සමාජයක් ඇති බව පාසල නොදනී...
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සිය දරුවකු පාසලට ඇතුළු කරමින් පන්තිභාර ගුරුවරයාට මෙසේ කීවේය.
"මේ දරුවාට විභාගවලින් සමත් වීම අරමුණු කර ගෙන ඉගැන්වීමට උනන්දු වන්න එපා. ඔහුට ජන සමාජයේ ජීවත්වන හැටි උගන්වතොත් එය ප්‍රමාණවත් වෙයි."
ඒබ්‍රහම් ලිංන්කන් ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශයෙන් මහත් අර්ථවත් පණිවිඩයක් සමස්‌ත ලෝකයටම දී ඇති අපේ රටේ අධ්‍යාපනය හුදෙක් විභාගයම එල්ල කර ගෙන යන එකකි. පාසලේ ගුරුවරයාට වඩා ඒ ගැන උනන්දුවන්නේ මාපියන්ය. පාසලේදී දෙන දැනුමෙන් සෑහීමකට පත් නොවී දරුවා පාසලින් ගෙදර පැමිණි පැයේම "ටියුෂන්" පන්තියකට ඇදගෙන යයි. එයිනුත් සෑහීමකට පත් නොවී බත්ටික කවන අතරේත් දැනුම කවයි. මේ නිසා ළමයාට ළමා කමක් නැති වෙයි. ඇවිදීමට, ක්‍රීඩා කිරීමට, වෙනත් ක්‍රියාකාරකම්වල යෙදීමට අවස්‌ථාවක් නැති වෙයි.
ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ දරුවකු කෙරෙහි කෝප වූ පියෙක් දඬුවමක් වශයෙන් එම දරුවා බලු කූඩුවට දැමූ පුවතක් ද වාර්තා විය.
පොදුවේ හැම දරුවකුටම විෂය බද්ධ දැනුමෙන් තොර පරිසරය ගැන දෙවැන්නකු සමග හැඟීම් හුවමාරු කිරීමට, නාට්‍යයක් නැරඹීමට අවස්‌ථාව නැත. පාසලේදී උගන්වනු ලබන්නේ එක් එක් ගුරුවරයාට භාර විෂය කොටස පමණි. බාහිර දැනුම අතින් හැම දරුවෙක්‌ම පරිබාහිරය. ඒ නිසා මාවතේ ගමන් කළ යුතු අයුරු දන්නේ නැත. දෙවැන්නාට ගරු කළ යුතු හැටි දන්නේ නැත. දෙවැන්නාගේ මතය ඉවසා දරා ගැනීමේ පුළුවන්කමක් නැත. තම අදහසට - තම මතයට පටහැනි අදහසක් පළ වූ විට හරි, එය ඔබේ මතයයි. මම එයට ගරු කරමි. එහෙත් මගේ මතය මෙයයි. ඒ අදහස් වැරදි නම් දැනුමැත්තෙක් එය නිවැරැදි කරනු ඇත" යනුවෙන් කියන්නට තරම් නිහතමානී නැත. සමහර විට ඔබ ඉදිරිපිට සිටින්නා ඔබට වඩා ශ්‍රේෂ්ඨයකු විය හැකිය. ඔහුට ගරු කරන්නැයි එදා මහා ඇලෙක්‌සන්ඩර් රජතුමා සිය හමුදාවේ නිලධාරියකුට කී කතාව මෙතැනට අගේට ගැලපේ. පහළ පන්තියේ සිට උසස් පෙළ දක්‌වා හෙවත් පාසලින් සමුගන්නා තෙක් පාසලක සිසුවෙක් ඉංග්‍රීසි පාඩම ඉගෙන ගනී. එයම වෙනත් අයුරකින් කීවොත් අවුරුදු 15 ක් පමණ ඉංග්‍රීසි ගුරුවරයා එම විෂය උගන්වයි. එහෙත් පාසලින් සමාජගත වන පිරිසෙන් සියයට 85 කට වඩා වැඩි පිරිසකට ඉංග්‍රීසියෙන් කතා කිරීමට හෝ ලිවීමට බැරිය. එයින් පෙනී යන්නේ ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමය මුළුමණින්ම අසාර්ථක බවය.
ඕනෑම බසක් ඉගැන්විය යුත්තේ කන මාධ්‍ය කරගෙනය. එයට අපමණ නිදසුන් වේ. ඉංග්‍රීසි බස නොදැන විදෙස් රටකට ගිය කෙනෙක් මාස කිහිපයකින් ඒ භාෂාවට හුරුවෙති. ඉතාලියේ සේවයට ගිය කෙනකුට ඉතාලි බසත් ජපානයට ගිය කෙනකුට ජපන් බසත් වසරකින් හමාරකින් හැකිවෙයි. ඒ අය ඒ සඳහා පාසලට ගියේ නැත. කන පෙරදැරිව බස උගත්හ.
