BREAKING NEWS

රටතොට

Wednesday, December 11, 2013

තමන් ඇතුළු පිරිස සැබවින්ම පාවාදෙන්නන් බව වික්‍රමබාහු පවසයි

පැහැදිලිවම අප ඉදිරියේ බැරෑරුම් ප්‍රශ්නයක් ඉතිරිව පවත්නා බව නව සම සමාජ පක්ෂයේ නායක,වික්‍රමබාහු කරුණාරත්න  පවසයි.

ජාතික ප්‍රශ්නයට ලබාදෙන විසඳුම කුමක්ද,ගෝලීය ධනවාදයට ලබාදෙනු ලබන විසඳුම කුමක්ද යන්න පිළිබඳ ලෝකයේ හැමදෙනාම බලා සිටින බව හෙතෙම කියා සිටියේ ඊයේ පස්වරුවේ කොළඹ, දුම්රිය සමාජ ආයතනයේ පැවති රැස්වීමක් ආමන්ත්‍රණය කරමිනි.
ගැමි ගොවි ප්‍රශ්නවලට ලබාදෙන පිළිතුරු කුමක්ද, ගොවි ජනයා රසායනික පොහොර භාවිතයෙන් විනාශය කරා රැගෙන යාමට ලබාදෙනු ලබන විසඳුම කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ වැනි ගෝලීය ධනවාදයේ ඇබිත්තයන්ට කළ හැකි යමක් නොවන බවත්, ඔවුන්ට කළ හැක්කේ තැන තැන කොන්ක්‍රීට් අනා එය සංවර්ධනය බව පෙන්වා තමන්ගේ සාක්කුවට සල්ලි කඩා වඩා ගැනීම බව කරුණාරත්න  අවධාරණය කළේය. එයින් ජනතාවට කිසිදු සෙතක් අත් නොවන බවත්, සම්පූර්ණයෙන්ම ඒ බර ජනතාව මත පටවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එහෙත් මේවන විට ඉතාම අසීරු අඩියකට තත්ත්වය පත්ව ඇති බවත්, මේවන විට කිසිදු ජන කොටසකට සාධාරණයක් ඉටු නොවන බවත් වික්‍රමබාහු කරුණාරත්න  සඳහන් කළේය. යම් සහනයක් ඇත්නම් ඒ මේ රට කඩාවඩා ගැනීමට එන බහුජාතික සමාගම් වලට රටේ සම්පත් සූරා කෑමට පමණක් බවත් ඔහු සිහිපත් කළේය.
මෙම රැස්වීම පවා දේශ ද්‍රෝහීන්ගේ හා රට පාවාදෙන්නන්ගේ රැස්වීමක් බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කළ හැකි බවත්, ඔවුන්ගේ පාර්ශවයෙන් සලකා බලන විට එය සත්‍යයක් බවත්, තමන් ඇතුළු පිරිස සැබවින්ම ධනේශ්වර ලෝකය පාවාදෙන්නන් බවත්, ඒත් ඒ රට නොව විශිෂ්ඨ ලෝකයක් සඳහා කරන කැපකිරීමක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger