හාල් රජ්ජුරුවෝ, වැලි රජ්ජුරුවෝ, ගල් රජ්ජුරුවෝ, ගස් රජ්ජුරුවෝ..
අද රාජපක්ෂ පවුලට විරුද්ධව නැගෙන ප්‍රධාන චෝදනාවක් තමයි මේ පවුල් දේශපාලනය පිළිබදව ඉදිරිපත් කරන චෝදනාව බවත් නමුත් අද දේශපාලනයේ ඉන්න මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ පිළිබදව සදහන් කළොත් මේ අය දේශපාලනයට එන්නේ විවිධ ක්‍රම ඔස්සේ බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසූවේ උඩුනුවර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමකදියි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ‘‘එදා මුල්කිරිගල ආසනයට සංවිධායකවරයෙක් හොයන අවස්ථාවේ මට පැවරුණා ජනතාවගේ කැමැත්ත කුමක්ද කියලා හොයලා බලන්න. මම හැම ශාඛා සමිතියකට ම ගිහින් විමසුවා. හැමෝගෙම ඉල්ලීම තිබ්බේ මහින්ද රාජපක්ෂ. නමුත් එතුමා ඒ වනවිටත් බෙලිඅත්ත සංවිධායකකම අරගෙනයි තිබ්බේ. ඒ වෙනකොට පොලිස් සේවයේ හිටපු චමල් රාජපක්ෂ මැතිතුමා පොලිස් සේවයෙන් ඉවත් කරලා තමයි බණ්ඩාරනායක මැතිනිය විසින් එතුමාව දේශපාලනයට ගෙනාවේ. අනුර බණ්ඩානායක මැතිතුමා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමාව දේශපාලනයට ගෙනාවේ. ඒවගේ ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව නිරූපමා රාජපක්ෂව ගෙනාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය යි. ඉතින් කොහොමද මේක පවුල් පාලනයක් කියන්නේ.
නියම පවුල් පාලනයක් පොළොන්නරුවේ නම් තිබෙනවා. ඒක තමයි මෛත්රිගේ සහෝදරයන්ගේ පාලනය. එක් පැත්තකින් ඇමති අයියා. අනෙක් පැත්තෙන් සහල් ඒකාධිකාරය තියාගෙන එක් සහෝදරයෙක් ඉන්නවා. අනෙක් සහෝදරයා වැලි ඒකාධිකාරය තියාගෙන ඉන්නවා. තවත් සහෝදරයෙක් ගල් ඒකාධිකාරය තියාගෙන ඉන්නවා. අනෙක් සහෝදරයා කැලෑ කපමින් ගස් ඒකාධිකාරය තියාගෙන ඉන්නවා, මේ ගොල්ලෝ තමයි පොළොන්නරුවේ රජ කරන්නේ. එක පැත්තකින් වැලි රජ්ජුරුවෝ, තව පැත්තකින් හාල් රජ්ජුරුවෝ, පැත්තකින් ගල් රජ්ජුරුවෝ සහ තවත් පැත්තකින් ගස් රජ්ජුරුවෝ. නියම පවුල් පාලනයක් තිබෙන්නේ මෙන්න මෙතන නෙමෙයි ද?
අද පොදු අපේක්ෂකයත් එක්ක ඉන්න උදවිය කියනවා මෛත්‍රීපාල මැතිතුමා බලයට ආවොත් දින 100කින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. නමුත් ඇත්ත ඒක නොවෙයි. අපි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව වෙනස් කරන්නට පාර්ලිමේන්තු කොමිසමක් පත් කළ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, හෙළ උරුමය මේ පිළිබ`දව යෝජනාවක්වත් ගෙනාවේ නැහැ. ඒවාට නිසායාකරව සහභාගී වුණේවත් නැහැ. මේ අයට හදිස්සි වෙලා තිබෙන්නේ දැනුයි.
මේ ජනාධිපතික්රමය වෙනස් කරන්නට අදත් හෙටත් මේ ක්‍රමය යටතේ ජනාධිපතිවරයකුට බැහැ. ඒක ජේ.ආර්. ජයවර්ධනටවත්, පේ්රමදාසටවත්, චන්ද්‍රිකාටවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටවත් බැහැ. ඒක පාර්ලිමේන්තු කමිටු එක්ක සාකච්ඡා කරලා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය අරගෙන මිසක් කළ නොහැකියි.
මේක වෙනස් කරන්නට දින 100ක් වැඩියි කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනවා. ඒක ඒගොල්ලන්ගේ නොදන්න කම. ඒ අයගේ අමනෝඥකම. මෝඩකම. මේ කථාවලට අනුකම්පා කරනවා හැරෙන්නට කරන්න දෙයක් නැහැ.
එදා 1972 ව්‍යාවස්ථාව සකස් කරන්නට බණ්ඩාරනායක මැතිනිය පටන් ගත්තේ 1968 දී. කොල්වින් ආර්.ද. සිල්වා ඇතුළු විශ්ෂඥ මට්ටමේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් රැසක් එක් කරගෙන, දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබද මහාචාර්යවරු රැසක් එක්කරගෙන, විෂයය පිළිබද විශේෂඥයින් ගණනාවක් එක්කරගෙන අවුරුදු හතරක් තිස්සේ සාකච්ඡා කරලා තමයි එම ව්‍යවස්ථාව නිර්මාණය කළේ. එතුමිය ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව ත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පාර්ලිමේන්තුව පත්කරලා සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි ව්‍යවස්ථාව වෙනස් කළේ. ඒවගේම යි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 78 ව්‍යවස්ථාව හදන්න පටන් ගන්නේ 1974 වර්ෂයේ දී යි. මේ ස`දහා ත් විශේෂඥ මණ්ඩලයක් පත්කරලා අවුරුදු හතරක් තිස්සේ සැලසුම් කරලා තමයි ව්‍යවස්ථාවක් සකස් කරන්නේ. ඉතා ම පුංචි ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව සකස් කරන්නට ඔවුන් අවුරුදු තුනක කාලයක් ගන්නවා. ඉන්දියාව සිය ව්‍යවස්ථාව සම්පාදනය කරන්නට අවුරුදු හතරක කාලයක් ගන්නවා. ඒ නිසා මේ විපක්ෂය ගෙනෙන බොරු කටකථා, පුරසාරම්, නොදන්න කමට, මෝඩ කමට, අමනෝඥ කමට කියන කථා පිළිබ`ද අපේ ජනතාව රැවටෙන්නේ නැහැ. අද චන්ද්‍රිකාලා මෛත්‍රිලා කියන දේවල් කරන්න දින 100කින් නොවෙයි අවුරුදු හයක් ගිහිල්ලත් කරන්නට බැහැ.
ඇයි මේ දඩිබිඩියේ මේ විධායක ජනාධිපතික්රමය වෙනස් කරන්න හදන්නේ? මහින්ද රාජපක්ෂ මැතිතුමා විධායක ජනාධිපතික්රමය රටේ ජනතාවට හෝ රටේ ප්රජාතන්ත්රවාදයට විරුද්ධව පාවිච්චි කළා ද? එතුමා දුෂිත මැතිවරණ තියන්න, භීෂණය වපුරන්න මේක පාවිච්චි කළා ද? නැහැ. නමුත් එදා ජේ.ආර් ජයවර්ධන රටේ භීෂණය වපුරන්න, පොලිසි වහන්න, පාවිච්චි කළා. එතුමා රාජ්‍ය සේවකයෝ බුරුතු පිටින් එළියට දැම්මා. දුෂිත ජනමත විචාරණයක් තිබ්බා. පැරදුණු ආසනවලට දුෂිත විදියට අතුරු මැතිවරණයක් තිබ්බා. පේ‍්‍රමදාස ජනාධිපතවරයා කොටින්ට සල්ලි, ආයුධ දෙන්න පාවිච්චි කළා. දුෂිත මැතිවරණ තියන්න පාවිච්චි කළා. ටයර් සෑයවල් උඩ තරුණ තරුණියෝ යැවුවා. සොත්ති උපාලි ගෙදර තියාගෙන පෝෂණය කළා. චන්ද්‍රිකා මැතිනිය දුෂිත මැතිවරණ තියන්න පාවිච්චි කළා. බැද්දගානේ සංජීව, කරුණාරත්නලා පෝෂණය කරලා භීෂණය වැපිරුවා. නමුත් අතිගරු ජනාධිපතිතුමා මේ එකක්වත් කළා ද? එක ඡුන්දයක් හොරාට දාපු කථාවක්, එක ඡුන්ද පෙට්ටියක් ගිනි තියපු කථාවක් මේ කාලය තුළ දී අපි ඇහුව ද? ජනාධිපතිතුමා විධායක ජනාධිපති ක්‍රමය භාවිතා කළේ මේ රටෙන් කොටියා පන්නන්න. මේ රට සංවර්ධනය කරන්න.
අද විදෙස් බලවේගවලට අවශ්‍ය වෙලා තිබෙන්නේ කොහොම හරි ජනාධිපතිතුව පන්නලා දාන්න. රූකඩ නායකයෙක් ගෙනැත් රට දෙකට කඩලා ඊලමක් හදන්න. එදා ඉරාකයේ සදාම් හුසේන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායමකට එන්න ඉඩ දුන්නා. ලිබියාවේ ගඩාපි එන්න දුන්නා. ඔවුන් වැරදිකරුවන් කරලා අවසානයේ ඒ හොදින් සංවර්ධනය වෙලා තිබ්බ රටවල් අමු සොහොන් බවට පත් කළා. මේ තත්ත්වය හෙට අපේ රටටත් කරලා මහින්ද රාජපක්ෂව, ගෝඨාභය රාපක්ෂව පෝරකයට යවලා අපේ රටත් අමු සොහොනක් බවට පත් කරන්නට. මේකට තමයි ඔවුන් ඩොලර් කෝටි ගණන් පොම්ප කරලා කොහොම හරි වෙනත් තමන්ට අවනත රූකඩ පාලකයෙක් ගේන්න හදන්නේ. අපේ ජනතාව මේකට ඉඩ දෙන්නේ නැහැ.
දුෂණය ගැන කථා කරන්ට මේ අයට කිසිසේත් අයිතියක් නැහැ. මොකද ජේ.ආර්ගේ පටන් කළේ දුෂණය නිසා. ජේ.ආර් මැතිතුමා තමයි රාජ්‍ය දේපළ වැඩියෙන් ම වික්කේ. තමන්ට ඔනේ ගණන්වලට ඕනේ අයට වික්කා. හිල්ටන් එක හදන්න දුන්නේ මුදල් ඇමතිවරයාටත් හොරෙනුයි. අදටත් හිල්ටන් හෝටලයේ එක් තට්ටුවක් අතුරුදහන්. කිසිම දවසක ගාමිණී දිසානායක මැතිතුමා ටෙන්ඩර් කැෙ`දවුවේ නැහැ. එතුමා රන්දෙණිගල, කොත්මලේ හදද්දී ටෙන්ඩර් කැදෙව්වේ නැහැ. මේ අය සල්ලි හොරකම් කළේ කෝට් ප්‍රකෝටි ගණන්වලින් නොවෙයි කෙලකෝටි වලිනුයි. පේ‍්‍රමදාස මැතිතුමා අරලියගහ මන්දිරෙන් යනකොට ගියේ ඒකෙ තිබ්බ පුටු සෙටි, පිගන් බඩු, චිත්‍රත් අරගෙන. චන්ද්‍රිකා අක්කරය රුපියල් 2.50ට පාර්ලිමේන්තුව ඉදිරිපිට ඉඩම් වික්කා.
සමහරු චෝදනා කරනවා අපි ණය ගන්නේ ගිණි පොලියට කියලා. ඒක සම්පූර්ණ වැරදියි. එදා එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ රටේ ණය සියයට 104-105 දක්වා වැඩි කරලා තිබිද්දී ලෝකේ කිසිම කෙනෙක් අපට ණය දුන්නේ නැහැ. එතකොට නම් අතිගරු ජනාධිපතිතුමා ඩොලර් මිලියන 500ක ණයක් ඉල්ලූවා. කිසිම ආයතනයක් දුන්නේ නැහැ. අපි බැංකුවලට ගියා. බැංකුව එකග වුණා සියයට 7 පොලියට අවුරුදු තුනකින් ගෙවන්න ණයක් දෙන්න. ඒක ගන්න ගියාමත් එක්සත් ජාතික පක්ෂයෙන් ගන්න දුන්නේ නැහැ. බැංකුව ඉස්සරහා පෙළපාලි ගියා. ණය දෙන්න එපා දුන්නොත් ගෙවන්නේ නැහැ කියලා. අද අපේ ණය ආදායමට අනුව සියයට 78යි. අද අපි ණය ගන්නේ සියයට 2ට වඩා අඩු පොලියට. මේවා බලාගෙන ඉන්න බැරිකමටයි මේ අය බොරු බේගල් ඇද බාන්නේ. අපි අද දියුණු වෙන ජාතියක්. මේක ආපස්සට හරවන්න ඉඩ දෙන්න එපා.‘‘ යනුවෙන් ද අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසී ය.
Post a Comment