සිංහල ගෙදරක වයස අවුරුදු හත අටක දරුවෙක් කිසි විටෙක ඊයේ මම බත් කනවා" කියන්නේ නැත. මම බත් කෑවා කියා නිවැරැදිව කියයි. එසේ කියන්නට ඒ දරුවාට අතීත - අනාගත ආඛ්‍යාත පදය ගැන ඉගැන්නුවේ නැත. අනුන් කතා කරන දෙයට කන යොමුකර හරියට කතා කරන්නට ඉගෙන ගනී.
එක්‌තරා ගුරු විද්‍යාලයක ජනප්‍රියත්වයට පත් ගුරුවරයෙක් කථිකාචාර්ය වරයෙක් විය. එතුමාගේ විෂය ඉංග්‍රීසි ඉගැන් වීම නොවේ. වෙනත් විෂයකි. එහෙත් එතුමා තම සිසුන් හා කතා කරන හැම වැකියක්‌ම එසැනින් ඉංග්‍රීසියෙන්ද කියයි. "ඔවුන්ට කතා කරන්න ආක්‌ස් දෙම් ටු කම්, මට විශ්වාස කරන්න බැහැ - අයි කාන්ට් බිලීවුඩ් - මේ ආදී වශයෙනි. මෙයද හොඳ ඉගැන්වීම් ක්‍රමයකි. එහෙත් පාසල් පන්ති කාමරය තුළ මේ ක්‍රමය දක්‌නට නොලැබේ.
ඉංග්‍රීසිය උගත්කමේ සංකේතයක් නොවේ. එය එක්‌තරා දැනුමක් පමණි. ඉංග්‍රීසිය නොදත් මහා උගත්තු වෙති. එහෙත් ලෝක භාෂාව ඉංග්‍රීසිය නිසාත් වඩාත් ව්‍යාප්ත භාෂාව ඉංග්‍රීසිය නිසාත් විදෙස් රටකට යැමේදී ප්‍රයෝජනවත් නිසාත්, ඉංග්‍රීසි බසින් ලියෑවුණු බොහෝ පතපොත ඇති නිසාත් හැම සිංහල ශිෂ්‍යයෙක්‌ම ඉංග්‍රීසිය මැනවින් උගත යුතුය. එසේම මවුබස හරියට - නිවැරැදිව උගත යුතුය.
හැම විටෙකම ගුරුවරයා තම සිසුවාගේ ඉදිරිපත් කිරීමක් අගය කළ යුතුය. එහි වරදම ඉස්‌මතුකොට දක්‌වා හෙලා දැකීම දරුවාගේ ආත්මය මරා දැමීමකි. මෙයට හොඳ නිදසුනක් දිය හැකිය. අපට ඉගැන්වූ ගුරුවරුන් තුළ ඒ ගුණය විය. ඔබේ රචනයේ යම් යම් වියරණ වැරදි තිබුණත් ඔබේ අදහස් ඉතාම හොඳයි. එම අඩුපාඩුව හදා ගත්තොත් ඔබට හොඳ ලේඛකයකු වන්නත් පුළුවනි.
එතුමා හැම විටෙකම වරදක් පෙන් වූයේ අගය කළ යුතු දෙයක් ද ඉස්‌මතු කර දැක්‌වීමෙනි. එවිට සිසුවාගේ ආධ්‍යාත්මය කිලිටි වන්නේ නැත. තව තවත් උනන්දු වීමක් වෙයි.
ළමා මනසට මනුෂ්‍යත්වය, යුතුකම, අගය කිරීම, රසවිඳීම ඇතුළු නොකර විෂය පමණක් ඉගැන්වීමෙන් ඔහු යහමගට ගන්නට බැරිය. එක්‌තරා පාසලක සිසුන් දෙදෙනකු ගණිත දැනුම දුර්වල විය. ඒ අය හොඳට ගණිතය දන්නා සිසුවකුගෙන් විභාගයට දැනුම සොරකම් කළත් විභාගයෙන් අසමත් විය. දක්‍ෂයා සමත් විය. ඒ හතරදෙනාම දැනට රාජ්‍ය අංශයක රියෑදුරන් සේ සේවය කරති. දක්‍ෂයා වරදකට (හොරකම් කීපයකට) හසුවී දැනට බන්ධනාගාර ගතව සිටියි. එයින් පෙනෙන්නේ සමාජයේ ජීවත් විය යුතු අයුරු විභාගවලින් පෙන්වන්නේ නැති බවය.
ඇතැම් තරුණ පිරිසක් මහා මාර්ගයේ ගමන් කරන හැටි බලන්න. ඒ අය එකට පෙළගැසී ගමන් කරන අවස්‌ථා වෙයි. තවත් කෙනකුට පාර හරස් වෙයි. ඒ අනාගත "චණ්‌ඩි"ය. තවත් වැඩිහිටියෙක් කහ ඉර හරහා ලැසි ගමනින් වාහනවල ගමන ගැන නොතකා ගමන් කරයි. ඒ අතීත චණ්‌ඩිය. ඇතැම් විට නගරයක යනෙන රථයකට වුවමනාවෙන්ම හැපී වැටී ගෑගසන අයද නැත්තේ නොවේ. ඒ සැනින් එතැනට රැස්‌ව රියෑදුරුගෙන් මුදලක් කඩා ගැනීමට උනන්දුවන පිරිසක්‌ද වෙති. ඒ වත්මන් චණ්‌ඩිය. මේ හැම කෙනකුම පාසල් අධ්‍යාපනය ලද්දෝ විය හැකිය. එහෙත් ඒ අයට සමාජයේ ජීවත්වන හැටි උගන්වා නැත.
