“බින්තැන්නේ ඉස්කෝලය කුමක් වැනී
කිසිදා අලුත් නොවෙනා අම්බලම වැනී
කකුල් ඇඳි කැඩුණු ඩෙස් පුටු කුමක් වැනී
බාල පක්ෂ ගාතය වැලඳුණා වැනී
“උමා” ගේය පදමාලා සංග්‍රහය උදෙසා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද සුදත් ගාමිණී බණ්ඩාරයන් ගේ “සාමීචිය” කාව්‍ය සංග්‍රහයෙහි “දුකට කියන කවි” නම් රචනය පරිශීලනය කරද්දී විචක්ෂණශීලී පාඨක මතකයට නැෙඟන්නේ අන් කිසිවක් නොවේ. ජී.එච්. පෙරේරා කිවිඳුන් ගේ අධි ජනප්‍රිය “කුරක්කන් හේන” පද්‍ය රචනයයි. එය නොවන්නට සුදත් ගාමිණී අතින් ඉහත කවි පෙළ නොලියවෙනු නිසැකය.
ජී.එච්. පෙරේරා වෙනත් කලා මාධ්‍යයන්හි නිරත වී ඇතත්, කැපී පෙනෙන්නේ පද්‍ය රචකයකු හැටියට ම ය. “ඉගෙනීමට සතුරු කරුණු “කිවිඳකුගේ අදහස්”, “දරු නැළවිල්ලක්” ආදී පද්‍ය රචනා බොහොමයක් මෙන් ම හිටිවන කවි රැසක් ද ඔහු සහෘදයාට පිරි නමා ඇතත්, ජී.එච්. පෙරේරා යන නාමය රසික හදවත්වල ස්ථාපිත කළේ “කුරක්කන් හේන” පද්‍ය රචනයම බව පැවසීමේ වරදක් නැතැයි සිතේ.
කොළඹ යුගයේ පළමුවන පරපුරත්, දෙවැනි පරපුරත්, නියෝජනය කළ ජී.එච්. පෙරේරා කිවිඳුන්ගේ මේ පැදිපෙළ මෙකී නාමයෙන් ම කාව්‍ය ප්‍රමාණයේ වෙනසක් නොමැති ව, සාගර පළන්සූරිය සංස්කරණය කළ “පද්‍යාවලී” කෘතියෙහි ඇතුළත් වූවත්, මීමන ප්‍රේමතිලක සංස්කරණය කළ “නවීන පද්‍ය රචනා” කෘතියෙහි පද්‍ය අටකින් සමන්විතව “තවම නූපන් අයට” යනුවෙන් පළ විය.
“මිතුර මෙය අසාපන් දැන් මහත් තැන් බලාපන්
එලෙසම ඉපදීපන් සත් සිරිත් ගින්නෙ දාපන්
රට දැය වනසාපන් කාල බීලා නටාපන්
අපෙ ඇට ගොඩ දාපන් ඒවයේ තාර ගාපන්
මේ අපට නිර්දිෂ්ට රචනයට ඇතුළත් නොවූ අටවන පද්‍යයයි.
මීට අසූ අට වසරකට පෙරාතුව ලියැවුණු මේ රචනය නිසැකව ම යුගයේ කාර්යය භාරය සපුරාලීමේ අධ්‍යාශයේ ප්‍රතිඵලයක් බව නිසැක ය. මෙරට ඉපදීමට අපේක්ෂා කරන්නවුන්ට යවන පණිවුඩයක ආකාරයෙන් කොම්ප්‍රදෝරු ධනපති පන්තියේ තියුණු විවේචනයකට ලක් කරන බව පෙනේ. අපේකම විනාශවීම කවියාට වේදනාවකි. සිහළකම මරා දැමීම, සාරධර්ම නොතකා හැරීම, ඉංග‍්‍රීසිය හා සුදු අධිරාජ්‍යවාදය වන්දනා කිරීම, රටට ජාතියට ආදරය කළෝ නොඉවසූහ. ව්‍යාජස්තුතියක ස්වරූපය ගන්නා මෙය දැඩි උපහාසයකින් යුතුය. මේ උපහාසයද ජී.එච්. පෙරේරා කිවිඳුන්ට හුරු පුරුදු වූවක් බව අප ඉහත උපුටා දැක්වූ ඔහුගේ රචනාවලින් ද තහවුරුවෙයි.
“උදය බොහොම සීතයි. දවාලේ අව්ව රස්නෙයි
සවස යහළුවන් හා සෙල්ලමේ යන්ට ඕනෑ....
(ඉගෙනීමට සතුරු කරුණු)
මේ අත්දැකීම සූචනයේදී රචකයා මහනුවර යුගයේ අතුරු යුගයක් වූ මාතර යුගයේ කවි කිවිඳියන් බෙහෙවින් උපයුක්ත කර ගත් මාලිනී විරිත යොදා ගත් බව ඉතා පැහැදිලි ය. සිලෝ විරිත් භාවිතයේ දී එළිවැට ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නොවුණත් ජී.එච්. පෙරේරා මුල මැද අග එළිය තැබීමෙන් නිර්මාණයට මහත් ආලෝකයක් ලබාගත් බවක් පැහැදිලි ය. එය ඔහුගේ නිසග කවිත්වය පෙන්නුම් කරන්නකි. මේ කිසිවක් ආයාසයෙන් කළ දේ නොවේ. නිරායාසයෙන් බිහිවීම අපගේ මතය තහවුරු කරන්නකි.
“රට බොහොම අසාරයි - ඉන්නවුන්ගෙත් විකාරයි
පිට ඔපයට සූරයි - කම්මැලියි බාරදූරයි.....
රටට කුමක් සිදුවී ඇද්ද? මතු පිටින් පෙනෙන දියුණුව සැබෑවක්ද? ආර්ථික තත්ත්වයෙන් රට වැනසී හමාර ය. අලසකම සියල්ල පරයා නැගී සිටී. බාහිරත්වයට මිස ආධ්‍යාත්මික ගුණාංගයන්ට ඉඩ හසරක් නැත. හැම තැනක, හැම දිනක අධාර්මික බව රජ කරනු පෙනේ. හැකිකම පරදේශයන්ට ය. විසූක දස්සනයන්ට විනා අන් කුමකට ඉඩක් ඇද්ද? අප ඉහතකී පරිදි තියුණු විවේචක බවක්ම මෙහි ගැබ්ව පවතී. මේ කවියා අවුරුදු අසූ අටකට පෙර දුටු ලංකාව අද වනවිටත් වෙනස් වී ඇද්දැයි සැකයකි. අසුබ ලක්ෂණයන්හි වර්ධනයක් මිස අඩුවක් නොපෙනේ. සැබෑ නිර්මාණකාරකයා, තුන් කල් දක්නා ඉසිවර දැක්මක් ඇත්තෙකි. ජී.එච්. පෙරේරා රචනා කළ මේ පද්‍යය එදාට මෙන් ම අදටත් ගැළපෙන්නක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.
“සිහළ බස කමක් නෑ - ඒ උගැන්මෙන් පලක් නෑ
ඉහළ ගිය කෙනෙක් නෑ - ඉන් සකුත් පාලි කම් නෑ....
සිංහල භාෂාව දිනෙන් දින විනාශ මුඛයට ඇද වැටෙද්දී ඉංග්‍රීසිය වන්දනා කරති. අපේ බස තිබියදී තවත් බසකට ගැති විය යුතුද? නමුත් එදත් අදත් බොහෝ තැන්වල සැලකුම් ලබන්නේ ඉංග්‍රීසිය බව අමුතුවෙන් කිවයුතුද? දිනෙන් දින අන්තර්ජාතික පාසල් බිහිවිමේ රහස පිළිබඳ ව අමුතුවෙන් සලකා බැලීම අවශ්‍ය නොවේ. මව්පියෝ ශක්ති පමණින් මුදල් ගෙවා දරුවන් ඒවාට යවති. පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනයෙන් ලද ඥාන සම්භාරය කොතෙක් දැයි දැන සිටි කවියා, දිනෙන් දින එය මග හැරීයාමෙන් කම්පාවට පත්විය. බොහෝ දෙනාට නොතේරුණත් දේශජ බවට ඇලුම් ඇත්තෝ එකී ඛේදවාචකය මැනවින් දුටහ. අවසන් පාදයේ වසංගතය ද්‍රවිඩ බස පිළිබඳ ව නොව ද්‍රවිඩ ජාතිකයන් පිළිබඳ ව යැයි පැවසීමේ වරදක් නොමැත. පැමිණිය යුතු තැනට සම්ප්‍රාප්තවීමට ඔවුන් එදා ගත් උත්සාහය මෙයින් හඟවා තිබේ. ඉංග්‍රීසියට ගැතිකම් කිරීම පිළිබඳ ව රෝහණ වීරසිංහ හා නන්දා මාලනී ගේ සම්මාදමෙන් සිංහල මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ වරක් උපහාසයෙන් මෙසේ පැවසූහ.
“ලේ රත් වෙයි නිතර ඇසෙන - හෙළ බස ගැන ගෝසාවෙන්
ඒත් රටේ වැඩ කටයුතු - ඒරොප්පේ බාසාවෙන්
පුතේ තොප නොරැවටී - ගුරු දෙපා මුල වැටී
ඉංග්‍රීසි හොඳ හැටී - ඉගෙන ගත්තොත් වටී”
මේ නිසා කොතරම් කටුක බවක් දැනුණත් “පරලොවට පණිවුඩයක්” පැදි පෙළ සාර්වත්‍රික අගයෙන් යුතු යැයි කීමේ වරදක් පෙනේ ද?
නමුත් එය අද තරම් අවාසනාවන්ත දසුනක් මැවී යයි පැවසිය හැකි නොවේ. ජී.එච්. පෙරේරා ගේ “පරලොවට පණිවුඩයක්” කොතරම් ප්‍රශස්ත ද? මෙය අගනා කවිකමක් නොවන්නේද? ඔහු උපයුක්ත සිලෝ විරිත මෙවන් අත්දැකීම් පිරිනැමීමට අතිශයින් ගෝචර ය. ප්‍රකාශිතයාට ගැළපෙන ප්‍රකාශන විලාසයක් ගොඩ නඟා ගැනීමෙන් ද අප කවියා සතු ප්‍රතිභාවම මූර්තිමත් වන බව කිව යුතු ය.
“ආදි ඇත්තන් විලස්සා” වැන්නක් දක්නට ලැබුණත් මේ රචනයේ දී ජී.එච්. පෙරේරා කිවිඳුන් සංකල්ප රූප භාවිතය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමුකළ බවක් නොපෙනේ. මොහුගේ “කුරක්කන් හේන” රචනය තරම් උපමා බහුල තවත් සිංහල කවියක් නැතැයි, පැවසීමේ කිසිදු වරදක් නොපෙනේ. එහිදී මොහු දෙවැනි වන්නේ සද්ධර්මරත්නාවලී කතුවර ධර්මසේන හිමියන්ට පමණකි.
මෙහි සංකල්ප රූප භාවිතයන් පමණක් නොව සාහිත්‍ය ලඝු ලේඛන ක්‍රමයක් ලෙස ප්‍රබුද්ධ විචාරකයන් හඳුන්වන සංකේත භාවිතයක් ද දක්නා නොලැබේ. එහෙත් එහි අඩුවක් නොපෙනේ.
කවියෙහි ආත්මය වන භාෂා භාවිතය කෙරෙහි විචාරාක්ෂිය යොමු කිරීමේදී මේ රචකයා ව්‍යවහාර බස ඇසුරින් ගොඩනඟා ගත් කවි බසක් උපයුක්ත කර ගත් බව පැහැදිලිය. ඉන්නවුන් ගෙත් විකාරයි, සී පරිස්සා, ඔළු ගෙඩි බිම ගස්සා,
තුට්ටුවක් නෑ වටින්නේ වැනි යෙදුම් ඒ බව තහවුරු කරයි. පියානා, සර්පිනා, ඉංග්‍රීස් වැනි වදන් දෙස බලන විට පවසන දෙයට අනුගත බැවින් අන්තවාදී කමකින් තොරව බස පරිහරණය කළ බවද පැවසිය හැකි ය. මේ ලක්ෂණය මේ කවියාගේ ම වෙනත් රචනාවල ද විද්‍යමානවේ.
“අදර යුතු පියා ෆාදර් වෙලා මව් මදර් වී
සොඳුරට මයි ඩාලින් කම් හියර් වී දෙඩේවී”
ඊට එක් නිදසුනක් පමණකි.
ප්‍රකාශිතයෙන් හා ප්‍රකාශන විලාසයෙන් කවර සමත්කම් පෑවත් මොහුගෙන් බරපතළ වරදක් සිදු වී තිබේ. එනම් විරිත රකින්නට ගොස් වචන විකෘති කිරීමයි.
“කොයික වැරදුණත් මේ නම් වරද්දන්ට ඒපා” “එපා” යන්න “ඒපා” යයි භාවිතා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි ය. මෙහිදී මගේ මතකයට ඇදෙන්නේ දැන උගත්කමකට හිමිකම් කියන ගේය පදමාලාකරුවකු “ඔබේ ආදරේ” යන්න වෙනුවට තනුවකට වචන ඇමිණීමේ දී “ඕබේ ආදරේ” යනුවෙන් ලිවීමයි.
මෙවන් දුබලතාවක් විද්‍යමාන වූවත්ජී.එච්. පෙරේරා කිවිඳුන් රට ජාතිය පිළිබඳ හැඟීමෙන් යුතුව සැබෑ නිර්මාණකාරයකු හැටියට පෙනී සිටිමින් විරචිත අගනා රචනයක් ලෙස පරලොවට පණිවුඩයක්” හඳුන්වා දිය හැකි ය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment