BREAKING NEWS

රටතොට

Sunday, November 23, 2014

පූර්ණ ආශිර්වාදය මැද ආණ්‌ඩුව යන ඒකාධිපති ගමන...!!!

 ඕනෑම රටක ආණ්‌ඩුවක්‌ සෑම විටම කටයුතු කරන්නෙ තම බලය රැක ගැනීමට සහ තහවුරුකර ගැනීමටයි. බලය අත්හැරීමට කිසිම ආණ්‌ඩුවක්‌ කැමැති නෑ. ඒ වගේම කිසිම ආණ්‌ඩුවක්‌ බලය කොපමණ තිබුණත් එයින් තෘප්තිමත් වෙන්නෙත් නෑ. මෙය තුන්වෙනි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවල ස්‌වභාවයයි. ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වෙන තුන්වෙනි ලෝකයේ රටවල ආණ්‌ඩු ප්‍රජාතන්ත්‍රවාදය අමතක කරල බලය තහවුරු කර ගැනීමට උනන්දුවීමත්, එයට එරෙහිවන බලවේග මර්දනය කිරීමත් සාමාන්‍ය දෙයක්‌. මේ තත්ත්වය අපේ රටෙත් ඒ ආකාරයෙන්ම දකින්න තියෙනව.

ආණ්‌ඩුවක්‌ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ජනතාව විසින් තෝරා පත්කරගත් පුද්ගලයින්ගෙන් සමන්විත ආයතනයක්‌. නමුත් ජනතාව විසින් තෝරා ගෙන බලය පැවරුවට පස්‌සෙ ආණ්‌ඩුවක්‌ විදිහට සංවිධානය වුණු මේ අයගෙ තිබෙන විශේෂ ලක්‍ෂණයක්‌ තමයි ජනතාව ගෙන් ඈත් වීම.
ජනතාව එකතුවෙලා බලය ලබා දුන්නට පස්‌සෙ මේ අයට ජනතාව කන කෑම බීම කන්න බෑ. සුපිරි කෑම ඕන. ජනතාව යන එන වාහනවල යන්න බෑ. අධි සුඛෝපභෝගි වාහන ඕන. කලින් හිටපු ගෙදර ඉන්න බෑ. සුපිරි මන්දිර ඕන. වෙනද කතා කරපු නමින් අමතනවට කැමැති නෑ. නමේ මුලට ගරු, අතිගරු කෑලි ඕන. ජනතාවගෙන් බලය ලබා ගත්තට පස්‌සෙ මේ ගොල්ලො මානසික වශයෙන් රජවරු බවට පත්වෙනව. මේ මානසික රජවරුන්ට තමුන්ගෙ රාජකීය ගතිය පවත්වාගෙන යන්න කරන රස්‌සාවක්‌ නැති හින්ද මොවුන්ට ඒ රාජකීය ගතිය පවත්වාගෙන යන්න වෙන්නෙ ජනතාව උපයන මුදලින් ගෙවන බදු මුදල් වලින්.


බලය තිබෙන නිසා අත්තනෝමතිකව මේ මහජන මුදල් භාවිත කරන්න මේ මානසික රජවරු පුරුදු වෙනව. කොච්චර මහජන මුදල් විනාශ කළත් මේ අයට ඇතිවීමක්‌ නෑ. තව මදි කියල තමයි මේ අයට හිතෙන්නෙ. මේවා දේශපාලනික මානසික ප්‍රශ්න. පොලිටිකල් සයිකොලජි කියල මේ තත්ත්වයන් විග්‍රහ කරන වෙනම අංශයක්‌ දේශපාලන විද්‍යාවෙ තියෙනව. මේ මානසික තත්ත්වයෙන් පෙළෙන දේශපාලකයන්ට තමුන් විනාශ කරන මහජන මුදල් පිළිබඳ කිසිම හැඟීමක්‌ නෑ. ඒ නාස්‌තිකරන මුදල් පිළිබඳ ඔවුන්ට කිසිම වගකීමකුත් නෑ. තව මදි කියලයි ඔවුන්ට දැනෙන්නෙ. මේ තත්ත්වය බලය ලබාගත්ත පුද්ගලයට පමණක්‌ නොවෙයි ඔහුගෙ මුළු පවුලටම බලපානව. බිරිඳටත් රාජකීය තත්ත්වයක්‌ ආරූඪ වෙනව. දරුවො කුමාර - කුමාරිකාවො වෙනව. ගෙදර මැඳුරක්‌ වෙනව. ඒ මැඳුරෙ ඉන්න බල්ල පූසා පවා උසස්‌ තත්ත්වයකට පත්වෙනව.

මේ තත්ත්වය නඩත්තු කරන්න වෙන්නෙ මහජනතාවට. එවිට මහජනතාවගෙන් ලබා ගන්න මුදල් වෙනුවට ආණ්‌ඩුව සලසන සේවාවන් කපා දමන්න සිදුවෙනව. එයට එරෙහිව තමන්ගෙ අයිතිවාසිකම් දිනාගන්න ජනතාව ඉදිරියට එනවිට ඔවුන් මර්දනය කරනව. මේ මර්දනය අවි ගැටුම් දක්‌වා ඉදිරියට යනව. මේක තමයි අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කියල අද හඳුන්වන වර්තමාන දේශපාලනයේ යථා තත්ත්වය.

දේශපාලන බලය දරන පුද්ගලයන් කිසිදිනක තෘප්තිමත් නොවන කරුණු 3 ක්‌ තියෙනව. ඒ තමයි ධනය, බලය සහ ලිංගික ජීවිතය. බලය දේශපාලන අර්ථයෙන් ගත්තොත් කිසිම දේශපාලනඥයෙක්‌ තමන්ට ලැබී තිබෙන බලයෙන් සෑහීමකට පත්වෙන්නෙ නෑ. බලය කොපමණ තිබුණත් දේශපාලනඥයා අතෘප්තිමත්, මෙය බලය හසුරුවන පුද්ගලයන්ගේ මූලික ලක්‍ෂණයක්‌. ආණ්‌ඩු අත්තනෝමතික වෙන්නේ මෙන්න මේ හරහා.

ආණ්‌ඩුවක්‌ අත්තනෝමතික වෙනවනම් මහජන මුදල් හිතුමතේ වියදම් කරනව නම් එය මැඩපවත්වන්න මොනවද කරන්න පුළුවන්?

මේ සඳහා තියෙන එක උපාය මාර්ගයක්‌ තමයි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව. දේශපාලන බල ක්‍රීඩාව කළ යුත්තේ මේ මේ නියමයන්ට අනුව කියල එහි පෙන්වා දෙනවා. එය කඩ කරනව නම් එය රටේ මූලික නීතියට පටහැනියි. ඒ නිසා රටක ආණ්‌ඩුවක්‌ නිසි මග යෑවීම සඳහා හොඳ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට විශාල කාර්හභාරයක්‌ කළ හැකියි. ඒ සඳහා හොඳම නිදර්ශනය ඇමරිකානු සහ එංගලන්ත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා. මෙහෙ වගේ ඒ රටවල නීතිරීති කඩල ඔබාමලට මැති ඇමැතිවරුන්ට හැසිරෙන්න බෑ. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීම ඒ රටවල බරපතළ වරදක්‌. අපේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නාමික ලියවිල්ලක්‌ විතරයි. රටක පාලකයන්ගෙ, පාලිතයන්ගෙ සහ ජනතාවගෙ ගෞරවයට පාත්‍ර වෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ඒ රටේ සිවිල් ආගම බවට පත්වෙනව. සිවිල් ආගමක තත්ත්වයට තබා ඒ ආසන්නයටවත් ළං වුණු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අපේ රටේ නෑ. මේ නිසා අපේ රටේ පාලකයන්ට හිතුමතේ වැඩකරන්න පුළුවන්වෙලා තියෙනව.
ඊළඟට රටක ආණ්‌ඩුවක අත්තනෝමතික ගමන මැඩපවත්වන්න පුළුවන් බලතල බෙදීම මගින්. මේ සිද්ධාන්තය ඉදිරිපත් කළේ ප්‍රංශ දේශපාලන චින්තකයෙක්‌ වූ චාල්ස්‌ මෙන්ටෙස්‌කිව්. ආණ්‌ඩුවක බලය විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ ලෙස කොටස්‌ තුනකට බෙදිය යුතු බවත්, ඒවා එකිනෙකට වෙනස්‌ පුද්ගලයන් මගින් පාලනය විය යුතු බවත්, මේ ආයතන එකිනෙකට බලපෑම් නොකළ යුතු බවත් ඔහුගේ සිද්ධාන්තයයි. එසේම මේ එක්‌ ආයතනයක්‌ හිතුවක්‌කාරී වෙනව නම් අනෙක්‌ ආයතන මගින් එය පාලනය කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.


ඇමරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මූලික පදනම මේ බලතල බෙදීම, සංවරණය සහ තුළනය කිරීමේ සිද්ධාන්තයයි. ඒ අනුව ඇමරිකාවේ මේ ආයතන තුනෙන් එකකටවත් හිතුවක්‌කාරී වෙන්න බෑ. නමුත් අපේ රටේ දැන් පවතින 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් එහෙම බලතල බෙදීමක්‌ ඇත්තෙ නෑ. අපේ ව්‍යවස්‌ථාවෙන් සර්ව බලධාරී විධායකයක්‌ ගොඩනගල අධිකරණය සහ ව්‍යවස්‌ථාදායකය එයට යටපත් කරල තියෙනව. අපේ රටේ අධිකරණයටවත් ව්‍යවස්‌ථාදායකයටවත්, මොනම ආකාරයෙන් වත් පුළුවන් කමක්‌ නෑ විධායකය හිතුවක්‌කාරීව හැසිරුණොත් එය පාලනය කරන්න. එම නිසා අපේ රටේ ආණ්‌ඩුවලට දඩබ්බර වෙන්න, හිතුවක්‌කාර වෙන්න ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම පහසුකම් සලස්‌වල තියෙනව.

ඊළඟට රටක ආණ්‌ඩුවක්‌ පාලනය කිරීමට හැකියාවක්‌ තිබෙන්නේ අධිකරණ විවරණ බලයට - එනම් විධායකය සහ ව්‍යවස්‌ථාදායකය පනවන අණ පනත් නියෝග ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එකඟද නැද්ද සොයා බලා, ඒවා ව්‍යවස්‌ථාවට අනුකූල නැත්නම් ඒවා අහෝසි කිරීමට අධිකරණයට තිබෙන බලය - ඇමරිකාවේ මේ තත්ත්වය ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනව. ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් වීමට දේශපාලනඥයන්ටත් වඩා බලපෑවේ ඇමරිකාවේ සුප්‍රිම් උසාවිය මේ බලය පාවිච්චි කරමින් විධායකය සහ ව්‍යවස්‌ථාදායකය පාලනය කිරීමයි.

අපේ රටේ මෙබඳු බලයක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් දීල නෑ. විධායකයේ හා ව්‍යවස්‌ථාදායකයේ ක්‍රියාවන් ප්‍රශ්න කරල ඒවා ජනතාවට පටහැනිද නැද්ද කියල ප්‍රකාශ කිරීමේ බලයක්‌ අපේ රටේ නෑ. අපේ රටේ තියෙන්නෙ විධායකය හා ව්‍යවස්‌ථාදායකය ක්‍රියාත්මක වීමට ප්‍රථමයෙන් සුප්‍රිම් උසාවියට පනතක්‌ ඉදිරිපත් කළහම එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එකඟද නැද්ද කියල තීරණය කිරීමේ බලයක්‌ විතරයි. ආණ්‌ඩුවේ බලය සංවරණය කරන්නට එය එතරම් වැදගත් නෑ. රටක ආණ්‌ඩුවක්‌ අත්තනෝමතික ලෙස වැඩ කිරීම නතර කරන්න පුළුවන් අධිකරණ විවරණ බලයටයි.

මේ අනුව ආණ්‌ඩුවක අත්තනෝමතික බලය සංවරණය කරන්න පුළුවන් ක්‍රම තුනම අපේ රටේ නෑ. එනම් හොඳ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ නෑ. බලතල බෙදීමේ ක්‍රමය නෑ. අධිකරණ විවරණ බලය නෑ. ඒ අනුව 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් මේ රටේ ආණ්‌ඩුවලට අත්තනෝමතිකව හිතුවක්‌කාරීව කටයුතු කරන්න නීත්‍යානුකූල බලයක්‌ ලබාදීල තියෙනව. අපේ ව්‍යවස්‌ථාවේ හැටියට ආණ්‌ඩුව කියන්නේ අගමැතිවත්, ඇමැති මණ්‌ඩලයවත්, නොමෙයි ජනාධිපති. අපේ ව්‍යවස්‌ථාවෙන් බලතල ගොඩනගල තියෙන්නේ ජනාධිපතිවරයා වටේ. අනිවාර්යයෙන්ම මේ ජනාධිපති තනතුර ආඥදායකත්වයකට මඟ පාදල තියෙනව.




මෙබඳු අවස්‌ථාවක ආණ්‌ඩුව ජනතාවාදී මාවතකට ගන්න විපක්‍ෂයට විශේෂ කාර්යභාරයක්‌ පැවරෙනව නේද? ඔබ කොහොමද එය දකින්නෙ?

රටක ආණ්‌ඩුවක අත්තනෝමතික බලය සංවරණය කළ හැකි තවත් ආයතන තුනක්‌ තිබෙනවා, විපක්‍ෂය, ජනමාධ්‍ය සහ සිවිල් සමාජය ඒ ආයතන තුනයි. රටක ආණ්‌ඩුවක හිතුවක්‌කාරී ගමන වැළැක්‌වීමේ මූලික වගකීම තියෙන්නෙ විපක්‍ෂයට. ආණ්‌ඩුවේ හොඳ නරක පෙන්වා දෙමින් හොඳ දේ පසසමින් වැරදි දේට එරෙහිවෙමින් වැරදි දේ දිගටම කරනව නම් එයට එරෙහිව ජනතාව පෙළ ගස්‌වමින් ආණ්‌ඩුවේ බලය සංවරණය කිරීම විපක්‍ෂයේ කාර්යභාරයයි. ආණ්‌ඩුවක්‌ අත්තනෝමතිකව ජනතා විරෝධීව කටයුතු කරනව නම් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කර ජනතා බලවේගයක්‌ ගොඩනැගීම විපක්‍ෂයේ වගකීමක්‌.

අපේ රටේ අද එහෙම විපක්‍ෂයක්‌ නෑ. අද විපක්‍ෂය කරන සමහර වැඩ දිහා බලනකොට පෙනෙන්නෙ ඒවත් ආණ්‌ඩුවේම පක්‍ෂ වාගෙ. එක්‌සත් ජාතික පක්‍ෂයෙන්වත්, ජනතා විමුක්‌ති පෙරමුණවත්, විපක්‍ෂයේ අනෙක්‌ පක්‍ෂ වලින්වත් සැබෑ විපක්‍ෂයකින් ජනතාවට විය යුතු කාර්යභාරය අද වෙන්නෙ නෑ. මේ නිසා ජනතාව විපක්‍ෂයෙන් ඈත්වෙමින් සිටිනවා. ජනතාව ආණ්‌ඩු විරෝධී පෙරමුණකට ගේන්න විපක්‍ෂයට බැරිවෙලා තියෙන්නෙ ඒ නිසයි. අපේ විපක්‍ෂය දුර්වල වෙන්න ප්‍රධාන හේතුව ඒ පක්‍ෂ අභ්‍යන්තරයේ තිබෙන කුළල්කා ගැනීම්. ජනතාව දැඩිලෙස පීඩාවට පත්වෙද්දී, ජනතා අයිතිවාසිකම් නැතිවෙද්දී, ආණ්‌ඩුව අත්තනෝමතිකව කටයුතු කරද්දී ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙද්දී විපක්‍ෂයේ සමහරු කතා කරන්නෙ සසුනට අරුණ. බුද්ධාගම, ක්‍රිස්‌තියානි ආගම, මුස්‌ලිම් ආගම දියුණු කළාම ජනතාවගෙ මේ ප්‍රශ්න නැතිවෙයිද? අද දේශපාලන, ආර්ථික සමාජීය සහ ජාතික යන ප්‍රශ්න හතර මේ රට වෙළාගෙන තියෙනව. ආගම් දියුණු කරල මේවා විසඳන්න පුළුවන්ද? එක මතයක්‌ නැති නිසා එජාපය අද කෑලිවලට කැඩිල. නම්බුවත්, ගරුත්වයත්, විශ්වාසයත් නැති පක්‍ෂයක්‌ බවට පත්වෙලා. එජාපෙට මෙතැනින් ගොඩ එනකම් විපක්‍ෂයක්‌ හැටියට ඉදිරියට එන්න බෑ. විපක්‍ෂයේ හැම පක්‍ෂයක්‌ම මේ අණ්‌ඩුවේ දූෂණ, අක්‍රමිකතා ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය ගැන කතා කළාට එක පෙරමුණක්‌ හැටියට ජනතාව ඉදිරියට ඇවිත් ජනතා බලවේගයක්‌ ගොඩනගන්න ඒ අයට නොහැකි වී තිබෙනවා. ඒ නිසා කිසි හිරිහැරයක්‌ නැතිව ආණ්‌ඩුවට හිතුවක්‌කාර ගමනක්‌ යන්න පුළුවන්වෙලා තියෙනව.

ආණ්‌ඩුවක හිතුවක්‌කාර ගමන මැඩපවත්වන්න පුළුවන් ඊළඟ බලවේගය ජනමාධ්‍යයයි. අද මේ රටේ ජනමාධ්‍ය කොයිතරම් ආණ්‌ඩුව වර්ණනා කරන්න පෙළඹිලාද කිවහොත් මේ ආණ්‌ඩුව නැත්නම් වහින්නෙ නෑ, ඉර පායන්නෙ නෑ, කියල පිළිගන්න තරමට රටේ ජනතාව අන්දවන්න ජනමාධ්‍ය කටයුතු කරමින් ඉන්නව. රටක ජනමාධ්‍ය හඳුන්වන්නෙ රාජ්‍ය තන්ත්‍රයේ සිව්වෙනි ඇස හැටියටයි. ජනමාධ්‍ය කියන්නෙ රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරමින් ආණ්‌ඩුවේ හිතුවක්‌කාර ගමන සංවරණය කරන මුර බල්ලෙක්‌. විශේෂයෙන් දුබල ප්‍රජාතන්ත්‍රවාදයක්‌ තිබෙන තුන්වැනි ලෝකයේ රටවල ජනමාධ්‍යවල ක්‍රියාකලාපය අතිශය වැදගත්. අද අපේ රටේ මුද්‍රිත හා විද්යුත් සියලුම ජනමාධ්‍ය මේ ආණ්‌ඩුවේ ප්‍රචාරක ආයතන බවට පත්වෙලා තියෙනව. එය කනගාටුදායක තත්ත්වයක්‌.

ඊළඟට ආණ්‌ඩුවට බලපෑම් කළ හැකි පිරිස සිවිල් සමාජය. අපේ රටේ සිවිල් සමාජය අද අතිශය දුබල තත්ත්වයකට වැටිල. මෙයට බලපාන හේතු 2 ක්‌ තිබෙනව. එකක්‌ සිවිල් සමාජයේ මූලික කොටස්‌කරුවන් වන ජනතාවගේ නොදැනුවත්භාවය. අපේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත්, අධිකරණයේ ස්‌වාධීනත්වය ගැනවත්, බලතල බෙදීම ගැනවත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සහ එහි කාර්යභාරය ගැනවත් දන්නෙ නෑ. අපේ රට දේශපාලන වශයෙන් අතිශය නොදැනුවත් සහ නොසැලකිලිමත් ජනතාවක්‌ ඉන්න රටක්‌. අපේ රටේ ජනතාව ආණ්‌ඩුව ගැනත්, රට ගැනත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැනත්, දේශපාලනය ගැනත්, දන්නේ ජනමාධ්‍ය වලින් පළවෙන බොරු වර්ණනා විතරයි. ඒ අය විශ්වාස කරන්නෙත් එච්චරයි.

අපේ රටේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්ගෙත් තත්ත්වය ඕකයි. සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් ක්‍රියාත්මක වෙන්නෙ රාජ්‍ය නොවන සංවිධාන හරහා. දේශපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවුණු මෙබඳු සංවිධාන අපේ රටේ තියෙන්නෙ අතලොස්‌සයි. ඒ ආයතනත් දැඩි පාලනයකට ලක්‌කරලයි තියෙන්නෙ.

ඔබ අදහස්‌ කරන්නෙ ආණ්‌ඩුවක බලය සංවරණය කරන බලවේග සියල්ල දුර්මුඛ කරමින් මේ ආණ්‌ඩුව අත්තනෝමතික ගමනකට අවතීර්ණව සිටින බවද?