උසස් පෙළ සමත් පනස් දාහකට ගුරු පත්වීම් දෙන්නට සූදානමක් ඇති බවට නොබෝදා පුවත්පත් වාර්තාවක් පළ විය. කෙනකුට රැකියාවක් ලබාදීම අගනේය. එහෙත් වෙළෙඳසලකින් භාණ්‌ඩයක් ගන්නා මෙන් ගුරුවරුන් වශයෙන් රැකියා දීම ඊට වඩා බුද්ධිමත්ව කළ යුතු එකකි. ගුරුවරයකුට ළමා මනස තේරුම් ගත හැකි මානසිකත්වයක් තිබිය යුතුය. විෂයාන්තර දැනුමෙන් සපිරී සිටිය යුතුය. ඉගැන්වීම පිළිබඳ මූලධර්ම, ඉගැන්වීම් ක්‍රම දැන සිටිය යුතුය. ඒ සඳහා වසරක පමණවත් පුහුණුවක් ලැබ සිටිය යුතුය. පැරැණි ගුරු අභ්‍යාස විද්‍යාල මගින් ඒ ටික අගේට ලැබුණු පුහුණු ගුරුවරයකුගෙන් ලබන අධ්‍යාපනය ශ්‍රේෂ්ඨය.
ගුරු යන නමට ඔරොත්තු දෙන විශාරද දැනුමෙන් යුතු ගුරුවරු අතීතයේ වූහ. පී. ද. එස්. කුලරත්න, එල්. එච්. මෙත්තානන්ද වැනි අයගේ නම් අදත් අමරණීයයි. සියලුම වෘත්තීන්ට වඩා ගුරු වෘත්තීය උසස්‌ය. ඒ නිසා ඒ උසස් තනතුරට උසස් දැනුමැත්තන්ම තෝරාගත යුතු වෙයි. ඒ අය සමාජ නිර්මාතෘවරුය. විභාග ප්‍රශ්න පත්‍ර හදන්නේ බොහෝ විට ළමයා සමත් කිරීමේ අරමුණ ඇතිව නොවේ. අසමත් කිරීමේ අරමුණ ඇතිවය. විභාග උත්තර පත්තර පරීක්‍ෂකයන් පත් කරන්නේත් විධිමත් තෝරා ගැනීමකින් තොරවය. එතැනදී සිසුවාට අසාධාරණයක් විය හැකිය. සමහර විට විභාගයට පෙනී සිටි දරුවෙක් එක ලකුණක අඩුවීමක් නිසා අසමත් වෙයි. ඒ අනුව ඒ දරුවාගේ බුද්ධිය හෝ දැනුම අවතක්‌සේරු කිරීම සාධාරණද? නීත්‍යනුකූලද? සදාචාරාත්මකද?
මේ සමාජයට උගතුන් අවශ්‍යය. ඊටත් වඩා සමාජ විරෝධී වැඩවල නොයෙදෙන මනුෂ්‍යයන් අවශ්‍යය. උගත්කම වරදකට උපයෝගි කර ගැනීම නිසා අපමණ අවැඩ වෙයි.
හොර සල්ලි මුද්‍රණය කිරීම නූගතෙකුට කළ නොහැකිය. ඒ සඳහා ඒ කාර්ය පිළිබඳ උගත්කමක් තිබිය යුතුය. එහෙත් එතැන ඇත්තේ උගත් දැනුම අපරාධයකට වරදකට යොමු කිරීමකි. පාසලේදී මිනිස් කම ගැන උගන්වන විෂයයන් නොමැති කමේ ආදීනවයයි ඒ.
විශ්වවිද්‍යාලවල නවක වධය නිසා සරසවිය අත්හළ අය ගැනත් ජීවිතය ආබාධිත කරගත් අය ගැනත් වාර්තා වේ. එහෙම වන්නේ පාසල් විෂය මාලාව තුළ ඒබ්‍රහම් ලිංන්කන්තුමා අපේක්‍ෂා කළ පරිදි සමාජයේ ජීවත් විය යුතු හැටි ඉගැන්වීමක් පාසලේ නැති වීමය. සරසවි සිසුන් ගෙන් වැඩි දෙනෙකු තුළ ගුරු ගෞරවයක් නැත. ඒ වරද සිසුවා වෙතම පැවරීම අසාධාරණය. සිසු ගෞරවය දිනා ගැනීමේ අපොහොසත්කම ගැන ගුරුවරයා ද වරදකරුවෙක් වෙයි.
ආචාර්ය - පියසේන රතුවිතාන
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment