වයස අවුරුදු 24ක චීන තරුණියකගේ මොළයෙන් කොටසක් නැති බව වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරුවී ඇතැයි වාර්තා වේ.අනුමස්තිෂ්කය නම් කොටස නොමැතිව මෙම තරුණිය මේ දක්වා ජීවත්වී තිබීම විශ්මයට කරුණක් බව වෛද්‍යවරුන්ගේ අදහසයි.
ඇය මුළු ජීවිත කාලය පුරාවටම සෘජුව ඇවිදීමට නොහැකි බවෙන් පීඩා විඳ ඇති අතර මාසයකට පෙර සිට වමනය සහ ඔක්කාරයෙන් පෙළී ඇත.
ප‍්‍රතිකාර සඳහා නැගෙනහිර චීනයේ ෂැන්ඩොන් පළාතේ පිහිටා ඇති ජිනාන් හමුදා ප‍්‍රදේශ විධානයේ මහ රෝහල වෙත ගිය පසු සිදුකළ පර්යේෂණවලින් ඇගේ අනුමස්තිෂ්කය පිහිටා නැතැයි හෙළිව තිබේ.
කුඩා මොළය ලෙසින් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන අනුමස්තිෂ්කය විසින් ඉච්ඡනුගත චලනයන් පාලනය කරන අතර සමබර බව තබාගන්නා බව පැවසේ.
එමෙන්ම නිශ්චිත චාලක ක‍්‍රියාවන් ප‍්‍රමාණයක් සහ භාෂාව ඉගෙනගැනීමේ මිනිස් සංජානන හැකියාව පාලනය කරනු ලබන්නේද අනුමස්තිෂ්කයෙනි.
එය සම්පූර්ණ මොළයෙන් 10%ක් පමණක් වුවද මොළයේ ඇති සමස්ත නියුරෝන ප‍්‍රමාණයෙන් අඩක් එහි අඩංගුව තිබේ. මෙම තරුණියගේ මව පවසා ඇත්තේ ඇය කථා කිරීම ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 6දී බවයි.
තනිවම ඇවිදීමට පටන්ගෙන ඇත්තේ අවුරුදු 7ක වයසේදී වුවත් මේ සියලූ අභියෝග මධ්‍යයේ ඇය විවාහවී සාමාන්‍ය දරු ප‍්‍රසූතියක්ද සිදුකර තිබීම පුදුමයට කරුණක් ලෙස සැලකේ.
ලොව අනුමස්තිෂ්කය අහිමිව ඉපිද ජීවත්වූවන් අතරින් 9 වැනියා වන්නේ මෙම චීන තරුණියයි.
Post a Comment