දේශපාලනයේදී සිදුවන්නේ එකම හොරා නැවත නැවතත් මේ ආත්මයේදීම ආණ්ඩුවෙන් ආණ්ඩුවට, මාරුවෙන් මාරුවට හමුවීම ය. ගිය ආණ්ඩුවේ ඇමැති මේ ආණ්ඩුවෙත් ඇමැති ය. ලබන ආණ්ඩුවෙත් ඇමැති ය. අප මැරෙන තුරුම ඔවුහු ඇමැතිවරු ය. ඔවුන් මැරෙනතුරුත්, ඔවුන් මැරුණු පසුත් අප හිඟන්නෝ ය.
ආණ්ඩුවේ ඇතැම් තීන්දු ගැන තමන් වහන්සේ තුළ කිසිදු සතුටක් නැතැයි මහානායක දවුල්දෙන ඥනිස්සර හාමුදුරුවෝ පවසති. දවුල්දෙන මහානායක හිමියන්ගේ පමණක් නොව රටේ උගත් නූගත් සෑහෙන පිරිසකගේ මතය ද මෙය ය. ආණ්ඩුව යුද්ධය ජය ගැනීම ගැන වැඩි දෙනා කැමැති ය. එයට අකමැත්තෝ ස්වල්පයකි. බෙදුම්වාදී නඩය, එන්. ජී. ඕ. ගැංසිය, සාම ව්‍යාපාරික ප්‍රජාව, යුද්ධය ජයගැනීමේ අවස්ථාව තමන්ට නොලැබී මහින්දට ලැබීම ගැන ඉරිසියාවෙන් පුපුරණ අය එසේ නොකැමැතිව සිටින අය ය. එහෙත් යුද්ධයෙන් පසු රට පාලනය කෙරුණු හැටි ගැන හැමටම ප්‍රශ්න ඇත. පාරවල් හැදීම, දිවිනැඟුම වැනි වැඩසටහන් ස්වල්පයක් හැර මිනිසුන්ට බඩට දැනෙන වැඩක් වූයේම නැත.
අමාත්‍යාංශ වැඩි හරියක ඇමැතිවරුන්ගෙන් කඳ බඩ තර නොවූයේ පාඨලී චම්පික රණවකගේ පමණි. ඔහු කෙට්ටු වීම පිණිස ව්‍යායාම කළේද, නැත්නම් ජරාව නොකෑම නිසා කෙට්ටු වීද යන්න අපි නොදනිමු. කෙසේ වුවද මේ වන විට ආණ්ඩුව අත්හැර ගොස් සිටින වැඩි දෙනා තම බල කාලය තුළ හොඳටම හම්බ කරගත් අය ය. තම නමට ගැනීමට බැරි දේපළ බිරිඳගේ නමට, බිරිඳගේ මල්ලීගේ නමට, ඒ මල්ලීගේ නෝනාගේ නමට, ඒ නෝනාගේ නංගීගේ නමට යනාදී වශයෙන් රැස්කර ගත් ගත් අය ඕනෑ තරම් වෙති. ඉතා නරක සිද්ධිය වන්නේ ඊළඟ ආණ්ඩුවකදීත් මේ මිනිසුන්ම රාජ්‍ය පාලකයන් ලෙස අපට නැවත හමු වීම ය. මෙය සංසාර සාගරය බඳු කතාවකි. සංසාර සාගරයේ කිසියම් තැනකදී එකිනෙකා නැවත හමුවන බවට පිළිගැනීමක් තිබේ. එහෙත් ඒ අවාසනාව හෝ වාසනාව බොහෝ විට එළැඹෙන්නේ අඩ කල්පයක්, කල්පයක් හෝ කල්ප ලක්ෂයකට පසුව ය. එහෙත් දේශපාලනයේදී සිදුවන්නේ එකම හොරා නැවත නැවතත් මේ ආත්මයේදීම ආණ්ඩුවෙන් ආණ්ඩුවට, මාරුවෙන් මාරුවට හමුවීම ය. ගිය ආණ්ඩුවේ ඇමැති මේ ආණ්ඩුවෙත් ඇමැති ය. ලබන ආණ්ඩුවෙත් ඇමැති ය. අප මැරෙන තුරුම ඔවුහු ඇමැතිවරු ය. ඔවුන් මැරෙනතුරුත්, ඔවුන් මැරුණු පසුත් අප හිඟන්නෝ ය.
උපුටා ගැනීම -දිවයින කතුවැකියෙන්
Post a Comment