මුඩුක්කු මානසිකත්වයෙන් මිදි රජවාසලට පැමිණීම නිසා මට හුඟක් වෙනස් වෙන්න සිදු වුණා. හැසිරීම් රටාවට අමතරව භාෂාවත් වෙනස් වුණා.
මට විශාල
අභියෝගයක් වුණා
- ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා...
දශක තුනකට ආසන්න කලා දිවියේ දී සාඩම්බර ගමනක නියෑළෙමින් සිය ප්‍රතිභාපූර්ණ රංගන කෞෂල්‍යයන් ගෙනහැර පාමින් ඈ පැමිණි ගමන් මඟ ඇය මෙන්ම අතිශය සුන්දර වූවකි. දෛවය විසින් නොසිතූ මොහොතක කලාවට කැන්දාගෙන ආ ඇය සිනමාවේ රජ ගමනක නියෑළුණේ ගහට පොත්ත පරිද්දෙන් වූ ආත්මීය බැඳීමකිනි.
සබීතා, දෙවැනි ගමන, සුජාතා, චායා, ආත්මා, පොඩි විඡේ, සිසිල ගිනිගනී, විරාගය, මමයි රජා, නොම්මර 17, ඇගේ රංගනයන් ගෙන් වර්ණවත් වූ සිනමා සිත්තම් කිහිපයක් පමණි. ජනප්‍රිය වාණිජ මෙන්ම සම්භාව්‍ය සිනමාව වෙනුවෙන්ද සිය රංගනයේ සලකුණ ශේෂ කළ ඇය විදේශීය චිත්‍රපට රැසකදීද රංගගත වෙමින් ජාත්‍යන්තර සිනමාවද තරණය කළාය. සිය රංගන දිවියේ සම්මාන පඩිපෙළ ලෙස, නැඟී එන නිළිය, නවක නිළිය, හොඳම නිළිය, ජනප්‍රිය නිළිය සහ කුසලතා සම්මාන රැසක් සමගින් විදෙස් සම්මාන කිහිපයක්ද හිමිකොට ගත් ඇය, සම්මානයේ හිනි පෙත්තටම ගමන් කරන්නටත් ජනතා ආදරය සහ ගෞරවය සැමදා එක ලෙස රැක ගන්නටත් වාසනාවන්ත වූවාය. විවාහ දිවියට එක්වීමත් සමග කලාවෙන් මඳකට ඈත්ව සිටි ඇය ඊට ප්‍රධාන තැන ලබා දෙමින් පසු වුවද සිනමාවට පෑ සැබෑ ලෙන්ගතුකම නිසාවෙන්ම ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇත්තනී අධ්‍යක්ෂණය කළ "අබා" චිත්‍රපටයේ "උන්මාද චිත්‍රා" ට ජීවය මුසු කරමින් වසර කිහිපයකට පසු නැවත රිදී තිරයට පැමිණියාය. ඉන්පසු තවත් වසර කිහිපයක් ඇවෑමෙන් ඇය නැවතත් රංගගත වන්නීය. ඒ ජැක්සන් ඇන්තනීගේම "ඇඩ්රස් නෑ" චිත්‍රපටය වෙනුවෙන් සහ "අජාසත්ත" චිත්‍රපටය වෙනුවෙනි. ඕ, ප්‍රවීණ සහ ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනී සබීතා ජානකී පෙරේරායි.
මතු දැක්වෙන්නේ 'දිවයින සිනමා කලා' අපි, ඇගේ නවතම රංගන දායකත්වයන් පිළිබඳව විමසමින් ඇය සමග කළ ලෙන්ගතු කතා බහක තොරතුරු බිඳකි. දිගු නිහැඬියාවකට තිත තැබූ ඔබේ නවතම රංගන දායකත්වය "ඇඩ්රස් නෑ" චිත්‍රපටය. කුමක්ද ඒ ගැන පැවසිය හැක්කේ...
ඇත්තටම මේක අපේ සමාජයේ පවතින පැතිකඩක් ගැන කියෑවෙන කතාවක්. මෙතනදී මම ජීවය මවන්නේ මුඩුක්කු පරිසරයක ජීවත්වන කාන්තාවකගේ චරිතයක්. මෙවැනි චරිත පිටුපස ඇති වෙනත් අය නොදකින කතාවක් තමයි අධ්යක්ෂ ජැක්සන් ඇන්තනී මහතා අප ලවා ප්‍රති නිරූපනයට යත්න දරන්නේ. "සන්ධ්‍යා" කියන්නේ මේ සමාජයේ නිතර දැකිය හැකි වූවත්, වැඩි කතා බහට නතු නොවුණු චරිතයක්. මට මේ චරිතය විශාල අභියෝගයක් වුණා. නමුත් මම ජැක්සන් සමග මීට ප්‍රථමත් එක්ව වැඩකොට තිබීම මේ චරිතය ගොඩනඟා ගැනීමටත් ඊට උපරිම සාධාරණය ඉටු කරන්නටත් වැදගත් වුණා කියලා මම උපකල්පනය කරනවා. "ඇඩ්රස් නෑ" චිත්‍රපටයේ චරිත බොහොමයක් අපි අතර ජීවත් වන අය. ඉතිං..මේක අපේ ප්‍රේක්ෂකයාට කොතරම් සමීප වේද කියා නුදුරේදීම දැක ගැනීමට හැකිවෙයි.
මුඩුක්කු මානසිකත්වයෙන් මිදුණු "සන්ධ්‍යා" "බිම්බිසාර දේවිය" වෙමින් රජ වාසලට පැමිණෙනවා. දෙලොවක් අතර ජීවත් වීම ඔබට බලපෑවේ කුමන ආකාරයෙන්ද..?
"ඇඩ්රස් නෑ" හි සන්ධ්‍යා සහ "අජාසත්ත" හී බිම්බිසාර දේවිය චරිත දෙක ඇත්තටම අහසට පොළව වගේ. මේ චිත්‍රපට දෙකම රූපගත කළෙත් එකම කාලයේ. "අජාසත්ත" කියන්නේ බුද්ධ කාලයේ කතාවකට. මේ කතාව ගැන නොදන්නා අද පරම්පරාවට ඒක කොතරම් වැදගත්ද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ. මම බෞද්ධාගම වැළඳගත් කාන්තාවක ලෙස මේ චරිතය රඟපැවේ ඉතාමත් භක්ති පූර්වකව. ඉතිං වර්තමාන සමාජයේත්, අජාසත්තලා, දේවදත්තලා ඕනෑ තරම් දැකිය හැකි නිසා "අජාසත්ත" චිත්‍රපටය වර්තමාන සමාජය ඉතා කැමැත්තෙන් වැළඳ ගනී කියා මා විශ්වාස කරනවා. මගේ සිනමා ජීවිතයේ දී ඉතාමත් අපහසුවෙන් සහ කැපවීමෙන් කළ චරිතයක් හැටියට බිම්බිසාර දේවිය සිතේ තැන්පත්ව සිටිනවා. පියකු සහ පුතකුට මැදිව දිවයන මේ චරිතය තුළ ඇති වැදගත්කම දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ටත් කියා දෙයි කියා මා විශ්වාසය තබනවා. මේ චිත්‍රපට දෙකේ චරිත දෙක නිරූපණය කිරීම වෙනුවෙන් මට හුඟක් වෙනස් වෙන්න සිදු වුණා. හැසිරීම් රටාවට අමතරව භාෂාවත් වෙනස් වුණා. රජ බිසවක් හැටියට ගෞරවයෙන් සහ සංයමයෙන් සිටි මට මුඩුක්කුවේ "සන්ධ්‍යා" වෙන්නට දැඩි කැපවීමක් සහ වෙහෙසක් දැරිය යුතු වුණා. මගේ සිනමා දිවියේදී මා ලද අත්දැකීම් මේ වෙනස් චරිත දෙක ජීවත් කරවීමට මහෝපකාරී වුණා. ඉතිං ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම මමත් ආශාවෙන් බලා සිටින්නේ මේ චිත්‍රපට දෙක තිරගත වෙනකම්.
රන් කහවණු, පිටගම්කාරයෝ, ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා සහ භාර්යාවෝ ඇතුළු ටෙලි සිත්තම් රැසකදී ඔබ විද්‍යාමාන කළ චරිත ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳගත් බවට විවාදයක් නැහැ. ඒත් ඇයි වර්තමානයේ ඔබ පුංචි තිරයේ දකින්නට නැත්තේ...?
ඇත්තටම මගේ කාර්ය බහුලත්වයත් ඊට බලපෑවා. අනික චිත්‍රපට හෝ ටෙලි නිර්මාණ වෙනුවෙන් මම තෝරා බේරාගෙන වැඩ කිරීම. මොනවා වුණත් මගේ රංගනයේ ප්රමුඛ තැන ලැබෙන්නේ සිනමාවට. පුංචි තිරය වෙනුවෙන් ඒ අවස්ථාව නොලැබී යන්නේ බොහෝ විට කාලය නිසා. නමුත් හොඳ අධ්යක්ෂවරු යටතේ මේ අංශ දෙකෙන්ම මට ගැලපෙන, මට යමක් කළ හැකි, තැනකදී නිශ්ශබ්දව සිටින්නට මා උත්සාහ ගන්නේ නැහැ. මොකද මගේ ජීවිතය බැඳී තිබෙන්නේ කලාව සමග නිසාවෙන්. ඒ බැඳියාව මම මියෙන තුරාම පවතීවි. මගේ ටෙලි නාට්‍ය ජීවිතයේදී මතකයෙන් නොමියෙන චරිත කිහිපයක්ම නිරූපණය කළා. ඒ අතුරින් අති දක්ෂ නිර්මාණවේදියකු වන ප්‍රවීණ කලා ශිල්පී ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ, 'අකාල සන්ධ්‍යා' සුවිශේෂයි.
දක්ෂ කලා ශිල්පිනියක ලෙස සම්මාන ලබමින්, රටක ආදරය දිනා ගනිමින් යනෙන ගමන දෙස පසුපස හැරී බැලුවොත් කුමක්ද කියන්නට තිබෙන්නේ...?
අපේ රටේ සැබෑ කලා ශිල්පියෝ සිටින්නේ අතළොස්සයි. ඉතිං ඒ අතර සිටින්නියක ලෙස මමත්, මේ ගමන පැමිණියේ ඉතාමත් කැපවීමෙන්, උත්සාහයෙන් සහ දහදිය කඳුළු මතින්. රටක ආදරය ගෞරවය ලැබීමත්, එය නිරහංකාරව විඳීමත් මට විශාල තෘප්තියක්. සම්මාන හිමිකර ගැනීමෙනුත් ආරම්භක තැන සිට ඉහළම තැනට යැමට මට හැකියාව ලැබුණා. ඒ නිසා මම අද පරිපූර්ණ වූ ගැහැනියක් කියලා නිරහංකාරව කියන්නට පුළුවන්.
ජීවිතය කියන්නේ බලාපෙරොත්තු ගොන්නකට. ඔබට කොහොමද මෙය දැනී තිබෙන්නේ...?
බලාපොරොත්තු එකිනෙක දිනා ගනිමින් පැමිණි ගමනක් තමයි මට තිබෙන්නේ. ඇත්තෙන්ම මම ජීවිතයේ බොහෝ දේ වින්ද කෙනෙක්. ඒත් දැන් මගේ ජීවිතය හුඟක් වෙනස්. මගේ පවුලට තිබෙන බැඳීම, ආදරය සහ නිතරම බෞද්ධ පතපොත කියවීම තමයි මාව එතැනට රැගෙන විත් තිබෙන්නේ. ඉතිං කලාව වගේම මේ හැම දෙයක්ම සමබරව ගෙන යැම තමයි මගේ ජීවිතයේ සාර්ථකත්වයේ රහස කියා කියන්නට පුළුවන්.
සුජීව තත්සර
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment