1997 පෙබරවාරි 11 වැනි දින කුරුවිටදී නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයකු වී නාලන්ද එල්ලාවල ට සහ කොස්‌තාපල් ජයසේන නමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීම සහ කොස්‌තාපල් උපාලි සිරිසෝම, පතිරන්නැහැලාගේ දොන් ගුණසේන, ඩිලාන් පෙරේරා යන තැනැත්තන්ට වෙඩිතබා තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා 11 ක් මත සුසන්ත පුංචිනිලමේ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙක් රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටියහ.
ඉකුත් නොවැම්බර් මස 12 වැනි දින නඩුව කැඳවූ අවස්‌ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සංජීව දිසානායක අධිකරණය අමතමින් නඩුවේ 3, 4, 5 වැනි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්‍ෂි ඉදිරිපත්ව නොමැති බව පැවසුවේය. ඒ අනුව විත්තිකරුවන් සියලු දෙනාම විත්ති වාචිකයක් නොකැඳවාම නිදහස් කරන ලෙසට විත්තිය වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ යූ. ආර්. ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 62 දෙනකු නම්කර තිබුණද සාක්‍ෂි ලබාගන්නා ලද්දේ සාක්‍ෂිකරුවන් 12 දෙනකුගෙන් පමණි. ඒ අතරින් සිවිල් සාක්‍ෂිකරුවන් හයක්‌ද පොලිස් නිලධාරීන් සමඟ රජයේ රස පරීක්‍ෂකවරයා සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයාද ඉතිරි සාක්‍ෂිකරුවන් හයදෙනා අතර වූහ.
සිය තීන්දුවට හේතු වූ කරුණු පිළිබඳව සඳහන් කළ විනිසුරුවරයා නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ගේ සමස්‌ත ප්‍රකාශයන් දෙස බලන විට මෙම සාක්‍ෂිකරුවන් විස්‌තර කොට ඇත්තේ එක සිද්ධියක්‌ද නොඑසේනම් ස්‌වාධීන සිද්ධිය ගණනාවක් ගැනද යන සිතුවිල්ල නැඟෙන බව පැවැසීය. එම සාක්‍ෂි එකිනෙකට ගැටෙන බවද එනිසා එම සාක්‍ෂි වල ස්‌වභාවය සාධාරණීය කළ බවද විනිසුරුවරයා සඳහන් කළේය.
වෛද්‍ය වාර්තාවල සඳහන් කරුණු මත සලකා බැලීමේදී නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ ශරීරයට වූ තුවාල දෙකෙහිම ඇතුළුවීමේ තුවාල දක්‌නට ඇත්තේ සිරුරේ දකුණු පසට ආසන්න පිටුපස ප්‍රදේශයේ බවත් එසේ වෙඩි තබන ලද්දේ නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂක කොස්‌තාපල් සිරිසෝම විසින්ද නැතහොත් වෙනත් පාර්ශ්වයක් විසින්ද යන්නට පිළිතුරක් පැමිණිල්ලේ සාක්‍ෂි මගින් හෙළිදරව් වීමක් නොවූ බවද විනිසුරුවරයා සඳහන් කළේය.
පැමිණිල්ල විසින් ඉදිරිපත්කොට ඇති සිද්ධිය පිළිබඳව ඇසින්දුටු සාක්‍ෂි අධිචෝදනා පත්‍රයෙහි චූදිතයාට විරුද්ධව නඟා ඇති වැරදි හෝ වෙනත් චෝදනා කිසිවක් හෝ සනාථ කිරීමට අසමත්ව ඇති බවද විනිසුරු සඳහන් කළේය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සංජීව දිසානායක නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ අතර රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක ඊට සහාය විය. සෞම්‍යා මුතුකුඩ, සදිසාරණි චන්ද්‍යා සහ චමරී ශ්‍රී විජයන්ති යන නීතිඥවරියන් සමඟ අධිනීතිඥ යූ. ආර්. ද සිල්වා නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.
- තිලකසිරි දැල බණ්‌ඩාර
Post a Comment