ආණ්‌ඩුව ඒකාධිපතිත්වයක්‌ කරා ගමන් කරනව. ආණ්‌ඩුවට ඒ සඳහා තිබෙන උවමනාවට මේ දුර්වල විපක්‍ෂය හිතාමතාම එයට උදව් කරනව. මේ විපක්‍ෂයත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ආණ්‌ඩුවේ ඒකාධිපති ගමනේ කොටස්‌ කාරයො බවට පත්වෙලා. ආණ්‌ඩුව තමන්ගේ මේ ගමන පහසුකර ගැනීම සඳහා බෙදා වෙන්කර පාලනය කිරීමේ සිද්ධාන්තය ඉතාමත් සූක්‍ෂමව භාවිත කරනවා. විපක්‍ෂය, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සියල්ල බෙදා වෙන්කර තිබෙනවා. ජනතාවගේ විරෝධතා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හැටියට හඳුන්වනවා. ජනමාධ්‍යයන් ආණ්‌ඩුවේ මේ අර්ථකථන ජනතාවට එත්තු ගන්වනවා. දේශපාලකයින් ජනතාව රවටමින් දේශපාලනය කරන ක්‍රම දෙකක්‌ ගැන දේශපාලන විද්‍යාවේ කියනවා. එකක්‌ හැම ආයතනයක්‌ම බෙදා වෙන්කිරීමේ පාලනය. අනික තමයි මැකියාවෙලි ඉදිරිපත් කරපු බොරුව බොරුව හැටියට කිරීමේ න්‍යාය. බොරුව බොරුව හැටියට කරන්න බැරිනම් බොරු කරන්න එපා, බොරුව එළි වුණොත් විශාල ව්‍යසනයක්‌ කියල මැකියාවෙලි ප්‍රකාශ කළා. මේ ආණ්‌ඩුව බොරුව බොරුව හැටියට කිරීමේ න්‍යාය ඉතාම හොඳින් කරගෙන යනවා. එය දේශපාලනයේදී අවශ්‍ය දෙයක්‌. දේශපාලනයේදී තමුන්ගේ අත්තනෝමතික භාවය, හිතුවක්‌කාරකම් ආඥදායකත්වය, ඒකාධිපතිත්වය වසාගන්න මේ ආණ්‌ඩුවට තරම් ඒ න්‍යාය දක්‍ෂ ලෙස ක්‍රියාවේ යොදවන්න නිදහසින් පසු බිහිවුණු කිසිම ආණ්‌ඩුවකට බැරිවුණා. අපේ දේශපාලන ඉතිහාසයේ ඒ න්‍යාය ක්‍රියාවට නංවන හොඳම ආණ්‌ඩුව මේක.

ආණ්‌ඩුව මේ යන්නෙ ඒකාධිපති ගමනක්‌. ආණ්‌ඩුව ඉහත න්‍යායයන් දෙක යොදාගෙන ජනතාවගෙන් ඒ ගමන වසන් කරලයි තියෙන්නෙ. අද ජනතාවට යථාර්ථය පේන්නෙ නෑ. ඒ ඔවුන්ගේ නොදැනුවත්කම නිසා. ඒ නිසා ඔවුන් බොරුව පිළිගන්නවා. ජනතාවට යථාර්ථය අවබෝධ කර දෙන්න ශක්‌තිමත් විපක්‍ෂයක්‌ නෑ. ආණ්‌ඩුව අද මේ ඒකාධිපති ගමන යන්නේ තනියම නොමෙයි. සියලුම ආගම් කර්තෘවරුන්ගෙයි දෙවිදේවතාවුන්ගෙයි, හමුදාවෙයි පොලිසියෙයි, අධිකරණයෙයි, සිවිල් සේවාවේ, ජනමාධ්‍යයේ, විපක්‍ෂයේ සහ සිවිල් සමාජයෙයි ආශිර්වාදය මැද්දෙ. එම නිසා මේ ඒකාධිපති ගමන ගැන ආණ්‌ඩුවට විතරක්‌ දොස්‌ කියල වැඩක්‌ නෑ. මෙයට සියලු දෙනාම වගකිව යුතුයි.


සියලු දෙනාගේම පූර්ණ ආශිර්වාදය මැද
ආණ්‌ඩුව මේ යන්නෙ ඒකාධිපති ගමනක්‌!
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. ඕ. ඒ. සොයිසා


සාකච්ඡා කළේ - පාලිත සේනානායක

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger