BREAKING NEWS

රටතොට

Tuesday, December 3, 2013

තංගල්ල සභාපති ඇතුළු විත්තිකරුවන්ට අවවාද

බිහිසුණු අපරාධයක්‌ සිදුකර උසාවියත් විහිළුවට ලක්‌කිරීමට උත්සාහ නොකරන ලෙස තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් හයදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (02 දා) දැඩි ලෙස අවවාද කළාය.


නිවාඩුවක්‌ ගතකිරීමට මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික කුරාමි ෂෙයික්‌ ඝාතනය කිරීම හා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා අතවරයට ලක්‌කිරීම සම්බන්ධයෙන් නඩුව කැඳවනු ලැබූ අවස්‌ථාවේදී ඉදිරිපත් වූ විත්තිකරුවන්ගේ ඇපකරුවන් ප්‍රතික්‍ෂේප කරමින් එසේ අවවාද කළ මහාධිකරණ විනිසුරුවරිය උසාවිය නියෝගයක්‌ නිකුත් කළ පසු සිය විත්තිකරුවන්ට මනා ලෙස පැහැදිලි කර දීම ඔවුන්ගේ නීතිඥයන් සතු වගකීමක්‌ බව ද අවධාරණය කළාය.

මෙහි අධි චෝදනා ලැබ සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, ඕබඩ ආරච්චිගේ ලහිරු කැළුම් නොහොත් රවීන්ද්‍ර, උඩුවනගේ සමන් දේශප්‍රිය, වීරප්පුලිගේ ප්‍රනීSත් චතුරංග, මොහොට්‌ටිගේ සරත් නොහොත් සහන්, සරණආරච්චි පටබැඳිගේ චානුක චතුරංග යන විත්තිකරුවන්ගේ ඇපකරුවන් ඉදිරිපත් කරන ලෙසට පසුගිය අවස්‌ථාවේදී කළ නියෝගයක්‌ අනුව ඊයේ (02 දා) නඩුව කැඳවනු ලැබීය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි විත්තිකරුවන්ට ඇප නියම කරමින් රුපියල් ලක්‍ෂ 5 ක්‌ වටිනා ඇපකරුවන් තිදෙනකු ඉදිරිපත් කරන ලෙසට තංගල්ල මහාධිකරණය මගින් නිකුත් කළ නියෝගයකට අනුව තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි ඇතැම් ඇපකරුවන් හට රුපියල් ලක්‍ෂ 5 ක්‌ වටිනා වත්කම් නොමැති බවට ඔවුන්ව කොළඹ මහාධිකරණය වෙත කැඳවා කළ විමසීමේදී හෙළි විය.

සුදුසුකම් නොමැති පුද්ගලයන් විත්තිකරුවන්ගේ ඇපකරුවන් ලෙස පිළිගත නොහැකි බවට පෙන්වා දුන් විනිසුරුවරිය බිහිසුණු අපරාධයක්‌ සිදුකර උසාවියත් විහිළුවට ලක්‌කිරීමට උත්සාහ නොකරන ලෙසට විත්තිකරුවන්ට අවවාද කරමින් ඇපකරුවන්ට ඇපකාරිත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක්‌ සිදු නොකළේදැයි විත්තිකරුවන්ගේ නීතිඥයන්ගෙන් විමසමින් උසාවිය නිකුත් කළ නියෝග විත්තිකරුවන්ට පැහැදිලි කර දීම නීතිඥයන්ගේ වගකීමක්‌ බවට අවධාරණය කළාය.

ඇපකරුවන්ගේ වත්කම් සහතික සමඟ ඔවුන් සතු ඉඩම්වල ඔප්පුවල මුල් පිටපත් හෝ වාහනවල හිමිකාරිත්වය හෝ බැංකු ගිණුම් හෝ ඉදිරිපත් කළ යුතු බවට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එසේ නොමැති ඇපකරුවන් වෙනුවෙන් සුදුසුකම් ඇති නඩු නොමැති ඇපකරුවන් ආදේශ කරන ලෙසට නියෝග කළාය.

නඩුව ලබන මාර්තු 26 දා සිට විභාගයට කැඳවන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (02 දා) නියෝග කළාය.

පැමිණිල්ලේ සාක්‌කිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස ද නියෝග කළ විනිසුරුවරිය නඩු විභාගයට සහාය දැක්‌වීමට ඉංග්‍රීසි - සිංහල භාෂා පරිවර්තකවරයකු කැඳවන ලෙසට නියෝග කළාය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger