහැ. මං යන්නෙත් නැහැ.
‘මගේ සින්දු කියන්න එපා’ කියලා මං කාටවත් බැණලත් නැහැ. අලුතෙන් එන ළමයිට මං කියන්නේ - ‘අපි හැමෝම ඇවිල්ලා තියෙන්නේ අනුන්ගේ සින්දු කියලා තමයි. ඒත් එහෙම ආවට පස්සේ අර ගායනා කරපු අනුන්ගේ ගීත තමන්ගේ කර ගන්න එපා’ කියලයි. දැන් මේ සිද්ධ වෙන පිළිවෙළට දිගටම සිදු වුණොත් මගේ ගීත මං ගයද්දී මගෙන් අහයි ‘ඔයා මොකද අනුන්ගේ සින්දු කියන්නේ’ කියලා. ඒ තරමට අලුත් ළමයි අනුන්ගේ සින්දු අයිති කරගනිමින් ඉන්නවා.
. ඔබේ පරම්පරාවේ ගීත මෙලෙස වැඩිපුරම කොල්ල කෑමට ලක් වෙන්නේ ඇයි...?
රසය තියෙන්නේ අපේ ගීතවලනේ. ඒකයි අපේ පරම්පරාවේම ගීත කොල්ල කන්නේ. ඉතින් උකුස්සෝ වගේ බලන් ඉන්නවා. ‘කවද්ද මැරෙන්නේ අහවල් ගායිකාව නැත්නම් ගායකයා’ කියා හිත හිතා. මොකද ඒ ගායකයා හෝ ගායිකාව මැරුණාම ඒ ගීත අයිති කරගන්න. මම කවදා හරි මැරුණාට පස්සේ මමයි මගේ ගීතයි අවුරුදු 25 ක් 30 ක් යනකම් දැන් ජීවතුන් අතර ඉන්නවාට වඩා ජනප්‍රිය වෙයි. දැන් අපේ ගීත ප්‍රචාරය නොකරන ගුවන් විදුලි, රූපවාහිනී නාළිකා වලින් මගේ ගීතත් නිතර දෙවේලේ ප්‍රචාරය කරයි. අද මේ රටේ විද්‍යුත් මාධ්‍ය 10 ක් තියෙනවා.
අඩු ගාණේ මගේ ගීත 15 ක් වත් දවසකට ප්‍රචාරය කරන කර්තෘ භාග ගෙවනවා නම් අපිට කාටවත් අතපාන්න ඕන වෙන්නේ නැහැනේ. රජයේ සේවකයින් විශ්‍රාම ගියාම විශ්‍රාම වැටුපක් ගෙවනවා. ඒත් මේ රටට සේවයක් කරලා වියපත් වෙන කලාකරුවන්ට කුමක් ද සිදුවෙලා තියෙන්නේ. ඇතැමෙකුට නම් ටවර් හෝල් පදනමෙන් රුපියල් දෙදාහක් දෙනවා මසකට.
කන්න, බොන්න, අඳින්න, ලෙඩට දුකට, විදුලි බිල්, වතුර බිල්, දුරකථන බිල් ඔය හැම දෙයකටම සෑහෙයි ද රුපියල් දෙදාහක්. මට නම් මගේ දරුවෝ ඉන්නවා. එහෙම දරුවොත් නැති වියපත් කලාකරුවෝ කොහොම ජීවත් වෙන්න ද. අපි අමාරුවේ වැටිලා, දත් හැලිලා, ඇවිද ගන්නවත් පණ නැති වෙනකල් ද බලා ඉන්නේ උදව් උපකාර හා පරිත්‍යාග කර ප්‍රසිද්ධිය ලබන්න. ඉන්දියාවේ ලතාලට ඕනෑම වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගත්තාම එම මුදල් ගෙවන්නේ රජයෙන්. වෛද්‍ය පහසුකම් පමණක් නෙමේ අවශ්‍ය සියලුම පහසුකම් සලසා දී තිබෙනවා.
අපේ මේ පිළිසඳරෙන් සමු ගන්න ඔබ කැමැති කුමන සිතුවිල්ලකින් ද...?
දැන් ඉතින් 80 පැන්නට පස්සේ තව කොච්චර කල් ඉන්න ද. අපි කොයි වෙලාවක හරි මැරිලා යයි, තව වැඩිකල් ඉන්නේ නැහැ. මේ ජීවන කාලෙදි මම කිසි කෙනෙක් එක්ක අමනාප වෙලා නැහැ. මාත්තෙක්ක කවුරුත්ම තරහා නැහැ. ඒත් සමහර මාධ්‍යවලින් නම් මට ප්‍රශංසා වගේම නින්දා අපහාසත් කෙරිලා තියෙනවා. ඒ නිසා මං බොහෝ දුක් වේදනා විඳලා තියෙනවා.
ඒත් ඒ අතළොස්සක් දෙනා වෙනුවෙන් මං සාමය පතනවා. මට ඕනේ හොඳ තැනකට යන්න, හොඳ විදිහට යන්නයි. මං බොහොම ස්වාධීනව කරදරයක් නැතුව මේ ජීවිතයේ ඉතුරු කාලය ගත කරනවා. සියලුම දෙනා සමඟ සමාදානයෙන් ඉඳලා මැරෙන්නයි මට ඕනේ. ඒ වනතුරු මගේ ගීත රසික රසිකාවියන් වෙනුවෙන් ගීත ගායනයේ නියැළෙන්නත් ආසාවෙන් ඉන්නවා කියලා අවසානෙට ලියන්න.
සතුට සොකේ ජය පරාදේ
අපටමයි මේ ලෝකයේ
එයට පිටුපා මෙලොව මිනිසා
කිසි තැනකදී නෑ ගියේ...!
(පද - කරුණාරත්න අබේසේකර)
Post a Comment