දින කිහිපයක සිට මොරගහතාලේ ජේමිස් බාස් මහත් වේදනාවක් විඳින්නේ ඔහුගේ කටේ දකුණු පැත්තේ යටි ඇන්දේ දතක කෑම බීම පැණි රස ගෑවුණු කල දැනෙන දැරිය නොහැකි මහත් වේදනාව නිසාවෙනි. එවිට ඔහු මහ හඬින් කෑගසා, ඒ වේදනාව දරාගත නොහැකි බව ගෙදර අයට දැනුම් දෙන්නේ සුළු වේදනාවකුදු දැරිය නොහැකි බිලිඳකු ලෙසිනි. අප මොනවා කරන්න ද...?
දත් දොස්තර ළඟට ගිහිල්ලා මොකක් හරි කරගන්නෙ නැතුව මර හඬ දීලා ඵලක් වේදැයි යන්න ගුණවතී දැන් කීහිප වාරයක්ම දෙසා බා ඇත.
නමුත් ඒ පියවර ගැනීමට බාධාකාරී අනියත බියක් ඔහුගේ මනසේ වැඩ කරයි. හැට දෙවැනි වසර ගෙවන ජේමිස් ගමේ ප්‍රසිද්ධ වඩු බාස් කෙනෙකි. ඔහු කාටත් හොඳින් වැඩ කර දෙයි.
ඔහුගෙන් වැඩ කරවා ගන්නට ආ බොහෝ දෙනා අතුරින් අද උදේ උප දිසාපති කාර්යාලයේ සේවය කරන සිරිදාස මහතා ආවේ තවත් වැඩක් භාර දීමටය. දතේ වේදනාව ගැන කී කල ඔහු කීවේ ද ගෙදර උන්දෑ කී දෙයමය.
ඈ මහත්තයෝ දත ගලවන විට රිදේවි ද....? නෑ දොස්තර බලල පණුවෝ කාල නම් හරි දිරල නම් හරි ගලවලා දායි. අපෝ.....! බාස් උන්නැහේ ඒකට ඔය තරම් බය වෙන්න අවශ්‍ය නැහැ. පොඩි ඉන්ජෙක්ෂන් එකක් ගහලා ටික වේලාවක් ඉන්න කියාවි. දත මුල හරිය හිරි වැටුණාම නිකම්ම ඒ දත අඬුවෙන් ඇදලා දමාවි. ඒක සුළු දෙයක්. ඇයි බිය ද? නෑ නෑ මං නිකමට දැනගන්නයි ඇහුවේ. මහත්තයලාට ඉතින් ඕවා ගැන අපට වඩා තේරෙනවානේ. බය නොවී අදම ගිහිල්ලා ඕක ඉවරයක් කර ගන්න'යි නැවතත් කී සිරිදාස මහතා මෝටර් සයිකලයට නැගී යන්නට විය.
නමුත් ජේමිස්ගේ හද තුළ සැඟ වී ඇති බිය සංකා ගෙන දෙන ලේ පිළිබඳව කීමට බැරිවීම ගැන ඔහු මනස්තාප විය. ඒ සමඟම ඔහුගේ ගෝලයා වන පාලට කීවේ අඩුවැඩිය ගෙන ලෑලි ගෑමට පටන් ගන්නා ලෙසය. ලැලී ගාන හඬ සමඟ ඔහුගේ හද තුළ ද අර පරණ සිද්ධියත්, ඒ ගැන ඇසීමට බැරිවීම ගැනත්, ලී ගාන රටාවටම හදවත හඬ දෙන්නට වූවා වැනිය. දවල් කෑම ගෙනා විට ඔහු කීවේ ඒ පැත්තට නොයවා කෑම කෑවේ හරියට “මුඛ ව්‍යායාමයක්” කරන්නෙකු ලෙස මුහුණ එක් පැත්තකට නමාගෙනය. වතුර බීවේ ද එලෙසමය. නමුත් අද යන්තම් බේරුණත් මේ වදය හැමදාට කළ හැක්කක් නොවන බව හිතට නැගුණි.
මේ අතර පාල කී කථාවෙන් තවත් බලපෑමක් සිදුවිය. අද බාස් උන්නැහේ කෑම කෑවේ අමුතු රටාවකටනේ. ඒ දතගාය නිසා ද? “ගාය” යන වචනයට ද ඔහුගේ තද වේදනාවක් වූයෙන් පාල, මේක ගායක් නොවේ බං. රිදීමක්. කැක්කුමක්. උඹටත් ඒක වැටහෙන්නේ නැති හැටියයි දොස් නැගුවේ අර හද තුළ හැඟ වී ඇති රහස හොල්මන් කරන බැවින් විය හැකි යයි ඔහුට සිතුණි. අන්තිමේ දී නගරයට ගිය ඔහු ගනුදෙනු කරන මුදලාලි ගෙන් මේ ගැන විමසීමට අදහස් කළේය. හා! බාස් උන්නැහේ. හුඟ දවසකින් දැක්කෙ නැහැනේ?
අනේ, මට කරදරයක් නේ. ආ මොකක්ද? මගේ දතක් නොසෑහෙන ලෙස රිදුම් දෙනවා. වතුර බොන විටත්, කන විටත්, ඒක හරිම ප්‍රශ්නයක්. ආ! ඕක මොකක්ද? දත ගලව ගත්තාම ඉවරනේ. මුදලාලි මට ප්‍රශ්නයක් තියනවා. ඒක රහසින් වගේ ඔහු කඩේ ගුණේරිස් මුදලාලිට පැවසීමට සිතීය. එවිට ඔහු ළඟට කිට්ටු වී ඒ පැවසීය. මුදලාලිට මතක නේද, මීට අවුරුදු ගණනාවකට පෙර මා බල්ලෙක් හපා කාලා ඉස්පිරිතාලයට ගියා. අතේ කෑ තුවාල වෙලා බෙහෙත් දාලා ඉන්ජෙක්ෂන් ගැහුවත්, ලේ ගැලීම දිගටම නතර වුණේ නැහැ.
ඒක නවත්වන්න බැරිව තවත් අලුත් වර්ගයේ තද බැන්ඩේජ් එකක් දමලා මා රෝහලේ තියා ගත්තානේ. එවිට කීවේ ලේ කැටි ගැහෙන්නට වෙලා යන ගතියක් මගේ ලේ වල ඇති බවක්ය. ඒකට අපි මුකුත් කර ගත්තේ නැහැනේ. දැන් දත ගැලෙව්වාමත් එහෙම වුණොත්... ඒකයි මට තියෙන භයානකම ගැටලුව. ප්‍රශ්නය. මොකද මුදලාලි කියන්නෙ? ඕකට ඔයතරම් බයවෙන්න ඕනෙ නැහැ. මේ හැම තැනම දත් දොස්තරලාගේ ක්ලිනික් තියනවා. ඉස්පිරිතාලේ වැඩ කරන දොස්තර නෝනා හවස 4.00 ට හන්දියේ දිස්පැන්සරියට එනවා. ගිහිල්ලා ඔය විස්තරයත් කියලා දත පෙන්නන්න.
එයා කියාවි කරන්න ඕන දේ. කමක් නැහැ. තනියම යන්න බැරිනම් මගේ කඩේ ළමයකුත් එවන්නම්. හැබැයි අර විස්තරේ නොකියා හේම දත ගලවන්න එපායි අවවාද කළේය. දැන් ජේමිස් බාස්ට තරමක් සැනසීමක් විය. කඩේ බංඩා කොලුවා කීවේ ගණන් ගන්න එපා කියලයි. මාත් ඉන්නවානේ යැයි කීවේ හරියට දොස්තර කෙනෙක් වගේ......!
දෙදෙනාම ප. ව. 4.00 ට ඩිස්පැන්සරියට ගිය අතර ලැබුණේ අංක 7 යි. දත් ගලවන අය ඇතුළු වෙනවා. ඉන්ජෙක්ෂන් එක ගහලා ඉන්නවා. ආයේ ගලව ගෙන කටත් අල්ලගෙන එනවා. ජේමිස් බාස් එක් අයෙකුට කිට්ටු කරලා කොහෝමද රිදෙනවා ද? නැහැ ඉන්ජෙක්ෂන් එක ගහන විට කඩියෙක් කනවා වගේ විතරක් රිදීමක්. ඊට පස්සේ දත ගලවන විට ඒක දැනෙන්නෙත් නැහැ. ඊට පස්සෙ නම් එහෙම වුණේ නැහැ. කී කල ජේමිස් බාස්ට බංඩා කීවේ මං කිව්වේ ඕක සුළු වැඩක් කියලා නේද, යැයි උජාරුවෙන් පැවැසීය. බංඩා ජේමිස් බාස්ගේ රහස නොදන්නා එක හොඳ යයි ඔහුට සිතුණි. නැත්නම් ඊට ඔහු තම උපදෙස් දීම දිගටම පටන් ගනියි.
අංක 07 කැඳවිණි. ඔහු බංඩා සමඟ ඇතුළු විය. අර ලෙඩුන් නිදාගන්නා ඇඳේ ඔහුට හිඳගන්නට කී කල බංඩාත් හෙදියත් උදව් කළහ. කට ඇර ලූ පසු දොස්තර නෝනා පරීක්ෂා කර මේ දත ගලවන්නට තමයි වෙන්නේ කී කල ඔහු අතින් යමක් කීමට ඇති බව ප්‍රකාශ කළේය. නෝනා, මට ප්‍රශ්නයක් තියෙනවා. මොකක් ද? සල්ලි ගෙනත් නැත්ද? නෑ, නෑ, එහෙම නෙවේ. මගේ අත මිට පෙර බල්ලෙක් කාලා ඉස්පිරිතාලේ බෙහෙත් දැම්මට ලේ නවත්ව ගන්න බැරිව හරි කරදරයක් වුණා. ඒක නිසා මට බයයි. ඒක නිසා දත ගැලෙව්වාමත් එහෙම වුණොත්. ආ, එහෙම නම්, මෙතැන ගලවන්නට බැහැ. ලේ නැවතීමට බැරි වුණොත් ප්‍රශ්නයක්. හෙට ඉස්පිරිතාලේ දන්ත සායනයට ගිහිල්ලා කරගන්න. පරීක්ෂා කළාට රු. 100 ක් ගෙවන්න ඇය කීවා. ජේමිස් බාස් හිතින් බැණ බැණ රුපියල් සීයක් දී බංඩාට කීවේ, හෙට ස්පිරිතාලෙට යන්නට වෙන බවයි.
බංඩා සමඟ කඩයට ගිය ජේමිස් බාස් උන්නැහේ මුදලාලිට ද විස්තරය කියා ගෙදර ගියේ මහත් අකම්පාවෙන්. හෙට රෝහලට ගිය විට මට මොනවා වෙයි ද? ගෙදර ගිය ඔහු බිරියට ද විස්තරය පැවසුවත් ඇය කීවේ ඕකට ලේ ගලන එකක් නැහැ. බල්ලා කෑ දා වගේ. ඔයා හරි බයනේ. උඹලෑ දන්න කෙහෙල්මල. මටනේ ප්‍රශ්නය යයි ඔහු පැවසුවේ හෙට පාන්දරම රෝහලට යා යුතු බැවින්ය. තනිව නොගොස් කවුරුහරි සමඟින් රෝහලට යාමට සිතූ ඔහු තම මල්ලීගේ ගෙදර ගොස් ඔහුට කථා කළ ද, එදින ඔහුට විශේෂ කාරියකට යා යුතු බැවින් තම වැඩිමල් පුතු එවීමට එකඟ විය. හදිසියේ අමාරුවක් වුණොත් කවුරුන් හරි ඉන්න එපායැ'යි මලයාගේ පැවසීම ඔහුගේ හිත දිරිමත් කිරීමට ඉවහල් විය.
පාන්දරම පෝලිමට එක් වූ ඔහුට අංක 04 ලැබිණි. නමුත් ඒ උදේම වුවද වැඩ ඇරඹෙන්නේ පෙ. ව. 9.00 ට පමණය. එතෙක් ආසනගතව සිටීමට විය. ඇටෙන්ඩන්ට් නෝනා අංක කැඳවීය. අංක 01, 02 වශයෙන් දත් ගලවන අය එහා කාමරය ඉදිරියේ අසුන් ගන්නට නියම විය. දැන් ජේමිස්ගේ වාරයයි. ඔහු දත ගලවන්නට ආ වග කියා තමන්ට ඇති ලේ ප්‍රශ්නය ද ඉදිරිපත් කරන ලදුව වහා කාමරයට ලොකු දොස්තර නෝනාට පෙන්වීමට උපදෙස් දුන් අතර ඒ කාමරය ඉදිරියට යැවිණ. කාමරය අසල සිටිද්දී ඇයිදැයි එහි සේවය කරන සාත්තු සේවිකාව විමසුවෙන් ඔහු තම ගැටලුව විස්තර කළේය. 13 කාමරයට ගොස්, රිජිස්ටර් වන ලෙස ඇය ඔහුට උපදෙස් දී කාමරය ද පෙන්වන ලදී.
මේ “රිජිස්ටර්” කතාව ජේමිස්ට අමුතු නොතේරෙන දෙයකි. ඔහු රිජිස්ටර් අසා ඇත්තේ ලියුම් ගෙන එන පියුන් කියන විට පමණි. එහි සිටින විට සාත්තු සේවිකාව ඔහු එතැන සිටින්නේ ඇයිදැයි විමසූවත් දන්නා පරිදි “රිජිස්ටර්” වීමට යයි කී කල විස්තර අසා රු. 20 ක් ගෙවා පොතක් මිලට ගෙන ඒමට තැනක් පෙන්වීය. එය රෝගියාගේ විස්තර ලිවීමටය. සැපයීම රෝහල් සුබසාධක සමිතියෙන්ය. පුතා යවා එය ගෙන්වා ගෙන, ඇයට ඉදිරිපත් කළෙන් නම විස්තර එහි ලියා අංකයක් ද දමා, ඔහු ලොකු දොස්තර නෝනාගේ කාමරය ඉදිරියට යැවිණි. එහි එතරම් රෝගීන් නොවීය. එහි සිටි සාත්තු සේවිකාව පොත ඉල්ලා ගෙන නම අඬගසන තුරු රැඳී සිටීමට උපදෙස් දුනි. ටික වේලාවකින් ජේමිස්ගේ නම අඬ ගැසිණි. ඔහු ඒ කාමරයට ඇතුළු වූ කල රෝගීන් පරීක්ෂා කරන ඇඳට නැඟීමට පැවසුවාය. එදා ඒ ඇඳට නැඟ ලැබු පුහුණුව නිසා ඔහු පහසුවෙන් එහි හාන්සි විය. කට ඇර බැලු කල ඇය කීවේ මේ දත ගැලවීමට අවශ්‍ය බවත්, ඇයි මා ළඟට ආවේ යනුවෙනි. එවිට ඔහු තම හද තුළ ඇති අසංයත ගැටලුව පැහැදිලි කරන ලදුව මඳක් එහි නතර වී සිටීමට උපදෙස් ලැබුණි.
තවත් දොස්තර කෙනෙක් ඔහුගේ සියලු විස්තර අර පොතේ ඉංග්‍රීසියෙන් සටහන් කරන ලදී. අතිරේක ප්‍රශ්නවලට ද ඔහු සතුටුදායි ලෙස උත්තර දෙන ලද අතර දොස්තර නෝනා පැහැදිලි කර දුන්නේ ඔහුට ලේ පරීක්ෂණ දෙකක් කරගෙන, ඒවා ගෙනා පසු එම දත ගැලවීමට තීරණය කරන බවයි. ලේ පරීක්ෂණ දෙක ලියා දෙන ලදුව ඔහුට ඒවා රෝහලේ රසායනාගාරයෙන් කරගත හැකි බව හැඟී ගියේය. පුතා සමඟ ඒ සොයාගෙන පහත මහලයට යන ලදුව ඒ ලේ පරීක්ෂණ තුණ්ඩුව එහි සේවක මහතකුට බොහෝ ගරුසරුව ඉදිරිපත් කරන ලදී. නමුත් ඔහු සිනා සී කීවේ මේ වෙලාවට ඇවිත් ලේ පරීක්ෂා කර ගන්න බැහැ. උදේ හයට අංකයක් ගන්න ඕනෑ. හෙට උදේ එන්න කියාය. ලේ ගන්නා කාමරය ද ඔහුට කියා දුනි. දත ගැන ප්‍රශ්නය දැන් තවත් දවසකට කල් යයි. ඔහුගේ වැඩ ගැනත්, කාලය ගැනත්, කනගාටුවෙන් දෙදෙනා හෙට උදේ ලේ පරීක්ෂාවට හිතාගෙන ගෙදර යන ලදී.
ලේ පරීක්ෂණය යනු ඔහුට අලුත් දෙයකි. එමෙන්ම දතක් ගලවන්නට කරන්නා වූ මේ ලේ පරීක්ෂණය මොකක් ද? රාත්‍රියේ සිතමින් සිටි ඔහුට ඒ රෑ නින්ද ගියේ ද නැත. උදෙන්ම අවදිව ලෑස්ති වී වතුර බෝතලයක් රැගෙන මල්ලිගේ පුතා ද කැටිව උදේ ලේ පරීක්ෂණයට ගිය ඔහුට එහි අංක 6 ලැබුණි. නමුත් ලේ ගන්නට වෙන්නේ පෙ. ව. 8.30 ට පමණය. ලේ ගන්නා සිරින්ජයක් ගෙන ඒමට එවිට ලද උපදෙස් අනුව රෝහල අසල ෆාමසියට පුතා යවා ඒ ගෙන්වා ගෙන ඔහු හරිබරි ගැසී ආසනයේ හිඳගෙන ද කල්පනා කළේ අද මුහුණපාන්නට වන ප්‍රශ්නයයි! ඔහුගේ අංකය කැඳවිණි. ලේ පරීක්ෂණ දෙකක් තියෙනවා කරන්නට. එකකට කනෙන් ලේ ටිකක් ගන්නවා.
ඒ කී කල ජේමිස් සිතුවේ මේ අයට වැරදිලාවත් ද? අනේ නෝනා මගේ දතයි ප්‍රශ්නය. හරි හරි ඒ සඳහා තමයි අපි කනෙන් ලේ ටිකක් අරන් කැටි ගැසෙන්නට යන වේලාව බලන්නේ. “ආ එහෙම දැයි ඔහුට කියවුණත් එය වරදක් යැයි පසුව ජේමිස්ට සිතුණි. දෙවැනි ලේ ප්‍රමාණය ගත් අතර ප. ව. 3.00 ට රිපෝට් එක ගත හැකි බව කීය. පුතා ඒ පරීක්ෂණ වාර්තාව ගන්නට ප. ව. 3.00 ට ආ යුතු බව පැහැදිලි කර දෙන ලදි. ඔහුගේ අද තෙවැනි දිනය ද විනාශ වීමේ ශෝකය සමඟ ඔහු නැවත වඩු මඩුවට ගොස් පුතාට 3.00 ට විත් ඒ ගෙන ඒමට කියන ලදි.
වඩු මඩුවට ගිය ද ඔහුගේ සිත කටයුතු කරන්නේ උදයේ කළ ලේ පරීක්ෂණ ගැනය. දතේ වේදනාව ද අමතක කර ඇත. ආහාර හා බීම ගන්නේ අනිත් පැත්තෙන්ය. තමන් උදෙන් යා යුතු නිසා ඔහු වැඩ වේලාසනින් හමාර කර ගෙදර ගොස් වේලාසනින් නින්දට ගියේය.
පසුව දා පෙ. ව. 8.00 ට ඒම ප්‍රමාණවත් විය. වාර්තා ඉදිරිපත් කළ පසු තවත් නියෝගයකි. වාට්ටු අංක 6 ට ගොස් එහි දොස්තර මහතාට වාර්තා පෙන්නලා ලියාගෙන එන්නටත්, අනිත් වාර්තාව 2 වාට්ටුවට ගොස් එහි දොස්තරට පෙන්වා ගෙන එන ලෙසත්ය. පුතා සමඟ ඒ වාට්ටුවලට ගිය ඔහු බොහෝම යාප්පුවෙන් ඒ සාත්තු සේවිකාවට කථා කර දොස්තර මහතාට වාර්තාව ඉදිරිපත් කළ පසු ඔහු යමක් ලියා ආපසු දෙන්නට විය. එහි යාමේ දී ආරක්ෂක නිලධාරී අවේලාවේ ලෙඩුන් බලන්න යනවා යැයි සිතා කෑගෑව ද ඔහු ගරුසරුව කථාව කීමෙන් සැනසීම ළඟා කර ගති. දෙවැනි වාර්තාව ද ලද ඔහු දෙකම රැගෙන දන්ත සායනයේ දොස්තර නෝනා වෙත ඉදිරිපත් කළේය.
ඇය වාර්තා දෙක තවත් දොස්තර මහතෙකු ද එදා විස්තර ලියූ දොස්තර මහතා ද සමඟ පරීක්ෂා කරන ලදුව ආ මේකට මොකුත් වෙන්නේ නෑ! දැන් අපි දත ගලවනවා. ගැල වූ පසු විනාඩි 30 ක් විතර ඉඳලා යන්න පුළුවන්. ලේ ආවොත් බලමු. කී කල ඔහුගේ හද ගැස්ම දෙගුණ තෙගුණ විය. නමුත් වෙනත් විසඳීමක් නැත.
දත ගැලවිය. ඔහු “ඉතිපිසෝ භගවා” ගාථාව හිතින් කිහිප වරක් මතක් කර ගත්තේ සැනසුම සඳහාය. දත ගලවා ඉන්පසු විනාඩි 30 ක් ගෙවෙන තුරු පපුව ගැහි ගැහි සිට ඒ පරීක්ෂා කළ දොස්තර නෝනා ඔයාට ගෙදර යාමට පුළුවන් කී කල ඇති වූ සතුට නිම්හිම් නොවීය. දින 4 කින් පසු ජයග්‍රහණය ලැබීය. කරදර ඉවරයි පුතේ යි යැයි පවසා ඔහු ගෙදර ගියේය. බිරිය “මොකද කරගත්තේ” යි විමසූ කල වීරයකු සේ දත ගැලෙව්වා. ලේ ආව ද? නැහැ. ඒකනේ මං කිව්වේ ඔය අනන් මනන් විකාර නොකියා දත ගලවගන්න කියලා. ඇය කියා කුස්සියට ගියේ ආහාර ගෙන ඒමටය.
අනේ උන්දැත් බලපුවම දොස්තරලටත් වඩා හොඳට දන්නවා නේ’ යි ඔහු තමාටම කියා ගත්තේ මහත් සැනසීමකිනි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment